Showing posts with label වේදිකා නාට්‍ය. Show all posts
Showing posts with label වේදිකා නාට්‍ය. Show all posts

Tuesday, October 22, 2013

නාට්‍ය කලාවෙන් වියුක්ත කළ නොහැකි විශ්වවිද්‍යාල නාට්‍ය කලාව



නාට්‍ය කලාවෙන් වියුක්ත කළ නොහැකි විශ්වවිද්‍යාල නාට්‍ය කලාව 

වසර පණහක් ඉක්ම ගියද අදටත් රට වටා අති සාර්ථකව වේදිකාගත වන විශිෂ්ටතම නාට්‍යය මනමේ නාට්‍යය බව අතිශයෝක්තියක් නොවේ. සර්ව සම්පූර්ණ නාට්‍ය කලාවක සලකුණ සනිටුහන් කරන මනමේ, නාට්‍ය කලාව තුළ පැවැති දියාරැ ස්වභාවය මග හරිමින් එය වේදිකාව කෙරේ ලබාගන්නට සමත් වූ  නාට්‍ය නිර්මාණයකි. එසේම ඒ හා සබැඳි පසුබිම් කතාවද අපූරැය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල නාට්‍ය කලාව හරහා අදාළ විප්ලවීය වෙනසට පය තැබූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්, ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව හා විශ්ව විද්‍යාල නාට්‍ය කලාව එකිනෙකට වියුක්ත කළ නොහැකි තත්ත්වයකට පත් කළ අතර අදටත් දැවැන්ත නාට්‍ය ශිල්පීන්  ප්‍රමාණයක් නාට්‍ය ක්ෂේත්‍රයට දායාද වන්නේ එබැවිනි. එසේ නම් එවන් විශ්ව විද්‍යාල නාට්‍ය කලාවක ඓතිහාසික පසුබිම කවරේද? විශ්ව විද්‍යාල නාට්‍ය කලාව, අධ්‍යයතන නාට්‍ය කලාව හා මුහු වන්නේ කෙසේ ද ? මේ සටහන තැබෙන්නේ ඒ පිළිබඳවයි. 

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ඓතිහාසික පසුබිම දහ අට සන්නිය,කොහොඹා යක්කංකාරිය, සොකරි, කෝළම්, නාඩගම් ආදී සිංහල ගැමි නාටක දක්වා විහිදී යයි. එසේම ඉන් බිඳී ආ නූර්ති, ටවර්හෝල්,මිනර්වා දක්වාද  විසිරී පැතිරී යන්නේ ශ්‍රී ලංකාව යටත් විජිත රාජ්‍යයක් වීමත් සමග නොයෙකුත් වෙනස්වීම්වලට භාජනය වී හෙයිනි. එහෙත් අපට මේ කිසිදු ගැමි නාටකයදී සර්ව සම්පූර්ණ වේදිකා නාට්‍ය කලාවක ලක්ෂණ දැක ගත නොහැකි විය. ඒ අනුව මෙහි අක් මුල් සොයා යන අපට, එවන් ඓතිහාසික සාධක හමුවෙන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය තුළින්මය.

එනම් ශ්‍රී ලංකාව තුළ සිංහල නාට්‍ය කලාවක් නිර්මාණය කිරීමට යත්න දරමින් සරච්චන්ද්‍රයන් කළ පර්යේෂණය ඇතුළත් සිංහල ගැමි නාටකයට දාව උපන් පළමු දරැවා මනමේ නාට්‍යයයි. කලක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල හා පාලි අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්, පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිය තිඹිරිගෙය කර ගනිමින් බිහි කළ මනමේ සඳහා දායක වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එවක සිටි සිසු සිසුවියන්ය. 



වත්මන් විචාරයන් අනුව ඔහුගේ මනමේ නාට්‍යය ප්‍රථම සම්පූර්ණ නාට්‍ය ලෙස පිළිගන්නා නමුත් එතුමාගේ නාට්‍ය ආකෘතියද උසුලන්නේ නාඩගම්, ජන නාට්‍ය සහ නූතන රුගුම් සම්බන්ධ ආකෘතියකි.ඒ අනුව ලෝ පුරා සංචාරය කළ විද්වතෙකු ලෙස සරච්චන්ද්‍රයන් ජපන්,යුරෝපානු,සංස්කෘත ආදී නොයෙකුත් නාට්‍ය ශෛලින්වල කොටස් අනුගත කරමින් සකස් කළ ශ්‍රී ලාංකේය ආකෘතිය සැබැවින්ම ශ්‍රී ලාංකීයද යන්න ප්‍රශ්න කළ යුත්තකි.
 
කෙසේ නමුත්  සදාතනික අරගලයක යෙදෙන පිය - පුතු හැල හැප්පීම් විස්තර කෙරෙන සිංහබාහු අති විශිෂ්ට නිර්මාණයකි. එසේම බෞද්ධ සාහිත්‍යයේ එන වෙස්සන්තර,පෙමතෝ ජායතී සෝකෝ, රත්තරන්, ලෝමහංස, භවකඩතුරාව,මහාසාර,කදා වළලු ආදී බෞද්ධ සාහිත්‍යයට ආශ්‍රීත නාට්‍යයද, රත්තරන්,කිරි මුට්ටිය ගඟේ ගියා ආදියද ප්‍රශංසනීයය නාට්‍ය කෘති ලෙස අදත් විටෙන් විට වේදිකාගත වේ.

එහෙත් මේ සියලු නාට්‍ය සඳහා පළමු පියවර තැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී සහ ඒවාට සම්බන්ධ මුල් ශිල්පීන් බොහොමයක් එකල විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථයින් වීම තුළින්ම එකල විශ්ව විද්‍යාල නාට්‍ය කලාව කොතරම් ප්‍රබලව පැවතුණේද යන්නට කදිම සාක්ෂියකි. එනම් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා සරච්චන්ද්‍රයන් කළ පෙරළිය තුළින් වඩාත් ඔප මට්ටම් වූයේ විශ්ව විද්‍යාලයීය නාට්‍ය කලාවයි. ඒ මනමේ, සිංහබාහු වැනි නිර්මාණ හරහා විශ්ව විද්‍යාලය හරහා ජනගත වන නිර්මාණ කෙරේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදයක් ඇතිකරලීමට සරච්චන්ද්‍රයන් සමත්කම් පෑ නිසයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළම සරච්චන්ද්‍රයන් ප්‍රමුඛ කර ගත් ගුරැ කුලයක් බිහිවූයේද එහි ද්වීතියික ප්‍රතිඵලයක් ලෙසයි.ඒ අනුව සරච්චන්ද්‍රයන්ගේ එම ගුරැකුලය හරහා බිහි වූ අවසන් පුරැක ලෙස ජයලත් මනෝරත්න හඳුන්වා දිය හැකියි.එබැවින් ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බිහි වූ, නූතන වේදිකාවේ සිටින පතාක යෝධයා බව නොකිවමනාය.
කෙසේ වෙතත් එතුමාගේ සාර්ථකත්වය පිළිබඳව විශ්ලේෂණය කරනා බොහෝ විචාරකයන් පවසන්නේ සරච්චන්ද්‍රයන්ගේ බොහෝ කෘති සිංහල ජනප්‍රවාදයන්හි අනුවාදයන් වීම ඔහුගේ කාර්යයට ක්ෂණික හා ස්ථිර සාර ජන ප්‍රසාදයක් ලැබීමට සෘජුවම බලපෑ බවයි.

මේ අනුව පේරාදෙණියේ ඇති වූ විශ්ව විද්‍යාල නාට්‍ය කලාවෙන් උත්තේජනයට පත් සමකාලීන නාට්‍යකරැවන් ලෙස හෙන්රි ජයසේන හුණූවටයේ කතාව, කුවේණි,ජනේලය,දිරිය මව සහ ඇගේ දරැවා,මකරා,අහස් මාළිඟා, අපට පුතේ මගක් නැතේ, තවත් උදෑසනක් ආදී නාට්‍යත්,  ගුණසේන ගලප්පත්ති විසින් මූදු පුත්තු ආදී නාට්‍යත්, දයානන්ද ගුණවර්ධන විසින් නරි බෑනා, ජසයා හා ලෙංචිනා, ගජමන් පුවත,ආනන්ද ජවනිකා, මධුර ජවනිකා ආදී නාට්‍යයත් ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට දායාද කිරීමට සමත්  වූ අතර එදා සරච්චන්ද්‍රයන් කළ විප්ලවීය වෙනස නොවන්නට ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට කුමක් වේවිද යන්න ගැටලුසහගත වන්නේ මෙබැවිනි.

එසේම සරච්චන්ද්‍රයන් නිමැවූ මෙම පදනම පසුකාලීනව ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට අභූතරෑපී සම්ප්‍රදාය අනුගත කළ සොඳුරැ ආඥාදායකයා හෙවත් සුගතපාලද සිල්වාගේ ගොඩෝ එනකං,මරාසාද් මෙන්ම හරිම බඩු හයක්,දුන්න දුනුගමුවේ,බෝඩිංකාරයෝ ආදී නාට්‍ය සඳහාත් ඉතා තදින් බලපෑවේය.
එසේම වත්මන් උසස් පෙළ නාට්‍ය හා රංග කලාවට ඇතුළත් කර ඇති සයිමන් නවගත්තේගමගේ සුභ සහ යස මෙන්ම ඔහුගේ පුස්ලෝඩං,ගංගාවක්,සපත්තු කබලක් සහ මරණයක් වැනි නාට්‍ය නිර්මාණ සඳහාත් , ඉන් අනතුරැව බිහි වූ ධර්මසිරි බණ්ඩාරනායකගේ මකරාක්ෂයා,ට්‍රෝජන් කාන්තාවෝ, ඒකාධිපති, ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලෙති,රතු හැට්ටකාරී ආදී නාට්‍ය සඳහාත්, ධම්ම ජාගොඩගේ සකලජන,වෙස්මුහුණු ආදී නාට්‍ය සඳහාත්, පරාක්‍රම නිරිඇල්ලගේ මැටි කරත්තය,සෙක්කුව වැනි නාට්‍ය සඳහාත්, ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා,පුත්‍ර සමාගම, මහ ගිරි දඹ,අන්දරේලා,ගුරැ තරැව, බූරැවා මහත්තයා,සුදු රෙදි හොරැ වැනි නාට්‍ය සඳහාත් මෙම පදනම ඉතා තදින් බලපෑවේය.
ඒ අනුව නාට්‍ය කලාව පෝෂණය කරනු වස් එදා සිටම විශ්ව විද්‍යාල නාට්‍ය කලාව තුළින් විශාල වගකීම් කොටසක් ඉටුකර ඇති අතර අදටත් 

පේරාදෙණිය,කැළණිය,කොළඹ,ජයවර්ධනපුර,සෞන්දර්ය ආදී විශ්ව විද්‍යාල හරහා විවිධ කෙටි නාට්‍ය උලෙළ සංවිධානය කරමින්ද, නාට්‍ය උලෙළ සංවිධානය කරමින්ද, අන්තර් විශ්ව විද්‍යාල කලා උලෙළවල් සංවිධානය කරමින්ද,යොවුන් නාට්‍ය උලෙළ සඳහා ශිල්පීන් පුහුණු කරවමින්ද දැවැන්ත වැඩ කොටසක් ඉටු කරමින් සිටී.
මාලන් විදානපතිරණ 

Friday, July 12, 2013

ලොව පළමු ත්‍රෛරූපකය බිහිකළ එස්කියුලියුලොස් (ඊස්කිලස්) - (තරුණයා) - 2012/01/03

මාලන් විදානපතිරණ     

ක්‍රි.පූ. 525 ඇතැන්ස්හි උප නගරයක් වූ අට්ටිකාවේ එලෙව්ලිස් නම් ගම්මානයේදී උපත ලද ඊස්කිලස් ඉඩම් හිමි රදළ පවුලකින් පැවැත එන නාට්‍යකරැවෙකි. එව්ෆොරියන් ඔහුගේ පියා විය. ආගම දහමට ලැදි පවුල් පසුබිමකින් පැවත එන ඊස්කිලස් සිය නාට්යා හරහා ආගමික ශ්‍රද්ධාව, දේශාභිමානය ආදී තේමා මතු කිරීමට උත්සාහ දැරැවේය.

ග්‍රීක නාට්‍ය කලාවේ දෙවන නළුවා බිහිකිරීමේ ගෞරවය හිමිවන ඊස්කිලස්ට පර්සියන්වරැ (The Persians) නාට්‍යය රචනා කිරීමත් සමගම ලොව ප්‍රථම වතාවට නාට්‍යයක් සඳහා සමකාලීන සිදුවීමක් පදනම් කර ගැනීමේ ගෞරවය ද හිමිවේ. පර්සියන්වරැ නාට්‍යය ඔහු අතින් ලියැවෙන්නේ එකල පර්සියාව සමග යුද වැදීමට ඔහු ගිය විටදී ලද අත්දැකීම් ඇසුරිනි. එනම් ක්‍රි.පූ. 490දීය. ඒ එකල සෑම පිරිමියෙක්ම රට වෙනුවෙන් සංග්‍රාමවලට සහභාගී වීම අනිවාර්යය කර තිබුණු නිසාවෙනි.

ඊස්කිලස්ට සිග්නේරෂ් සහ ඇමේනියන්ස් නමින් සහෝදරයන් දෙදෙනකු වන අතර තමන්ගේ අඩිපාරේම ගමන් කිරීමට ලොල් වූ යුරෝපිඔන් සහ යු ඕන් නම් දරැවන් දෙදෙනෙකු ද හිමි විය. සිය ජීවිත කාලය තුළදී නාට්‍ය 79ක් පමණ රචනා කර ඇති ඊස්කිලස්ගේ නිර්මාණවල බොහෝ විට දෙවියන් පිළිබඳ කතා පුවත් අඩංගු විය. එවන් සුපතල නාට්‍ය නිර්මාණයක් ලෙස ප්‍රොමිතියුස් බන්ධනය සඳහන් කළ හැක.

ගින්දර නොමැති වීම නිසා දුක් විඳ මියෙන මිනිසුන් දකින ප්‍රොමිතියුස්, මිනිසුන්ට ගින්දර ලබා දීම නිසා ඇති වන උණූසුම් තත්ත්වයක් මෙම නාට්‍ය හරහා නිරෑපණය කරයි. ප්‍රොමිතියුස් නම් අඩක් දෙවි අඩක් මනුෂ්‍ය පුද්ගලයෙකු වටා ගෙතෙන මෙම කතා පුවත මගින් දෙවියන්ගේ බලය පිළිබඳ ඉස්මතු කරන ඊස්කිලස් තවත් අතකින් සත්ය යට වන ආකාරය ද ව්‍යංගයෙන් නිරෑපණය කරයි. එය පොමිතියුස් බන්ධනය නාට්‍යය මෙසේ නිරෑපණය වේ.

“‘අප මේ පය ගසා සිටින්නේ ලෝකයේ ඉහළම ස්ථානයේය. සියුස් දෙවියන්ට එරෙහි වූ ප්‍රොමිතියුස් අද මෙතැන බැඳ දමා ඇත.’’

 ඉනික්බිති ගිජු ලිහිණින් පැමිණ ඔහුගේ හදවත ආහාරයට ගත් බව ද, එහෙත් ඒ සෑම මොහොතක ම ඔහුගේ හදවත යහපත් බැවින් යළි යළිත් ලියැලූණු බව ද නිරෑපණය කරන ඊස්කිලස්, සියුස් දෙවියන් විසින් බැරිම තැන ප්‍රොමිතියුස් බැඳ ඇති ගල දෙපළු කරන ලෙස අණ කළ බව ද අපූරැවට නිරෑපණය කරයි.  

 ඔහු අතින් ලියැවුණු ප්‍රකට ත්‍රෛරූපකයක් (තුන් ඈදුතු නාට්‍ය ) ලෙස ඇගමෙන්මම්, කොයිෆොරෝයි, යූමනයිට්ස් නාට්‍යය දැක්විය හැකිය. මෙය ඔරිස්ට්‍රියා ත්‍රිකය නමින් ද හැඳින්වේ. ඒ මෙම කතා පුවත ඔරිස්ට්‍රියා නම් චරිතය වටා ගොඩ නැගී ඇති බැවිනි. මෙය ලොව බිහිවූ ප්‍රථම ත්‍රෛරෑපක නාට්‍ය ලෙස ද සැලකේ. මේ අනුව ඔහු තුන් ඈඳුතු නාට්‍යයේ පියා ලෙසින් හැඳින්වූව ද වරදක් නැත. 

ලොව පළමුවරට සංවාද සහිතව රඟපෑම සඳහා ඉඩහසර ලබාදුන් ඊස්කිලස්ගේ නිර්මාණ අතරින් අද වන විට ශේෂ වී ඇත්තේ නාට්‍ය  නිර්මාණ 7ක් පමණෙකි. ඒවා නම් The Suppliant Women, Seven Against Thibs, The Persians, Promithius Bound, Agamenmum, The Libation Bearers, Eumenides ය.

ඊස්කිලස්ගේ මරණය හාස්‍යජනකය. රාජාලියෙක් ඉබ්බෙකු රුගෙන අහසින් යන විට බිම හිදින ඊස්කිලස් දිටීය. රාජාලියා ඊස්කිලස්ගේ තට්ට හිස දුටුවේ කළු ගලක් ලෙසිනි. මේ නිසා රාජාලියා ඉබ්බා ඔහුගේ තට්ට හිස මතට අතහැරියේය. කිර් ල.පූ. 456දී ඔහු මිය ගියේ මෙසේය.

                                                                                                                                                                                                                                                                                                         

Sunday, July 7, 2013

කොල්ලන්ට එරෙහිව කෙල්ලන්ගෙන් ගේමක් විසේකාරියෝ -2012/12/22



(සංකල්ප)

විසේකාරියෝ කියන්නේ ග්‍රීක නාට්‍ය රචකයෙක් වෙන ඇරිස්ටොෆනීස්ගේ Drama එකක්. මේකේ මුල් කෘතියේ නම "Lysistrata' ඒක සුඛාන්ත (Comedy) නාට්‍යයක්. ඒත් මේක අපේ රටට පරිවර්තනය වුණේ ඊයේ පෙරේදා දවසක.ඒ ප්‍රියංකර රත්නායක අතින්.ඒ වගේම මේක සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ අරැණ ප්‍රේමරත්න කියලා කෙනෙක්.ඒක තනිකරම කොල්ලන්ට විරැද්ධව කෙල්ලෝ ගෙනියන අමුතු ගේමක් ගැන කියන
නාට්‍යයක්. මට ඇහුණා කොටා නිකං පොරක් වගේ ගැන කියවනවා.

හැබැයි ඌ එහෙම කිව්වට මේක ධර්මප්‍රිය ඩයස් “ගැහැණු වැඩ අරඹති“ කියලා මීට
ඉස්සරත් හදලා තියෙනවා. අපිට ඒ ගැන පස්සේ ආරංචි වුණා.ඒ කොහොම වුණත් කොල්ලන්ට විරැද්ධව කොහොමද කෙල්ලෝ ගේමක් දෙන්නේ කියලා බලන්නත් එක්ක අපිත් ගියා මේක බලන්න. අපි ගියේ ලයනල් වෙඩ්ට් එකේ හතේ ෂෝ එකට.මාත් එක්ක
එදා කොල්ලෝ කීපදෙනෙක් ගියා. හැබැයි උන් එකෙක්වත් ඉස්සර නම් වැරදිලාවත් නාට්‍යයක් බලපු එවුන් නෙමෙයි. ඒ නිසා ඒක නව වැනි ලෝක පුදුමය විදිහට ඉතිහාස ගත වෙයි. හැබැයි කුණු ටෙලිනාට්‍ය බලලා බලලම එපා වෙලා නිසා ආවද කියලත් මට පස්සේ හිතුණා.මොකද ඒවායේ රඟපාන්නේම එකම නළුවා. රඟපාන්නේම එකම නිළිය.ඒ විතරක් නම් කමක් නැහැ. එකම ස්ටෝරි එක. එකම චරිතය.ඒ නිසා දැන් ටී.වී එකේ මොන පැත්ත කැරකුවත් එකයි.

අපි ගිය දවසේ එච්චර සෙනඟක් හිටියේ නැහැ. මොකද එදා ටිකක් හයියෙන් වැස්ස. අනික 1 st ෂෝ එක. අනික මේවා අපේ එවුන්ට තාම මේවා ටිකක් අමුතුයිනේ. ඒකයි. කොහොම වුණත් 1st Seen එක දැක්කට පස්සේ මට "අම්මටසිරි" කියලා කියවුණා. හිටපු විදිහට මුන් කෙල්ලොද කියලා හිතුණා.විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ. බලන් හිටියේ නිකං අපිව කන්න වගේ. බැලින්නම් පස්සේ තමයි අපි සීන් එක දැනගත්තේ. ඒ නිසා මුලින්ම අර කුතුහලය
ද මොකක්ද කියන මෙව්ව එක නිසා අපිත් දිගටම ස්ටේජ් එක දිහා බලන් හිටියා.


කෙල්ලොන් ටික පරක්කුලු. ඒකලු මල පැනලා ඉන්නේ. ඉතින් ඕක මල පනින්න දෙයක්යැ. මේක සිරි ලංකාවනේ.

මට නිකමට හිතුණා.( ආහ් ! ඒ වුණාට මේක ග්‍රීක කතාවක්නේ. ඒකයි මේගොල්ලෝ කලබල වෙලා ඉන්නේ. මට පස්සේ සීන් එක ක්ලික්වුණා.)

 Drama එකට Base කරන් තියෙන්නේ ඇතැන්ස් සහ ස්පාටා පෞර රාජ්‍යවල  යුද්ධයක්. “ මේ අස්සේ චූලා ලොකු ටෝකක් දුන්නා.
කතාව මෙහෙමයි.කරැමෙට මේ යුද්ධේ දිගින් දිගටම ඇදෙනවා. මේ හින්දා පුත්තු නැතුව,අම්මලා දුක් විඳිනවා. කොල්ලෝ නැතුව අහිංසක කෙල්ලෝ ටික දුක් විඳිනවා. පව් අප්පා ! මට පස්සේ  හිතුණා. කෙල්ලෝ මග බලාගෙන හිටියට පිරිමි
ගෙදරට එන්නේ මාසෙකට සැරයලු.ඉතින් ගෙදර ඉන්න කෙල්ලෝ ටික කොල්ලෝ එනකං මග බලාගෙන ඉන්නවා.අතේ ඇඟිලි ගණන් කරනවා.  වයිෆ්ලා මග බලාගෙන ඉන්නවා. අම්මලා පඩිය උඩට වෙලා බලාගෙන ඉන්නවා.ඒත් යුද්දේ ඉවර වෙන පාටක් නැහැ. කට්ටියගේ රතු කට්ට පනින්නේ මේ හින්දා. කට්ටිය සෙට් වෙන්නේ මේ හින්දා. මේ යුද්දේ නවත්තලා, තමන්ගේ පිරිමි ටික ආයේ ගෙදෙට්ට ගෙන්න ගන්න විදිහක් තමයි කට්ටිය කල්පනා කරන්නේ.ඉතින් සමහරැ කියනවා අපි හොඳට ඇඳගෙන
ලස්සනට ඉමු කියලා. සමහරැ තව තව දේවල් කියනවා.ඒත් ලයිසිස්ට්‍රාටා මේ මොකටවත් කැමැති වෙන්නේ නැහැ. 

එයලා කියන්නේ අපි දැනෙන වැඩක් සෙට් කරමු කියලයි.නොදකින් විතරක් ! කට්ටියගේම ලීඩර් ලයිසිස්ට්‍රාටා නිසා කට්ටියම ඒකට “හා“ කිව්වා. අපිත් එතකොට කට ඇරගෙන බලන් හිටියා.මොකද මේක දැනෙන වැඩක්නේ.අනික ෆිල්ම්වල මේවා කොටු කොටු දාලා පෙන්නුවට,ස්ටේජ් ඩ්‍රාමාවල එහෙම පෙන්නන්න බැහැනේ.  (කොල්ලොන්ගේ වල් හිත් දන්නවනේ.) ඊට පස්සේ අපි පිරිමින්ට හොඳට දැනෙන දෙයක් කරමු කියලා ලීඩර් නංගී ආයෙත් කිව්වා. අප්පටසිරි ඒ කියන්නේ අපිව ඇඳෙන් බස්සන්නේ නැතුව ඇඳේම තියාගන්න ක්‍රමයක්වත්ද ? ඒ පාර අපිට හිතුණා. නැහැ අප්පා. එහෙම
දෙයක් නෙමෙයි.කෙල්ලෝ කියන්නේ  යුද්ධය නවත්තනකං අපිට ඇඳට එන්න දෙන්නේ නැතිලු. ලිංගික වර්ජනයක්ලු. මළ එළියයි. අපේ තුන් හිතකවත් තිබ්බේ නැහැ මේ වගේ අවලං අදහසක්.කට්ටියම කියනවා යුද්ධය නවත්වනකම් පිරිමින් එක්ක එකට ඇඳේ නිදා ගන්නේ නැහැ කියලා.ඒ මදිවට එනකොට ගෙවල්වල දොරවලුත් වහනවලු. ඒ හින්දා යුද්දේ අතරතුර ගෙදර එන පිරිමින්ට කන්නත් නැහැ. බොන්නත් නැහැ.ඉන්නත් නැහැ. වර්ජනය නිසා අරවත් නැහැ. මොකද කට්ටියම කලින්ම ප්ලෑන් කරලා ආණ්ඩුවේ භාණ්ඩාගාරයත් අල්ලගෙන. ඒක තියෙන්නේ දේවස්ථානයේ. කට්ටියම කියන්නේ තමන්ගේ වැඩේ කෙරෙනකං ගෙදර එන්නේ නැහැ කියලයි. අනික මේකට දෙපැත්තෙම ගෑණු ටික ෆුල් සපෝර්ට්.ඒ හින්දා කොල්ලන් දැන් ෆුල් හොල්මන්. උන් විතරක් නෙමෙයි ඒක බලපු අපිත් දැන් ෆුල් හොල්මන්.ඒ හින්දා මායි ෂැගියායි කට ඇරගෙනමයි.ජිල් බුට්ටා ස්ටේජ් එක ගිල ගන්න වගේ.ඒ මදිවට බබියා භීරාන්ත වෙලා. ඌටත් හිතාගන්න බැහැ වෙන්නේ මොනවද කියලා.ඒ අස්සේ කොටා නිකම් පොර වගේ හක හක ගානවා.

මේ හින්දා අපි තමයි වෙන්ඩ්ට් එකෙන් අන්තිමටම ගියේ. අපි එච්චරට ෂොක් වෙලා.හැබැයි කොටා ඇරෙන්න. නාට්‍ය ඉවරවෙනකංම නාට්‍ය ඉවර වුණාද කියලා තේරැණේ නැහැ.
ඒ හින්දා අපි එදා රූම මේකට ඉක්මන් පියවරක් ගත්තා. හරියට පොලිස් පරීක්ෂකයෝ වගේ.හැබැයි අපිට නම් ඒකට එච්චර වෙලා ගියේ නැහැ. ඒ අනුව අපි නිරීක්ෂණය මගින් නිගමනයකට ආවා. නාට්‍යය ආයෙත්  බලන්න තීරණය කළා. මොකද මං අහලා තියෙනවා බලපු නාට්‍යයක් ආයෙත් බැලුවම ඒක ඇත්තටම රියල් එකක්ද කියලා හොයාගන්න පුළුවන් කියලා. ඕක හැබැයි කව්රැ හරි පොරක් තමයි කියලා තියෙන්නේ. ඒත් මේ පාර නම් ලොකු කොල්ලෝ සෙට් එකක් එකතු කරගෙන තමයි මේක බලන්නේ.මොකද  එතකොට තමයි අපිට අනික් උන් ෂොක් වෙනකොට, මේක ගැන පම්පෝරි ගහන්න පුළුවන් වෙන්නේ. කොහොමද අයිඩියා එක ! Hikz       

බර්ටෝල්ට් බ්‍රෙච්ට් හඳුන්වා දුන් එපික් (Epic) රංග ශෛලිය -තරුණයා - 2012/09/02



බර්ටෝල්ට් බ්‍රෙච්ට් හඳුන්වා දුන් එපික් (Epic) රංග ශෛලිය

බර්ටෝල්ට් බ්‍රෙච්ට් ලොවට හඳුන්වා දුන් රංග ශෛලියක් වශයෙන් එපික් රංග ශෛලිය හඳුන්වාදිය හැකිය.දුරස්ථීකරණය මූලික කර ගත් සිද්ධාන්තයක් බැවින් ඇතැමුන් දුරස්ථීකරණය නමින් ද හැඳින්වෙන මෙය ඇතැමුන් විසින් ආඛ්‍යාන රංග රීතිය ලෙසින් ද හඳුන්වනු ලැබේ. කෙසේ වෙතත් මෙම රංග රීතිය අනෙක් රීතීන්ගෙන් වෙනස්වන්නේ මන්ද ? මෙයින් හැඟෙන්නේ කුමක්ද ? මෙහි අරමුණූ කවරේද ? මේ තරැණයා විසින් ඒ පිළිබඳ කෙරෙනා කෙටි විමසුමකි.

1950 දශකයේ යුරෝපයේ ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වූ රංග රීතියක් වු මෙය මුල්වරට කළඑළි බැස්සේ ජර්මනියේදීය. ඒ බර්ටෝල්ට් බ්‍රෙච්ට් අතිනි. තම ආත්ම ප්‍රකාශනය සෘජුව ප්‍රකාශ කළ නොහැකි වකවානුවක රටින් රටට පැන යමින්, තම ජීවිත සමග අරගල කරමින්, තම ජීවිතය පරදුවට තබමින් නාට්‍ය නිර්මාණය කළ බ්‍රෙච්ට්,විප්ලවීය නාට්‍යකරැවෙකි සේ හැඳින්වේ. එනිසාවෙන් ඔහුගේ නාට්‍ය නිර්මාණ තුළ පවා තිබුණේ විප්ලවීය අදහස්ය.

බ්‍රෙච්ට් පවසන අන්දමට වීර කාව්‍යයකදී නාට්‍ය නිර්මාණයක පුද්ගලයකු එහි ප්‍රධාන චරිතය බවට පත්වන්නේ ඔහු නිසා නොව ඔහු වටා ගෙතෙනා කතාව හේතුවෙනි.එමෙන්ම ආඛ්‍යාන රංග රීතියේදී හෙවත් දුරස්ථිකරණයේදී අදාළ පුද්ගලයා ප්‍රධාන වූ විට ප්‍රේක්ෂකයා එම පුද්ගලයා වටා ගොනු වන පවසන බ්‍රෙච්ට්,එවිට අදාළ පුද්ගලයා එම තත්ත්වයට පත්වන සිද්ධීන් සමුදාය යටපත් වන්නේ එම පුද්ගලයාට ඇති ආකර්ෂණය නිසා බව ද තවදුරටත් පවසන්නේය.එනම් ඔහුගේ අදහසට අනුව නාට්‍යයකදී හෝ සිනමා කෘතියකදී නළුවා හෝ නිළිය ප්‍රධාන චරිතය බවට පත්වන්නේ පුද්ගලයා නිසා නොව අදාළ පුද්ගලයා එම තත්ත්වයට බලපෑම සඳහා හේතු වූ සිද්ධීන්වල ප්‍රබලත්වය හේතුවෙනි.

කෙසේ වෙතත් බ්‍රෙච්ට්ගේ මෙවැනි සිද්ධාන්ත සඳහා ග්‍රීක සාහිත්‍යයේ එන හෝමර්ගේ ඊලියට් සහ ඔඩෙසි යන වීර කාව්‍යයන් බලපෑ බව කියැවෙන අතර ඔහුගේ රචනා විලාසය සැකසී ඇත්තේ හෝමර්ට අනුව බව විචාරකයන්ගේ මතයයි.

එහෙත් බ්‍රෙච්ට් විසින් තම රංග රීතිය හඳුන්වාදෙන්නේ මෙලෙසිනි.

“ඔබ බනින්නේ කාටදැයි මට කියන්න.ඔබ ගුණ වනන්නේ කාටදැයි මට කියන්න.එවිට ඔබ කව්දැයි මම කියන්නම්“

යම් චරිතයක් හඳුන්වාදීමේදී එය කිනම් තරාතිරමක චරිතයක්ද, කිනම් සමාජ කොට්ඨාසයක් නියෝජනය කරන්නේද, කිනම් කාලවකවානුවක් නියෝජනය කරන්නේද ආදිය නිර්ණය කිරීමේදී සහ චරිත වර්ගීකරණය කිරීමේදී ඉතා වැදගත් වූ සිද්ධාන්තයක් සේ සැළකිය හැකි මෙම එපික් රංග ශෛලිය, නළු නිළියන්ට පවා ඉතා වැදගත් වන්නේ චරිත නිරෑපණය කිරීම,චරිත අතර ගැටුම් නිර්මාණය,චරිත අතර සිද්ධීන් නිර්මාණය කිරීමට බලපානා බැවිනි.

ඇතැමුන් විසින් මෙම ආඛ්‍යාන රංග රීතිය,දුරස්ථිකරණය නමින් හැඳින්වීමට ද ඉතා ප්‍රබල හේතුවක් තිබේ. එනම් බර්ටෝල්ට් බ්‍රෙච්ට්ගේ බොහෝ නාට්‍යවල වීරයකු නොසිටීමයි. පුද්ගලයා අභිබවා පුද්ගලයාගේ වැඩ කටයුතු සම්බන්ධ සිද්ධීන් ඉස්මතු කරනා බ්‍රෙච්ට් පවසන්නේ ප්‍රේක්ෂකයා විසින් කිසිම චරිතයක් වර්ණනා කළ නොයුතු බවත් කිසිම චරිතයක් ගර්හාවට ලක්කළ නොයුතු බවත්ය.තදාත්මයෙන් ආදරය නොකිරීම හෝ නිගා කිරීම සිදුකිරීමෙන් වැළකීම යන අදහසින් බ්‍රෙච්ට්ගේ නාට්‍ය තදාත්ම විඝටන(Alienation) නාට්‍ය ලෙස ද හැඳින්වෙන්නේ මේ නිසාවෙනි.එනම් බ්‍රෙච්ට් පවසන අන්දමට ප්‍රේක්ෂකයා නාට්‍යයක් නැරඹිය යුත්තේ උපේක්ෂා සහගතවය.ප්‍රේක්ෂකයා නැවත විමසිය යුත්තේ අදාළ චරිතය මෙවැනි තත්ත්වයකට පත්වූයේ මන්දැයි යන්නය.මේ අනුව ප්‍රේක්ෂකයා නාට්‍ය දෙස බැලිය යුත්තේ විචක්ෂණශීලීවය.බුද්ධිමත්වය.තමා විශ්වාස කරන දේ පමණක් නිරවද්‍ය යැයි සිතමින් නාට්‍යයේ තේමාව ග්‍රහණය කර ගත නොහැකි බව බ්‍රෙච්ට් පවසන්නේ එනිසාවෙනි.

එකල ජර්මන් කොමියුනිස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු වූ බ්‍රෙච්ට්ගේ සියලු නාට්‍ය ප්‍රේක්ෂකයා උදෙසා,ප්‍රේක්ෂකයාගේ බුද්ධිය අවදිකරලීම උදෙසා බිහි වූ නිර්මාණ වන අතර ප්‍රේක්ෂකයා නාට්‍යයේ එක් සිද්ධියක් හෝ එක් චරිතයක් පිළිබඳව නොව සමස්තය දෙස බැලීමට හුරැ කළ ඒවා විය. එනම් ඒ සියල්ලක් තුළම එපික් රංග ශෛලිය ගැබ් වී තිබිණ.මේ සියල්ලක් තුළම ඒකලනය ගැබ් වී තිබිණ.මේ සියල්ලක් තුළම ආඛ්‍යාන රංග රීතිය ගැබ් වී තිබිණ.(මේ පද සියල්ලකම අරැත සමානය.)

මාලන් විදානපතිරණ

විශේෂ ස්තුතිය
නාට්‍ය හා රංග කලාව පිළිබඳ බාහිර කථිකාචාර්ය, ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ මහතාට