බර්ටෝල්ට් බ්‍රෙච්ට් හඳුන්වා දුන් එපික් (Epic) රංග ශෛලිය
බර්ටෝල්ට් බ්‍රෙච්ට් ලොවට හඳුන්වා දුන් රංග ශෛලියක් වශයෙන් එපික් රංග ශෛලිය
හඳුන්වාදිය හැකිය.දුරස්ථීකරණය මූලික කර ගත් සිද්ධාන්තයක් බැවින් ඇතැමුන්
දුරස්ථීකරණය නමින් ද හැඳින්වෙන මෙය ඇතැමුන් විසින් ආඛ්‍යාන රංග රීතිය ලෙසින් ද
හඳුන්වනු ලැබේ. කෙසේ වෙතත් මෙම රංග රීතිය අනෙක් රීතීන්ගෙන් වෙනස්වන්නේ මන්ද ?
මෙයින් හැඟෙන්නේ කුමක්ද ? මෙහි අරමුණූ කවරේද ? මේ තරැණයා
විසින් ඒ පිළිබඳ කෙරෙනා කෙටි විමසුමකි.
1950 දශකයේ යුරෝපයේ ඉතා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වූ රංග රීතියක් වු මෙය මුල්වරට
කළඑළි බැස්සේ ජර්මනියේදීය. ඒ බර්ටෝල්ට් බ්‍රෙච්ට් අතිනි. තම ආත්ම ප්‍රකාශනය සෘජුව
ප්‍රකාශ කළ නොහැකි වකවානුවක රටින් රටට පැන යමින්, තම ජීවිත සමග අරගල කරමින්, තම
ජීවිතය පරදුවට තබමින් නාට්‍ය නිර්මාණය කළ බ්‍රෙච්ට්,විප්ලවීය නාට්‍යකරැවෙකි සේ
හැඳින්වේ. එනිසාවෙන් ඔහුගේ නාට්‍ය නිර්මාණ තුළ පවා තිබුණේ විප්ලවීය අදහස්ය.
බ්‍රෙච්ට් පවසන අන්දමට වීර කාව්‍යයකදී නාට්‍ය නිර්මාණයක පුද්ගලයකු එහි ප්‍රධාන
චරිතය බවට පත්වන්නේ ඔහු නිසා නොව ඔහු වටා ගෙතෙනා කතාව හේතුවෙනි.එමෙන්ම ආඛ්‍යාන රංග
රීතියේදී හෙවත් දුරස්ථිකරණයේදී අදාළ පුද්ගලයා ප්‍රධාන වූ විට ප්‍රේක්ෂකයා එම
පුද්ගලයා වටා ගොනු වන පවසන බ්‍රෙච්ට්,එවිට අදාළ පුද්ගලයා එම තත්ත්වයට පත්වන
සිද්ධීන් සමුදාය යටපත් වන්නේ එම පුද්ගලයාට ඇති ආකර්ෂණය නිසා බව ද තවදුරටත්
පවසන්නේය.එනම් ඔහුගේ අදහසට අනුව නාට්‍යයකදී හෝ සිනමා කෘතියකදී නළුවා හෝ නිළිය ප්‍රධාන
චරිතය බවට පත්වන්නේ පුද්ගලයා නිසා නොව අදාළ පුද්ගලයා එම තත්ත්වයට බලපෑම සඳහා හේතු
වූ සිද්ධීන්වල ප්‍රබලත්වය හේතුවෙනි.
කෙසේ වෙතත් බ්‍රෙච්ට්ගේ මෙවැනි සිද්ධාන්ත සඳහා ග්‍රීක සාහිත්‍යයේ එන
හෝමර්ගේ ඊලියට් සහ ඔඩෙසි යන වීර කාව්‍යයන් බලපෑ බව කියැවෙන
අතර ඔහුගේ රචනා විලාසය සැකසී ඇත්තේ හෝමර්ට අනුව බව විචාරකයන්ගේ මතයයි.
එහෙත් බ්‍රෙච්ට් විසින් තම රංග රීතිය හඳුන්වාදෙන්නේ මෙලෙසිනි.
“ඔබ බනින්නේ කාටදැයි මට කියන්න.ඔබ ගුණ වනන්නේ කාටදැයි මට කියන්න.එවිට ඔබ
කව්දැයි මම කියන්නම්“
යම් චරිතයක් හඳුන්වාදීමේදී එය කිනම් තරාතිරමක චරිතයක්ද, කිනම් සමාජ
කොට්ඨාසයක් නියෝජනය කරන්නේද, කිනම් කාලවකවානුවක් නියෝජනය කරන්නේද ආදිය නිර්ණය
කිරීමේදී සහ චරිත වර්ගීකරණය කිරීමේදී ඉතා වැදගත් වූ සිද්ධාන්තයක් සේ සැළකිය හැකි
මෙම එපික් රංග ශෛලිය, නළු නිළියන්ට පවා ඉතා වැදගත් වන්නේ චරිත නිරෑපණය කිරීම,චරිත
අතර ගැටුම් නිර්මාණය,චරිත අතර සිද්ධීන් නිර්මාණය කිරීමට බලපානා බැවිනි.
ඇතැමුන් විසින් මෙම ආඛ්‍යාන රංග රීතිය,දුරස්ථිකරණය නමින් හැඳින්වීමට ද ඉතා
ප්‍රබල හේතුවක් තිබේ. එනම් බර්ටෝල්ට් බ්‍රෙච්ට්ගේ බොහෝ නාට්‍යවල වීරයකු නොසිටීමයි. පුද්ගලයා
අභිබවා පුද්ගලයාගේ වැඩ කටයුතු සම්බන්ධ සිද්ධීන් ඉස්මතු කරනා බ්‍රෙච්ට් පවසන්නේ ප්‍රේක්ෂකයා
විසින් කිසිම චරිතයක් වර්ණනා කළ නොයුතු බවත් කිසිම චරිතයක් ගර්හාවට ලක්කළ නොයුතු
බවත්ය.තදාත්මයෙන් ආදරය නොකිරීම හෝ නිගා කිරීම සිදුකිරීමෙන් වැළකීම යන අදහසින් බ්‍රෙච්ට්ගේ
නාට්‍ය තදාත්ම විඝටන(Alienation) නාට්‍ය ලෙස ද හැඳින්වෙන්නේ මේ නිසාවෙනි.එනම්
බ්‍රෙච්ට් පවසන අන්දමට ප්‍රේක්ෂකයා නාට්‍යයක් නැරඹිය යුත්තේ උපේක්ෂා සහගතවය.ප්‍රේක්ෂකයා
නැවත විමසිය යුත්තේ අදාළ චරිතය මෙවැනි තත්ත්වයකට පත්වූයේ මන්දැයි යන්නය.මේ අනුව ප්‍රේක්ෂකයා
නාට්‍ය දෙස බැලිය යුත්තේ විචක්ෂණශීලීවය.බුද්ධිමත්වය.තමා විශ්වාස කරන දේ පමණක්
නිරවද්‍ය යැයි සිතමින් නාට්‍යයේ තේමාව ග්‍රහණය කර ගත නොහැකි බව බ්‍රෙච්ට් පවසන්නේ
එනිසාවෙනි.
එකල ජර්මන් කොමියුනිස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු වූ බ්‍රෙච්ට්ගේ සියලු
නාට්‍ය ප්‍රේක්ෂකයා උදෙසා,ප්‍රේක්ෂකයාගේ බුද්ධිය අවදිකරලීම උදෙසා බිහි වූ නිර්මාණ
වන අතර ප්‍රේක්ෂකයා නාට්‍යයේ එක් සිද්ධියක් හෝ එක් චරිතයක් පිළිබඳව නොව සමස්තය දෙස
බැලීමට හුරැ කළ ඒවා විය. එනම් ඒ සියල්ලක් තුළම එපික් රංග ශෛලිය ගැබ් වී තිබිණ.මේ
සියල්ලක් තුළම ඒකලනය ගැබ් වී තිබිණ.මේ සියල්ලක් තුළම ආඛ්‍යාන රංග රීතිය ගැබ් වී
තිබිණ.(මේ පද සියල්ලකම අරැත සමානය.)
මාලන් විදානපතිරණ
විශේෂ ස්තුතිය
නාට්‍ය හා රංග කලාව පිළිබඳ බාහිර කථිකාචාර්ය, ප්‍රවීණ රංගවේදී
ජයලාල් රෝහණ මහතාට
No comments:
Post a Comment