Sunday, July 7, 2013

ඉස්සරහට ද පස්සටද (කෙටි කතාව) - 2013/01/05 - GO Magazine





එදත් මං පුරැදු විදිහට රස්සාවට යන්න ඩිපෝව කිට්ටුවට ගියා. ඒත් බස් එකේ කට කපලා සෙනඟ. කොහාමත් ඉතින් උදෙන් ආපු මට එච්චර පරක්කුවක් තිබුණේ නැහැ.මොකද මං බලන් හිටියේ ඩිපෝවෙන් සි.ටී.බී බස් එක පිටත් වෙනකම්.

“අම්මෝ මේ බස්වල සෙනඟ ! “ ප්‍රයිවට් බස් දැකපු මට කියවුණා.

ඒත් එතකොටම වගේ තමයි අර හිස් සී.ටී.බී බස් එක අපේ පැත්තට ආවේ.මම ඉතින් තිබ්බ හදිසියට පැන්නා පාරට. දික් කලා අත බස් එකට. හැබැයි තව පොඩ්ඩක් ඉක්මන් වුණා නම් මං මෙලහකට පොළොවේ යට. කොහොමෙන් කොහොමෙන් හරි මමත් ඔන්න බස් එකට නැග්ගා.

“අඩේ.....“ නැග්ග ගමන් මට කියවුණා.

“බස් එක හිස් වගේ පෙනුනට,අද ඒකේ තව මනුස්සයෙක් ඉන්නවනේ ?“
මමත් ඉතින් පොඩ්ඩක් ඒ මනුස්සයා ගැන විපරම් කළා. අහල පහළ කෙනෙක්ද දන්නේ නෑනේ.

“මහත්තයා කොහාටද ?“ එතකොටම තමයි කොන්දොස්තර මහත්තයා මගේ පිටට තට්ටු කළේ.

එතකොටයි මට ටිකට් ගන්න මතක් වුණේ. බලනකොට මම එතකං බලං ඉඳලා තියෙන්නේ, ඒ මනුස්සයා දිහා.

“කොල්ලුපිටියට“ මං ටිකට් ගත්තා.

ඊට පස්සේ මම ආයෙත් අර මනුස්සයා දිහා බලං හිටියා.
එයා කොණ්ඩේ ඉදුණු වයසක කෙනෙක්. ඒත් කොණ්ඩෙන් කොහොමද වයස මනින්නේ ?  ඒ මනුස්සයට ඒ හැටි වයසක් පෙනුණෙත් නැහැ.එහෙමයි මට හිතුණේ.

එතකොටම වගේ ජනේලයෙන් පාර දිහා බල බල හිටපු එයා, වටපිට බලන්න පටන් ගත්තා. හරියට බහින තැන අමතක වුණා වගේ. එතකොටයි මම ඒ මනුස්සයාව හරියටම අඳුරගත්තේ. මගේ ඇඟ හිරිවැටෙන්න ගත්තා. ඇඟ වෙව්ලන්න පටන් ගත්තා. හරියට මරන්න අරන් යන හරකෙක් වගේ.

මගේ හිත අවුරැදු 10ක් ආපස්සට ගියේ එතකොටයි. එවේලේ එදා වෙච්ච සිද්ධිය දෝංකාර දෙන්න පටන් ගත්තා.

මම එතකොට හය වසරේ.ඒ දවස්වල මම ෆුල් ජොලියේ හිටියේ. මොකද තාත්තා මට අලුත්ම අලුත් මවුන්ටන් බයිසිකලයක් අරන් දීලයි තිබුණේ. මම ඉතින් ඒක පදින්න මාර ට්‍රයි. අපේ යාළුවෝත් ඒකට ෆුල් සපෝර්ට්. මොකද අලුත්ම බයිසිකලයක්නේ. උන්ටත් ඕන කළේ මාව සතුටු කරලා බයිසිකලේ පදින්න චාන්ස් එකක් ගන්න. කොහෙන් කොහොම හරි අන්තිමට මම බයිසිකලේ බැලන්ස් කර ගත්තා. ඒත් පොඩි අන්බැලන්ස් ගතියක් නොතිබුණාම නෙමෙයි. ඒත් තනියෙන් බයිසිකලේ පදින්න පුළුවන්කමක් තිබුණා.ඉතින් මමත් අපේ කොන්ක්‍රීට් පාරේ කඟවේණා වගේ ඉගිල්ලෙන්න පටන් ගත්තා. එහාට ගියා. මෙහාට ගියා. මට දැන් මාර හැපී. ඔහොම දවසක් දෙකක් ගියා. බයිසිකලයෙන් යනකොට භුමිතෙල් බෝතලයක් ගෙනියන මනුස්සයෙක් පාරේ අයිනෙන් ගියා.මං බැලුවා පොඩි වෙට්ටුවක් දාන්න. වැඩ පෙන්නන්න මරැ චාන්ස් එක. ට්‍රයි කළේ මනුස්සයගේ ඇඟේ ගැවී නොගෑවී යන්න.ඒත් එතකොටම ඒ මනුස්සයත් එකපාර පැන්නා පාර මැද්දට. ආපු වේගෙට මටත් බයිසිකලේ ක්‍රන්ට්‍රොල් කරගන්න බැරි වුණා. අතේ තිබ්බ භුමිතෙල් බෝතලේ කුඩේ කුඩු. මෑන්ට හොඳටම මල පැන්නා.මොකද මෙච්චර ඉඩ තියෙද්දි මමත් මෝඩයා වගේ එයාගේ දිහාවටම ආවානේ.අනික මගේ බයිසිකලේ හැන්ඩ්ල් එකත් ටිකක් දිගයි. ඒ හින්දා ඒක මෑන්ගේ දකුණූ උරෙස්සේ ටිකක් සැරට වැදිලා.දැන් මෑන්ගේ ඇස් දිලිසෙනවා. අනික මගේ බයිසිකලේ පදින්න පොරකාපු එක යාළුවෙක්වත් ළඟට නැහැ. උන් ඔක්කොම ඈත ඉඳන් බලන් ඉන්නවා. හරියට හරකෙක් මරන්න ඇදන් යන හැටි බලන් ඉන්නවා වගේ.  දැන් මම බයේ වෙව්ලනවා.ඒත් මගේ වෙලාව හොඳයි. එදා මගේ මාමා කෙනෙක් ඇවිත් මාව බේරා ගත්තා.ඒත් මෑන් එතැනින් ගියේ නයි වයිරයෙන්.එහෙමයි මට හිතුණේ. ආයේ හම්බවුණොත් මාව ඉවර කරනවා. එහෙමයි ඇස්වල ලියැවිලා තිබ්බේ.ඒත් එදා ඒ ඇස් තිබුණ මෑන් අද මගේ බස් එකේ.

එතකොටම මෑන් මගේ දිහා බැලුවා. හරියට අඳුරන්නේ නැති කෙනෙක් දිහා බලනවා වගේ. ඊට පස්සේ යාන්තමින් හිනා වුණා. අනික ඒ හිනාවේ තිබ්බේ හරිම දුකක්. ඒ හිනාව හරිම බයාදු හිනාවක්. මගේ ඉස්සරහ හිටියේ දුක් කරදරවලින් හෙම්බත් වෙච්ච ඇස් දෙකක්. හකු බැහැපු මූණත්තහඩුවක්. ඇට ගැහුණු බොඩියක්. අත්වල නහර පවා පේනවා. හරියටම කිව්වොත් ජීවිතෙන් පරාද වෙච්ච කෙනෙක් තමයි එතැන හිටියේ. මම බිම බලාගෙන කල්පනා කළා. අද මම ජය මාවතට ඇවිල්ලා. මම ඒ පාර දිගේ ඉස්සරහටම යන ගමන්. ඒත් මේ මනුස්සයා ? මම ආයෙත් මේ අහිංසක මනුස්සයා දිහා බැලුවා.ඒත් එතකොට එයා එතැන නැහැ. මම වටපිට බැලුවා. මම දැක්කා එයා ආපස්සට යනවා, මගින් බැහැලා. මම ආපහු පිටපස්ස බැලුවා.මට හිතුණා ගිහින් කතා කරන්න ඕනේ කියලා. මම දොර ගාවට ගියා. හරියට බහින්න වගේ.ඒත්,

“මහත්තයා බහිනවද ? හෝල්ට් එක පහු උනානේ ?“ කොන්දොස්තර මහත්තයා මගෙන් එතකොටම වගේ ඇහුවා.

මම නැහැ කියලා ඔළුවෙන් ඔව් කිව්වා. ආයෙත් නැහැ කිව්වා. ඒත් මම දෙන්න ඕනේ මොන උත්තරේද කියලා මට තාම හිතා ගන්න බැහැ.       

මාලන් විදානපතිරණ




  
   

No comments:

Post a Comment