Sunday, July 7, 2013

ප්‍රවීණ ගී පද රචක මහින්ද අල්ගම සමග සම්මුඛ සාකච්ඡාවක් - (අද) - 2012/11/14



අද තිබෙන්නේ මයික්‍රොෆෝනය තෙල් බෙහෙත් කාරයින්ට අහුවුණා වගේ තත්ත්වයක්

සටහන - මාලන් විදානපතිරණ

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ ගී පද රචකයන් අතරින් මහින්ද අල්ගමයන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.නන්දා මාලිනි ගායනා කරන රැක් අත්තන මල මුදුනේ, චන්දු මඩුලු යට වැනි ගීත මෙන්ම ඉර ගල වැටෙනා,  උදා ළහිරැ හිනැහේ ආදී ගීතත්, අමරදේවයන්ගේ ඔබ ලියූ අකුරැ වැල්, චන්ද්‍රානී ගුණවර්ධනගේ රාං කුරැල්ලෝ,ඉන්ද්‍රානී විජේබණ්ඩාරගේ රන් සූටික්කෝ වැනි ජනප්‍රිය ගීත නිර්මාණ රුසක් ප්‍රබන්ධ කළ අල්ගම විසින් විරචිත
නිසයුරැ මුතුලැල්, හිරැ එනකොට එකසේ යන ළමා ගීත ද ඉතා ජනප්‍රියයි. 2011 වසරේ පැවැති රාජ්‍ය සංගිත සම්මාන උත්සවයේදී ගී පදර රචකයකු ලෙස සංගීත ක්ෂේත්‍රයට කළ මහඟු මෙහෙවර වෙනුවෙන් මහගමසේක්ර අනුස්මරණ සම්මාන පවා දිනා ගත් ඔහු, 2010‍  වසරේ පැවැති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ‍ තරැ මුතු කුමරිය ළමා ගීත සංග්‍රහය වෙනුවෙන් හොඳම ළමා ගීත රචනා සංග්‍රහයට හිමි සම්මානය ද දිනා ගත්තෙකි.ඔහු දැනට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල අංශයේ සේවය කරන අතර මේ දැක්වෙන්නේ ඔහු සමග කළ සංවාදයක සටහනකි.

අද වන විට මහින්ද අල්ගම සලකුණ සංගීත ක්ෂේත්‍රය තුළින් මතුවන්නේම නැති තරම්. මේක ඇත්තක්ද ?

මෙහෙමයි. අපි අතින් ගීත ලියැවෙනවා මිසක් ගීත ලියන්නේ නැහැ.මොකද අපි පාසැල් යන කාලේ ඉඳන්ම ගීත රචනා කළා.ඒත් ඒක අපේ ආත්ම තෘප්තිය වෙනුවෙන් කළ දෙයක්. එහෙම නැත්නම් විනෝදාංශයක් වශයෙන් කළ දෙයක්.ඒ නිසා අපිට තරගෙට ගීත ලියන්න බැහැ. සල්ලිවලට ගීත ලියන්නත් බැහැ. ලියැවෙන්නෙත් නැහැ.තොග පිටින් ගීත ලියන්නත් බැහැ. මේ නිසා වෙන්න ඇති ඔවැනි මතයක් ගොඩ නැගී තිබෙන්නේ.

ඔබ කාලයක් තිස්සේ ළමා ගීත රචනා කළ ගී පද රචකයෙක්. අද වන විට ළමා ගීත සංස්කෘතිය කඩා වැටිලා කිව්වොත්?

නැහැ. ඒක මට පිළිගන්න අමාරැයි. මොකද අදත් ගුවන් විදුලිය හරහා හොඳ ළමා ගීත නිර්මාණය වෙනවා.ඒත් අපි මේ ගැන සාපේක්ෂව කතා කළොත් හැට හැත්තෑව දශකයේ තරම් ඉහළ මට්ටමක අද එය නැහැ. ඒත් ඒකට හේතුව ළමා ගීත කලාවේ ගුණාත්මක බව පිරිහීමම නෙමෙයි.හරියටම කිව්වොත් රෑපවාහිනියේ ආගමනයත් සමග තමයි ගුවන් විදුලියේ කඩා වැටීම ආරම්භ වුණේ. ඒ නිසා කරැණාරත්න අබේසේකර, ආනන්ද රාජකරැණා, සිරි අයියා (යූ. එස්. පෙරේරා) වැනි ගුවන් විදුලි ශිල්පීන් විසින් ඉදිරියට ගෙන ආ ළමා ගීත සංස්කෘතිය අඩපණ වුණා. ළමයින් කාටූන් බලන්න පුරැදු වුණා.පෞද්ගලික නාලිකා ආරම්භ වුණා.ඒ නිසා මට කියන්න තියෙන්නේ වර්තමාන ළමා ගීත සංස්කෘතිය අඩපණ වෙලා තියෙනවා නම්, ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ විවෘත ආර්ථිකය බවයි.මේවා විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵල.අනික තවමත් ගුවන් විදුලිය තුළ නොයෙකුත් අත්හදා බැලීම් සිදුවෙනවා. නව ආරේ ළමා ගීත නිර්මාණය වෙනවා. ඒ නිසා අද අපි සරත් දසනායක,සනත් නන්දසිරි වගේ සංගීතඥයන් විසින් ඉදිරියට ගෙන ආ පර්යේෂණ ගීත 
 සංස්කෘතිය අදටත් ආරක්ෂා කරගෙන සිටිනවා.ඉදිරියට ගෙන ගොස් තිබෙනවා

ප්‍රවීණ ගී පද රචකයෙක් හැටියට වර්තමාන ගීතය පිළිබඳ ඇසුවොත් ?

අද ලංකාවේ ගීතය කියලා දෙයක් නැහැ.මොකද අද තිබෙන බොහොමයක් ගීත කකුල් දෙකටයි හැදෙන්නේ. හදවතට නෙමෙයි. ඒ නිසා අද විරහ ගීතයක් ගායනා කරන්නේත් වේග රිද්මයෙන්.ඔවුන් දන්නේ නැහැ හැඟීම් මොනවද කියලාවත්. ඒ නිසා වර්තමාන ගීතය තුළින් සම්පුර්ණයෙන්ම වගේ සාහිත්‍යය ගිලිහිලා ගිහින්. ඒ වගේම අද රසිකයාගේ පවා රසඥතාවය මොට වෙලා ගිහින්.ඒ නිසා ඔවුන් දන්නේ නැහැ ගීතයක් නිවැරදිව රසවිඳින්නේ කොහොමද කියලාවත්.මොකද අද අපිට ඇහෙන්නේ සංගීතයකට වඩා ගොරහැඬි ශබ්ද ටිකක්.


ඒත් වත්මන් සංගීත ක්ෂේත්‍රය තුළ තිබෙන්නේ රාගධාරී සංගීතය හෝ ජන සංගීතය පමණක්ම නෙමෙයි ?

ඔව්. මම කියන්නේ නැහැ පොප්, රොක්, හිපොප් වගේ සංගීත ශෛලි එපා කියලා.ඒත් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපේ අය මේ ශෛලින් කොතරම් දුරට අධ්‍යයනය කළාද යන්නයි.පොප්, හිපොප්, රොක් කෙතාරම් දුරට වෙන් කර හඳුනාගත්තාද යන්නයි.මොකද අද අපිට ඇහෙන්නේ පොප්, රොක් යැයි කියා ගත්, හරසුන් වචන ටිකක්.එහෙම නැත්නම් මහ විකාර වචන ටිකක්.

ඒත් මෙයින් අපට හැඟෙන්නේ, ඔබ තරැණ සංගීත ශිල්පීන් පිළිබඳව වපර ඇසකින් බලනවා කියලයි ?

කොහෙත්ම නැහැ.ඒක සම්පූර්ණ වැරදි අදහසක්.මොකද අද අපිට දක්ෂ ගී පද රචකයන් නැතුවාම නෙමෙයි. විශේෂයෙන්ම ධම්මික බණ්ඩාර වගේ ගී පද රචකයන් අතින් හොඳ නිර්මාණ කෙරෙනවා.ඒ වගේම සුනිල් එදිරිසිංහ ගායනා කරන මේ තරම් සියුමැලිද කළු ගල් ගීතය ලියූ ගී පද රචකයාටත් හොඳ අනාගතයක් තිබෙනවා.ඒත් මෙතැන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ, මොවුන්ට නිසි අවස්ථාවක් නොලැබීමයි.ඔවුන්ට නිසි පිළිගැනීමක් නොලැබීමයි.

ඔබ ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියෙකු හැටියට සාහිත්‍යය ගැන මොකද හිතන්නේ ?

කාලයක් තිස්සේ අඩපණ වෙලා තිබුණූ කවිය අද ඉදිරියට පැමිණ තිබෙනවා. ඒක සතුටට කරැණක්. ඒත් කාව්‍ය සංස්කෘතියේ උච්චතම අවධිය ලෙස සැළකෙන්නේ හැත්තෑව දශකය.ඒත් විවෘත ආර්ථිකයත් සමග කවිය ඇතුළු සාහිත්‍යය සංස්කෘතිය විනාශ වුණා. විශේෂයෙන්ම කලාව කන්නද වැනි ජන මත ගොඩ නැගීම නිසා සාහිත්‍යය ජනයාගෙන් දුරස් වුණා. ඒවායේ ප්‍රතිඵල තමයි අද අපි විඳවන්නේ. ඒ පාපයට අද තරැණ සාහිත්‍යකරැවනුත් මුහුණ පා තිබෙනවා.

කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨයන් විසින් තරැණයන්ට එල්ල කරන ප්‍රධානම චෝදනාව තමයි කියවීම දුර්වල වීම. මේ ගැන ඔබ මොකද හිතන්නේ ?

ඒ චෝදනාව මමත් කරනවා. මොකද අද පරිගණකය, අන්තර්ජාලය,රෑපවාහිනිය, වීඩියෝ ක්‍රීඩා ආදිය නිසා පොත්පත් කියවීම නව පරපුරෙන් ගිලිහිලා. ඔවුන් අද පරිගණකයෙන් ගත යුතු දේ නෙමෙයි ගන්නේ. රෑපවාහිනියෙන් ගත යුතු දේ නෙමෙයි ගන්නේ. අන්තර්ජාලය හරහා කරන්නේත් අනවශ්‍ය දේවල්.ඒ නිසා මෙවැනි මාධ්‍ය භාවිතා කරමින් ගවේෂණ කටයුතු කරන්නේ සුළු ප්‍රමාණයක්. අනික අද ළමයින්ගේ සාහිත්‍යය පිළිබඳ දැනුම බින්දුවයි.ඔවුන් දන්නේ ෆේස්බුක්වලින් චැට් කරන්න විතරයි.ඔවුන් දන්නේ වැදගැම්මකට නැති වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමට පමණයි.ඒත් මම කියන්නේ නැහැ වීඩියෝ ක්‍රීඩා එපා කියලා. ඒත් ඒ වීඩියෝ ක්‍රීඩාව තුළින් මනස වර්ධනය වෙන්නේ නැත්නම් එයින් වැඩක් නැහැ.

අද ඇතැම් එෆ්. එම් නාලිකාවල නිවේදක නිවේදිකාවන් භාෂාව මරනවා කියලා චෝදනාවක් තිබෙනවා. මේ ගැන මොකද හිතන්නේ ?

ඔව්. ඒක ඇත්ත. අද උදාවෙලා තියෙන්නේ මයික්‍රොෆෝනය තෙල් බෙහෙත් කාරයෙක්ට අහුවුණා වගේ තත්ත්වයක්. මේක ඉතා දරැණු ඛේදවාචකයක්. ඒ නිසා මොවුන් අද නිවේදකයන්ට වඩා මුදලාලිලා බවට පත්වෙලා.මේ නිසා මේ තත්ත්වය වහාම වෙනස් විය යුතුයි.

කර්තෘ භාගය පිළිබඳ ප්‍රශ්නය ගැන මොකද හිතන්නේ ?

ඒක නම් වහාම විසඳිය යුතු ප්‍රශ්නයක්. මොකද ගීතයක් ලියනවා කියන්නේ මඩ වගුරකින් අස්වැන්න නෙළා ගන්නවා ඉතා අසීරැ කාර්යයක්. ඒත් ගී පද රචකයන්ට මේ වෙනුවෙන් ලැබෙන්නේ සොච්චම් මුදලක්. ඒ නිසා අද මං දන්න විදිහට ‍සෝමතිලක ජයමහ පමණයි ගී පදර රචකයන්ට කර්තෘ භාගය ගෙවන්නේ.

No comments:

Post a Comment