Tuesday, October 22, 2013

අනාවැකි පළ කළ නොහැකි කාන්ස් චිත්‍රපට උලෙළ


අනාවැකි පළ කළ නොහැකි කාන්ස් චිත්‍රපට උලෙළ
ප්‍රධාන ජූරියේ ස්ටීවන් ස්පීල්බර්ග්

Introduction
ජාත්‍යන්තර සිනමා විචාරකයන් වැඩි දෙනෙකුගේ අවධානය දිනා ගත් කාන්ස් චිත්‍රපට උලෙළ මේ වන වි‍ට ප්‍රංශයේ කාන්ස් නුවරදී පැවැත්වේ.66 වැනි වරටත් පැවැත්වෙන මෙම උලෙළේ මෙවර විශේෂත්වය වන්නේ ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මාන දිනා ගත් හෝ නිර්දේශිත චිත්‍රපට කිසිවක් මීට ඇතුළත්ව නොතිබීමයි. 1946 වසරේදී මුල් වරට පැවැති මෙම සම්මාන උලෙළේ  මෙවර පළමු චිත්‍රපටය ලෙසින් ප්‍රදර්ශනය වන්නේ The Great Gatsby චිත්‍රපටයයි.එ‍සේම චිත්‍රපට උළෙල අවසන් වන්නේ Zulu ප්‍රංශ චිත්‍රපටයෙනි.කෙසේ වුවත් මෙවර ප්‍රධාන ජූරි සභාවේ මුල‍සුන ගෙන කටයුතු කරන්නේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් වීමත් සුවිශේෂී විශේෂත්වයකි.  එබැවින් මෙවර තරැණයා අවධානය යොමු කරන්නේ පසුගිය 15 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන මෙම චිත්‍රපට උලෙළ පිළිබඳවයි. ඒ අනුව අපි උලෙළේදී තරග වදින ප්‍රධාන චිත්‍රපට කිහිපයක් පිළිබඳ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

Competition

ෆර්හාඩිගෙන් ප්‍රංශ චිත්‍රපටයක් !

2012 වසරේ පැවැති ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ A Separation චිත්‍රපටයයි.එය අධ්‍යක්ෂණය කළේ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන අස්ගාර් ෆර්හාඩි විසිනි.එසේම ඔහු මේ වසරේ ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරන චිත්‍රපටය වී ඇත්තේ The Past ප්‍රංශ සිනමාපටයයි. දැනට චිත්‍රපට පහක් නිර්මාණය කර ඇති ෆර්හාඩිගේ චිත්‍රපටයක් කාන්ස් චිත්‍රපට උලෙළට තෝරා ගැනුණු ප්‍රථම අවස්ථාව මෙයයි.මෙහි ප්‍රධාන චරිත නිරෑපණය කරන්නේ බෙරෙනයිස් බෙජෝ, ටහර් රහීම් සහ අලී මොසාෆාය.කෙසේ වෙතත් මෙතෙක් තම මව් බස සිනමා නිර්මාණ සඳහා යොදා ගත් ෆර්හාඩි,The Past චිත්‍රපටය ප්‍රංශ භාෂාවෙන් නිර්මාණය කර තිබීම කැපී පෙනේ.

ඇමෙරිකාවෙන් චිත්‍රපට පහක් ?

කාන්ස් චිත්‍රපට උලෙළ සඳහා තේරී පත්වුණු චිත්‍රපට අතර මෙවර ඇමෙරිකානු චිත්‍රපට පහක් තිබීම කැපී පෙනේ. එනම් මේ අතර ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් සොඩර්බර්ග්ගේ Behind the Candelabra, ඇලෙක්සැන්ඩ්‍රා පේන්ගේ Nebraska, ජේම්ස් ග්‍රේගේ The Immigrant, කොයෙන් සහෝදරයන්ගේ Inside Llewyn Davis සහ ජිම් ජර්මුස්ක්ගේ Only Lovers Left Alive වේ. එහෙත් මෙයින් පියානෝ වාදන ශිල්පියෙකු වටා ගෙතෙන  මැට් ඩේමන් සහ මයිකල් ඩග්ලස් ප්‍රධාන චරිත නිරෑපණය කරන Behind the Candelabra චිත්‍රපටය සහ පිය පුතු දෙපළ තම උරැමකම් වෙනුවෙන් මොන්ටානා සිට නේබ්‍රස්කා වෙත යන Nebraska චිත්‍රපටයද අවධානයට ලක් වී ඇත.මීට අමතරව කාන්ස් චිත්‍රපට උලෙළේදී ප්‍රථම වතාවට එළිදකින ජෝක්වින් ෆීන්ක්ස් සහ ජෙරමි රෙනර් ප්‍රධාන චරිත නිරෑපණය කරන The 
Immigrant චිත්‍රපටය ද කැපී පෙනේ.

එකම අප්‍රිකානු නියෝජනය - Grisgris

අප්‍රිකානු- ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන මහමත් සලේ හරෝයුන්ගේ චිත්‍රපටයක් වන Grisgris මෙවර අප්‍රිකානු මහද්වීපය නියෝජනය කරන එකම සිනමාපටය වී ඇත.සෝලේමන් ඩෙමේ, මේරියම් මොනොරි, සිරිල් ගියුඒ සහ මේරියස් යේලෝලෝ ප්‍රධාන චරිතය නිරෑපණය කරන මෙම චිත්‍රපටය නර්තන ශිල්පියෙකු වීමට සිහින මවන 25 හැවිරිදි ආබාධිත තරැණයකු වටා ගෙතෙන්නකි.පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වැනිදා ප්‍රදර්ශනය ඇරඹි මෙම සිනමාපටය, ප්‍රංශ - අප්‍රිකානු සම නිෂ්පාදනයක් වේ.

පස්වැනි වතාවටත් සොරෙන්ටිනෝගේ චිත්‍රපටයක්

This Must Be the Place(2011), IL Divo(2008), The Family Friend (2006) සහ The Consequences of Love (2004) යන චිත්‍රපට වෙනුවෙන් සිව් වතාවක්ම කාන්ස් චිත්‍රපට උලෙළ නියෝජනය කිරීමට වරම් ලැබූ ඉතාලි ජාතික පාඕලෝ සොරෙන්ටිනෝගේ The Great Beauty නම් නවතම චිත්‍රපටයද මෙවර උලෙළ සඳහා සුදුසුකම් ලබා ඇත.ඒ අනුව ඔහු 2008 වසරේ “IL Divo * චිත්‍රපටය වෙනුවෙන් විශේෂ ජූරියේ සම්මානයක් දිනා ගැනීමටද සමත් විය. 

 

Un Certain Regard


කොපලා පවුලෙනුත් චිත්‍රපටයක්

ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂවරියක වන සොෆියා කොපලාගේ පස්වැනි චිත්‍රපටය The Bling Ring ය.කොපලා සිනමා පවුලේ එකම කාන්තා නියෝජනය වන කොපලාගේ මෙම චිත්‍රපටය ත්‍රාසයෙන් පිරි වෘත්තාන්තයකි.ලබන ජුනි මස 14 වැනිදා තිරගත කිරිමට නියමිත The Bling Ring, සත්‍ය සිදුවීමක් අලළා නිර්මාණය වූවකි.අන්තර්ජාලය හරහා කෙරෙන ගනුදෙනුවක් පාදක කරගත් මෙම සිනමාපටය යොවුන් කණ්ඩායමක් වටා ගෙතෙන්නකි. මෙහි  ප්‍රධාන චරිතය ජනප්‍රිය නිළි එමා වොට්සන් රඟපාන්නීය. ලින්ඩ්සේ ලෝහාන් ආරාධිත රංගනයකද නිරත වන්නීය.

ඉරාක අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් !

My Sweet Pepperland නම් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ වයස අවුරැදු 17දී තම ජිවිතය රුකගනු වස් ඉරාකයෙන් පිට වූ,දැනට ප්‍රංශයේ ජීවත් වන හුනර් සලීම් විසිනි. ඔහුගේ චිත්‍රපටයේ කතාවට ප්‍රස්තුතය වන්නේද මෙවැන්නකි.එනම් චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ගලා යන්නේ බාරන් නම් ඉරාකයේ යුද වීරයෙකු වටාය.එනම් පශ්චාත් යුද සමයේ කතා පවුතක් වන මෙම චිත්‍රපටය ප්‍රංශය සහ ජර්මනියේ සම නිපැයුමකි.

Gala Screening

බොලිවුඩය සහ හොලිවුඩය එක්වූ සන්ධිස්ථානීය වසරක් ලෙස මෙවර මෙම අංශය යටතේ ප්‍රදර්ශනය වන Bombay Talkies චිත්‍රපටය දක්වාලිය හැකිය. තරගකාරී වටයට ඇතුළත් නොවුණද, බොලිවුඩයේ චිත්‍රපට අධ්‍යක්ෂවරැන් සිව්දෙනෙකුගේ එක්වූ මොහොතක් සේ මෙය හැඳින්විය හැකිය. කෙටි චිත්‍රපට හතරක එකතුවක් ලෙස දිගහැරෙන Bombay Talkies හි පළමු චිත්‍රපටය වන “අජීබ් දාස්තාන් හේන්“ යේ අධ්‍යක්ෂණය කර ඇත්තේ කරන් ජොහාර් විසිනි.“ස්ටාර්“ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ දිබාකර් බනර්ජි විසිනි.ශීලා කි ජවානි අධ්‍යක්ෂණය කර ඇත්තේ සෝයා අක්තාර් විසිනි. “මුරාබ්බා“ අධ්‍යක්ෂණය කර ඇත්තේ අනුරාග් කාශ්‍යප් විසිනි.

මාලන් විදානපතිරණ
තරැණයා හොලිවුඩ්
2013/05/12

Blue Jasmine මද්‍යසාර හා දුම්වැටි දර්ශන හේතුවෙන් ඉන්දියාවේ තිරගත නොවේ




Blue Jasmine මද්‍යසාර හා දුම්වැටි දර්ශන හේතුවෙන් ඉන්දියාවේ තිරගත නොවේ


මාලන් විදානපතිරණ

වූඩි ඇලන්ගේ නවතම චිත්‍රපටය වන “Blue Jasmine“,ඉන්දියාවේ තිරගත කිරීම අධ්‍යක්ෂ වූඩි ඇලන් විසින්ම ප්‍රතික්ෂේප කර තිබේ.ඊට හේතු වශනේ ඔහු දක්වා ඇත්තේ තමන් මෙම චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කරන විට මද්‍යසාර සහ දුම්වැටි සඳහා දර්ශනවලදී මද්‍යසාර හා දුම්වැටි විරෝධි දැන්වීම් පළ කිරීම වූඩි ඇලන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. ඒ අනුව එවන් අවදානමක් ගැනීමට තමන් අකමැති බවත්, එයින් චිත්‍රපටයට හානි පැමිණෙන බවත් පවසන වූඩි ඇලන් පවසන්නේ දුම්වැටී පානය කරන දසුන් එහි ඇතුළත් වුවද එයින් තමන් ඊට ප්‍රචාරණයක් ලබාදීමට අදහස් නොකරන බවයි.

ඉන්දියාවේ නව නීති රෙගුලාසිවලට අනුව චිත්‍රපටවලට අනුව චිත්‍රපටවල චරිත දුම්වැටි පානය කරන දසුන්, ඉන්දු රජය පාලනය කර ඇති අතර දුම්වැටි හා මද්‍යසාර විරෝධි දැන්වීමක් සෑම චිත්‍රපටයකටම පෙර පළ කිරිම අනිවාර්යය කර තිබේ. 

ඒ අනුව හැත්තෑ හත් හැවිරිදි වියේ පසුවන මෙමි අධ්‍යක්ෂවරයා බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ මෙම නීති රෙගුලාසි තමාගේ චිත්‍රපටයටත් වලංගු වුවහොත්, චිත්‍රපටය ඉන්දියාවේ පෙන්වීම තමන් අනිවාර්යයෙන්ම අවලංගු කරන බවයි.

කෙසේ වෙතත් මෙහි දුම්වැටි දර්ශන දෙකක් පමණක් ඇතුළත් වන අතර ඒවාට දායක වන්නේ කේට් බ්ලැන්චෙට්ය.මේ නිසයි, එම දර්ශනවලදී තිරයේ පහළ දුම්වැටී විරෝධී දැන්වීමක් පළ කළ යුතුය යන්න ඉන්දීය රජය ඉල්ලා ඇත්තේ.

වූඩි ඇලන් විසින්ම තිර රචනය කළ මෙම හාස්‍ය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරෑපණය කරන්නේ ඇලෙක් බෝල්ඩ්වින්,බොබී කැනාවේල්, සැලී හෝව්කින්ස් සහ කේට් බ්ලැන්චෙට්ය.ලැරී ආරොන්සන්, ස්ටීවන් නෙන්බවුම් සහ එඩ්වඩ් වෝල්සන් නිපැයූ “Blue Jasmine, ධන කුවේරයකු ඉතා අභාග්‍යසම්පන්න ලෙස  තම නිවසද අහිමි අසරණයකු වටා දිවෙන්නකි.

2012 වසරේ මාර්තු මස නිෂ්පාදනය ඇරඹි මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙසින් යොදා ගැනීමට නිර්මාණකරැවන් අදහස් කරගෙන සිටියේ කේට් බ්ලැන්චෙට්ය.කෙසේ වෙතත් ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට පැමිණියේ එම වසරේ ජුනි මසදීය. ඒ අනුව ඒ වන විට පැවැති සියලු චරිත පිළිබඳ සංශෝධනයන් ඉදිරිපත් කෙරැණු අතර ඒ අනුව ඇයගේ සහභාගිත්වය තහවුරැ කෙරිණ.

ඒ අනුව 2012 වසරේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ යන නගරවල ප්‍රධාන රෑගතකිරීම් පැවැති මෙම චිත්‍රපටයේ බෙදාහැරීමේ කටයුතු භාරගත්තේ සෝනි පික්චර්ස් සමාගමයි.එය සෝනි පික්චර්ස් සමාගම සහ ඇලන් අතර කෙරැණු හයවැනි චිත්‍රපටයයි.   

ඉන්දියාවේ තිරගත නොවුණද දැනටමත් ඇ.ඩො. මිලියන 50කට අධික ආදායමක් උපයාගෙන ඇති මෙම චිත්‍රපටයට පළවන විචාර පවා වෙනස් ආරක් ගෙන තිබේ.ඒ මෙම චිත්‍රපටය පිළිබඳ විචාරය කිරීමේදී ඇතැම් විචාරකයන් විශිෂ්ට ගණයේ නාට්‍යකරැවකු වන ටෙනසි විලියම්ස්ගේ නාට්‍යයක් වන “A Streetcar Named Desire“ සමගින් සසඳා මේ ගැන මත පළ කිරීමයි.ඒ චිත්‍රපටයේ කතා තේමාව සහ වේදිකා නාට්‍යයේ කතා තේමාව අතර පවත්නා යම් යම් සමානකම් හේතුවෙනි.

මෙම වේදිකා නාට්‍යෙය් එලිසා කාසන් කළ නිෂ්පාදනය සඳහා ප්‍රධාන චරිත ලෙසින් දායක වූයේ මාලන් බ්‍රැන්ඩෝ සමග ජෙසිකා ටැන්ඩි සහ කිම් හන්ටර්ය. 1951 නිෂ්පාදනය වූ එම වේදිකා නාට්‍යයේම චිත්‍රපටය ඔස්සේද මෙම චිත්‍රපටය සංසන්දනාත්මකව විචාරය කෙරෙන අතර එහි ප්‍රධාන චරිතය නිරෑපණය කළේද මාලන් බ්‍රැන්ඩෝ සමග විවියන් ලෙයිය.   

නාට්‍ය කලාවෙන් වියුක්ත කළ නොහැකි විශ්වවිද්‍යාල නාට්‍ය කලාව



නාට්‍ය කලාවෙන් වියුක්ත කළ නොහැකි විශ්වවිද්‍යාල නාට්‍ය කලාව 

වසර පණහක් ඉක්ම ගියද අදටත් රට වටා අති සාර්ථකව වේදිකාගත වන විශිෂ්ටතම නාට්‍යය මනමේ නාට්‍යය බව අතිශයෝක්තියක් නොවේ. සර්ව සම්පූර්ණ නාට්‍ය කලාවක සලකුණ සනිටුහන් කරන මනමේ, නාට්‍ය කලාව තුළ පැවැති දියාරැ ස්වභාවය මග හරිමින් එය වේදිකාව කෙරේ ලබාගන්නට සමත් වූ  නාට්‍ය නිර්මාණයකි. එසේම ඒ හා සබැඳි පසුබිම් කතාවද අපූරැය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල නාට්‍ය කලාව හරහා අදාළ විප්ලවීය වෙනසට පය තැබූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්, ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව හා විශ්ව විද්‍යාල නාට්‍ය කලාව එකිනෙකට වියුක්ත කළ නොහැකි තත්ත්වයකට පත් කළ අතර අදටත් දැවැන්ත නාට්‍ය ශිල්පීන්  ප්‍රමාණයක් නාට්‍ය ක්ෂේත්‍රයට දායාද වන්නේ එබැවිනි. එසේ නම් එවන් විශ්ව විද්‍යාල නාට්‍ය කලාවක ඓතිහාසික පසුබිම කවරේද? විශ්ව විද්‍යාල නාට්‍ය කලාව, අධ්‍යයතන නාට්‍ය කලාව හා මුහු වන්නේ කෙසේ ද ? මේ සටහන තැබෙන්නේ ඒ පිළිබඳවයි. 

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ඓතිහාසික පසුබිම දහ අට සන්නිය,කොහොඹා යක්කංකාරිය, සොකරි, කෝළම්, නාඩගම් ආදී සිංහල ගැමි නාටක දක්වා විහිදී යයි. එසේම ඉන් බිඳී ආ නූර්ති, ටවර්හෝල්,මිනර්වා දක්වාද  විසිරී පැතිරී යන්නේ ශ්‍රී ලංකාව යටත් විජිත රාජ්‍යයක් වීමත් සමග නොයෙකුත් වෙනස්වීම්වලට භාජනය වී හෙයිනි. එහෙත් අපට මේ කිසිදු ගැමි නාටකයදී සර්ව සම්පූර්ණ වේදිකා නාට්‍ය කලාවක ලක්ෂණ දැක ගත නොහැකි විය. ඒ අනුව මෙහි අක් මුල් සොයා යන අපට, එවන් ඓතිහාසික සාධක හමුවෙන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය තුළින්මය.

එනම් ශ්‍රී ලංකාව තුළ සිංහල නාට්‍ය කලාවක් නිර්මාණය කිරීමට යත්න දරමින් සරච්චන්ද්‍රයන් කළ පර්යේෂණය ඇතුළත් සිංහල ගැමි නාටකයට දාව උපන් පළමු දරැවා මනමේ නාට්‍යයයි. කලක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල හා පාලි අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්, පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිය තිඹිරිගෙය කර ගනිමින් බිහි කළ මනමේ සඳහා දායක වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එවක සිටි සිසු සිසුවියන්ය. 



වත්මන් විචාරයන් අනුව ඔහුගේ මනමේ නාට්‍යය ප්‍රථම සම්පූර්ණ නාට්‍ය ලෙස පිළිගන්නා නමුත් එතුමාගේ නාට්‍ය ආකෘතියද උසුලන්නේ නාඩගම්, ජන නාට්‍ය සහ නූතන රුගුම් සම්බන්ධ ආකෘතියකි.ඒ අනුව ලෝ පුරා සංචාරය කළ විද්වතෙකු ලෙස සරච්චන්ද්‍රයන් ජපන්,යුරෝපානු,සංස්කෘත ආදී නොයෙකුත් නාට්‍ය ශෛලින්වල කොටස් අනුගත කරමින් සකස් කළ ශ්‍රී ලාංකේය ආකෘතිය සැබැවින්ම ශ්‍රී ලාංකීයද යන්න ප්‍රශ්න කළ යුත්තකි.
 
කෙසේ නමුත්  සදාතනික අරගලයක යෙදෙන පිය - පුතු හැල හැප්පීම් විස්තර කෙරෙන සිංහබාහු අති විශිෂ්ට නිර්මාණයකි. එසේම බෞද්ධ සාහිත්‍යයේ එන වෙස්සන්තර,පෙමතෝ ජායතී සෝකෝ, රත්තරන්, ලෝමහංස, භවකඩතුරාව,මහාසාර,කදා වළලු ආදී බෞද්ධ සාහිත්‍යයට ආශ්‍රීත නාට්‍යයද, රත්තරන්,කිරි මුට්ටිය ගඟේ ගියා ආදියද ප්‍රශංසනීයය නාට්‍ය කෘති ලෙස අදත් විටෙන් විට වේදිකාගත වේ.

එහෙත් මේ සියලු නාට්‍ය සඳහා පළමු පියවර තැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී සහ ඒවාට සම්බන්ධ මුල් ශිල්පීන් බොහොමයක් එකල විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථයින් වීම තුළින්ම එකල විශ්ව විද්‍යාල නාට්‍ය කලාව කොතරම් ප්‍රබලව පැවතුණේද යන්නට කදිම සාක්ෂියකි. එනම් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා සරච්චන්ද්‍රයන් කළ පෙරළිය තුළින් වඩාත් ඔප මට්ටම් වූයේ විශ්ව විද්‍යාලයීය නාට්‍ය කලාවයි. ඒ මනමේ, සිංහබාහු වැනි නිර්මාණ හරහා විශ්ව විද්‍යාලය හරහා ජනගත වන නිර්මාණ කෙරේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදයක් ඇතිකරලීමට සරච්චන්ද්‍රයන් සමත්කම් පෑ නිසයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළම සරච්චන්ද්‍රයන් ප්‍රමුඛ කර ගත් ගුරැ කුලයක් බිහිවූයේද එහි ද්වීතියික ප්‍රතිඵලයක් ලෙසයි.ඒ අනුව සරච්චන්ද්‍රයන්ගේ එම ගුරැකුලය හරහා බිහි වූ අවසන් පුරැක ලෙස ජයලත් මනෝරත්න හඳුන්වා දිය හැකියි.එබැවින් ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බිහි වූ, නූතන වේදිකාවේ සිටින පතාක යෝධයා බව නොකිවමනාය.
කෙසේ වෙතත් එතුමාගේ සාර්ථකත්වය පිළිබඳව විශ්ලේෂණය කරනා බොහෝ විචාරකයන් පවසන්නේ සරච්චන්ද්‍රයන්ගේ බොහෝ කෘති සිංහල ජනප්‍රවාදයන්හි අනුවාදයන් වීම ඔහුගේ කාර්යයට ක්ෂණික හා ස්ථිර සාර ජන ප්‍රසාදයක් ලැබීමට සෘජුවම බලපෑ බවයි.

මේ අනුව පේරාදෙණියේ ඇති වූ විශ්ව විද්‍යාල නාට්‍ය කලාවෙන් උත්තේජනයට පත් සමකාලීන නාට්‍යකරැවන් ලෙස හෙන්රි ජයසේන හුණූවටයේ කතාව, කුවේණි,ජනේලය,දිරිය මව සහ ඇගේ දරැවා,මකරා,අහස් මාළිඟා, අපට පුතේ මගක් නැතේ, තවත් උදෑසනක් ආදී නාට්‍යත්,  ගුණසේන ගලප්පත්ති විසින් මූදු පුත්තු ආදී නාට්‍යත්, දයානන්ද ගුණවර්ධන විසින් නරි බෑනා, ජසයා හා ලෙංචිනා, ගජමන් පුවත,ආනන්ද ජවනිකා, මධුර ජවනිකා ආදී නාට්‍යයත් ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට දායාද කිරීමට සමත්  වූ අතර එදා සරච්චන්ද්‍රයන් කළ විප්ලවීය වෙනස නොවන්නට ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට කුමක් වේවිද යන්න ගැටලුසහගත වන්නේ මෙබැවිනි.

එසේම සරච්චන්ද්‍රයන් නිමැවූ මෙම පදනම පසුකාලීනව ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට අභූතරෑපී සම්ප්‍රදාය අනුගත කළ සොඳුරැ ආඥාදායකයා හෙවත් සුගතපාලද සිල්වාගේ ගොඩෝ එනකං,මරාසාද් මෙන්ම හරිම බඩු හයක්,දුන්න දුනුගමුවේ,බෝඩිංකාරයෝ ආදී නාට්‍ය සඳහාත් ඉතා තදින් බලපෑවේය.
එසේම වත්මන් උසස් පෙළ නාට්‍ය හා රංග කලාවට ඇතුළත් කර ඇති සයිමන් නවගත්තේගමගේ සුභ සහ යස මෙන්ම ඔහුගේ පුස්ලෝඩං,ගංගාවක්,සපත්තු කබලක් සහ මරණයක් වැනි නාට්‍ය නිර්මාණ සඳහාත් , ඉන් අනතුරැව බිහි වූ ධර්මසිරි බණ්ඩාරනායකගේ මකරාක්ෂයා,ට්‍රෝජන් කාන්තාවෝ, ඒකාධිපති, ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලෙති,රතු හැට්ටකාරී ආදී නාට්‍ය සඳහාත්, ධම්ම ජාගොඩගේ සකලජන,වෙස්මුහුණු ආදී නාට්‍ය සඳහාත්, පරාක්‍රම නිරිඇල්ලගේ මැටි කරත්තය,සෙක්කුව වැනි නාට්‍ය සඳහාත්, ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා,පුත්‍ර සමාගම, මහ ගිරි දඹ,අන්දරේලා,ගුරැ තරැව, බූරැවා මහත්තයා,සුදු රෙදි හොරැ වැනි නාට්‍ය සඳහාත් මෙම පදනම ඉතා තදින් බලපෑවේය.
ඒ අනුව නාට්‍ය කලාව පෝෂණය කරනු වස් එදා සිටම විශ්ව විද්‍යාල නාට්‍ය කලාව තුළින් විශාල වගකීම් කොටසක් ඉටුකර ඇති අතර අදටත් 

පේරාදෙණිය,කැළණිය,කොළඹ,ජයවර්ධනපුර,සෞන්දර්ය ආදී විශ්ව විද්‍යාල හරහා විවිධ කෙටි නාට්‍ය උලෙළ සංවිධානය කරමින්ද, නාට්‍ය උලෙළ සංවිධානය කරමින්ද, අන්තර් විශ්ව විද්‍යාල කලා උලෙළවල් සංවිධානය කරමින්ද,යොවුන් නාට්‍ය උලෙළ සඳහා ශිල්පීන් පුහුණු කරවමින්ද දැවැන්ත වැඩ කොටසක් ඉටු කරමින් සිටී.
මාලන් විදානපතිරණ 

Sunday, October 6, 2013

Interview with Dramatist E.M.D Upali about Cherry Ochard - 2013.09.16



සටහන - මාලන් විදානපතිරණ

පසුගිය අගෝස්තු මස 18 සහ 19 යන දිනයන්හිදි කොළඹ ලුම්බිණි රඟහලේදී සහ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී මංගල දර්ශනය පැවැති “ ඉඩමේදී විකිණේ* වේදිකා නාට්‍යය කලකට පසු ප්‍රවීණ නාට්‍යවේදී ඊ.එම්.ඩී. උපාලි නිර්මාණය කළ නවතම කෘතියයි. ඇන්ටන් චෙකොව්ගේ Cherry Orchard (චෙරි වත්ත)  ඇසුරින් කළ නාට්‍ය නිර්මාණයක් වන මෙම නිර්මාණය අද (16) සවස 6.00ට රැසියානු තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාරයේදී නැවතත් රංගගත වීමට නියමිතය. එබැවින් මෙම නාට්‍යය පිළිබඳව සාකච්ඡා කළ යුතු සුදුසුම ශිල්පියා එහි නිර්මාපකයා වන නීතිඥ ඊ.එම්.ඩී. උපාලියි. (ඔහු අවසන් වතාවට ප්‍රේක්ෂකයාගේ හද රුඳුණේ නෝර්වීජියානු ජාතික හෙන්රික් ඉබ්සන්ගේ The Wild Duck කෘතිය ඇසුරින් කළ වන තාරාවී(2006) නාට්‍යය හරහාය.)  කෙසේ වෙතත් ඔහු මෙවර තම ප්‍රස්තුතයට යොදා ගත් නාට්‍යය මීට පෙර ද ලාංකේය  නාට්‍ය ඉතිහාසයේ චෙරි උයන නමින් පරිවර්තනය වූ එසේම මහගෙදර නමින් අනුවර්තනය වූ ද නාට්‍යයකි.

ඇන්ටන් චෙකොව්ගේ චෙරි වත්ත නිර්මාණය, මීට කලින් දෙවතාවක් පමණ ලංකාවේ නිෂ්පාදනය වූ නාට්‍යයක්. ඔබත් ඔබේ නව නාට්‍යයට තෝරාගෙන තිබෙනවා.මෙම නාට්‍ය නම් කර තිබෙන්නේ “ඉඩමේදී විකිණේ* ලෙසයි ?

රැසියාවේ පමණක් මෙම නාට්‍යය නාට්‍ය නිෂ්පාදකවරැන් 50ක් පමණ නිෂ්පාදනය කර තිබෙනවා (නාට්‍ය කලාවේ නිෂ්පාදකයා යනු එහි අධ්‍යක්ෂවරයාය.).එංගලන්තයේ “හැම්ලට්* නාට්‍යය ගත්තත් එහෙමයි.ඒ වගේම ශේක්ස්පියර්ගේ “හැම්ලට්* නාට්‍යම රැසියාවේ පමණක් පහළොස් වතාවකට වඩා නිෂ්පාදනය වෙලා තිබෙනවා.පරිවර්තනත් බොහෝයි.ඒත් දූපත් මානසිකත්වයේ සිටින ලාංකේය ප්‍රේක්ෂකයාට නම් එකම නාට්‍යයක් කිහිපාකාරයෙන් නිෂ්පාදනය වීම අරැමයක් තමයි.ඒ නිසා මට තියෙන ප්‍රශ්නේ මේ රැසියානු නාට්‍යය ලංකාවේ තුන්වරක් පමණක් වේදිකාගත වීමයි.ඒත් ප්‍රේක්ෂකයාගේ රසඥතාවය තියුණු වන්නේ මේ නාට්‍යය බොහෝ වතාවක් නිෂ්පාදනය වීම හරහායි.සිදුවිය යුත්තේ යුගයෙන් යුගය මෙම නාට්‍යය විවිධ අර්ථකථන ඔස්සේ අලුත් වීමයි. එහෙම නැතුව වරක් දෙවරක් වේදිකාගත වූවා යැයි කියා ඉඳුල් කෘති ලෙස බැහැර කිරීම නෙමෙයි.ඒත් සමාජ පරිණාමය පිළිබඳ සර්වකාලීන තේමාවක් රුගත් මේ නාට්‍යය මට අභියෝගයක් තමයි.ඒත් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට පෙර රදළයන්ගේ අණසකට යටත් වූ වැඩවසම් ක්‍රමයක් පැවැති ලංකාවට මෙම නාට්‍යය ඉතා වැදගත්.අනික වැඩවසම් ක්‍රමය පරයා නැගී සිටින නව ධනපති පන්තිය ගැනයි මෙයින් කියැවෙන්නේ.ඒ නිසා වසර සියයක් පැරුණි වුණත් මෙහි දේශපාලනික සන්දර්භය ලාංකේය ජන සමාජයෙන් උගුල්ලන්න බැහැ.ඒ නිසයි මම අපේ උපහැරණ,පිරැළු මෙහි පරිවර්තිත පිටපතට පවා යොදා ගත්තේ.ඒත් අවාසනාවට වගේ මීට පෙර මෙහි නිෂ්පාදන අසාර්ථක වුණා. ඒත් මා මෙය සුසාදිත නාට්‍යයක් වශයෙන් වසර දහතුනකට කලින් රචනා කළා. ඒ පිටපත ඔස්සේ  තමයි මිලියන එක හමාරකට අධික මුදලක් වැය කරමින් මෙහි සාර්ථකත්වය වෙනුවෙන් කැපවුණේ.

ඒත් ඇන්ටන් චෙකොව්ගේ චෙරිවත්ත නාට්‍ය කෘතිය උඩුපෙළට වඩා යටිපෙළ අතින් ඉතා සවිමත් කෘතියක්. ඒත් ඔබ නාට්‍යය පරිවර්තනය කර ඇත්තේ ඉංග්‍රීසි පරිවර්තනය ඔස්සේයි.අනික ඔබ මේ සඳහා ගීතත් භාවිතා කර තිබෙනවා. ඒත්  මුල් කෘතියෙහි එවැන්නක් නැහැ. මේ අනුව චෙකොව්ගේ ප්‍රකාශනය කියවීමට ප්‍රේක්ෂකයාට මෙහි භාෂාව හුයක් වෙයිද ?

මම රැසියානු භාෂාව දන්නේ නැහැ. ඒ නිසා ඔබ කියන දේ හරි. ඒත් පරිවර්තන සාහිත්‍යය ගත්තොත්, මව් භාෂාව හරහා කෙලින්ම පරිවර්තනය වූ නාට්‍යය තිබෙන්නේ අතළොස්සක් පමණයි. අනික අපිට සියයට සියයක් මීට සාධාරණය ඉෂ්ට කරන්න බැහැ.ඒත් මමත් මගේ පරිවර්තනය නාට්‍යය සඳහා තවත් ඉංග්‍රිසි පරිවර්තන කෘති කිහිපයක් ඇසුරැ කළා.ඒ වගේම රැසියානු ජන සමාජය, සංස්කෘතිය ආදියත් අධ්‍යයනය කළා. ඒ නිසා මම මීට හැකි උපරිමය සාධාරණය ඉෂ්ට කරලයි තියෙන්නේ. ඒ කොහොම වුණත් ගීත භාවිතා කළත්, පෙරහන් කඩ දෙකකින් පෙරැණායින් කියාවත්, නාට්‍යයේ මූලික සන්දර්භය වෙනස් වේවිය කියා මම හිතන්නේ නැහැ. එහෙම මම කියන්නේ නාට්‍ය කියන්නේ විශ්ව භාෂාවක් නිසයි.

වත්මන් වේදිකා නාට්‍ය කලාව පිළිබඳ ඔබේ ආකල්පය මොනවගේද ?

අපේ වේදිකාව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු වගේම දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත,බක්මහ දීගේ වැනි නාට්‍ය වගේම සුගතපාල ද සිල්වාගේ මරාසාද් වැනි නාට්‍යවලින් පෝෂණය වූවක්.ඒත් අද එතැන් පටන් එම රඟහල හරියට හෙවිල්ලන්න නාට්‍යකරැවන් අසමත් වෙලා. විශ්ව සාහිත්‍යය කෘතින් වේදිකාවට එන ප්‍රමාණය අවම වෙලා.ඒ නිසා මගේ උත්සාහයත් එක උළුකැටයකින් ඒ අඩුව පුරවන්නයි.අඳුරට සාප කරමින් සිටින්නේ නැතුව එක ඉටිපන්දමක් හරි දල්වන්න අනෙක් නාට්‍යකරැවන්ටත් මම ආරාධනා කරන්නේ ඒ නිසයි.ඒත් වත්මන් වේදිකා නාට්‍ය කලාවේ බරපතලම ඛේදවාචකය තමයි වේදිකාවටම අනන්‍ය වූ ශිල්පීන් සමූහයක් ගොඩ නැගී නොතිබීමයි.අනික අපේ අතිදක්ෂ රංගන ශිල්පීන්ගේ දක්ෂතා පවා හෑල්ලු වෙලා. ඔවුන්ගේ දක්ෂතාවයට සුදුසු චරිත නෙමෙයි ඔවුන්ට ලැබෙන්නේත්.

ඔබ විශ්ව සාහිත්‍යය කෘතින් ලාංකීය නාට්‍ය සාහිත්‍යයට ඇතුළත් කිරිමක් ගැන කතා කරනවා.ඒත් වත්මන් රඟහල හෙවිල්ලන්න ප්‍රමාණවත් ස්වතන්ත්‍ර නාට්‍යවල දැඩි අර්බුදයක් තිබෙනවා නේද ?

ස්වතන්ත්‍ර නාට්‍යය මොන විදිහකින් ආවාත්, පළමුව මා ඊට ගරැ කරනවා.ඒත් ඔබ කියූ ප්‍රේක්ෂකයාගේ අභිලාෂය ඉටු කරනා නිර්මාණ නැති බව මමත් පිළිගන්නවා. ඒත් මෙහි අප නොදන්නා පැත්තක් තිබෙනවා. වත්මන් ජන සමාජය කියැවිය හැකි, වත්මන් දේශපාලනය පිළිබඳ පුරෝකථනය කළ හැකි අවකාශයක් අද තිබෙනවාද ? විශේෂයෙන්ම ජන හද ගැහෙන, අපේ වේදනා, අපේ අභියෝග, ලංකාව අද සිටින ස්ථාවරය ගැන අද නාට්‍යකරැවන්ට කතා කරන්න පුළුවන් ද? නාට්‍යකරැවන්ට අවශ්‍ය යටිතල පහසුකම් තිබෙනවාද ? නිසි අනුග්‍රහයක් ලැබෙනවාද ? ඒවා පවත්වාගෙන යා හැකිද ? අන්න එතැනයි අපි ප්‍රශ්න කළ යුත්තේ. ඒ නිසා සියලු මග ඇහිරීම් ඔස්සේ නාට්‍යකරැවා යම් අර්බුදයක සිටින බව අප පිළිගත යුතුයි. ඒත් තරැණ නාට්‍යකරැවා කෙටි නාට්‍ය ඔස්සේ යම් වෙනසක් කිරීමට උත්සාහ නොකරනවා නෙමෙයි.ඒ අනුව කෙටි නාට්‍ය නරඹන අලුත් ප්‍රේක්ෂාගාරයක් නිර්මාණයක් වන හැඩයකුත් අපට පෙනෙනවා.ඊට පවතින කාර්යබහුලත්වයත් බලපානවා.කොහොම වුණත් ජාතික තරැණ සේවා සභාව කෙටි නාට්‍යකරැවන්ට ලබාදෙන අවස්ථාව අපි අගය කළ යුතුයි. ඒත් ඔවුන්ට දිගුවක් කරා යන්න මම කියූ හේතූ හරස් වෙනවා. ඒ නිසයි තරැණයන්ට විශිෂ්ට ගණයේ ස්වතන්ත්‍ර (දිගු) නාට්‍ය නිර්මාණය කරන්න බැරි.

ඇන්ටන් චෙකොව්ගේ රංග රීතිය යථාර්ථවාදි වුණත් ඔබේ නිෂ්පාදනයේදී මෙහි යම් පරස්පරයක් තිබෙනවා. ?

ඔබ හරි.මම මෙහිදී පසුතලය යථාර්ථවාදයට සමීප නැහැ.ඒ නිසා මට ඒ වෙනුවෙන්
පමණක් ලක්ෂ දෙකකට අධික මුදලක් වැය වුණා. ඒ වගේම මෙහිදී වේදිකාව කරකවනවා.ඒත් අපි එහිදී ඒ ලක්ෂණ සියල්ලම නාට්‍යය විසින් ඉල්ලා සිටින හැඩයකට නිර්මාණය කළා. සංගීතයය පවා නාට්‍යයෙන් ගැලවිය නොහැක්කේ මේ නිසයි.ඒත් ඒ සංගීතය රැසියානු ජන නාද රටා සංගීතයට සමීප කරන්න අපි උත්සුක වුණා.ඇඳුම් නිර්මාණය පවා එහෙමයි. ඒ නිසා “ඉඩමේදී විකිණේ* කියන්නේ පරම්පරා හතරක ශිල්පීන් සමග අවුරැද්දක් පුරා පුහුණුවීම් කළ මෙම සාමූහික නාට්‍යයක්. ඒ නිසා නාට්‍යයකදී එවැනි සාමූහිකත්වයක් ගොඩනැගීමෙන් තමයි නාට්‍ය කලාවේ ප්‍රගමනයක් ඇතිවෙන්නේ. නව පරම්පරාවට ප්‍රවීණයන්ගේ දැනුම අවශෝෂණය වන්නේත් මෙවැනි ක්‍රමයක් තුළයි.