Sunday, July 7, 2013

හරැන් ලොගාර්ට් කළේ මොනවද ?- (GO Magazine) - 2012/10/15





මාලන් විදානපතිරණ

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හිටපු විධායක හරැන් ලොගාර්ට් මහතා පසුගිය මස දිවයිනට පැමිණියේය.  ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පවතින මූල්‍ය අර්බුදය නිරාකරණය කිරීම සඳහාය. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පාඩු ලබන ආයතනයක් නොවන බව ඇතැම් ප්‍රධානීන් ප්‍රකාශ නිකුත් කරන සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේම ඇතැමුන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාඩු ලබන ආයතනයක් බව පවසන සමයක එතැනට ගොඩ වූ හරැන් ලොගාර්ට් මහතාට අතිවිශාල ගෙවීමක් සිදුකර ඇත.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙවන් තත්ත්වයකට ඇද දැමූ බලධාරීන් සේවයේ සිටිද්දීමය. අනික නම් ඔහු සිටියේ ද සීමිත කාලයකි.


එමෙන්ම ලැබෙන ආරංචි මාර්ගවලට අනුව හරෑන් ලොගාර්ට් සඳහා මුදල් වෙන් කරවා තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට කෙරෙනා මූලික ගෙවීම් කප්පාදු කරමින් වන අතර මෙය ක්‍රීඩාවට එතරම් හිතකර තත්ත්වයක් නොවන්නේ එමගින් ක්‍රීඩකයන් සහ පුහුණූකරැවන් ආදීන් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ යම් අවිශ්වාසයක් ගොඩනැගිය හැකි වීම නිසාවෙනි. කෙසේ නමුත් සමාගම් දෙකක හිමිකරැවකු වන දක්ෂ ව්‍යාපාරිකයෙකු වන ලොගාර්ට් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දිගු කාලීන යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිත අතර එම යෝජනාවලිය කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

 එහෙත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ කළ ප්‍රකාශයකින් පැහැදිලි වූයේ ඔහු  ශ්‍රී ලාංකීය ක්‍රිකට් ඉදිරියට ගෙන යාම සඳහා සුදුසු නිර්ණායක ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්,එමගින් 2017 වසර වන විට දක්ෂ ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට හැකිවනු ඇති බවයි.කුමාර් සංගක්කාර,මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් යන ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් අනතුරැව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙහි සුක්කානම අතට ගන්නා තරැණ පෙළ ශක්තිමත් කිරීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමට ද තමන් අදහස් කරන බැව් පැවසුවේය.එහෙත් ඒවා කෝ?  අඩුම ගණනේ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙසු කණ්ඩායම්වලින් වෙන්වන්නේ කවර ලක්ෂණවලින්ද,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංයුතිය කෙබඳුද,ශ්‍රී ලංකාවේ සුවිශේෂිතා කවරේද,ශ්‍රී ලංකා ක්‍රිකට් හා බැඳුණු උප සංස්කෘතිය කෙබඳු එකක්ද යනාදිය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කිරීම සඳහා ලෝගාර්ට් මහතා ශ්‍රී ලංකාවෙ රුඳි සිටියේ ද යන්න ද ගැටලුවකි.

එනිසා වැරුදි කළවුන් සාධාරණීය කරමින්, ඒ සඳහා පැලැස්තර විසඳුම් ලබාදීමේ අරමුණින් කෙරෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මෙගා ටෙලිනාට්‍යයක තවත් කොටසක් සේ හැඳින්වූව ද වරදක් නැත. එමෙන්ම මෙම ක්‍රියාමාර්ගයෙන් අපට පෙනී යන්නේ බළලුන් ලවා කොස් ඇට බාවන බවයි.(එසේ නැත්නම් අසාර්ථක විගණකාධිවරැන් ඉවත් කර ගණකාධිකරණය පිළිබඳ විශේෂඥයකු මේ සඳහා යොදවා මෙම අරමුණ සඵල කර ගැනීමට තිබුණා නොවේදැයි අපට නැවතත් ඇසීමට සිදුවේ.) මේ නිසා අපට පෙනෙන්නේ මේ මොහොත වන විට හරැන් ලොගාර්ට් හරහා සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කබලෙන් ලිපට වැටීමයි.

එහෙත් මෙහි අප නොදුටු පැත්තක් ද වේ. එනම් ක්‍රිකට් සමාජ සංගම් පවසන්නේ හරැන් ලොගාර්ට් ඉදිරියට දමා බලධාරීන් උත්සාහ කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය කරමින්, අන්තර් සමාජ සහ සංගම්වලට පවත්නා ඡන්ද අයිතිය අහෝසි කිරීම බවයි. එනම් නිලධාරීන පත්කිරීමේ මෙම බලය දිස්ත්‍රික් සහ සංගම්වලට ලබා ගැනීමයි. එහෙත් මෙය එතරම් හිතකර තත්ත්වයක් නොවන අතර ලබන වසරේ පැමිණෙන නව පණත හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිල තත්ත්වය පවා අහෝසි වීමේ අවදානමක් තිබේ. මන්ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2013 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් දේශපාලනීකරණය කිරීම වැළැක්වීමේ නව පණතක් ද ක්‍රියාත්මක කරයි.මේ හේතුවෙන් අපට ලබන වසර ඇතැම් විට ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණාත්මක වසරක් බවට පත්වීමට ඉඩකඩ වැඩිය. එමෙන්ම එය අනාගත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉරණම ද තීන්දු කරනු ඇත.     

No comments:

Post a Comment