Sunday, July 7, 2013

විනිසුරුවරයකු විය යුතු කාලේ විනිසුරු දිවියට සමුදුන් සීමන් ටෆල් -GO Magazine - 2012/10/11





මාලන් විදානපතිරණ

පසුගිය දශකයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් බිහිවූ විශිෂ්ටතම විනිසුරැවරයා ලෙස සැළකෙන ඕස්ට්‍රේලියාවේ සීමන් ටෆල් මහතා පසුගිය 07 වැනිදා විනිසුරැ දිවියට සමු දුන්නේය.ඒ නිමා වූ විස්සයි - 20 ලෝක කුසලාන අවසන් තරගය විනිශ්චය කරමිනි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරැවරැන් පුහුණු කිරීමේ කළමණාකරැ ලෙස පත්වීමක් ලැබීම නිසා මෙසේ විනිසුරැ දිවියට සමුදුන් ටෆල්,ඩීකී බර්ඩ්,ස්ටීව් බක්නර් යන විනිසුරැවරැන්ට පසු බිහි වූ දක්ෂතම විනිසුරැවයා ලෙස විචාරකයෝ සළකති.


මැදි වයසේදී හෝ ඉන්පසුව විනිසුරැ දිවියට පැමිණෙන සමයක තරැණ අවධියේම විනිසුරැවරයෙකු ලෙස ජාත්‍යන්තර පිටියට බට ටෆල්,තරැණ වියේදී මේ සඳහා යොමු වීමට බලපෑවේ ඔහුගේ කොන්දේ ආබාධයකි.

වයස අවුරැදු 28ක් තරම් තරැණ වියේදී එනම් 1999 වසරේ ජනවාරියේ සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවැති ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේදී ප්‍රථම වතාවට එක්දින තරගයක් විනිශ්චය කළ ටෆල්,ටෙස්ට් තරග විනිශ්චයට පැමිණෙන්නේ 2000 වසරේ දෙසැම්බර් මාසයේදීය.ඒ මෙල්බර්න් නුවර පැවැති කොදෙව් - ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේදීය.වසර 13ක් වූ තම විනිසුරැ ජීවිතයේදි ටෙස්ට් තරග 74ක් ද, එක්දින තරග 174ක් ද විස්සයි - 20 තරග 33ක් ද විනිශ්චය කළ සීමන් ජේම්ස් ආතර් ටෆල් මහතා,2004 වසරේ සිට 2008 වසර දක්වා පිට පිට පස් වතාවක් හොඳම විනිශ්චයකරැවාට හිමි අයී.සී.සී සම්මානය දිනා ගැනීමට සමත් වූවකි.

1990- 1991 කාලය අතරතුර ඕස්ට්‍රේලියාවේ කැමරේ ක්‍රිකට් සමාජය නියොජනය කළ ඔහු,කැමරේ කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දු යවන්නකු වූ අතර වරක් ක්‍රිකට් සමාජයේ හොඳම සහ ජනප්‍රියතම ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගත්තේය. ඒ කැමරේ ක්‍රිකට් සමාජයේ වඩිම කඩුලු ලාභියා වීමත්, අඩුම කඩුල්ලක සාමාන්‍යය රඳවා ගත් ක්‍රීඩකයා වීමත් නිසාය.අවාසනාවට හෝ වාසනාවට ඔහුට කොන්දේ ආබාධයක් ඇතිවූයේ මේ අතරතුරයි.
කෙසේ වෙතත් ඔහු මුල් කාලයේදී විනිශ්චය සඳහා වැඩි කැමැත්තක් නොදැක්වූ අතර විනිශ්චයකරැවන්ගේ පාඨමාලාවට යොමු වූයේ ඔහුගේ යහළුවකුගේ බලවත් පෙරුත්ත නිසාය.ඉන්පසුව ඔහු එහි පැවැති විභාගයෙන් ඔහු ඉහළින්ම සමත් වූ අතර ශීඝ්‍රයෙන් විනිසුරැවරැන්ගේ ශ්‍රේණිගතකිරීම්වල හිනිපෙත්තට නගින්නට විණ.එනිසාවෙන් ඔහු තම පළමු පෙළ මංගල තරගය විනිශ්චය කළේ 1995 වසරේදියි. එහෙත් ඒ වන විටත් ඔහුට අවුරැදු විසි හතරක් වූවා පමණි.

තෙවරක්ම වසරේ හොඳම විනිසුරැවරයා වූ ටෆල්, 2007 වසරේ ජනවාරි මසදී නව ලෝක වාර්තාවක් බිහි කළේ එක්දින තරග 100ක් විනිශ්චය කළ විනිසුරැවරයා බවට පත්වෙමිනි.පසුගිය වසරේ පැවැති එක්දින ලෝක කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති අවසන් පූර්ව තරගය මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති අවසාන මහා තරගය නියෝජනය කිරීමට ද අවස්ථාව ලද ඔහු,ඒ පිළිබඳ මෙසේ අදහස් පළ කළේය.

“මම ආපසු මගේ විනිසුරැ ජීවිතය දිහා හැරිලා බැලුවොත් මට අමතක නොවන සිදුවීම් කිහිපයක් තිබෙනවා. එයින් එකක් තමයි 2011 ලෝක කුසාලනය. මම ඒ ලෝක කුසලානයේදී අවසාන මහා තරග දෙකක් දැක්කා.එයින් එකක් තමයි ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය.තරගය පැවැත්වුණේ මොහාලි ක්‍රීඩාංගණයේයි.  ඒ තරගය නැරඹීමට දෙරටේම අග්‍රමාත්‍යවරැන් පවා පැමිණ සිටියා.ඒ නිසා මේ තරගය ක්‍රිකට්වලින් එහාට ගියා තරගයක් විදිහට හඳුන්වන්න පුළුවන්.“

“අනෙක් සිදුවීම තමයි, 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය. මාර්තු මාසේ 03 වැනිදා එල්ල වූ මේ ප්‍රහාරය මට කවදාවත් අමතක කරන්න බැහැ. අනික අපිට එදා ලබා දුන් ආරක්ෂාව මම අදත් අසතුටු වෙනවා. ඒ වෙලාවේ මම සහ ක්‍රිස් බෝඩ් සිටියේ බොහෝම අවදානම් අවස්ථාවක.“

“ මේ සිදුවීමෙන් ක්‍රීඩා ලෝලීන් අතිශයින් කම්පා වුණා. අද පාකිස්තානයේ සංචාරක කර්මාන්තය පවා බිඳ වැටී තිබෙන්නේ මේ නිසයි.ඒත් එදා ශ්‍රී ලංකා ක්‍රීඩකයක් සියලුදෙනාම නිරැපද්‍රිතව පැමිණීම ගැන අපි සතුටු වෙන්න ඕනේ.ඒත් මේ සිදුවීම මතක් වෙනකොට මගේ ඇඟ අදත් හිරිවැටෙනවා.ඒ කොහොම වුණත් එදා මම මගේ බිරිඳට දුරකථන ඇමතුමක් ගන්න බැරුව වින්ද දුක මට තාම මතකයි.“

කොහොම වුණත් තවත් වසර කිහිපයකින් හෝ ආයෙත් පාකිස්තානයේ තරග සංචාරයක යෙදීමට ක්‍රිකට් කණ්ඩායමකට පුළුවන් නම් ඒක ක්‍රිකට් ක්‍රීඩාවට බොහොම වැදගත්.ඒත් මම එදා ඒ සිදුවීමෙන් ගොඩක් අත්දැකීම් ලැබුවා.ක්‍රීඩකයන්ට, විනිසුරැවරැන්ට ආරක්ෂාව කියන දේ කොච්චර වැදගත්ද කියලා තේරැම් ගත්තා.ඒ නිසා අද මේ ක්‍රීඩාව තුළ හොඳ සුරක්ෂිතභාවයක් ගොඩනැගී තිබෙනවා.ඒ ගැන අපි සතුටු විය යුතුයි.කොහොම වුණත් දැන් ඒවා අතීතියට එකතු වෙලා හමාරයි. දැන් මම මගේ අලුත්ම තනතුර පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. මොකද එය භාරදූර රාජකාරියක්.“ ටෆල් මහතා අවසන කියා සිටියේය.

No comments:

Post a Comment