Tuesday, October 20, 2026

පිටකවරය කියවන පාඨකයෝ

මිනිසුන් යමක් කියවන විට එය කියවා අවබෝධ කරගන්නේ එහි ලියා ඇති වචන පමණක් නොවේ. බොහෝ අවස්ථාවලදී ඔවුහු ඒවා කියවන්නේ තමන්ගේ අත්දැකීම්, විශ්වාස, සැකසංකා සහ බියද සුමුසු කර ගනිමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස එකම ලිපිය කියවන පුද්ගලයන් දෙදෙනකුට එය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාර දෙකකින් අවබෝධ විය හැකිය.

“එක් අයකුට එය සමාජය පිළිබඳ සාධාරණ විවේචනයකි. තවත් අයකුට එය තමන් ඉලක්ක කරගෙන එල්ල කළ චෝදනාවකි. ලිපිය එකම වුවද, එය කියවීමෙන් පසු ඔවුන් තුළ ඇති වන අදහස් හා හැඟීම් එකිනෙකට වෙනස් ය.”

මෙවැනි වෙනසක් ඇති වන්නේ ඇයි?

ඊට එක් හේතුවක් ලෙස ඇතැම් පුද්ගලයන් ලිපියක් කියවන්නේ එහි කතුවරයාගේ අදහස්වලට පමණක් අවධානය යොමු කරමින් නොව, තමන් තුළ පවතින බිය සහ අනාරක්ෂිත හැඟීම් ද පදනම් කර ගැනීම සඳහන් කළ හැකිය.එය පරිපාලන ක්ෂේත්‍රයේදී වඩාත් හොඳින් නීිරීක්ෂණය වේ.

උදාහරණයක් ලෙස, 90 දශකයේ සමාජ ආකල්ප, පරම්පරාගත හැසිරීම් සහ එම යුගයේ පැවති ඇතැම් සමාජ ලක්ෂණ පිළිබඳ විවේචනය කළ ලිපියක් සම්පාදනය කිරීමේදී පරිපාලකයන්ට එම ලිපිය සම්බන්ධයෙන් වෙනත් ප්‍රශ්න මතු විය හැකිය.

“අපේ පරම්පරාවද මේ විදිහට විවේචනය කරන්නේ?”

“මාව ඉලක්ක කරලද මේක ලියල තියෙන්නේ?”

“මගේ ජීවන රටාව, මම විශ්වාස කරන අදහස්වලටද මේ විදිහට පහර ගහන්නේ?”

මෙවැනි ප්‍රශ්න සිත තුළ ඇති වන ඔවුන්, අන්තර්ගතය විමර්ශනය කිරීමට පෙර තමන් ආරක්ෂා කරගැනීමට පෙළඹෙති. එවිට ඔවුන්ගේ අවධානය යොමු වන්නේ කතුවරයා ඉදිරිපත් කරන තර්කවල සාධාරණත්වය පරීක්ෂා කිරීමට නොව, එම අදහස්වලින් තමන්ට ඇති විය හැකි තර්ජනය කෙරෙහි ප්‍රතිචාර දැක්වීමට ය.

එහෙත් කතුවරයාගේ අරමුණ කිසියම් පරම්පරාවක දක්නට ලැබුණු සමාජ ප්‍රවණතාවක් විමර්ශනය කිරීම විය හැකිය. එසේත් නැතිනම්, අතීතයෙන් වර්තමානයට පැමිණ ඇති ඇතැම් වැරදි ආකල්ප පිළිබඳව අවධානය යොමු කිරීම විය හැකිය එහෙත් කතුවරයාගේ සැබෑ අරමුණට වඩා පාඨකයාගේ අභ්‍යන්තර බිය බලවත් වීමයි.ඛේදවචාකය නිර්මාණය වී ඇත්තේ එතැනයි.

කතුවරයා සාකච්ඡා කරන්නේ සමාජ ප්‍රවණතාවක් වුව ද, පාඨකයාට හැඟෙන්නේ තමන්ට පෞද්ගලිකව අපහාසයක් එල්ල කර ඇති බවකි. කතුවරයා ප්‍රශ්න කරන්නේ කිසියම් ආකල්පයක් වුව ද, පාඨකයාට පෙනෙන්නේ තම අනන්‍යතාවට එල්ල වූ ප්‍රහාරයක් මෙනි.

අවසානයේදී, ලිපියේ සැබෑ අන්තර්ගතය තුළ නොමැති අරමුණක් පවා මේ හේතුවෙන් කතුවරයා වෙත ආරෝපණය විය හැකිය.

“එවිට විවේචනය පළිගැනීමක් ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීම සතුරුකමක් ලෙසත්, ප්‍රශ්න කිරීම පෞද්ගලික ප්‍රහාරයක් ලෙසත් පෙනෙන්නට පටන් ගනී.”

කෙසේ වෙතත්, මෙහිදී තවත් වැදගත් කරුණක් සැලකිල්ලට ගත යුතුය. සෑම විවේචනයක්ම සාධාරණ නොවන අතර, සෑම ලේඛකයකුගේම අරමුණද නිර්දෝෂී යැයි උපකල්පනය කළ නොහැකිය. ඇතැම් ලිපි සැබවින්ම පුද්ගලයන් හෝ කණ්ඩායම් ඉලක්ක කරගෙන ලියවිය හැකිය. එබැවින් ලිපියක අරමුණ, අන්තර්ගතය සහ භාවිත කර ඇති භාෂාව විමර්ශනාත්මකව සලකා බැලීම අත්‍යවශ්‍ය වේ.

“එහෙත්, යම් විවේචනයක් තමන්ට එරෙහිව එල්ල වූවක් ලෙස හැඟුණු පමණින් එය පළිගැනීමක් යැයි තීරණය කිරීමද සාධාරණ නොවේ.අවශ්‍ය වන්නේ හැඟීම්වලට පමණක් යටත් නොවී, ඉදිරිපත් කර ඇති අදහස්වල අර්ථය සහ ඒවායේ සාධාරණත්වය විමසා බැලීමයි.”

මෙම තත්ත්වය තේරුම් ගැනීමට තවත් සරල නිදසුනක් ගත හැකිය.

එකම නම සහිත පුද්ගලයන් දෙදෙනකු සිටිය හැකිය. ඔවුන්ගේ නම් එක සමාන වුව ද, ඔවුන්ගේ ජීවිත, අත්දැකීම්, සිතුවිලි සහ ආකල්ප එකිනෙකට වෙනස්ය. එබැවින් එකම නම ඇසූ විට පවා ඔවුන් තුළ ඇති විය හැකි ප්‍රතිචාර එකිනෙකට වෙනස් විය හැකිය.

ලිපියක් කියවීමේදී ද සිදුවන්නේ මෙවැනි දෙයකි.

“එකම ලිපිය, එකම වචන සහ එකම අදහස් දෙදෙනකු කියවුවද, ඔවුන් ඒවාට ලබා දෙන අර්ථය එක සමාන නොවිය හැකිය. එක් අයකුට එහි නව අදහසක් දැකිය හැකි අතර, තවත් අයකුට එහි තමන් පිළිබඳ චෝදනාවක් දැකිය හැකිය. තවත් අයකුට එය තමන් මෙතෙක් විශ්වාස කළ දේ නැවත සලකා බැලීමට ලැබුණු අවස්ථාවක් විය හැකිය.

එසේ නම් වෙනස් වන්නේ ලිපිය නොව, එය කියවන මනසයි.”

මේ නිසා එනයින් හැඟී යන්නේ මිනිසුන්ගේ කියවීමේ ක්‍රියාවලියට ඔවුන්ගේ අතීත අත්දැකීම්, පෞද්ගලික විශ්වාස, සමාජ පසුබිම සහ අනාරක්ෂිත හැඟීම් බලපාන බවයි. ඒ නිසා ඇතැම් විට පුද්ගලයකුගේ ලිපියක අර්ථය නිවැරදිව අවබෝධ කරගැනීමට පෙර, ඇතැම් පරිපාලකයන් එම ලිපිය තමන් තුළ ඇති කරන හැඟීමට ප්‍රතිචාර දැක්වීමට පෙළඹෙයි.

මෙය මිනිස් ස්වභාවය තුළ දක්නට ලැබෙන සාමාන්‍ය ප්‍රවණතාවකි. එහෙත් එම ප්‍රවණතාව හඳුනාගෙන තමන්ගේ ප්‍රතිචාර විමසා බැලීමට හැකි වීම බුද්ධිමත්භාවයේ සහ පරිණතභාවයේ ලක්ෂණයකි.එසේම ලිපියක් කියවා සිත තුළ කෝපයක් හෝ අපහසුතාවක් ඇති වූ විට, තමන්ගෙන්ම ප්‍රශ්නයක් ඇසීම වැදගත්ය.

“තමන්ට සිදූවී ඇති අසාධාරණය කුමක්ද? නැතහොත්, මා තුළ කලක සිට පැවති බියක්, සැකයක් හෝ අනාරක්ෂිත හැඟීමක් මෙම අදහස නිසා මතු වූවා ද?”

මෙවැනි ප්‍රශ්නයකට අවංකව පිළිතුරු සෙවීමෙන් පුද්ගලයකුට තමන් කියවන දේ පමණක් නොව, තමන් සිතන ආකාරය ද තේරුම් ගැනීමට හැකි වේ.

අවසානයේදී, කිව යුත්තේ ලිපියක් කියවීම යනු එහි වචන හඳුනාගැනීම පමණක් නොවේ. එහි අදහස තේරුම් ගැනීමත්, එම අදහස පිළිබඳ විචක්ලීෂණශීලීව සිතීමත්, තමන් තුළ ඇති වන ප්‍රතිචාර විමසා බැලීමත් ඊට ඇතුළත් වේ.

මන්ද එකම ලිපියක් එක් පුද්ගලයකුට දැනුම ලබා දෙන අතර, තවත් පුද්ගලයකුට එය වේදනාවක් ඇති කළ හැකිය. තවත් අයකුට එය තමන් පිළිබඳව නැවත සිතා බැලීමට අවස්ථාවක්ද උදා කළ හැකිය.

එබැවින් ලිපියක අර්ථය තීරණය කිරීමේදී කතුවරයාගේ වචන මෙන්ම, පාඨකයාගේ මානසිකත්වයද සැලකිල්ලට භාජනය කළ යුතුය.

“ඇතැම් විට අප කියවන්නේ ලිපියක ලියා ඇති දේ පමණක් නොව, අපගේම සිත තුළ සැඟවී ඇති බිය, සැක සහ අප පිළිබඳ අප තුළ පවතින අදහස්ද විය හැකිය. එකම ලිපිය දෙදෙනෙකුට දෙවිදියකට පෙනෙන්නේ එබැවිනි.

මිනිස් ස්වභාවය යනු එයයි.“

-මාලන් විදානපතිරණ 

(2026/10/20)

Monday, October 19, 2026

 

චරිතාංග රූපණයෙන් හදවත් දිනූ නානා පතේකාර්

ඉන්දීය සිනමාවේ චරිතාංග රංගනයට නැවුම් මානයක් එක් කළ ප්‍රවීණ ඉන්දීය රූපණ ශිල්පී නානා පතේකාර් පසුගිය 08 වැනිදා මිය ගියේය. මිය යන විට ඔහු හැත්තෑ පස්වැනි වියේ පසුවිය.

ප්‍රධාන ධාරාවේ සිනමාවේ ජනප්‍රියත්වය පමණක් නොව, චරිතයක අභ්‍යන්තරය ප්‍රේක්ෂකයාට දැනෙන පරිදි ඉදිරිපත් කිරීමේ හැකියාව නිසා ඉන්දීය සිනමාවේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගත් ඔහු, රූපණ ශිල්පියකුට අමතරව අධ්‍යක්ෂවරයකු, ලේඛකයකු සහ සමාජ ක්‍රියාකාරිකයකු ලෙසද ක්ෂේත්‍ර ගණනාවකට තම දායකත්වය ලබා දී ඇත.

1951 ජනවාරි 1 වැනිදා මහාරාෂ්ට්‍රයේ මුරුද්-ජන්ජිරා ප්‍රදේශයේ උපත ලැබූ නානා පතේකාර්ගේ මුල් නම විශ්වනාත් පතේකාර්ය. කුඩා කල සිටම කලා ක්ෂේත්‍රය කෙරෙහි ඔහු තුළ උනන්දුවක් පැවති අතර, පසුව රූපණ කලාව ඔහුගේ ජීවිතයේ ප්‍රධාන කොටසක් බවට පත් විය.

සිනමාවට පිවිසීමට පෙර වේදිකා නාට්‍ය තුළින් සිය රූපණ අභ්‍යාස සහ අත්දැකීම් ලබා ගත් ඔහු, එම වේදිකා පසුබිමෙන් රූපණයේ ස්වභාවිකත්වය සහ ප්‍රබලත්වය වර්ධනය කිරීමට පන්නරය ලැබුවේය.

1970 දශකයේදී සිනමාවට පිවිසි නානා පතේකාර්, ආරම්භයේදී ප්‍රධාන චරිතවලට වඩා විවිධාකාර සහ අභියෝගාත්මක චරිත නිරූපණය කිරීමට වැඩි අවධානයක් යොමු කළ අතර ඔහුගේ රූපණවේදයේ විශේෂත්වය වූයේ අතිශයෝක්තියකින් තොරව චරිතයේ හැඟීම් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමයි. කෝපය, වේදනාව, ආදරය, භය සහ අසරණභාවය වැනි මිනිස් හැඟීම් ඉතා ප්‍රබල ලෙස නිරූපණය කිරීමට ඔහුට ශක්‍යතාවය තිබිණ.

1980 දශකයේදී ඔහුගේ රූපණ ශෛලිය ඉන්දීය සිනමාවේ වැඩි අවධානයකට ලක් විය. විශේෂයෙන්ම සමාජ හා දේශපාලන පසුබිම් සහිත චිත්‍රපටවල ඔහු ඉදිරිපත් කළ චරිත ප්‍රේක්ෂකයන් අතර විශාල කතාබහක් ඇති කළේය.

මරාති චිත්‍රපටවලටද දායකත්වය ලබා දුන් ඔහු රඟපෑ බොලිවුඩ් චිත්‍රපටයක් වූ ‘සලාම් බොම්බේ’ වෙනුවෙන් 1988දී ඔස්කාර් සම්මානය සඳහාද නිර්දේශ වූ අතර එම චිත්‍රපටය ඔහුගේ වෘත්තීය ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත්විය.

නානා පතේකාර්ගේ සිනමා ගමනේ තවත් වැදගත් අංගයක් වන්නේ ඔහුගේ සමාජීය චරිත නිරූපණයයි. දුප්පත්කම, දූෂණය, ප්‍රචණ්ඩත්වය, යුද්ධය සහ සමාජ අසාධාරණය වැනි මාතෘකා ඇතුළත් නිර්මාණවල ඔහු ඉතා ප්‍රබල චරිත ඉදිරිපත් කළේය. ඒ හේතුවෙන් ඔහු ජනප්‍රිය නළුවකු පමණක් නොව, ගැඹුරු සමාජ ප්‍රශ්න සිනමාව තුළින් සාකච්ඡා කළ කලාකරුවකු ලෙසද පිළිගැනීමට ලක් විණ.

‘ක්‍රාන්තිවීර්’ චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කළ චරිතය ඔහුගේ රංගන දිවියේ තවත් සුවිශේෂී අවස්ථාවකි. එම චරිතය තුළින් සමාජයේ අසාධාරණයට එරෙහිව නැගී සිටින පුද්ගලයකුගේ කෝපය සහ අභ්‍යන්තර වේදනාව ප්‍රබල ලෙස නිරූපණය කිරීමට ඔහු සමත් විය.

ඔහුගේ ජනප්‍රියත්වය වඩාත් පුළුල් කළ තවත් චිත්‍රපටයක් වූයේ ‘වෙල්කම්’ ය. එහිදී ඔහු හාස්‍යමය චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීම මීට හේතුවයි. බැරෑරුම් චරිත සඳහා ප්‍රසිද්ධ නානා පතේකාර්ට හාස්‍යයද සාර්ථකව ඉදිරිපත් කළ හැකි බව එම නිර්මාණය තුළින් එනයින් පැහැදිලි විය. මේ නිසා ඔහුගේ රූපණ පරාසය පිළිබඳවද නව අවධානයක් මේ ඔස්සේ විචාරක මානයට යොමු විය.

රූපණයට අමතරව නානා පතේකාර් අධ්‍යක්ෂණයටද යොමු වූ අතර ඔහු විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කළ ‘ප්‍රහාර්’ චිත්‍රපටය එයට උදාහරණයකි. එම නිර්මාණය හරහා ඔහු සිනමාව පිළිබඳ ස්වකීය දෘෂ්ටිකෝණයක් ඉදිරිපත් කළ අතර එම චිත්‍රපටයේ කතාව හොඳම තිර කතාවට හිමි ෆිල්ම්ෆෙයා සම්මානය සඳහාද නිර්දේශ විණ.

නානා පතේකාර්ගේ සාර්ථකත්වයේ මූලික රහස ලෙස සැලකිය හැක්කේ ජනප්‍රියත්වය පසුපස හඹා යාමට වඩා චරිතයේ ගුණාත්මකභාවයට ප්‍රමුඛත්වය දීමයි. එමෙන්ම ඔහුගේ රූපණයේ දක්නට ලැබෙන සරල බව, ස්වභාවිකත්වය සහ සංවේදීතාවද නව පරපුරේ රංගන ශිල්පීන්ට පරමාදර්ශයකි.

එනම් රාජු බන් ගයා ජෙන්ට්ල්මන් (1992) සහ අන්ගාර් (1992) යන චිත්‍රපට වෙනුවෙන් හොඳම ප්‍රතිවීර නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු, ටිරන්ගා (1993) සහ ක්‍රාන්තිවීර් (1994) යන චිත්‍රපට වෙනුවෙන් හොඳම නළුවාට හිමි ජාතික සම්මානය මෙන්ම ෆිල්ම්ෆෙයා සම්මානය යන ද්විත්වයම දිනා ගැනීමට සමත් වූ රූපණ ශිල්පියෙකි.

2000 වසරේදී තම දක්ෂතාවය තව තවත් තීව්‍ර කළ පතේකාර්,ශක්ති(2002),අබ් තක් චප්පාන් (2004) හරහා සම්මානනීය රූපණයක නියැලුණු අතර අපහරන් (2005) චිත්‍රපටයේදී හොඳම ප්‍රතිවීර නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය නැවතත් දිනා ගත්තේය.

2006 වසරේදී ‘Taxi No. 9211‘ (2006) යන වානිජ ධාරාවේ චිත්‍රපටය හරහාද අතිශයින් සාර්ථක වූ පතේකාර්, මරාති චිත්‍රපටයක් වූ නට්සම්රත් හරහාද වානිජමය වශයෙන් සාර්ථක විය.

දශක ගණනාවක් පුරා සිනමාවේ රැඳී සිටිමින් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක මතකයේ රැඳුණු නානා පතේකාර්, ඉන්දීය සිනමාවේ වෙනස්ම අනන්‍යතාවක් ගොඩනඟාගත් කලාකරුවෙකු වන අතර ජනප්‍රිය නළුවකු වීම පමණක් නොව, චරිතයක් තුළින් මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩ ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම ඔහුගේ විශේෂ ශක්‍යතාවයයි.

එමෙන්ම ඔහු විවිධ සමාජ සේවා කටයුතු සඳහාද දායක වී ඇති අතර, ආපදා සහ අසරණ ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වූ අවස්ථාද පවතී.

මේ අනුව ජාතික සම්මාන තුනකින්ද,ෆිල්මෆෙයාර් සම්මාන හතරකින්ද,මහාරාෂ්ට්‍ර සම්මාන දෙකකින් සහ මරාති ෆිල්ම්ෆෙයාර් සම්මාන දෙකකින්ද පිදුම් ලැබූ නානා පතේකාර්ගේ නාමය,අවසන පද්ම ශ්‍රී සම්මානය ලැබීමට තරම් වරම් ලැබූ අතර ඉන්දීය චරිතාංග රංගන ඉතිහාසයේ දිගු කලක් වැජඹෙනු ඇත.

-මාලන් විදානපතිරණ

2026/10/08