Friday, July 12, 2013

ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා සමග සම්මුඛ සාකච්ඡාවක් - (අද) - 2012/08/15



සුනිල් පෙරේරා
‍‍
සටහන - මාලන් විදානපතිරණ
ඡායාරෑප - ශමීර රංගන

70 දශකයේදී ලුණු දෙහි, අම්මා අම්මා මේ මට, ලොවේ සැමා, ඕජේ ඔජායේ, මම නම් ග‍ඟේ පනිනවා, නෝනේ මගේ සුදු නෝනේ ආදී ඉතා ජනප්‍රිය ගීත ගායනා කළ එම සංගීත කණ්ඩායමේ නායකයා වන්නේ සුනිල් පෙරේරාය. මේ දිනවල සංගීත ක්ෂේත්‍ර‍යේ කෙසේ වෙතත් වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ඉතා ජනප්‍රිය චරිතයක් වන සුනිල් වසර අටකින් අනතුරැව Gypsies සංගීත කණ්ඩායම හරහා නව ගීත ඇල්බමයක් නිකුත් කිරීමට අදහස් කර ඇත.

නව ගීත එකතුව පිළිබඳව කතා කළොත්?

අපි අවසන් වරට ගීත ඇල්බමයක් නිකුත් කළේ 2004 වසරේදියි. අපිට වසරක් පාසා ඇල්බම් නිකුත් කරන්න බැහැ. කරන්නෙත් නැහැ. හොඳ නිර්මාණ එකතුවක් ලැබුණා. ඒ නිසයි මේ විදිහට ආයෙත් ඇල්බමයක් නිකුත් කරන්න අදහස් කළේ.
ප්‍රවීණ සංගීත ශිල්පියෙක් හැටියට ඔබ තරැණ සංගීත ශිල්පීන් ගැන මොකද හිතන්නෙ ?
අද ඉතා දක්ෂ තරැණ ළමයි පිරිසක් අපිට ඉන්නවා. ඔවුන් හොඳ නිර්මාණ කරනවා.මං හිතන්නේ එය හොඳ ප්‍රවණතාවක් කියලයි. ඒත් අපේ සමහර ප්‍රවීණ ශිල්පීන් මේවා අගයන්න සූදානම් නැහැ. ඔවුන් කරන්නේ මේ ළමයින්ට බනින එකමයි. එය වැරුදියි. තරැණ ළමයි විවේචනය කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. මොකද එය ‍රසිකයන්ගේ අයිතියක්. රසිකයායි ශිල්පියාගේ රඳා පැවැත්ම තීරණය කරන්නේ. අද අපි ඇන්ඳ ටී ෂර්ට් එක නෙමෙයි තරැණයා අඳින්නේ. ඒක තමයි ස්වභාවය. තමන් කරන දේ හරියට කරපන් කියලා ෆ්‍රෙඩී සිල්වා ගීතයක් ගායනා කළෙත් මේ නිසයි.

ඒත් අද සමහර තරැණයන් අනුන්ගේ ගීත ගායනා කර බැබළීමට උත්සාහ කරනවා කියලා චෝදනාවක් තිබෙනවා ?

අනුන්ගේ ගීත නවකයන් විසින් ගායනා කරපු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. අනික මේවා පිටරටවල්වලට නම් අමුතු දේවල් නෙමෙයි. මයිකල් බුබ්ලි වගේ ගායකයෝ කියන්නේ අනුන්ගේ ගීතයි. ඒත් එයා ගීතයට අලුතින් දේවල් එක්කාසු කරලයි ගායනා කරන්නේ. විට්නි හූස්ටන්ලා පවා ගායනා කළෙත් එහෙමයි. ඔහු ගායනා කළ I will always love ගීතය ඩොලි පාර්ටන්ගේ ගීතයක්. ඒත් ඔවුන් ඒ ගීත ගායනා කළේ මුල් ශිල්පීන්ගේ අනුමැතිය අනුවයි. මෙවැනි දෙයින් සිදුවෙන්නේ ගීතය තව තවත් අලුත් වෙන එකයි. තව තවත් රසිකයන් අතරට යන එකයි. ඒ නිසයි අපිත් අපේ ගීත තරැණයන්ට ලබා දෙන්නේ. එතකොට තමයි අපේ ගීත වුණත් පුළුවන් තරම් වෙනස් වෙන්නේ. හැබැයි අපේ සමහරැ නම් මේ ගීතවලට කියන්නේ විකෘ‍ති ගීත කියලායි. ඒත් ඒ ගායකයන්‍ අලුත් අර්ථකථන දෙමින් අලුත් විදිහට තමයි ඒ ගීත ගායනා කළේ. Gingle  bell ගීතය ගත්තොත් එය ගායකයන් ගණනාවක් ගායනා කර තිබෙනවා. ඒ නිසා මම නම් මෙහි වරදක් දකින්නේ නැහැ. ඒත් බටහිර ගායකයෝ මේ ගීත ගායනා කළේ යම් ක්‍රමවේදයකට අනුවයි. යම් ක්‍රමවත් පද්ධතියක්  මත සිටයි. අදාළ ගෙවීම් සිදුකරලයි. ඒකයි මෙතන වැදගත්. අනික බුදුන් වහන්සේ වුණත් උගන්වලා තියෙන්නේ දන් දෙන්න කියලායි. ඒත් අපේ අය නම් කිසිදෙයක් දෙන්නෙ නැහැ. ඒ තමයි මේ ජාතියේ හැටි. කුහකකම ඇරෙන්න මේ ජාතියේ ඇති දෙයක් නැහැ. ඒත් සුද්දො මීට වඩා බෞද්ධයෝ. ඒ මිනිස්සුන්ට හරියන්නත් මේ රටට හරියන්නේ නැති එකටත් හේතුව මේකයි.

ඔබ ඇයි හැමවෙලේ ම මේවාට හේතුඵල න්‍යාය ආදේශ කරන්න යන්නෙ ?

බුදුන් වහන්සේ දේශනා කළ හේතුඵල න්‍යාය ආදේශ කළහම අපට සිදුවෙලා තියෙන දේ හොයාගන්න ලෙහෙසියි. මේ රටට මේ වගේ තත්ත්වයක් උදාවෙන්න දිට්ඨධම්මවේදනීය කර්මත් බලපානවා. ඒවා තමයි අපට දැන් පල දෙන්නේ. ඕස්ට්‍රේලියාවට හරියන්නේ ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත යහපත් නිසායි. ඒකයි අපේ ළමයි බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාවට යන්නේ. ඒකයි රටේ දරැවෝ හොර වීසා හද හදා රට පනින්නෙ. ස්විස්ටර්ලන්තයට හරියන්නත් අපේ රටට හරි නොයන්නත් හේතුව මේකයි. මොකද නරක දේ කර කර අපිට හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒවාට සොබාදහමෙන් දඬුවම් දෙනවා. ඒත් අපේ මිනිස්සු කියන්නේ මේක බුදුන්ගේ දේශය කියලායි. එහෙනම් කොහොමද තක්කඩියෝ, මගඩියෝ, ස්ත්‍රී දූෂකයෝ, හොර වීසා හදන එවුන් මෙහේ ඉන්නෙ. එවුන් ඉන්න ඕනේ ස්විස්ටර්ලන්තයේයි. ඒ නිසා ලංකාව බුදුන්ගේ දේශය කියන එක බුදුන් වහන්සේටත් එක්ක ලැජ්ජාවක්. ලැජ්ජ නැද්ද එහෙම කියන්න ? අනික දඹුල්ලේ ඇතිවූ සිද්ධියේදී හාමුදුරැවරැ හැසිරැණු ආකාරය බුදුන් වහන්සේ වුණත් අනුමත කරාවිද? සිවුර දාගෙන වශී ගුරැකම් කරන එක බුදුන් වහන්සේ අනුමත කරාවිද? කුලය අනුව මහණ කරන එක අනුමත කරාවිද? එහෙනම් කොහොමද මේක බුදුන්ගේ දේශය වෙන්නෙ? ඒත් මේක දැක දැක හොඳ මිනිස්සු නිහඬව සිටිනවා. ඔවුන් වැරුද්ද පෙන්වා දෙන්න බයයි. අද මේ රට පවතින්නේ මේ වගේ තත්ත්වයකයි.ඕකට නියම කියමනක් තිබෙනවා. ඒ තමයි,
“ලෝකය බෙහෙවින් පීඩා විඳී. ඒ නරක මිනිසුන්ගේ දරැණු ක්‍රියාවලින් නොවේ.හොඳ මිනිසුන්ගේ නිහඬතාවය නිසයි.“

ඔබ හිතන විදිහට ඇයි මෙවන් නිහඬියාවක් ඇති වී තිබෙන්නේ ?

මේකට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ මිනිසුන්ගේ ආකල්ප. අද බොහෝ දෙනාට උගන්වලා තිබෙන්නේ මේ රට අයිති සිංහල බෞද්ධයාට කියලයි. මේක වැරුදියි. මොකද මේ රට අපි හැමෝටම අයිතියි. අපි ශ්‍රී ලාංකිකයි. ඒත් සිංහල බෞද්ධයාට මේක මදිකමක්. ඒත් ඉන්දියාවේ අගමැති සික් ජාතිකයෙක්. ඒ වගේම එක් වතාවක් මුස්ලිම් ජාතිකයෙකු වන අබ්දුල් කලාම් පවා ඒ රටේ ජනාධිපති වුණා. ඒත් ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් මතුවුණේ නැහැ. ඒත් අපේ රටේ සිංහල බෞද්ධ හැර වෙනත් පිටස්තරයෙක් ජනාධිපති වුණොත් ඒක අපේ අයට ලොකු ප්‍රශ්නයක්. මොකද සිංහල බෞද්ධයාට අවශ්‍ය වෙන්නේ නුසුදුසු පුද්ගලයකු වුණත් බෞද්ධ නම් ඒ පදවියට පත්කර ගැනීමටයි. ඔවුන්ට නියම සුදුස්සා කවුද කියන එක වැදගත් වෙන්නේ නැහැ.. මොකද මේ රටේ බෞද්ධයා රකින්නේ මනුෂ්‍යත්වය නෙමෙයි. සිංහලත්වයයි. මේ රටට හරියන්නේ නැත්තේ මේ නිසයි.

අනික මේ රට දන්න දා ඉදන් කළේ අනුන්ගෙන් ඉල්ලගෙන කාපු එකයි. ඉතින් කොහොමද අපි ශ්‍රේෂ්ඨ මිනිස්සු වෙන්නේ? අපි ශ්‍රේෂ්ඨ මිනිස්සු නම් තමන්ගේ ස්වශක්තියෙන් නැගී සිටිය යුතුයි. ඒත් අපේ මිනිස්සු තමයිලු මේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිස්සු කියන්නේ. මේ කයිවාරැව නම් අපිට තියෙනවා. සංස්කෘතිය, සදාචාරය, සිරිත් විරිත්, ඉතිහාසය ගැන නම් කයිවාරැ ගහනවා. ඉතින් එහෙනම් ශ්‍රී ලංකාවට හරියන්න එපායැ. කොහොමද එහෙනම් ස්විස්ටර්ලන්තයට හරියන්නේ ? ඕස්ට්‍රේලියාවට හරියන්නේ ? ඇමෙරිකාවට හරියන්නේ ? අපි ණය ඉල්ලන්නේත් සුද්දන්ට බැණ බැණයි. අපි දැන් ලෝකෙටම ණයයි. හැබැයි මොනවා වුණත් බුදුන් වහන්සේට නම් හරිම ආදරෙයි. දැක්කොත් වඳිනවා. දැක්කොත් වඳිනවා. ඒත් බෞද්ධ දර්ශනය ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැහැ. පිළිපදින්නෙත් නැහැ.මේක තමයි සිංහලයාගේ හැටි. සිංහලයන්ට තමයි අද වශී ගුරැකම් දැන්වීම් පළ වෙන්නේත්. අද පත්තරයක් බැලුවම වැඩියෙන් ම වෙළඳ දැන්වීම් තිබෙන්නේත් වශී ගුරැකම්වලටයි.මොකද මෝඩයෝ ඉන්න රට මේක බව ඔවුන් දන්නවා. මේ පාපකර්ම නිසා තමයි අද අපි තෙවැනි ලෝකයේ රටක් බවට පත්වෙලා තිබෙන්නේ. ඉතින් කොහොමද මේවා පින්වන්ත රටවල් වෙන්නේ ?

අද සිටින ඇතැම් ප්‍රවීණ කලාකරැවන් ආණ්ඩුවට කඩේ යන බවට චෝදනාවක් තිබෙනවා මේ ගැන මොකද හිතන්නේ ?

අනේ ඒ ගොල්ලෝ පව්.අසරණ ඇති. ඒ නිසා වෙන්න ඇති ඔහොම පැල් බැඳගෙන ආණ්ඩුවට කඩේ යන්නෙ. ඒ නිසා මම ඒගොල්ලෝ ගැන අහිතක් හිතන්නෙ නැහැ. මොකද මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම එහෙම කඩේ යන්නෙත් නැහැ.ඒ අසරණ කලාකරැවෝ ආණ්ඩුවට කඩේ යන්නේ තමන්ටම කියලා දෙයක් නැති නිසයි. ඒ නිසා අපි ඒගොල්ලන්ට අනුකම්පා කළ යුතුයි. තමන්ට හයියක් තියෙනවා නම් මොකටද අනුන්ට වඳින්න පුදන්න යන්නෙ? මේවාත් ඉතින් පාපකර්ම තමයි. අනික මෙහෙම කඩේ යන්නෙත් එසේ මෙසේ අය නෙමෙයි. ශ්‍රේෂ්ඨ කලාකරැවෝයි. ශ්‍රේෂ්ඨයි කියා කියාගන්නා කලාකරැවෝයි. ඒත් මම නම් දකින්නේ නැහැ ඔවුන්ගේ මෙවැනි ශ්‍රේෂ්ඨ බවක් නම්.


ඔබ විසින් ඔබගේම ගීත වෙනත් ගායකයන්ට ලබාදී තිබෙනවා. ඒත් ඒ ගීත අසන සමහරැ කියන්නේ අලුත් ගීතය විසින් ඔබේ මුල් ගීතය විනාශ කරලා කියලායි. මේ ගැන මොකද හිතන්නෙ ?     

මේ සමහර මිනිස්සු හරි මෝඩයි. ඒ ගීතය විනාශවෙලා කියලා දැන දැනම ඇයි ඒ ගීතය මිලදී ගත්තෙ ? මම කිව්වද ඒ අලුත් ගීතය ගන්න කියලා? මගේ ගීතයත් කඩේ තියෙනවා. ගන්නකෝ ඒ ගීතය. එතකොට හරි. මිනිස්සු තමන්ට හරියන ගීතය ගත්තහම ඔය ප්‍රශ්න විසඳෙනවා. ඒ නිසා අපි සොයා බැලිය යුත්තේ මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ මොකද කියන එකයි. අද අපේ රටේ බලය ව්‍යාප්ත වන නිසි ක්‍රමවේදයක් නැහැ. කලාව දියුණු කරන්න නිසි ක්‍රමවේදයක් නැහැ. අනික එහෙම ක්‍රමවේදයක් හැදුවත් ඒකේ ඇතුළේ සියලුදෙනාම ඉන්නෙත් නැහැ. මොකද මේගොල්ලෝ හැම ක්‍රමවේදයක්ම පටන් ගන්න හදන්නේ පහළින්. පසුගිය දවසක බැංකු වංචාවක් අතටම අසුවුණා. ඒ අසුවුණේ අධිකරණයට සම්බන්ධ ශ්‍රේෂ්ඨ කාන්තාවකගේ සැමියෙක්. ඒත් බිරිඳ තමන්ගේ රුකියාවෙන් ඉල්ලා අස්වුණේ නැහැනෙ. තාමත් එතැන ලගිනවා. ලැජ්ජ නැද්ද  මෙහෙම ඉන්න? ඒත් කියන්නේ නම් ශ්‍රේෂ්ඨ මිනිස්සු ඉන්නෙ ලංකාවේ කියලයි. ඒත් ඉල්ලා අස්වීමක් සිදුවුණොත් ආන්දෝලනාත්මකයි. ඒ වගේම ඇත්තක් කිව්වොත් ඒත් ආන්දෝලනාත්මකයි.
අපිට මෙවැනි දුකක් උරැම වෙන්නත්, දුක තව තවත් වැඩිවෙන්නත් හේතුව මේකයි. පස් කාගෙන බුදුන් වැන්ඳත් දුක අඩුවෙන්නේ නැත්තේ මේ නිසයි. පෝය දවසට විතරක් මතට තිත තිබ්බත්, මස් විකුණුවේ නැතත් පින් ඵල දෙන්නේ නැත්තේ මේ නිසයි. ඒත් අපේ අය හිතන් ඉන්නේ මේක පින් බිමක් කියලයි.සමහර සංඝයා වහන්සේලාටත් මේක හරි චූන් වැඩක්. ඒත් බෞද්ධ දර්ශනයේ යෙදෙන්න විශේෂ පෝය දින අවශ්‍ය නැහැ.අනික බුදුන් වහන්සේ කිසිම තැනක තමන්ට වන්දනාමාන කරන්නවත්, පන්සල් යන්නවත්, බුදු පිළිමවලට වඳින්නවත් කියලා නැහැ.

ඔබ එසේ කිව්වත් පන්සලින් තමයි ධර්මය ප්‍රචාරය කෙරෙන්නෙ ?

ඔව්. ඒක ඇත්ත. පසුගිය දවසක දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යයි කියලා යෝජනාවකුත් ආවා. ඒත් මට  තියෙනවා ඒ යෝජනාව ගැන පොඩි ප්‍රශ්නයක්. 1948 ඉඳන් පත්වුණු අය දහම් පාසල් ගියා නේද ? ඒගොල්ලෝ දෙමව්පියන්ට වැන්ඳා නේද? ඒගොල්ලෝ ආවේ හොඳ පවුල්වලින් නේද? එහෙම දහම් පාසල් ගිය උන්ම නේද අපිට කෙළියේ ? ඒත් ස්විස්ටර්ලන්තය දහම් පාසල් යනවාද ? ඕස්ට්‍රේලියාව දහම් පාසල් යනවද ? ඒත් ඒගොල්ලෝ අදාළ ක්‍රමවේදය අනුගමනය කරනවා. ධර්මය ඇතිවෙන්නේ මෙහෙමයි. නීතිගරැක සමාජයක් ඇතිවෙන්නේ මෙහෙමයි. මේකයි වෙනස. අපි මෙය වටහාගත යුතුයි.

වෙළඳ දැන්වීම් නිසා ඔබ විකිණෙන බව සමහරැ පවසනවා ?

ඔව්. මම ඒක දන්නවා. ඒත් මමත් කැමැතියි එයින් අයින් වෙන්න. හැබැයි ඒ කියන අය මං ගැන බලන්න ඕනේ. සළකන්න ඕනේ.මොකද අසරණ සුනිල් පෙරේරා කලාකරැවාට පිහිටවෙන්න කියන තත්ත්වයට පත්වෙන්න මම කැමැති නැහැ. මොකද මෙය මගේ ආදායම් මාර්ගයක්. ඒත් මේ ආදායම් මාර්ගය සලසා දෙන්න කවුරැහරි ඉදිරිපත් වෙනවා නම් අපිත් කැමැතියි මේවා ඔක්කොම නවත්වන්න. අනික හැමෝටම පේන්නෙ අපිවයි. ඒගොල්ලන්ට මහේල ජයවර්ධන හෝ කුමාර් සංගක්කාර හෝ ලෙස්ටර් ජේම්ස් පීරිස් හෝ ප්‍රේමසිරි කේමදාසව පේන්නේ නැහැ.

 අද රියැලිටි වැඩසටහන් හරහා බිහිවන ඇතැම් ගායක ගායිකාවන්, අපටත් එයින් පසුව දකින්නත් නැතුව යනවා. මේ ඇයි ?

නැහැ. එහෙම නැහැ. ඔවුන් එහෙම රියැලිටි වැඩසටහන් හරහා ආවත් පසුකාලීනව තමන්ගෙ නිර්මාණ කරනවා. සමහර ඒවා ජනප්‍රිය වෙලත් තිබෙනවා. ඒත් සමහරැ නම් මැරෙනකං ගායනා කරන්නෙ තාත්තලාගෙ ගීතයි. එහෙම වුණොතින් නම් ඔවුන්ට අනන්‍යතාවයක් ගොඩනැගෙන්නේ නැහැ. මේ නිසා ගායක ගායිකාවන් තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනැගෙන ගීත ගායනා කළ යුතුයි. ඒත් දැන් මට වෙලා තියෙන්නේ පුතාගේ ගීත ගායනා කරන්නයි. මොකද මගේ සෙවණැල්ලෙන් ජනප්‍රිය වෙන්න ගයාන් කැමැති නැහැ.

      

No comments:

Post a Comment