Friday, July 12, 2013

ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක සමග සම්මුඛ සාකච්ඡාවක් -(අද) - 2012/08/15




ලෝකයට පෙර අප රටට ආදරය කළ යුතුයි

සටහන - මාලන් විදානපතිරණ

බුදුන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පිරිනිවන් පෑම යන බුදු තෙමඟුල සිහිගැන්වෙන වෙසක් මාසය ද ගෙවී යන්නේය. දැන් එළඹී ඇත්තේ පොසොන් මාසයයි. බෞද්ධ හදවත්හි ශ්‍රද්ධාව වැනි හැඟීම් අවදි කරවන සුළු බෞද්ධ ගීත දැන් දැන් විද්‍යුත් නාලිකා හරහා දිනපතා ප්‍රචාරය කෙරේ. එහෙත් බෞද්ධ සාහිත්‍යය, බෞද්ධ ගීත වැදගත් වන්නේ වෙසක් මාසයට පමණද ? නො එසේ නම් පොසොන් හෝ ඇසළ මාසයන්ට පමණක්ද ? මේ පිළිබඳව අපි ප්‍රවීණ සාහිත්‍යධරයෙකු වන සෝමවීර සේනානායක මහතාගෙන් විමසමු.
“ ඔව් ඒක ඇත්ත. අද තියෙන්නේ අධික ලෙස මුදල් පසුපස හඹායන සමාජයක්. මේ නිසා නිතර දෙවෙලේ බෞද්ධ සාහිත්‍යය සහ බෞද්ධ ගීත ඇසීමට රසිකයාට කාලයක් නැහැ. ඒත් ඔවුන්ගේ හද ගැස්ම රුඳී තිබෙන්නේ ජන සාහිත්‍යය, බෞද්ධ සාහිත්‍යය, දේශීය සංස්කෘතිය, කවිය, නවකතා සහ කැටයම් ආදිය සමගයි. මේ නිසා මේ කාලයේදී බෞද්ධයන් මෙය ඉතා තදින් දැනෙනවා.“

ඔබ මේ දවස්වල යෙදී සිටින නව නිර්මාණ කටයුතු පිළිබඳ ඇසුවොත් ?

මම මේ දවස්වල පොතක යහපත් ආකල්ප සංග්‍රහය නමින් කෘතියක් සම්පාදනය කරමින් සිටිනවා. මොකද වර්තමාන සමාජය ට යහපත් ආකල්ප මොනවාද, ඒවා ළං කර ගන්නේ කොහොමද කියන දේ ගැන එතරම් අවබෝධයක් නැහැ.ඒ වගේ මම මේ දවස්වල ඉතා සෙමින් සහ ප්‍රවේශයෙන් සුදත් රෝහණගේ නව ටෙලිනාට්‍යයක තිර පිටපත සකස් කරමිනුයි ඉන්නේ. මෙහි තේමාව ගලා යන්නේ ලංකාවේ සංස්කෘතික උරැමයන් සම්බන්ධවයි.

අද වන විට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ටිකෙන් ටික අගාධයකට තල්ලුවෙමින් පවතින බව බොහෝ දෙනා පවසනවා. මේ ගැන ඔබ මොකද හිතන්නෙ ?   

ඔව් එයයි ඇත්ත. අද වන විට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය සෑම අංශයකින් ම කඩා වැටී තිබෙනවා.ඒත් ටෙලිනාට්‍ය ආරම්භ වූ දශකයේදී නම් එය අනෙක් රටවලට සාපේක්ෂ ව එක්තරා ආකාරයක උසස් මට්ටමක පැවතුණා.විශේෂයෙන් ම ඒ කාලේ ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමේදී දේශියත්වය ට මුල්තැනක් දුන්නා.  ඒ වගේ ම ඒ දවස්වල සිටි රසිකයාට ප්‍රඥා සම්පන්න රසවින්දනයක් තිබුණා.විශේෂයෙන් ඒ කාලේ රසවින්දනය පිළිබඳ යම් දැනුම්වත්භාවයක් තිබුණා. ඒත් අද එවැනි තත්ත්වයක් දකින්නට නැහැ. අද ටෙලිනාට්‍ය ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩිවුණත්, රෑපවාහිනී නාලිකා ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩිවුණත් එයින් ඉදිරිපත් කරනා දේවල් හරිම බොළඳයි. මෙය බොළඳ තරගයක්. කිසිම ගුණාත්මක බවක් නැහැ. මේ නිසා කලාතුරකින් තමයි හොඳ ටෙලිනාට්‍යයක් බිහිවෙන්නේ.  
මේකට බලපෑ හේතු කිහිපයක්ම තිබෙනවා. අද බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ සුළු මුදලක් වැය කරමින් උපරිම ලාභයක් ලබා ගැනීමටයි. මේ නිසා ඔවුන් ඒ සඳහා කළ හැකි හැමදේම කරනවා. ඒ කාලේ ටෙලිනාට්‍යයකට එක අනුග්‍රාහකයෙක් හිටියා. ඒත් අද එවැනි ක්‍රමවේදයක් දකින්නට නැහැ. එම ටෙලිනාට්‍ය මිලදී ගන්නේත් රෑපවාහිනී නාලිකා විසින්මයි. මේ නිසා මෙය අද ව්‍යාපාරයක් පමණක් වෙලයි තිබෙන්නේ. ඒත් අද වන විට මෙය ව්‍යාපාරයක් බව කියන්න පවා නොහැකි තත්ත්වයක් උද්ගතවෙලා තිබෙනවා. මේ නිසා මෙය එක්තරා විදිහක ජාවාරමක් විදිහට හැඳින්වීමටයි වඩාත් ම නිවැරදි. මේ නිසා මෙවැනි පසුබිමක් තුළ හොඳ කලාවක් හෝ හොඳ රසවින්දනයක් ඇති රසිකයන් පිරිසක් බලාපොරොත්තු වෙන්න අමාරැයි. මොකද අද සිටින්නේ නරඹලා රසවිඳිනවා වෙනුවට ඔහේ බලා සිටින රසික පිරිසක්. ඒ වගේම අද සිටින බොහොමයක් නිෂ්පාදකවරැන්, අධ්‍යක්ෂවරැන්, තිර රචකයන්, රංගන ශිල්පීන් තමන්ගේ මුල මැද අගවත් දන්නේ නැහැ.  අනික අද පවතින මෙගා කියාගන්නා ටෙලිනාට්‍ය බොහොමයක් වටිනාකමින් තොරයි. මේවා නිකම් වැල් නාට්‍ය පමණයි.

ඒත් නෑදෑයෝ, දූ දරැවෝ, සත්පුර වැසියෝ වැනි මාලා ටෙලිනාට්‍යවලට තිර රචනා සම්පාදනය කළේ ඔබයි. ඔබ මෙවැනි ටෙලිනාට්‍ය නිර්මාණය කළ නිසා නේද අද මෙවැනි තත්ත්වයක් උදාවෙලා තිබෙන්නේ ?

මම ඒ කාලේ තිර රචනා කළ ඒ නාට්‍ය විකාශය වුණේ සතියකට දවසක් පමණයි. අනික ඒවා හරසුන් ටෙලිනාට්‍ය විදිහට ප්‍රේක්ෂකයන් සළකන්නේ නැහැ. මම එම තිර රචනා ලියනා සමයේ ඉතා විශාල කොටස්වලින් සැදුම්ලත් ටෙලිනාට්‍ය විකාශය වීම ලොවෙහි දකින්නට ලැබුණූ නව ප්‍රවණාතාවක් වුණා.මම කළේ එවැනි ටෙලිනාට්‍ය වර්ග ලංකාවට හඳුන්වා දීම පමණයි.මම එදා හිතුවේ නැහැ මෙය වසංගතයක් වෙයි කියලා.හිතුවා නම් එවැනි ටෙලිනාට්‍ය වර්ග හඳුන්වාදෙන්නෙත් නැහැ.

අද රෑපවාහිනිය දෙස බැලුවොත් බොදු දහම ඇසුරැ කර ගත් නිර්මාණ කිරීමට තරැණ පරපුර එතරම් උනන්දුවක් දක්වන්නේ නැති බවයි අපට පෙනෙන්නෙ. ඔබ මෙය දකින්නේ කොහොමද?

අපට එදා වගේ පන්සලට ගිහින් බණ මඩුවේ බෞද්ධ නාට්‍ය බලන තරැණ පිරිසක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් තරැණ පිරිස රෑපවාහිනියේ විකාශය වන බෞද්ධ නාට්‍ය බලනවා. 1982 වසරේ වෙසක් පහණ නම් ඒකාංගික ටෙලිනාට්‍ය තමයි මේ ටෙලිනාට්‍ය පටන් ගත්තේ. ඒ කාලේ විකාශය වූ පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයත්, බෞද්ධ සංකල්ප ආභාසයෙන් නිර්මාණය වූවක් විදිහට සලකන්න පුළුවන්.මම මෙවැනි බෞද්ධ ටෙලිනාට්‍ය සම්ප්‍රදායයක් ඇති කිරීමේ අභිලාසයෙන් තමයි සංසාරේ පිය සටහන්, සිත නිවන කතා වැනි ටෙලිනාට්‍යවලට කතා 81ක් ම ලිව්වේ. ඒ වගේ ම කොටස් සියයක් විකාශය වූ පාරමිතා ටෙලිනාට්‍යයට තිර රචනා සැපයුවෙත් මේ නිසයි. ඒ වගේ ම ම කාන්තාවන් සහ තෙරණින් වහන්සේලා වෙනුවෙන් සෑම පෝයදාකම විකාශය වන තෙරණි ගීතය ටෙලිනාට්‍ය මාලාවත් නිර්මාණය කළා. මේවා ට තරැණ පිරිසගෙන් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා.

ඔබ නවකතාකරැවෙක්. වත්මන් නවකතා රචක රචිකාවියන් සම්මාන බලාපොරොත්තුවෙන් නවකතා රචනා කරන බවට චෝදනාවක තිබෙනවා. ඔබ මේ ගැන මොකද හිතන්නේ ?

අද සෑම අවුරැද්දක ම නවකතා සියයකට වඩා නිකුත් වෙනවා. මේ නිසා මේ නවකතාව හොඳය මේ නවකතාව හොඳ නැතිය කියලා ජනතාව අතර පොදු මතයක් ගොඩනගන්න අමාරැයි. කෙසේ වෙතත් සම්මාන බලාපොරොත්තුවෙන් නවකතා ලියැවෙනවා නම් එය එතරම් සුබ ලකුණක් වෙන එකක් නැහැ.මොකද සම්මාන ලේඛකයාට අරමුණුවලට කොහෙත් ම අදාළ වෙන්නේ නෑ. ඒත් ඔබ කියූ සම්මාන නවකතාකරැවාගේ ඉදිරියට බලපානවා. පොත ගැන එයින් ප්‍රචාරයකුත් ලැබෙනවා. හැටේ දශකයේදී නම් මෙම සම්මාන පිළිබඳ විග්‍රහයක් රුගත් නවකතා පිළිබඳ සඟරා පවා පළ වුණා. එයින් පාඨකයා හොඳ නිර්මාණ පිළිබඳ දැනුම්වත් වී සිටියා. ඒත් අද එහෙම තත්ත්වයක් දකින්නට නැහැ.මේ නිසා අද සාහිත්‍යය පවා සංකීර්ණ ස්වභාවයක් ගෙන තිබෙනවා.
අනික නවකතාකරැවාට තිබිය යුත්තේ තමන්ගේ ම කියා ලේඛන ශෛලියක්. ඒ තුළ අපූරැ කතා වස්තුවක් තිබිය යුතුයි. එය අපූර්වත්වයෙන් යුතුව පාඨකයා ට ඉදිරිපත් කළ යුතුයි. ඒත් අද පවතින ඇතැම් නවකතා මහපොළොව ස්පර්ශ නොකරන බවයි අපට පෙනෙන්නේ. මොකද ඒ තුළ දේශීයත්වය, අපේකම දකින්නට ලැබෙන්නේ නැහැ.අද අන්තර්ජාලයට ගියා ම ඕනෑතරම් කතාවස්තු තිබෙනවා. නවකතා කියවන්නත් තිබෙනවා.ඒවා ම අපේ නම්වලින් ලිව්ව ට ඒවා අපේ නවකතා වෙන්නේ නැහැ.මේ නිසයි මා අද නවකතාවේ යම් නොගැලපීමක් දකින්නට ලැබෙන බව කිව්වේ.

ඒත් ඔබ කියූ දේශීයත්වය, අපේකම සයිබර් අවකාශයේ සැරිසරන වත්මන් සමාජය ට අදාළ වෙනවාද ?

අපි ලෝකය සමඟ ගනුදෙනු කිරීමට නම් අපේ කියලා අනන්‍යතාවයකින් යුත් දේවල් තිබිය යුතුයි. ඒ නිසයි දේශීයත්වය, දේශීය චින්තනය යනාදිය අපට අවශ්‍ය වෙන්නේ. එවිටයි ලෝකය ජයගත හැක්කේ. අපි විශ්ව ගම්මානයක ජීවත් වන බව ඇත්ත. අද අපි ගනුදෙනු කරන්නේ ලෝකය සමග බවත් ඇත්ත.ඒත් අප එහෙම කියලා මෙහේ සිට විශ්ව ගම්මානයක් විය යුතු නැහැ. විශ්ව ගම්මානයක් කියලා අපේ බෙලිමල් අමතක කරලා විදෙස් සමාගම්වල බීම බොන්න ඕනෑ නැහැ. ඒ නිසා අප ලෝකයට පෙර රටට ආදරය කළ යුතුයි.

ඔබ මෙහෙව් රටේ, පාරමිතා වැනි ටෙලිනාට්‍ය ජනතාව අතරට ගෙන ආවාට ඒවා ගෙන යාමට කිසිවකු ඉදිරිපත් නොවන බවයි අපට පෙනෙන්නේ ?

මෙහෙව් රටේ වැනි ටෙලිනාට්‍ය නිර්මාණය කරන්න කිසිවකු අද අනුග්‍රහයක් දක්වන්නේ නැහැ. එය ඇත්ත.අද නිර්මාණ හුඟාක් අඩුයි. ඒත් අපේ ජන සම්ප්‍රදායේ යා යුතු ඉසව් ‍තව බොහොමයක් තිබෙනවා. ඒත් මේවාට රෑපවාහිනී නාලිකා පවා එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.  




No comments:

Post a Comment