Saturday, November 28, 2015

අමතක නොවන හමුවීමක් සහ අමතක නොවන කතාවක්

අමතක නොවන හමුවීමක් සහ අමතක නොවන කතාවක්

මං මෙලොව එළිය දුටු මුල් දවසක,අම්මයි තාත්තයි මට අසනීප වෙලා බොහෙත් අරගෙන ආයෙමත් කාසල් එකෙන් එළියට එද්දී බස් ස්ටෑන්ඩ් ළඟින් දැකලා පුරුදු චරිතයක් ගියා.ඒ වෙන කවුරුවත් නෙමෙයි.අතිශයින් ජනප්‍රිය කමල් අද්දරආරච්චි.ඔහු අපිව දැකලා ලොරිය නැවැත්වුවා.කොහාටද යන්නේ ඇහුවා.ඉන්පස්සේ ලොරියේ ඉස්සරහ සීට් එක අපට දීලා,පිටිපස්සේ තනියෙන් එල්ලීගෙන ගියා.ඒ කතාව මට තාත්තා කිව්වේ කමල්ව ඈත ති
යා දකිද්දියි.මොකද මම දැනන් හිටියේ කමල් දක්ෂ නළුවෙක් විදිහට විතරයි. ඒත් එදායින් පස්සේ මට අවුරුදු 25ක් යනකම්ම ඔහුව හම්බවුණේ නැහැ. අද හම්බවුණෙත් අහම්බෙන් වගේ. ඒ තාත්තත් එක්ක කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ නිමවෙලා ගෙදර එද්දී, තලංගම - කොස්වත්ත පිහිටි ෆුඩ් සිටියට ගිය මොහොතේදී(2015/11/4).
“කමල්ට මතකද ඔයා කාසල් එක ළඟදී අපිට ලොරියේ ඉස්සරහ සීට් එක දීලා පිටිපස්සේ ගියා හිටගෙන,හුඟ කාලෙකට කලින්.“ තාත්තා ෆුඩ් සිටියේදි කමල් අන්කල්ගෙන් ඇහුවා.
ඔහු සිනාසුණා.සමහරවිට මතක නැතිව ඇති.
“මේ ඉන්නේ එදා ඔයා දැකපු දවස් කීපයේ පුංචි ළමයා තමයි“ තාත්තා ආයෙමත් කිව්වා.

නමුත් අද(2015/11/27) මම, ඔහුගේ නිවසට ආවේ අද පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස ඔහු සමග සිනමාව පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක යෙදෙන්නයි.මේ ඒ සොඳුරු මොහොත.
- මාලන් විදානපතිරණ

Wednesday, September 23, 2015

පසිඳු බටගොඩ පිළිබඳ පුංචි සිදුවීමක්

පාසැල් කාලේ තවත් පුංචි සිදුවීමක්

පසිඳු(පසිඳු බටගොඩ), මේ පුංචි සිද්ධිය මතක් කළා කියලා මං එක්ක අමනාප වෙන්න එපා.
ඒත් මට මතකයි දවසක් උඹ දෙක වසරේදී ඉක්කාවක් ගියාම,

“ඉක්කයි මායි ගාලු ගියා.ඉක්කව දාලා මං ආවා“ කියලා තුන් පාරක් කිව්වා.
ඒක ඇහුවම හැබැයි අපේ යාළුවෝ උඹට එදා හිනාවුණා.මොකද ඒ කාලේ ඉක්කාවක් හැදුණාම, උඹ කිව්ව විදිහට කිව්වම ඒක හරියනවා කියලා සමහරු පුංචි මතයක් හදන් හිටියා.ඒත් මට ඒක අලුත් දෙයක් වුණු නිසාම උඹ කරපු දේ දැක්කට පස්සේ අම්මගෙනුත් මේ ගැන ඇත්ත නැත්ත එදා හොයන්න මම ඉදිරිපත් වුණා.
ඒ කාලේ කොයිතරම් සුන්දරද ?


- මාලන් විදානපතිරණ

Tuesday, September 22, 2015

ළමා කාලයේ කියවපු කවියක් මතක් වුණා

ළමා කාලයේ කියවපු කවියක් මතක් වුණා

නැණ ගුණ දම්
රුව පැහැතුම්
ඇති අය නම් 
රෝස කුසුම්

Sunday, September 20, 2015

මතකද ඒ පුංචි කාලේ කියූ කවිය

මතකද ඒ පුංචි කාලේ කියූ කවිය

පුංචි ඇටේ පැළවෙනා
පුංචි පැළේ ගසවෙනා
පුංචි පුංචි දැනුමෙනා
පුංචි ළමෝ පඬිවෙනා

Saturday, September 19, 2015

පොර ටෝක්,ඉගෙනීම සහ මම 2015/09/19

පොර ටෝක්,ඉගෙනීම සහ මම

බර වදන් යොදාපු
පොර ටෝක් ගොතාපු
ඇදහුමක් පුරාලපු
ඉගෙනුමද යහපත්?

බැහැ මටත් ඉවසන්න
සොඳුරු බව මට දෙන්න
ජීවිතේ කොතරම්
පියකරුද පවසන්න

මල් වඩම් මවාපු
අකමැත්ත ඔතාපු
සතුට මට තහනම්ද
ජීවිතේ මෙතරම්

ලගන්නා කතරක
මටම වූ පැළයක
පහස ඇයි ලබනට
තහංචි වැටකොටු බැඳ

නුඹ ඔහොම ඔතැනම
තව ටිකක් හිඳිනු මැන
මගක් මම තනාගෙන
එමි හෙටම උදයෙන්ම

- මාලන් විදානපතිරණ

Thursday, September 17, 2015

Interview 0f Award Winning Srilankan Actress - Anoma Janadari - Daily ADA Newspaper on 2015.09.17

I Interviewed with Award Winning Srilankan Actress - Anoma Janadari - Daily ADA Newspaper on 2015.09.17
I Discussed about Acting because she wrote a new book about Acting

She respected me to my questions.because she said first time she faced like these questions.She asked how did you learn these things, who are your teachers, what is your university etc. This credit goes to my drama and theatre teacher Mr.Jayalal Rohana and My University of Colombo(Sripali Campus) Cinema Lecturers

Tuesday, August 25, 2015

ඉගෙනීමේ අගය

ඉගෙනීමේ අගය

අපට ඉතා සමීප හිතවතකුගේ මංගලෝත්සවයකට ආරාධනා ලැබී වුවද අපට ඊට යන්න නොහැකි විය.ඒ මුළු පවුලටම උණ වැළඳීම හේතුවෙන්.කොහොම වුණත් අදාළ පවුල විසින් එය අර්ථ කථනය කරනු ලැබුවේ අප ඔවුන් සමග තරහට ඊට සහභාගි නොවුණා කියායි.ඒ මංගලෝත්සවය නිමා වී වසර පහ හයක් ගත වුතත් මේ නිසාම තවමත් ඔවුන් අප සමග හිත යටින් අමනාපයි.විශේෂයෙන්ම මනමාලයා මේ සම්බන්ධයෙන් නිරතුරුවම තමන්ගේ මතය තහවුරු කරන්නට උත්සාහ දරයි.එහෙත් අප මංගලෝත්සවයට සහභාගි වීමට නියමිතව තිබුණේ මනාලියගේ පාර්ශ්වයෙනි.ඇය ඉතා හොඳින් අපගේ තත්ත්වය තේරුම් ගත්තාය.එහෙත් වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන එතරම් ඉගෙනීම ගැන සැළකිල්ලක් නොදැක්වූ මනාලයාගෙන් හැසිරීමෙන් නිරතුරුවම පෙනෙන්නේ නූගත්කමයි.කලා අංශයෙන් උසස් පෙළ හදාරා පසුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් නර්තනය සහ ඉංග්‍රීසි උගන්වන ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක වූ ඇයව ඉගැන්වීමෙන් ඉවත් කළේද මනමාලයාගේ ඉගෙනීමේ අගය පිළිබඳ අවබෝධය මනාව ඔප්පු කරමිනි.එහෙත් කුමක් කරන්නද ? එය පෙම් සබඳතාවයකි.ඇය ඔහුට ලෙන්ගතුය

සංගා සහ මම

සංගා සහ මම

සංගා අද නික්ම ගියේය. එහෙත් මා හට ක්‍රිකට් උන්මාදය හට ගත් අවධියේ ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට බිහිවූ,පළමු ක්‍රීඩකයා ඔහුයි.ඔහු තම පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරන අවධියේ පටන්ම ඔහුගේ ටෙස්ට් තරග නරඹමින්, අලංකාර පහරවල් දැකීමට පාසැල් කාලයේ සිටම මම වරම් ලැබුවෙමි.එසේම ඔහුගේ හොඳම ඉනිම් කිහිපයක් මෙන්ම අවාසනාවන්ත ඉනිම් කිහිපයක්ද දැකීමට අලුයම නොනැගිටින මම, පාන්දර හතරටත් ඇහැරුණෙමි.පාසැලට ප්‍රමාද වී ගොස් ඇත්තෙමි.එහෙත් ඊටත් වඩා ආඩම්බර වීමට මට අද කාරණයක් තිබේ.ඒ ඔහු මට අනුව මාගේ ඇස් පනා පිටම ටෙස්ට් වරම් ලබා, ඇස් පනා පිටම ටෙස්ට් පිටියට සමුදෙන පළමු ශ්‍රී ලාංකිකයා වීම නිසායි.ඒ අනුව මහේල ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ඔහු ගැන සංගා කී දේ පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදියෙක් ලෙස සටහනක් තැබීමට වාසනාවන්ත වූ මම,පසුගිය බ්‍රහස්පතින්දා සංගාගේ ටෙස්ට් මතක සටහන් පිළිබඳ නැවත මතකාවර්ජනයක යෙදීමටද වාසනාවන්ත විය.එහෙත් එදා සංගා, ජාත්‍යන්තර තණතීරුව තුළ තම ඉන්න සලකුණු කරන අවස්ථාවේ මා පාසැල් සිසුවෙකි.අද සංගා පිටියෙන් සමුගන්නා විට මා මාධ්‍යවේදියෙකි.

මාලන් විදානපතිරණ

Monday, August 17, 2015

අපි දැන් කොතැනද

අපි දැන් කොතැනද ?

අත්තක පත්තක පාළු කනත්තක
පොළොංගු දෙන්නෙක් විලංගු දාගෙන
අල්ලන් සෙල්ලම් කරපු හැංගි මුත්තන් කරපු
ආයි මායි ජීවිතේට යාළු වෙන්නේ නෑ කියල කියපු
ඉක්කත් එක්ක ගාලු ගියපු
අවුරුද්දට කැවුම්,කොකිස් හදන හැටි බලාපු
අවුරුද්දට ගෙයින් ගෙයට කෑම පිඟන් උස්සන් දුවපු
වෙසක් එකට දන්සැල් දෙන්න,කූඩු හදන්න වෙර දාපු
පොසොන් එකට මිහින්තල හදාපු
සරුංගල් කාලෙදි සරුංගල් පස්සේ
උඩ බලාගෙන වත්ත පුරා නටපු
වෙරළු වාරේට වෙරළු ගහ වටේ දුවපු
සෙල්ලම් ගෙවල් හදාගෙන පවුල් නඩත්තු කරපු
හවසට රසකතා,සුදු පුංචා බලන්න කණේ පාරවල් කාපු
ඉන්පස්සේ දොස්තර හොඳ හිත,වළස් මාමා බලපු
කලා හරඹ දැකලා මුතුහර බලපු
අටහමාරේ ටෙලිනාට්‍ය දැකලා හෝම් වර්ක් අමතක කරපු
අපි දැන් කොතැනද?
මතක සටහන - මාලන් විදානපතිරණ

Thursday, July 16, 2015

අමුතු අත්දැකීමක්

අමුතු අත්දැකීමක්


මහ රෑ වෙනකම් ඇහැරිලා ඉන්න නිසාම ලේසියෙන් උදෙන්ම නැගිටින්නේ නැති මම පහුගිය දවස් ටිකේ උදෙන්ම නැගිට්ටා.ඒ කැම්පස් එකේ විභාගේ හින්දා බෝඩිමේ හිටපු හින්දා.බෝඩිමයි,කැම්පස් එකයි අතර මීටර් සීයක්වත් දුර නැහැ.පේන මානයේ.යන එන හැමෝම අපේ බෝඩිම පාස් කරන් තමයි යන්නේ.ඉතින් මම බ්‍රෂ් ඒකත් කටේ ගහගෙන පාර දිහා බලන් හිටියේ කව්ද කැම්පස් එක පැත්තට යන්නේ කියලා බලන්නයි. එදා තිබ්බේ "Asian Cinema" විෂය.මේ දවස්වල රැග් එක කන පොඩි කෙල්ලෝ අහිංසක විදිහට බිම බලාගෙන යනවා මම දැක්කා.මේ අතරේ උදේ අටට විතර අපේ කැම්පස් එකේ මියුසික් ලෙක්චරර් එනවා කන්ද නැගගෙන.එතකොටත් මං දත් මදිනවා.
“ගුඩ් මෝනින්ග් මිස්“ මම කිව්වා.
“ඔයා දැන් මෙහෙද ?“ මිස් මගෙන් ඇහුවා.
“ඔව් මිස්.විභාගේ නිසා බෝඩිමේ නැවතුණා. මේ දවස් ටිකට විතරයි“
පාසැල් ජීවිතේදී පාසැලේදී ගුඩ් මෝනින්ග් කියද්දිත් බයෙන් බයෙන් දඟලපු අපි,කැම්පස් එකට ආවාට පස්සේ බැල්කනියේ ඉඳන් පහළින් යන අපේ ලෙක්චරර්ට කිසිම බයක් හැකක් නැතුව කතා කරන එක ගැන දැන් හිතලා බැලුවම මට පුදුමත් හිතෙනවා.ඒ තරම් කුළුපග බවක් අපි අතරේ ඇතිවෙලා තියෙනවා.(එහෙම නැතුව මේ හරහා ලෙක්චරර්ට දිය යුතු ගරුත්වය හෑල්ලු කළා නෙමෙයි.)
ගුරු - සිසු සංස්කෘතියේ වෙනසක මහත!
— in Horana.

සොඳුරු පාසැල් ප්‍රේමයකට උත්සාහයක් දුටුවා

පෙරේදා කැම්පස් එකට යද්දි පාසැල් ජිවිතයේදී සිදුවන හරිම සොඳුරු සිදුවීමක් මගේ ඇස් පනාපිටම සිද්ධවුණා.

ළමයි දෙන්නම එකම ගමේ.ඉස්කෝලේ ඇරිලා හැමදාම මුණගැහෙන කතා කරන කෙල්ලක්.ඒ තියෙන යාළුකමට. ඒත් ඒ කෙල්ලගෙන් හිතේ තිබ්බ යාළුකම පාසැල් ප්‍රේමයක් කරගන්න කොල්ලට උවමනා වෙලා.කෙල්ලට ඒකට හොඳටම කේන්ති ගිහින්.ඒත් ඒ මූණේ ඇඳිලා තිබුණේ කේන්තියකට වඩා බයක්.කෙල්ලගේ අත අල්ලගෙන කොල්ලා, කෙල්ලගේ පස්සේ බස් ස්ටෑන්ඩ් එකට යනවා.කෙල්ල තමන්ගේ අත අරින්න කිය කිය ඉස්සරහට යනවා.කොල්ලත් ටිකක් බයෙන් හිටියේ. යාළුකමවත් රැකගන්න ඕනේ කියලා හිතාගෙන ඒකට හරි කෙල්ලව නම්මගන්න උවමනාවෙන් කෙල්ලගේ පස්සෙන් යනවා.අතින් අල්ලනවා.නවත්වනවා.බෑග් එකෙන් අදිනවා.ඒත් මම බස් එකට නැග්ගම ළඟ බහිනවා වුණත් වාඩිවුණේ සීට් තුනක් තියෙන ආසනයක.මගේ එහා පැත්තේ තවත් ජෝඩුවක්.කෙල්ල ඉස්කෝලේ ඇඳුමින් හිටියට.කොල්ලා හිටියේ ටී ෂර්ට් එකක් ගහගෙන.ඊට වඩා දෙයක් මම බැලුවේ නැහැ.ඒත් පාසැල් ජීවිතයේ තියෙන සොඳුරුතම වින්දනය පාසැල් ආදරය කියලයි මට හිතුණේ.

Monday, June 8, 2015

ආදරණීය රොබට් නොක්ස් මැතිතුමා වෙතටයි



ආදරණීය රොබට් නොක්ස් මැතිතුමා වෙතටයි,
ඔබ එදවස එදා හෙළදිව තුළදී දුටු සිංහලයා ගැන කියමින් පළ කළ කෘතිය නිසා අද මට අභියෝගයක් ලැබී තිබෙනවා.ඉතින් මම එය භාරගන්න සිතුවා.අපි එහෙනම් කාරණාවට බහිමු.
රොබට් නොක්ස් දුටු සිංහලයා හැම මිනිසුන්ටම වඩා යහපත් අය වෙති.ඒක අද කාලෙට කොච්චර ගැලපෙනවාද යන්න සාපේක්ෂයි.හැබැයි අදටත් සිංහල මිනිස්සුන්ට ගුණධර්ම තියෙනවා.ඒත් සිංහල අයට විතරද ගුණධර්ම තියෙන්නේ ? අනික නාගරීකරණය වීම,විවෘත ආර්ථිකය ආදිය එක්ක මිනිස්සු මුදල් පසුපස හඹා යාම නිසා හැම සමාජයකම පිරිහීමක් තියෙනවා.
සිංහලයෝ භාග්‍ය සම්පන්න අයද කියන එක නම් ප්‍රශ්නයක්.එහෙනම් අපේ සිංහල කොල්ලො ටික නිකරුණේ යුද්ධයකට බිලිවෙන්නේ නෑනේ. ඒත් අපිට වාසනාවන්ත කාලයක් තිබුණා.සුන්දර කාලයක් තිබුණා.පන්සල් කේන්ද්‍රගත අපේ සිංහල බෞද්ධයාට එදා මධුර කතා විලාසයක් තිබුණා.මිහිරි භාෂාවක් තිබුණා. ආදරශීලි බවක් තිබුණා.පන්සල ආශ්‍රිතව හැදී වැඩුණු නිසා ගුණධර්ම අතිනුත් ඉහළ මට්ටමක සිටියා.මේක අපිට එදා සිංහලයා සහ අද සිංහලයා එක්ක සංසන්දනය තරන්න පුළුවන්.ඒකයි වැදගත්වෙන්නේ.අතීතය වඩා වටින්නේ ඒකෙන් යමක් ඉගෙනගන්න පුළුවන් හින්දයි. නැතුව පම්පෝරි ගගහ ඉන්න නෙමෙයි. ඒ නිසා ආගම්- ආගම් හෝ ජාතීන්- ජාතීන් වශයෙන් සංසන්දනය කිරීම නොකළ යුතු දෙයක්.මොකද ගුණධර්ම අතින් ඉහළ මිනිස්සු කියන්නේ සිංහල අය විතරක් නෙමෙයි.
ඒ කාලේ ඕනැම දෙයක් වටහාගත හැකි ඥාණයක් තිබුණු නිසා උදාරත්වයක් තිබිය යුතුමයි.ඒක ඕනැම පුරවැසියෙකුට ලැබෙන දෙයක්.අනික පන්සිය පනස් ජාතක පොත, තුන් සූත්‍රය ආදී ග්‍රන්ථ පරිහරණය කරපු එදා සිංහල බෞද්ධයාට එවන් ඥාණයක් ලැබීම පුදුමයක් නෙමෙයි.ඒත් අද මේවායේ නම්වත් අහලා තියෙන සිංහලයෝද ඉන්නේ ? මේවායේ එන කරුණු අනුගමනය කරන කීයෙන් කීදෙනෙක් ඉන්නවද ? බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ මුළු ලෝකෙට මිසක් සිංහල බෞද්ධයාට විතරක් නෙමෙයි.
ඒ වගේම එදා සිංහලයා මස් කෑම,මත්පැන් බීම අප්‍රිය කරපු ජාතියක්.ඒත් අද එහෙමද ? එතකොට බාර්වල ඉන්නේ වෙනත් ජාති ආගම්වල මිනිස්සුද ?
අනික එදා සිටි සිංහලයා වහා කිපෙන සුළු ජාතියක් නෙමෙයි.මොකද ඒ කාලේ පන්සල ආශ්‍රිතව අධ්‍යාපනය ලබපු ජන සමාජයේ ලොකු හාමුදුරුවන්ටත් විශාල ගෞරවයක් තිබුණා.ඒ නිසා මත්පැන්, මස් කෑම පන්සලෙන් එපා කිව්වම නොකරන ජාතියක් එදා සිංහල බෞද්ධයා සමාජයේ හිටියා. අද එහෙමද ? අනික අද හාමුදුරුවරුත් තමන්ගේ ගෞරවය කෙළෙසකගෙන.
අදත් බොහෝ සිංහල බෞද්ධයා සමගියට කැමැතියි.ඒත් එහෙනම් ජාතිවාදී ප්‍රශ්නයට සාමකාමී විසඳුමකට 1948න් පසුව සිටි සිංහල පාලකයන්ට යන්න බැරිවුණේ ඇයි ? මේ ප්‍රශ්නේ මෙච්චර දුර ගියේ ඇයි?
ඒ වගේම සිංහලයා පමණක් නෙමෙයි ඇඳුමින් පිරිසිදු? ඇයි අනික් මිනිස්සු හඩ්ඩොද ? ඒක පුද්ගලයා මත රඳා පවතින දෙයක්. ශිෂ්ට සම්පන්න ඕනැම ජාතියකට විධිමත්ව ආහාර අනුභව කරන ක්‍රමයක් තිබුණා.ඒත් පන්සල,පල්ලිය ආශ්‍රිතව හැදී වැඩුණු සිංහලයාට යහපත් සංස්කෘතියක් පැවැති නිසා යහපත් පැවැත්මක් තිබුණා.හැබැයි වඩා වැදගත් වෙන්නේ අද දවසේදී කොච්චර දුරට ශිෂ්ට සම්පන්න විදිහට ආහාර අනුභව කරනවාද කියන එකයි.
සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීතයි.ඒක තර්කානුකූලව ඇත්ත.ගමනත් සංවර ඇති අනිවාර්යයෙන්ම.ඒත් අද එහෙමද ? එහෙනම් ස්ත්‍රී දූෂණ වැඩිපුර වාර්තාවෙන්නේ කොහොමද ? ඒකට කාන්තාවගේ ඇඳුම වගකියන්න ඕනි නැද්ද ? අද සමහර ස්ත්‍රීන්ගේ ඇඟෙන් බාගයක් එළියේ.ඒක තමයිලු විලාසිතාව.ඒවා අඳින්නේ වෙනත් ජාතියේ අයද ?
හැබැයි වර්තමාන ස්ත්‍රිය අදත් සාපේක්ෂව අරපරිස්සමෙන් කටයුතු කරන්න දන්නවා.හැමෝම නෙමෙයි.බොහොමයක් දෙනා එහෙමයි.මේක සිංහලයාට විතරක් සීමා කරන්න බැහැ. වෙනත් ජාතීන්වල කාන්තාවොත් එහෙම තමයි.ඒත් ඒකත් අදාළ ස්ත්‍රිය මත රඳා පවතිනවා. අනික සිංහල කාන්තාවක් මුස්ලිම් වුණොත් එතකොට අරපරිස්සමෙන් කටයුතු කරන්නේ නැද්ද ?
එදා සිටි ස්වාමිපුරුෂයන් සිංහල ස්ත්‍රින්ව හුඟක් විශ්වාස කළාා.අපි ඒක පිළිගමුකෝ.ඒත් අද එහෙම පුළුවන්ද ? බහුතරය තාමත් විවාහය කියන බැඳීම මත අකමැත්තෙන් වුණත් ස්වාමි පුරුෂයා සමග ජීවත්වෙනවා. ඒත් එදාට වඩා ලොකු පිරිහීමක් අද තියෙනවා. හැම ජාතියක්ම ගලවා ගන්න බැරි මට්ටමටම බටහිරකරණය වෙලා. මේක හැම ජාතියකම පිරිහීමක්.ඒක රඳා පවතින්නේ අදාළ ස්ත්‍රිය මතයි.
සිංහල ස්වාමිදුවලගෙන් අද කීයෙන් කීදෙනෙකුට තමන්ගේ අතතින්ම සියලුම කටයුතු කරලා දෙන්න පුළුවන්ද ? හුඟක් අයට පුළුවන්. හැබැයි ඒකට වෙලාවක් නැහැ. පවතින ආර්ථික ක්‍රමයත් එක්ක මේක බොහෝ දෙනාගෙන් ගිලිහී යන්නක්.ඒත් තාමත් වාසනාවකට මේ ක්‍රමය සාමාන්‍ය මට්ටමින් පවතිනවා. ඒත් සමාජයෙන් සමාජයට වෙනස්වෙනවා.පිටරට සිංහල සමාජයක් ගත්තොත් මේක මෙහෙම නැහැ. අනික ලංකාවේ වුණත් දෙන්නම රැකියා කරන පවුල්වල ළමයි සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙලා තියෙනවා.මේක හැම ජාතියකටම පොදු තත්ත්වයක්.අලුත් සංස්කෘතියක් අද බිහි වෙලා.අර්ථ ක්‍රමය තමයි ඒකට බලපාලා තියෙන්නේ.
ඒ කාලේ සිංහලයෝ උදේ හවස පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කළා.අදත් ග්‍රාම්‍ය මට්ටමින් හෝ මේ තත්ත්වය අපට සුළුවෙන් දකින්න පුළුවන්.ඒත් ඒවත් නාගරීකරණය වුණාම පිරිහෙන්න පුළුවන්. අනික අද කාලෙ උදේ හවස මල් පූජා කරන්න තියා පෝයටවත් පන්සලට යන්න කීදෙනෙක් ඉන්නවද ? පන්සලත් එක්ක තියෙන සබඳතාවය කොච්චර කිට්ටුද ? ඒක හොයලා බලන්න ඕනැ. තත්ත්වය එහෙම නම් නවගුණවැල් අතින් අරගෙන නිතර භාවනාවේ යෙදෙන සංයමයක් ඇති පිරිසක් අද සිංහල බෞද්ධයා අතරේ බිහිවෙලා තියෙනවද ? ඒකත් නැවත සොයා බලන්න ඕනි.මම හිතන්නේ එහෙම අය ඇත්තේ ඉතාම අඩු ප්‍රතිශතයක්.
අනික එදා හොරකම අතිශයින් පිළිකුල් කරපු සිංහලයා,අද හොරකම් කරලා හිරේ යන්නෙත් ජනතාවට අත වනාගෙන.වීරයෙක් වගේ.එතකොට ඒකට අදාළ ප්‍රඥාවන්තයි කියන සිංහලයාත් වීරයෙක්ට වගේ හොරාට සළකනවා.කොහෙද එතකොට සිංහලයාගේ ප්‍රඥාව තියෙන්නේ ?
කිසිම සිංහලයෙක් හොරකම් කරපු බවක් රොබට් නොක්ස් දන්නේ නැත්නම් ඒක එතුමාගේ වැරැද්දක්.මොකද එහෙනම් කවදාවත් රජ මාළිඟයට හොරකම් කළ බවට පැමිණිලි ලැබී, ඒවා ඔප්පු නොවෙන්න ඇති.අනික හොරකම කියන දේ අදාළ මනුෂ්‍යයා මත රඳා පවතින දෙයක් මිසක් ජාතියකට වර්ග කරන්න බැහැ.පුංචි හොරකමක්වත් නොකළ කෙනෙක් හිටියේ නැහැ කියනවා නම් ඒක හරිම බොළඳ සුරංගනා කතාවක්.
එදා සිංහලයෝ කරුණාවන්තයි. බහුතරයක් එහෙමයි.බණට දහමට ලැදි සමාජයක එහෙම උතුම් මිනිස්සු බිහිවෙන්න ඇති.ඒත් අද සිංහලයෝත් ඒ වගේම කරුණාවන්තයිද ? ඒක හිතලා බලන්න ඕනැ. මුස්ලිම්, දෙමළ අය අතර කරුණාවන්ත මිනිස්සු ඇත්තෙම නැද්ද ? මම හිතන්නේ කරුණාවන්තකම කියන දේ පුද්ගලයා මතයි රඳා පවතින්නෙත්.සිංහල,දෙමළ, මුස්ලිම් ආදී හැමෝම සමගියෙන් ඉන්න සමාජයකින් සාමකාමී මිනිස්සු බිහිවෙනවා.හැම වෙලේම අනික් ජාතිය දිහා වෛරය බලන නරක සමාජයකින් නරක මිනිස්සු බිහිවෙනවා.
එතකොට දන් දෙන්නේ සිංහලයෝ විතරමද? හැබැයි ඒ කාලේ අදට සාපේක්ෂව සිංහලයා දානමාන ආදී පින්කම්වලට නැඹුරුයි.ඒක සතුටට කරුණක්. විශේෂයෙන්ම බොරු සෝබන නැතුව අද සිටින තරුණ ප්‍රජාව(අලුත් පරම්පරාව) ඒ සඳහා ලොකු උනන්දුවක් දක්වලා තියෙනවා.
ඒත් දානය කියන දේ සිංහල අයට විතරක් කියලා වෙන් කරන්න බැහැ.සිංහලයන්ට වඩා හොඳින් අන්‍යයන්ට උදව් කරගෙන ජීවත්වෙන සමාජ ඕනැතරම් තියෙනවා.ඔක්කොම පොදි ගහගෙන ආශාව වෙළාගත්තු සිංහල සමාජ ඕනැතරම් ලංකාවේ තියෙනවා.
හැබැයි හැම සමාජයක්මත් එහෙම නැහැ.ලංකාව ගත්තොත් මුස්ලිම් සමාජය තමයි හොඳින්ම අන්‍යයන්ට උදව් කරගෙන ජීවත්වෙන්නේ.ඒත් සිංහල අපිට පුංචි සංගමයක්වත් සමහර වෙලාවට හරියට ගෙනියන්න බැහැ.එතැනත් උදව්වට වඩා තියෙන්නේ බල තණ්හාවක්.ඒත් මේක අදාළ සමාජය මත වෙනස් වෙනවා. අනික සිංහලයාගේ අතින් සිංහල ඉඩම් හුඟක් නැතිවුණේ සිංහලයාගේම දුප්පත්කම නිසා.
ආගන්තුකයන්ට සළකන්න ලංකාවේ මිනිස්සු හරි දක්ෂයි.ඒක එදා සිටි සිංහලයාට හොඳින් තිබුණා.අදත් අඩු වැඩි වශයෙන් තිබෙනවා. මේ හින්දයි අනික් රටවල් පවා තාමත් ලංකාවට ආදරේ. ඒත් සුද්දෙක් හෝ වෙනත් ජාතිකයෙක් ආවාම හොඳින් සළකන්නේ සිංහල අය විතරද ? සිංහල ඔක්කොමත් සළකනවද එහෙම? කිසිම මුස්ලිම්,දෙමළ ආදී වෙනත් ජාතියේ කෙනෙක් ළඟ මේ ගුණධර්ම නැද්ද ? ඇත්තම කිව්වොත් බොහෝ දෙනෙක් සුද්දගෙන් වුණත් වාසියක් වෙයි කියලා අවස්ථාවට ගොදුරු වුණු ස්වභාවයක් තමයි අද තියෙන්නේ.මේක අද ව්‍යාජ මවාපෑමක්.
අනික ලංකාවේ ඉපදුණු කිසිම සිංහල නොවන වෙනත් ජාතිකයෙක් ලංකාව ගැන ආඩම්බරයෙන් කතා කරනවට සිංහලයා අකමැති නම් ඒක බරපතල තත්ත්වයක්.ඒ වගේම සිංහල නොවන ලංකාවේ ඉපදුණු ඕනැම කෙනෙක් පිටරටදි ලංකාවට විරුද්ධව නැගී සිටිනවා නම් මොකක්ද සිංහලයාගේ තියෙන සාමකාමීකම ? හැබැයි ඒ සාමයට සිංහල නොවන අනික් ජාතීන්ගෙත් සහයෝගය අවශ්‍යයි. ප්‍රශ්නේ තියෙන්නේ දෙපැත්තම අනික් කෙනා දිහා බලන්නේ සැකයෙන්.ධනාත්මකව මේ දිහා බලන්නේ නෑ.
අනික එදා සිංහලයාගේ භාෂාව පොහොසත් වුණාට අද අපෙන් කීයෙන් කීදෙනෙකුට සිංහල හොඳින් හසුරුවන්න පුළුවන්ද ? සමහරු ඕනැවට වඩා ඉංග්‍රීසි කෑලි දාලා පොෂ් කියලා පෙන්නන්න තරම් පහත් මානසිකත්වයක නෙමෙයිද ඉන්නේ ? අනික එදිනෙදා භාෂාවෙදි අපි සංශුද්ධ සිංහල භාෂාවෙන් විතරමද කතා කරන්නේ ?අනිත් එක තමයි මේ ඉංග්‍රීසිකරණය අපිට විතරක් නෙමෙයි.දෙමළ,මුස්ලිම් වගේම ඉන්දියාව,පාකිස්තානය වගේ යටත් විජිතව පැවැති රටවලටත් කා වැදිලා ඉවරයි.දශක ගණනාවක් ගෙවිලා ඉවරයි.
සිංහලයෝ කතාවට දක්ෂයි.එදත් අදත් ඒක නම් ඇත්ත.අපි කයිවාරු ගහද්දී ජපානය,චීනය වගේ රටවල් ක්‍රියාවෙන් හුඟක් ඉස්සරහට ගිහින්.
ඒ කාලේ සිංහල ද්වීපයේ එකම හිඟන්නෙක්වත් නැහැලු. ඒක නම් ආයෙත් හිතන්න ඕනැ.මොකද එක පාරම හිඟන්නෝ බිහිවුණාද දන්නේ නැහැ.ඒත් ඊට වඩා වැදගත් වෙන්නේ අද සිංහලයාගෙන් කීයෙන් කීදෙනෙක් හිඟන්නෝ නොවී බේරාගන්න පුළුවන්ද කියන එකයි.සිංහලයා විතරක් නෙමෙයි, අද අපි ලංකාව ගැනම හිතන්න ඕනැ. හෙට දවසේදි ලංකාව හිඟන්නන් නැති රටක් කර ගැනීමයි වැදගත් වෙන්නේ.
එතකොට යුද්ධය ඉවර කළාට වඩා ආඩම්බරයක් අපිට ලබන්න පුළුවන්.මොකද අපිට යුද්ධය ජය ගන්න ජීවිත බිලිදෙන්න සිදුවුණා. ඒ හැම ජීවිතයකටම ජාතිවාදය ඇවිස්සූ සිංහල,දෙමළ නායකයන් වගකියන්න ඕනැ.
මේ නිසා අතීත කාමය නවත්තලා,අතීතයෙන් ගත යුතු අරගෙන ශිෂ්ට සම්පන්න සාමකාමී රටක් ගොඩනැගීමයි වඩාත් වැදගත්වෙන්නේ
මෙයට,
විශ්වාසී,
- මාලන් විදානපතිරණ

Sunday, June 7, 2015

සමිතයි, හවිත්‍රයි 2015/06/07

පාසැල් මතකයක් සමගින් නැවතත් - 2015/06/07

සමිතයි, හවිත්‍රයි


හය,හත,අට වසරවලදී අපිට සතියකට සැරයක් ඉංග්‍රීසි කාල පරිච්ජේදයේදී ඉදිරිපත් කිරීමක් කරන්න තිබුණා.එතැනදී ඉංග්‍රීසි ගීතයක්,කථාවක්,කවියක් වගේ දේවල් ඉදිරිපත් වුණා.ඒත් මේකට හැමදාම සහභාගි වුණේ එක කොටසක් විතරයි.කොහොම වුණත් අට වසරේදී සමිත සහ හවිත්‍ර හිටියේ මගේ එකම පන්තියේ.මේ දෙන්නා එකටම තමයි ඉදිරිපත් කිරිම් කළේ.හුඟක් වෙලාවට ගීතයක් තමයි ඉදිරිපත් කළේ. ඒ නිසා එදත් අපි බලන් හිටියා මොකක්ද මේගොල්ලෝ ඉදිරිපත් කරන්නේ කියලා.


"Girl, you're my angel, you're my darling angel 
Closer than my peeps you are to me, baby 
Shorty, you're my angel, you're my darling angel 
Girl, you're my friend when I'm in need, lady 

Life is one big party when you're still young 
But who's gonna have your back when it's all done 
It's all good when you're little, you have pure fun 
Can't be a fool, son, what about the long run 
Looking back Shorty always mention 
Said me not giving her much attention 
She was there through my incarceration 
I wanna show the nation my appreciation "

දැන් අපි අපේ මූණු බලනවා.ටීචර්ගේ මූණ දිහාත් බලනවා.මට මතක විදිහට මලවිගේ ටීචර් තමයි අපිට ඉංග්‍රීසි ඉගැන්නුවේ.ටීචත් ටිකක් අප්සට්.ඒත් මගදි සින්දුව නවත්තන්න අදහසක් නෑ.ඒ හින්දා අපේ එවුනුත් වැඩේ අතඇරියේ නෑ.පිටිපස්සේ එවුන් ටික සමිතටයි,හවිත්‍රටයි අත්වැල් ගායනය ලබා දුන්නා.අපි මැද පෙළේ ඉඳන් ඒවා ජොලියේ අහන් හිටියා.

හවිත්‍රයි,සමිතයි යුග ගායනයක් විදිහට දිගටම ගීතය ඉදිරියට ගෙනිච්චා.

“Girl, you're my angel, you're my darling angel 
Closer than my peeps you are to me, baby 
Shorty, you're my angel, you're my darling angel 
Girl, you're my friend when I'm in need, lady 

You're a queen and so you should be treated 
Though you never get the lovin' that you needed 
Could have left, but I called and you heeded 
Begged and I pleaded, mission completed 
Mama said that I and I dissed the program 
Not the type to mess around with her emotion 
But the feeling that I have for you is so strong 
Been together so long and this could never be wrong “

මමත් හිතන්නේ උනුත් දැනන් හිටියා මේක සුදුසු නැති ගීතයක් කියලා.ඒක උන්ගේ හිනාවෙන් තේරුණා.මිස්ට බයිටක් දෙන්න වෙන්න ඇති ඕනැ කරන්න ඇත්තේ.

Girl, you're my angel, you're my darling angel 
Closer than my peeps you are to me, baby 
Shorty, you're my angel, you're my darling angel 
Girl, you're my friend when I'm in need, lady 

Uh, uh 
Girl, in spite of my behavior, said I'm your savior 
(You must be sent from up above) 
And you appear to me so tender, say girl I surrender 
(Thanks for giving me your love) 

Girl, in spite of my behavior, well, you are my savior 
(You must be sent from up above) 
And you appear to me so tender, well, girl I surrender 
(Said thanks for giving me your love) 

Now life is one big party when you're still young 
And who's gonna have your back when it's all done 
It's all good when you're little, you have pure fun 
Can't be a fool, son, what about the long run 
Looking back Shorty always mention 
Said me not giving her much attention 
She was there through my incarceration 
I wanna show the nation my appreciation 

Girl, you're my angel, you're my darling angel 
Closer than my peeps you are to me, baby 
Shorty, you're my angel, you're my darling angel 
Girl, you're my friend when I'm in need, lady 

Girl, you're my angel, you're my darling angel 
Closer than my peeps you are to me, baby 
Shorty, you're my angel, you're my darling angel 
Girl, you're my friend when I'm in need, lady“

ගීතය ඉවර වුණා.හවිත්‍රයි,සමිතයි යන්න සූදානම් වුණා.

“සමිත,ආයෙමත් ඉදිරිපත් කිරීමක් කරද්දි ඔය වගේ ගීතයක් කියන්න එපා.ළමා ගීතයක් තෝරගන්න.“

“හරි ටීචර්“ උන් දෙන්නත් නිකම් බබාලා වගේ උත්තර දුන්නා.

මොකද මට මතක විදිහට මලවිගේ ටීචර්ගේ හොඳම ගෝලයො දෙන්නෙක් තමයි සමිතයි,හවිත්‍ර කියන්නේ.ඒ නිසා වෙන එකෙක් ඔය වගේ දෙයක් කළත් මේ දෙන්නට ටීචර් බැන්නේ නැහැ.

කොහොම වුණත් වැඩේ ගැස්සුණු හින්ද හෝ ටීචර්ගේ විශ්වාසය කඩන්න බැරි හින්දා හෝ ආයෙමත් මේ දෙන්නා මේ වගේ ගීත කිව්වේ නැහැ.

(මෙම මතකය සමිතගේ සහ හවිත්‍රගේ චරිතයට බලපෑමක් වන බවට ඔවුන් දෙදෙනාගෙන් චෝදනා ආවොත් මම මේක ඉවත් කරනවා)

- මාලන් විදානපතිරණ

Thursday, May 28, 2015

“වනපස මල්,තාත්තා සහ කලං අන්කල් 2015/05/28

“වනපස මල්,තාත්තා සහ කලං අන්කල්

මේ චිත්‍රපට නළුවා ගැන කවුරුත් දන්නවා ඇති. මේ තමයි අමරසිරි කලංසූරිය.අපේ හිතවත්කම මත මම ඔහුට කතා කරන්නේ කලං අන්කල් කියලා.ඒත් අද මට හිතුණා ඔහු මට වැදගත් වෙන්නේ ඇයි කියලා ලියලා තියන්න.

කලං අන්කල් නිසා තමයි මම මුලින්ම ටෙලිනාට්‍යයක දර්ශනයක් දැකලා අඬන්නේ.එතකොට මම හුඟක් පොඩියි.හුඟක් කියන්නේ හුඟක්ම පොඩියි.මේ ටෙලිනාට්‍යයේ තියෙන අනික් විශේෂත්වය තමයි මේක අපේ තාත්තා අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍ය හතෙන් කෙටිම කෙටි නාට්‍යය වීම.සම්පූර්ණ ටෙලිනාට්‍යයම කොටස් හතයි.මේ ටෙලිනාට්‍යයේ නම “වනපස මල්“. රෙබෙකා නිර්මලී තමයි මෙහි ප්‍රධාන චරිතය වුණු අම්මාගේ චරිතය නිරූපණය කළේ.වයසට නොගැලපෙන චරිතයක් තමයි රෙබෙකා ආන්ටි නිරූපණය කළේ.මොකද ඇයට ඒ චරිතය ඇතුළේ භූමිකා කීපයක් නිරූපණය කරන්න තිබුණා. ඊට අමතරව දමිතා අබේරත්න,ආනන්ද වික්‍රමගේ,ජගත් චමිල, ජයන්ත බෝපෙආරච්චි, මානෙල් වානගුරු මීට දායක වුණා.

කලං අන්කල්ට තිබුණේ තාත්තාගේ චරිතය.ජීවිතයෙන් හුඟක් බැට කාලා හෙම්බත් වුණු ඒ චරිතේ ඇතුළේ මට අපේ තාත්තාව අහුවුණා.ඒ තරම් ඒ චරිතය මට සමීප වුණා.හැබැයි ළඟකදි ඉඳලා තමයි ඒ චරිතේ ඇතුළෙන් මට තාත්තව හුඟක්ම අහුවෙන්න පටන් අරන් තියෙන්නේ.අපේ තාත්තාගේ ගති ලක්ෂණ කලං අන්කල් නිරූපණය කරපු තාත්තාගේ චරිතේ ඇතුළේ තියෙනවා නේද මට දැනෙන්න පටන් ගත්තා.

හැබැයි කතාවට අනුව දරුවන් හෝ බිරිඳ නොසිතූ මොහොතක ඔහු මෙලොව හැර යනවා.ඉන්පස්සේ දරුවෝයි අම්මයි අසරණ වෙනවා.ඇත්තටම මට ඒ දවස්වල අවුරුදු හතක් අටක් ඇති. තාත්තා කැමරාව තුළින් මවපු ඒ මළ ගෙදර දර්ශනයට පුදුම විදිහට මට ඇඬුණා.
ඉන්පස්සේ කතාව හැටියට තාත්තාගේ රැකවරණ නැතිකමින් එක්කෙනෙක් ලංකාවේ නොම්මර එකේ හොරෙක් වෙනවා.අනික් කෙනා හොඳට ඉගෙනගෙන පොලිස් නිලධාරියෙක් වෙනවා.ඒත් අවසානයේදී පොලිස් නිලධාරි අයියා අතින් මල්ලි මැරෙනවා.ඒ මල්ලි කියලා දන්නේ නැතිව වෙඩි තියන නිසා.

හොරාගේ චරිතය නිරූපණය කළේ ජගත් අයියා (ජගත් චමිල).පොලිස් නිලධාරියාගේ චරිතය නිරූපණය කළේ ජයන්ත බෝපෙආරච්චි(අද ඇමෙරිකාවේ ඉන්නේ).අම්මාගේ චරිතය නිරූපණය කළ රෙබෙකා නිර්මලීත් අද අප අතර නැහැ.නපුරුම නපුරු වලව් පැලැන්තියේ නෝනාගේ චරිතය නිරූපණය කළේ මානෙල් වානගුරු.මට හයක් හතරක් තේරෙන වයස වෙනකම් මම ඒ චරිතයට වෛර කළා.ඇත්ත ජීවිතයෙදිත් එහෙම වෙන්න ඇති කියලයි හිතුවේ.දුප්පත් මිනිස්සුන්ට කෙණෙහිලිකම් කරනවා කියලයි හිතුවේ.
කොහොම වුණත් අදටත් මට මේ ටෙලිනාට්‍ය කතාව අද වගේ මතකයි.

(සැ.යු. පම්පෝරියක් නොවෙයි.අමතකවෙන්න කලින් ලියා තැබීමක් පමණයි.)

-මාලන් විදානපතිරණ

Tuesday, May 5, 2015

වෙසක් බලන්න ගියා.(හැබැයි හිතන් හිටිය වෙසක් නෙමෙයි)

වෙසක් බලන්න ගියා.(හැබැයි හිතන් හිටිය වෙසක් නෙමෙයි)


ඊයේ පත්තරේ වැඩ ටික ඉවර කරලා හත හමාරට විතර ඔෆිස් එකෙන් එළියට බැස්සේ ඔෆිස් එකේ යාළුවෝ සෙට් එකත් එක්ක වෙසක් බලන්න යන්න හිතාගෙන.කොහොම වුණත් මම යන්න කලින් ට්‍රාන්ස්පෝට් අංශයටත් ගිහින් තමයි පාරට ආවේ. මම ඒක යාළුවන්ට කිව්වත්, වෙසක් බලන්න ආපු සෙනඟ ගොඩ අස්සේ මට ඒගොල්ලන්ව හොයාගන්නවත් බැරිවුණා.මගේ ෆෝන් එකත් කැඩිලා තිබුණූ නිසා ගොඩක් නොම්මර නැතිවෙලා තිබ්බේ.ඒ නිසා මම සම්පත් බැංකුව ළඟ තියෙන පෝලිම දිහා බලාගෙනම පාරෙන් අනික් පැත්තට පැනලා අපේ කට්ටිය හොයන්න පටන් ගත්තා.මම දැන් ලොකු අවුලකින් හිටියේ.

ඒ අස්සේ කවුදෝ මන්දා “මාලන්. මාලන්“ කියලා කෑ ගහනවා.මම හිතුවා අපේ ඔෆිස් එකේ සෙට් එක කියලා.බැලින්නම් මගේ පරණ ඉස්කෝලේ යාළුවෝ සෙට් එක.ඔෆිස් සෙට් එක හොයන එක පැත්තක දාලා මම දැන් උන් එක්ක කතා කරනවා හරි හරියට.කොහොමින් කොහොමහරි අන්තිමට බලනකොට අපි ගංගාරාමෙටත් ඇවිත්.ඒ අතරෙදි නොහිතපු මොහොතක මට අපේ කැම්පස් එකේ සන්දීපත් හම්බවුණා.එයත් අයියලා එක්ක වෙසක් බලන්න ඇවිත්.ඒත් වැඩිවෙලා කතා කරන්න ලැබුණේ නෑ අපිට.

ඉන්පස්සේ විහාරමහාදේවි පාක් එකෙන් පැත්තෙන් යද්දි මම ඇහුවා කොහෙද මේ යන්නේ කියලා.වාහනේ පාක් කරලා තියෙන්නේ ඒ පැත්තේ කිව්වා.

ඒත් අපි එතනට ගියාම වාහනේ ගන්න විදිහක් නෑ. ඒක හරස් කරලා වෑන් එකක් ගහලා.අපි කිව්වා වෑන් එක හින්දා කැබ් එක ගන්න විදිහක් නෑ කියලා.ඒත් වෑන් එකේ හිටියෙත් නංගිලා දෙන්නෙක් විතරයි.ඒ දෙන්නත් නිදි.අපි ඇහැරවලා ගත්තා. බලනකොට වෑන් එකත් ලොක් කරලා නෑ.අපේ එකෙක් ගියා ඩ්‍රයිවින් සීට් එකට.අපි ගියා ගියා වෑන් එකේ පිටිපස්සේ.හසිත වාහනේ නියුට්‍රල් කරද්දි අපි වෑන් එක ඉස්සරහට තල්ලු කළා.

දැන් අපේ සෙට් එකක් වාහනේ පිටිපස්සේ.මම රජිත එක්ක ඉස්සරහ සීට් එකේ.අපේ කට්ටියත් කොහෙන්දෝ මන්දා නළාවක් හොයාගෙන.පාරේ අනික් වාහනවලට නොදෙවෙනි වෙන්න නළා පිඹිනවා හිටු කියලා.

වාහනෙන් වෙසක් බලන්න පිටත් වුණු අපි මුලින්ම ගියේ ගෝල් ෆේස් එකට.වාහනේ නවත්තන්නත් බැරි හින්දා හෙමින් හෙමින් පාරේ ගියා.ඔය අතරේදි ඉස්සරහ හිටපු මමත් ට්‍රැෆික් අස්සේ පිටිපස්සට පැන ගත්තා. අතරමගදී ලොරිවල,කැබ්වල,වෑන්වල,බයිසිකල්වල,ත්‍රීවිල්වල ගිය අමුතු අමුතු කොල්ලොත් හම්බවුණා.කෙල්ලොත් හම්බවුණා.ආන්ටිලාත් හම්බවුණා.

"අර පුංචි ළමයා තනියෙන්ම එළවනවා. පව් නැද්ද ? " ලොරියක නැගලා හිටපු ආන්ටි කෙනෙක් කිව්වා.

“ඒ අපේ උක්කුං පුතා. එයා තමයි අපේ වාහනේ අරං යන්නේ“ එතකොට චාමර හිනාවෙවී කිව්වා.

ආයෙත් පාරක් ඒ ලොරියම අපිට ට්‍රැෆික් එකේදි සෙට් වුණා.ලොරිය කළු පාට ඉටි රෙද්දකින් වහලා තිබ්බේ.

“අද හුඟක් පින්න වැඩියි වගේ නේද ?“ මම පොඩි නක්කලයක් දැම්මා.

එතකොට ඒගොල්ලො හිනාවෙන්න පටන් ගත්තා.

ඔය විදිහට ඒගොල්ලන්ටත් අනංමනං කිය කිය අපි එතැනින් පිටත් වුණා.නවලෝක තොරණත් බැලුවා.

හැබැයි ඉතින් වාහනේ අරන් ආපු හසිත සහ රජිත දෙන්නම එක පාරම බ්‍රේක් ගහන්න නම් සුපිරි දක්ෂයෝ කියලයි මට නම් හිතුණේ.

අපි මරදානේ පැත්තෙත් වෙසක් බලන්න ගියා.ඒත් දිගටම තිබ්බේ දන්සැල්.ගොඩක් ඒවා බත් දන්සැල්.ඒවාත් බලාගෙන.පොඩි පොඩි කූඩුත් බලාගෙන අපි වාහනේ පෑලියගොඩටම ඇද්දුවා.ඉන්පස්සේ පෑලියගොඩ තොරණත් බලලා,දෙමටගොඩ තොරණත් බලලා,කූඩුත් බලලා අපි කෙලින්ම ගියේ නාලන්දෙට.වෙනත් විදිහකින් කිව්වොත් අපේ ඉස්කෝලෙට.මොකද ඉස්කෝලේ ළඟ පදිංචි යාළුවෝ දෙන්නෙක්ම(නඳුන් සහ හසිත) අපේ සෙට් එකේ හිටියා.

ඒත් මම නිකමට වගේ නඳුන්ගේ ගෙදර ළඟ වාහනේ නවත්තද්දි නඳුන්ගෙන් ඇහුවා, අම්මලා ඇහැරිලාද කියලා.මොකද එතකොට වෙලාව රෑ දොළහත් පැනලා.ඒත් නඳුන් එනකන් අම්මයි, තාත්තයි දෙන්නම ඇහැරිලා.මොකද නඳුන්ගේ අම්මයි තාත්තයි කියන්නේ වෙනම චරිත දෙකක්.හරියට අපේ අම්මයි තාත්තයි වගේ.

එක වසරේ ඉඳන්ම යාළුවෝ විදිහට එකම ඉස්කෝලේට ගිය අපි එක්ක අපේ අම්මයි තාත්තයිත් ඉස්කෝලේ ගියා එකේ ඉඳන්ම.පොඩි කාලෙදි නඳුන්ගේ ගෙදර කොච්චර ළඟ වුණත් අම්ම හරි තාත්තා හරි ඒ දෙන්නගෙන් කවුරුහරි නඳුන් එක්ක ආවේ ඒ හින්දයි.අපේ ගෙදරත් එහෙමයි.මාව අතින් අල්ලගෙන පහ වසර වෙනකම්ම වගේ අපේ අම්මා හරි තාත්තා හරි ආවා මාව ගෙදර එක්කගෙන යන්න.ඒත් අපේ අම්මලාත් ඒ කාලේ ඉඳන්ම නඳුන්ගේ අම්මයි තාත්තයි ගැන කතා වුණේ පුදුමයෙන් වගේ.

“පේනවනේ අර නඳුන්.ඒ ළමයා ඉන්නේ ඉස්කෝලෙට අල්ලපු වැටේ.ඒ වුණාට ගෙදර එක්කන් යන්න එනවා.ඇයි ඒ ? අද කාලේ කොච්චර ළඟ වුණත් පාරවල් තනියෙන් යන එක භයානක නිසා.ඒත් ඒ ළමයාට තේරෙන දේ ඔයාලට තේරෙන්නේ නෑ“ තාත්තා ඒ දවස්වල එහෙම කිව්වා.

මම තනියෙන් ගෙදර යන්න එන්න උත්සාහ කරපු හැම වෙලේම උදාහරණයට ගත්තේත් නඳුන්වමයි. ඒත් අන්තිමට ස්කූල් වෑන් එකෙන් යන්න පටන් ගත්තට පස්සේ ටික ටික අම්මා මාව එක්කන් යන්න එන එක අඩු කළා.අනික මල්ලිගේ වැඩ එක්ක එන්න විදිහක් තිබ්බෙත් නෑ.හැබැයි තාත්තා හිටියේ ඉස්කෝලේ ඉඳන් වැඩි දුරක නෙමෙයි හින්දා හිටි ගමන් මාව බලන්න ඉස්කෝලේ ළඟට එනවා.හිටි ගමන් වෑන් එක දාලා ගිහින් වෙන්න ඇති කියලා ඔෆිස් එකට එක්කන් යනවා.මට ඉතින් එදාට යන්න වෙන්නේ හැන්දෑ වෙලා. අනික වෙන වැඩකුත් නෑ.ඉස්කෝලේ හෝම් වර්ක් කරන්නත් වෙන්නේ එදාට ඔෆිස් ඉඳන්.ඒ අතරේ තාත්තාගේ ඔෆිස් එකේ යාළුවොත් එනවා සැරෙන් සැරේ කවුද මේ අමුත්තා කියලා බලන්න.එදාට “තරුණයා“ පත්තරේ දවසේ මාතෘකාව වෙන්නේ මාව තමයි.

කොහොමින් කොහොමහරි අපි නඳුන්ගේ ගෙදර යද්දි නඳුන්ගේ අම්මා අපිටත් බීමත් හදලා.අපි ඉතින් ඒවාත් බීලා ආ ගිය තොරතුරුත් කතා කරලා නඳුන්ගේ ගෙදරින් සමුගත්තා.ඉන්පස්සේ යන්න තිබ්බේ හසිත ගිහින් බස්සන්න.

ඒ යද්දි අතරමගදී හොඳට දැකලා පුරුදු චරිතයක් ඉස්කෝලේ ළඟ ඉඳන් උඩහ පන්සල පැත්තට යනවා.අපි සැකේට නැවැත්තුවා.බැලින්නම් අපේ ඉස්කෝලේ හිටපු සුපිරිම අවනද්ධ භාණ්ඩ වාදකයා තමයි ඇවිදගෙන යන්නේ.වෙනත් විදිහකින් කිව්වොත් හර්ෂාන් ගාල්ලගේ(මෑතකදි මිය ගිය ප්‍රවීණ වාද්‍ය ශිල්පී හේමපාල ගාල්ලගේ මහතාගේ පුතා).

අපි දැන් ආයෙත් වාහනේ නවත්තලා ගාල්ලගේගේ අලුත් වැඩ ගැන කතා කළා. ඉස්කෝලේ ගැන කතා කළා.ඉන්පස්සේ තමයි හසිතත් එතැනින් බැහැලා ගියේ.කොහොම වුණත් ගාල්ලගේ කාලයක ඉඳන් ඩෙල් ස්ටුඩියෝ එකේ ඉන්න හොඳම ඩ්‍රම්ස් වාදකයා නිසා අපි හිතුවේ අල්ලගන්නවත් බැරිවෙයි කියලා.මොකද ක්ලාස් කීපයකුත් කරන හින්දා දැන් කතා කරන්නවත් වෙලාවක් නැහැ කියලා අපි ඇත්තටම හිතුවේ.බැලින්නම් ගාල්ලගේ බෑන්ඩ් එකකුත් පටන් ගන්න කතාවක් අපිට කිව්වා.අපිට වැඩක් තියෙනවා සෙට් වෙන්නත් කිව්වා.

ඒත් මේ ඔක්කොම දේවල් සිද්ධවෙන්නේ මම ඔෆිස් එකෙන් බැහැලා ඔෆිස් එකේ යාළුවෝ සෙට් එක හොය හොය ඉඳිද්දි නාලන්දේ කොල්ලො සෙට් එක “මාලන්“ කියලා කෑ ගහපු හින්දා.

කොහොමහරි ඉන්පස්සේ කොළොන්නාවෙන් රජිත බැස්සුවයින් පස්සේ වාහනේ ඉතුරු වුණේ මමයි,චාමරයි.ආපු පාර අනුව අංගොඩ හරහා අපේ ගෙවල්වලට යන එක තමයි ලේසිම විදිහකට තිබ්බේ.අපි ඒ අතරෙදි අයි.ඩී.එච්. ගහලා තිබුණු තොරණත් බැලුවා.හැබැයි පාන්දර නිසාද කොහෙද ඒකට නම් එච්චර සෙනඟ හිටියේ නෑ

ඒ කොහොම වුණත් මගේ හිත වැඩ කළේ මාව බස්සලා ආපහු චාමර තනියෙන් කැබ් එකේ කොහොම එන්නද කියන එක ගැන.මොකද එතකොටත් පාන්දර එක පහුවෙලා.ඒ නිසා මම කල්පනා කළා, මගින් බැහැලා යන්න.බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් කිලෝමීටරයක් විතර යන්න තිබ්බත්,වෙලාව පාන්දර එක පහුවෙලා බලු බල්ලෙක්වත් නැති පාරක වුණත් අවදානම තිබ්බේ චාමරට කියලයි මට හිතුණේ.මොකද චාමර හරියට අපේ පැත්තේ පාරවල් දන්නෙත් නෑ කියලයි මම හිතුවේ.මට නම් අපේ පාරවල් පුරුදුයිනේ කොහොමත්.

ඒත් චාමර එතකොට මට බණින්න ගත්තා.මෙච්චර දුරක් තනියෙන් ආවා නම් මාව සුද්ධ කරයි කියලා චාමර මට කිව්වා. ඉන්පස්සේ තමයි ඌ මාව ගේ ළඟටම දැම්මේ.බැලින්නම් චාමර අපේ පැත්තේ පාරවලුත් හොඳටම දන්නවා.හැබැයි මම චාමරට ගෙදර යන්න කලින් පින් දීලා,පරිස්සමින් පලයන් කියලා ගෙදරට පිටත් කළා.

හැබැයි මේ පාර යන්න හිටපු වෙසක් බලන සැලසුම වෙනස් වෙලා,හදිසියෙම මුණගැහෙයි කියලා හිතන් නොහිටපු ඒ වෙසක් බැලිල්ල හරිම පුදුමාකාරයි.

- මාලන් විදානපතිරණ