Wednesday, October 23, 2013

සමහරැ හිතන් ඉන්නේ අපේ පරපුරින් පස්සේ ගීත කලාව ඉවරයි කියලයි - මහින්ද දිසානායක




සමහරැ හිතන් ඉන්නේ අපේ පරපුරින් පස්සේ ගීත කලාව ඉවරයි කියලයි
-         මහින්ද දිසානායක

සටහන - මාලන් විදානපතිරණ

වෘත්තියෙන් සිංහල ගුරැවරයෙකු,ගුරැ උපදේශකවරයෙකු,හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වන මහින්ද දිසානායක, ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ගී පද රචකයකු ලෙස අමිල මෙහෙවරක් කළ ශිල්පියෙකි.විශේෂයෙන්ම ජන ශ්‍රැති,ජන මූලාශ්‍ර නිවැරදිව ජීර්ණය කර ගනිමින් ගේය කාව්‍ය රචනයේ නියැලුණු ඔහු සමස්තයක් වශයෙන් රචනා කළ ගීත සමුච්චය අතරින් ඇසට අසුවන මායිමේ, රැවක් ඇදෙනවා යනාදී ගීත අතිශයින් ජනප්‍රියය. ඔහු කලකට පසු බොදු බැති ගී සරණියක් සඳහා ගීතයක් රචනා කර ඇත. ඒ වෙසක් පොහොය නිමිති කර ගනිමිනි. සෝමතිලක ජයමහ ගායනා කරන මෙම ගීතය සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධන විසිනි.කෙසේ වෙතත් දැනට ජීවිතයේ සැඳෑ සමය ගෙවන මහින්ද දිසානායක 
සමගින් වත්මන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳ කතාබහක යෙදීමට අප අදහස් කළෙමු.

“ වත්මන් ගීතයේදී එහි පද රචනා ගැන එතරම් සැළකිළිමත් වන බවක් අපිට දකින්නට නැහැ.ඒ වෙනුවට නව සංගීත සංයෝජනය කෙරේ වැඩි ප්‍රමුඛතාවයක් දෙන බවයි අපට පෙනෙන්නේ.අනික ඇහෙන ගීතවල යම් සාහිත්‍යමය ගුණයක් තිබෙන බවක් හෝ ඒ පිළිබඳ සැළකිළිමත් වී ඇති බවකුත් අපිට දකින්නට නැහැ.“ මහින්ද දිසානායක සිය හඬ අවදි කළේය.

ඒත් ඔබ පැවසූ සාහිත්‍යමය ඛේදවාචකයට පසුබිම් වෙන්නේ සාහිත්‍යය පරිශීලනය කරන සිසුන්ට, ඒ තුළ නිර්මාණශීලී යමක් සඳහා ඇති ඉඩක ඇසිරී යාම නේද ?

ඔය ප්‍රශ්නේ ආරම්භ වෙන්නේ 1972 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමත් සමගයි.ඒ අනුව තමයි ළමයින්ට HMC කියලා විභාග ක්‍රමයක් හඳුන්වා දුන්නේ.එතැනදී සිංහල විෂය විශාල කප්පාදුවකට ලක් වුණා.ඒක ආරම්භ වු‍ණේ ප්‍රේමදාස උඩගම අධ්‍යාපන ලේකම්වරයා යටතේයි.ඒ නිසායි පාසැල් මට්ටමින් සිංහල භාෂාව හා සාහිත්‍යය ළමයින්ට අහිමි වුණේ.ඉතින් ඒ පිරිස විශ්ව විද්‍යාලයේ ගියාම ටිකෙන් ටික සිංහල අංශයේ ඉගෙනගන්න ළමයින් පිරිස නැතුවම ගියා.මේක සෑහෙන්න කාලයක් පැවතුණා. ඒ අනුව විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා නැවතත් ගුරැ පත්වීම් ලබන ගුරැවර ගුරැවරියන්ට සාහිත්‍යය දැනුම අහිමි වුණා.ඒ කාලේ සමහර පාසැල්වල සිංහල භාෂාව හා සාහිත්‍යය උගන්වන්න හැකි ගුරැවරයෙක්වත් හොයාගන්න බැරිවුණේ ඒ නිසයි.ඉතින් එතකොට කොහොමද හොඳ සාහිත්‍යය දැනුමක් තිබෙන සිසුන් පිරිසක් බිහිවෙන්නේ ? කොහොමද හොඳ රසඥතාවයක් තිබෙන සිසුන් පිරිසක් බිහිවෙන්නේ ? මේ නිසා තමයි දැන් ඇතැම් පුවත්පත්වල, ඇතැම් විද්‍යුත් මාධ්‍යවල භාෂාව භාවිතා කරන අන්දම ගැන විවිධ චෝදනා නැගෙන්නේ. මේක පොදුවේ භාෂා විශාරදයන් නගන චෝදනාවක්. ඒ නිසා නැවතත් ඉතිහාසය, සාහිත්‍යය පාසැල් පද්ධතියට එකතු වුණත් ඒවායේ ප්‍රතිඵල ලබාගන්න කාලාන්තරයක් බලා ඉන්න වේවි.

ඒත් ගුරැ මූලික නොවී ශිෂ්‍ය මූලික නොවී අධ්‍යාපන ක්‍රමයක් නොවීම නේද මේකට හේතුව ?

අද ලංකාවේ පවතින ආර්ථික,සාමාජීය වාතාවරණයත් එක්ක ළමයින් තරගකාරී ජීවන රටාවකට හුරැවෙලා.ළමයින් විතරක් නෙමෙයි. ගුරැවරැන් පවා මේකට අසුවෙලා.ඒ නිසා මේ දෙගොල්ලන්ටම දැන් විවේක බුද්ධියෙන් කටයුතු කරන්න හැකියාවක් නැහැ.ළමයින් රඳවාගෙන නිර්මාණශීලි යමක් කරන්නත් ඇති ඉඩකඩ අඩුයි.උදාහරණයක් වශයෙන් උසස්පෙළට පැමිණෙන දරැවා දෙවැනි වසරේදි පාසැල් එන්නේත් නැහැ.උපකාරක පන්තිවලටයි වැඩි ප්‍රමුඛතාවයක් ලබාදෙන්නේ. ඒ නිසා ළමයින්ට ඕනෑ කරන්නේ විභාගය සමත් වීම මිසක් නිර්මාණශීලි යමක් කිරීම නෙමෙයි.අනික දැන් ළමයින්ගේ වැඩි නැඹුරැවක් තිබෙන්නේ විද්‍යාව, ගණිතය, වානිජ, තාක්ෂණික වගේ විෂයන් ධාරාවන්ටයි. එහෙම නැතුව කලාවට නෙමෙයි.මොකද ළමයින්ට ඕනෑ කරන්නේ විභාගය සමත් වෙලා හොඳ රුකියාවක් කරන්නයි. ඒකයි ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව.
ඔබ ජනශ්‍රැතිය,ජන කවි ආශ්‍රිතව නිර්මාණ කාර්යයේ යෙදුණු කෙනෙක්. ඒත් අද අපි ජීවත්වන්නේ මුළු විශ්වයම අතැඹුලට ගත හැකි සමාජයක. එවන් වාතාවරණයක 

ඔබ ඇතුළු සමකාලීන පරම්පරාවෙන් පසුව මෙවැනි මූලාශ්‍ර අවභාවිත වේදෝයි සැකයක් පවතිනවා ?

මෙහෙමයි.අපිට ජාත්‍යන්තරය ජය ගැනීමට නම් ජන සංගීතය අත්‍යවශ්‍යයි. එවැනි පසුබිමක ජන සංගීතය හරහා ජාත්‍යන්තරය අතික්‍රමණය කිරීමට අද බොහෝ දෙනෙක් උත්සාහ දරනවා.හැබැයි සමහරැ මේවා භාවිතා කරන අන්දමින් අපට පෙනෙන්නේ ඔවුන් මේවා හරිහැටි ග්‍රහණය කරගෙන නොමැති බවයි.ඒවා නිසි පරිදි අධ්‍යයනය කර නොමැති බවයි. මොකද ජන ශ්‍රැතියේ එන නිර්මාණවල ප්‍රධානතම ලක්ෂණය තමයි තමන්ගේ ප්‍රකාශනය ඉතාම සංවරව ඉදිරිපත් කිරීම.හැබැයි ජන මූලාශ්‍ර උදව් කර ගත්තායින් කියන නිර්මාණවල නැත්තේම මෙම සංයමයයි. ඒත් මේවා යහපත් අරමුණින් නිර්මාණ කාර්යයට යොදාගන්නා පිරිස් නැතුවාම නොවෙයි.උදාහරණයක් වශයෙන් රන්වල බලකාය, මාත්‍රා වැනි සංගීත කණ්ඩායම් ඉතා අපූරැවට මේවා නිර්මාණකරණයට යොදාගෙන තිබෙනවා.ඒ නිසා දැනුම්වත් භාවයයි වැදගත් වෙන්නේ.

වත්මන් ගීතය හෝ වත්මන් කවිය හරහා සිදුවිය යුත්තේ රසිකයා පිනවීම මිසක් ජනතාවගේ සමාජ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීම නොවෙයිලු. දැන් දැන් වත්මන් සමාජයේ මෙවැනි මතයක් ගොඩනැගෙමින් පවතිනවා ?

ඒකට මට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි විශාරද ගුණදාස කපුගේගේ ගීත සමුච්චය. ඔහුගේ ගීතවල සෞන්දර්යයත් තිබුණා. ඒ වගේම සමාජ යථාර්ථයත් තිබුණා.ඒ වගේම පන්ති භේදයක් නැතුව හැමෝම අතර ඒ ගීත ජනප්‍රිය වුණා.නිදසුන් වශයෙන් උතුරැ කොනේ නුඹ හිනැහේ, අහස උසට නැග ගියාට වගේම ගීත සාමාන්‍ය රසිකයාට අත්පුඩියක් ගහලා රසවිඳින්න පුළුවන්. ඒ වගේම ගීතයේ ගැඹුර සොයන රසිකයාටත් ඒ ගීත රසවිඳින්න පුළුවන්. ඒ නිසා අද අවශ්‍ය වෙන්නේ හුදු ජනප්‍රියත්වයට පමණක් වහල් වූ ගීත නෙමෙයි.මොකද අපිට ගීතයේ ගැඹුර සොයන රසිකයන් පිරිසක් සිටිනවා.ඔවුන් ඒ පිළිබඳ අවධානයෙන් සිටිනවා.ඒ නිසා ගීතයක් තුළ ජනප්‍රියත්වයේ ලක්ෂණ වගේම යම් ගැඹුරක් තිබෙන ලක්ෂණ දැකිය හැකි විය යුතුයි.එවැනි  අලුත් ගීත අදටත් බිහිවෙනවා.එවැනි තරැණ ශිල්පීන් අපිට සිටිනවා. ඒ නිසා අපි ඔවුන් දෙස සෘණ ආකල්පයෙන් නොබැලිය යුතුයි.ඒ නිසා අපි හොඳ නිර්මාණයක් කළොත් ඒක අගය කළ යුතුයි. නරක නිර්මාණයක් කළොත් ඒකේ අඩුපාඩු පෙන්වා දිය යුතුයි. නැතුව නවකයන් හෙළා දැක විවේචනය කිරීම නෙමෙයි විය යුත්තේ. උදාහරණයක් විදිහට රජිව් වෙල්ගම රචනා කළ“ මේ තරම් සියුමැලිද කළු ගල්“ ගීතය මම උසස් පෙළ සම්මන්ත්‍රණයකදි පවා අගය කළා. ළමයින් සමග ඒ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළා. හැබැයි මම ඒ ගැන කතා කරනකොට ඒ ගීතය ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. කොහොම වුණත් සමහරැ හිතන්නේ අපේ පරපුරින් පස්සේ ගීත කලාව ඉවරයි කියලයි.ඒත් මේක කවදාවත් නැතිවෙන්නේ නැහැ. එහෙම වුණා නම් කොහොමද අනුරාධපුර යුගයේ සාහිත්‍යෙයන් පසුව අලුත් සාහිත්‍යකරැවන් ගොඩනැගෙන්නේ ? හැබැයි මෙතැන ප්‍රශ්නේ අලුත් ගී පද රචකයන්ට, ගායකයන්ට විද්‍යුත් නාලිකා හරහා කොතරම් ප්‍රචාරයක් ලැබෙනවාද යන්නයි.

කොහොම වුණත් ගී පද රචකයන්ට ගී පද රචනා ලබා දිය හැකි දක්ෂ ගායක ගායිකාවන් නැහැලු.පසුගිය දවසක එක්තරා ප්‍රවීණ ගී පද රචකයෙක් මෙහෙම කියා තිබෙනවා ?

අපි එවැනි තත්ත්වයක් උදාවෙලා නම් ඒකට අත දිය යුතුයි.දක්ෂයන් බිහි කළ යුතුයි.උදාහරණයක් වශයෙන් කරැණාරත්න දිවුල්ගනේ,ක්‍රිෂාන්ත එරන්දක,නෙලූ අධිකාරී වැනි ගායක ගායිකාවන් ජනප්‍රිය නැති කාලේක අපි තමයි ඔවුන්ව ඉදිරියට ගෙන ආවේ.ඒ නිසා එවැනි දක්ෂයින් අදත් සිටිනවා.පොළොන්නරැවෙන් බිහිවෙලා සිටින රවීන්ද්‍ර අලගියවන්න කියන්නේ එවැනි දක්ෂයෙක්.ඔහු රෑපවාහිනි ගායනා තරගයකින් පළමුවැනි ස්ථානය දිනා ගත් දරැවෙක්.ඔහු ඉතා විශිෂ්ට ගණයේ ගීතයක් ගායනා කරලා තියෙනවා.මේක පද රචනා කර සංගීතවත් කළේත් නවක දක්ෂ සංගීතඥයෙක් වන දර්ශන රැවන් දිසානායක කියලා තරැණයෙක්. ඒ ගීතය තාත්තා ගැන ලියැවුණූ ගීතයක්.එහි ප්‍රස්තුතයට පාදක වෙන්නේ ඉතිහාසයේ සිටි රජවරැන්ගේ නාමාවලියක්.ඔහු ඒ හරහා තමයි තමන්ගේ තාත්තාගේ ගුණ වර්ණනා කරන්නේ. ඒක කොතරම් අපූරැද ? ඒ නිසා මම මුලින්ම එම ගීතය අහපු වෙලාවේ කම්පනයට පත් වුණා.ඒත් රටේ අවාසනාවට අදාළ ගුවන් විදුලිය මෙහි ගායකයාගේ,ගී පද රචකයාගේ හෝ සංගීතඥයාගේ නමවත් කිව්වේ නැහැ. මම පස්සේ අදාළ ගුවන් විදුලියට දුරකතන ඇමතුමක් දීලයි ඒක දැනගත්තේ.ඒ නිසා එවැනි දක්ෂයන්ට ඉදිරියට ඒමට අවස්ථාවක් සැලසීමයි කළ යුත්තේ.ඒ වගේම ප්‍රතිපත්තිමය වශයෙන් අදාළ ශිල්පීන්ගේ නම් ප්‍රචාරය කිරීමයි කළ යුත්තේ.

 2013/06/01
අද පුවත්පත
    

 
                            

No comments:

Post a Comment