සිනමා රංගධර අමරසිරි කලංසුරීය සමග කතාබහක්
(අද) - 2012/03/10
සාකච්ඡා කළේ - මාලන් විදානපතිරණ
හන්තානේ කතාවෙන් සිය සිනමා
ජිවිතය ආරම්භ කරමින් එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ට ගණයේ ශ්‍රී ලාංකීය රංගධරයන්ගේ
ලැයිස්තුවට එක්වූ විශිෂ්ට රංගධරයකු වන අමරසිරි කලංසූරිය අප කවුරැත් දන්නා හඳුනන
සහෘදයෙකි. අප ඔහු දක්ෂ රංගන ශිල්පියකු ලෙස හඳුනා ගත්නේ අහස් ගව්ව, පූජා, අපේක්ෂා,
පරිත්‍යාගය, යස ඉසුරැ, අම්මාවරැනේ ආදී චිත්‍රපටවල පෑ විශිෂ්ට ගණයේ
රංගන ප්‍රතිභාව හරහාය. 1974 වසරේ තමන් සහභාගී වූ දෙවැනි චිත්‍රපටය වන අහස් ගව්ව
චිත්‍රපටයේදී ම ( මෙම චිත්‍රපටය වෙනුවෙන් කලං මුදල් පවා අය නොකළේය.) සිය ප්‍රථම
හොඳම නළුවා සම්මානය දිනා ගත් කලං, 1978 වසරේදී
එච් ඩී ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ පරිත්‍යාගය චිත්‍රපටය වෙනුවෙන් සරසවි, ඕ.සී. අයි. සී,
ජනාධිපති යනාදී සම්මාන රාශියක් දිනා ගත්තේය.
“මට පසුගිය කාලයේ විවිධ චිත්‍රපටි
වෙනුවෙන් ආරාධනා ලැබුණා. ඒත් ඒවා කිසිවක් මට ගැලපෙන චරිත නෙමෙයි. අනික ඒ කිසිවක්
මගේ හැඟීම්, සිතුවිලිවල ගැළපුණේත් නෑ. මොකද ඒවායේ බොහොමයකට නිශ්චිත පිටපත් තිබුණේ
නැහැ. තිබුණේ දළ අදහස පමණයි. අනික ඒවායින් බොහොමයක ම කිසිදු හරයක් තිබුණේ නැහැ. ඒ
නිසා මම මීට පෙර රඟපෑ නිර්මාණවලට හැටියට මෙවැනි බාල බොළඳ නිර්මාණවලට සහභාගී නොවීමට
තීරණය කළා. ඒ නිසයි මං මේ දිනවල කිසිදු නිර්මාණයකට සහභාගී නොවන්නේ. මං හිතන්නේ එය
තමයි මා ගත යුතු නිවැරදි ම තීරණය, මොකද අද
පවතින බාල බොළඳ නිර්මාණවලට සහභාගී වීමෙන් මං සිදුකර ගන්නේ මගේ ම රංගන පෞරැෂත්වයත්
මොට කර ගැනීමක්. “ කලං පිළිසඳර ආරම්භ කරමින් පැවසුවේය.
“ අද තියෙන්නේ මුදල් පසුපස හඹායන සිනමා
කර්මාන්තයක්. ඒත් අපි ඒ කාලේ සිනමා නිර්මාණවලට සහභාගී වුණේ මුදල් බලාපොරොත්තුවෙන්
නෙමෙයි. සමහර වෙලාවට ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග වැනි දක්ෂ නළු නිළියන් පවා
මුදල් බලාපොරොත්තු නොවී රඟපෑ අවස්ථා අප දැක තිබෙනවා. එය කවුරැත් දන්න දෙයක්. අපි ඒ කාලේ හැම විට ම මුල්තැන දුන්නේ
නිර්මාණකරණයටයි. අපි ඒ කාලේ තරග කළේ තමන්ගේ චරිතය වඩා සාර්ථක ව නිරෑපණය කිරීමටයි. ඒත්
අපි රංගනය විධිමත් ව හැදෑරැවේ නැහැ.
ඒත් අප ලැබූ අත්දැකීම් සම්භාරයෙන් අපගේ
රංගනය මුවහත් කරගත්තා. එය තමයි අපේ සාර්ථකත්වයේ රහස.”
ගාමිණි ෆොන්සේකා, මාලිනී
ෆොන්සේකා, ටෝනි රණසිංහ, විජය කුමාරතුංග වගේ දක්ෂ සිනමා රංගන ශිල්පීන් අද නොමැති
වීමෙන් වත්මන් සිනමාව, කර්මාන්තයක් වශයෙන් කඩා වැටී ඇති බවයි බොහෝ දෙනාගේ අදහස.
එය වැරුදි මතයක්. මොකද සිනමා
ක්ෂේත්‍රයේ අද වන විට ඉතා දක්ෂ ශිල්පීන් සිටිනවා. එවැනි නළු දෙපළක් විදිහට මහේන්ද්‍ර
පෙරේරා ,සෞම්‍ය ලියනගේ හඳුන්වා දෙන්න පුළුවන්. මං දන්න තරමින් ඔවුන් සිනමා
නිර්මාණවල යම් අවබෝධයක් ඇතිවයි රඟපාන්නේ . ඒත් ඔබ පවසන ප්‍රශ්නයට හේතු වී ඇත්තේ වෙනත්
කරැණක්. අද සිටින ඇතැම් නිෂ්පාදකවරැන් චිත්‍රපටවලට මුදල් වියදම් කරන්නේ කලාවට
තියෙන ආදරය නිසාවත් වෙනයම් කලාකාමී හැඟීමක් නිසා නෙමෙයි. ඔවුන්ට වුවමනා කරන්නේ
චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරෑපණය කිරීමයි. සමහර වෙලාවට ඔවුන්ට තමන්ගේ පවුලේ
උදවියත් මීට සහභාගි කරවගන්න වුවමනා වෙනවා. එවිට සිනමා නිර්මාණයේ තිබෙන
සිනමාත්මක ගුණය හීන වෙනවා. කතාව නිර්මාණය කරන්නේත් එය තමන්ට අවශ්‍ය පරිදි හිතුමනාපෙට සකස් කර ගන්නේත් ඔවුන්මයි. ටෙලිනාට්‍යවලට
සිදුවෙලා තියෙන්‍නේත් මෙයයි.
ඒ කෙසේ වෙතත් ගාමිණි ෆොන්සේකා,
ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා වගේ නළු නිළියන්
බිහිවෙන්නේ ඉතා කලාතුරකින්. මොකද රංගනය කියන්නේ ඉතා ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි.
ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නම් මට මගේ ළමයිවත් මීට යොමු කරන්න තිබුණා. එසේ යොමු
කළත් ඔවුන්ට රංගනයට සහජ දක්ෂතාවයක් නොමැති නම් මේ ක්ෂේත්‍රයේ රුඳෙන්න බැහැ. මොකද
රංගනයට ඉතා විශාල කැපවීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේ ම මීට අසීමිත ආශාවක් තිබිය යුතුයි.
අපි පාසල් ගිය කාලේ පටන් බොහොම අමාරැවෙන් එකතු කර ගත් සල්ලිවලින් ප්‍රංශ, ඉතාලි,
පෝලන්ත, ජපන්, ඇමරිකානු, බ්‍රිතාන්‍ය ආදී
චිත්‍රපට සොය සොයා බැලුවා. ඔවුන්ගේ
හැසිරීම්, කන බොන හැටි, ඇවිදින හැටි පිළිබඳව අපි හැදෑරීම් කළා. අපි මේ තත්ත්වයට
ආවේ එහෙමයි. විශේෂයෙන් පීඩිත පන්තියේ සිට පැමිණී කෙනෙක් හැටියට මම එය හොඳින්
දන්නවා. ලෝක සිනමාව ගත්තත් එසේමයි. මං කියවා තිබෙන විදිහටත් මාලන් බ්‍රැන්ඩෝ, චාල්ස්
බ්‍රොන්සන්, ජිම් බ්‍රවුන් වගේ බොහෝ ලෝක පූජිත නළුවන් ම බිහී වී තිබෙන්නේ නිර්ධන
පන්තියෙන්.
කලං අප සමග වත්මන් නවක
පරපුරේ නළු නිළියන් පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය.
අද සිටින ඇතැම් නවක කලාකරැවන්
හරිහැටි හසුරැවා ගැනීමට ඇතැම් අධ්‍යක්ෂවරැන් හා නිෂ්පාදකවරැන් දන්නේ නැහැ. මේ නිසා අපට
සිටින නවක දක්ෂ නළු නිළියන් වෙනත් වැරුදි මාර්ග සොයා යනවා. මේ නිසා අප ඔවුන්
හරිහැටි හසුරැවා ගත යුතුයි.
ඔබ ශ්‍රී ලංකාවේ බිහිවූ
ප්‍රථම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ නළුවෙක්. වත්මන් ටෙලිනාට්‍ය කලාව ඔබ දරන
මතය කෙබඳුද ?
අද වන විට ටෙලිනාට්‍යවල රඟපාන
නළු නිළියන්ට සළකන ආකාරය නම් ඉතා කණගාටුදායකයි. මෙය කොතරම් කණගාටුදායකදැයි කියනවා
නම් අද වන විට ප්‍රවීණ නළු නිළියන්ට පවා ටෙලිනාට්‍යවලට ගෙවන්නේ දෛනික වැටුපක්.
බොහෝ නිෂ්පාදකවරැන් නළු නිළියන්ට සළකන්නේ ඉතා පහත් පෙළේ කොටසක් හැටියටයි. ඒත්
මෙවන් තත්ත්වයක් පවතිද්දී එවැනි ටෙලිනාට්‍යවල රඟපෑමෙන් වැළකීමට ප්‍රවීණ ශිල්පීන් හෝ
වග බලා ගත යුතුයි. එයයි ප්‍රවීණ ශිල්පියෙකුගේ ලක්ෂණය.අපි දිමුතු මුතු ටෙලිනාට්‍යයේ
රෑගත කිරීම් සිදුකරද්දී එහි අධ්‍යක්ෂ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහත්මයයා අපට සැළකූ
ආකාරය අති විශිෂ්ටයි. එතුමා අපට කිසි දිනක අඩුවක් කළේ නැහැ. ඒත් අද සිදුකෙරෙන්නේ
නළු නිළියන් විකුණාගෙන කෑමක්. කොටින්ම කිව්වොත් අද තියෙන්නේ නළු නිළියන්ට සොච්චම්
මුදලක් දී දවස් ගාණක වැඩ කොටසක් ගන්නා තත්ත්වයකුයි.
අනික අද ටෙලිනාට්‍ය මගින් කතා
කරන්නේ මනස විකෘති කරවන සුළු බොළඳ තේමායි. කවුරැවත් දුප්පත්කම, නිර්ධන පන්තියේ
ගැටලු, සමාජයේ කේන්ද්‍රගත ප්‍රශ්න ආදිය ගැන කතා කරන්නේ නෑ. මොකද ඒවා කතා කළොත් එම
ටෙලිනාට්‍යය විකුණාගන්න බැරිවෙයි කියලායි නිෂ්පාදකවරැන් හිතන් ඉන්නේ. එය හරි. මොකද
ජනප්‍රිය සංස්කෘතියේ ජනප්‍රිය සියලු ම දේ ම නිවැරදි කියලායි මිනිස්සු හිතන් ඉන්නේ.
එවිට මෙවැනි තේමා අවශ්‍ය නැහැ. වත්මන් ටෙලිනාට්‍ය කලාවේ ශිල්පීන් බොහොමයකට අවශ්‍ය වෙලා තියෙන්නේ මොන විදිහකින් හරි තමන්ගේ
නිර්මාණය ජනප්‍රිය කර ගැනීමයි.
මේ නිසා මේ ජනප්‍රිය සංස්කෘතිය
වහාම වෙනස් කළ යුතුයි. ඊට ජාතික රෑපවාහිනිය, ස්වාධින රෑපවාහිනී වැනි රජයේ මාධ්‍ය
ආයතන මූලික වනවා නම් එය වඩා හොඳයි. ඔවුන් ට තමයි හොඳ නිර්මාණ තෝරා බේරා ඒවා
රසිකයන් ට ලබා දිය හැක්කේ. ඒ කාලේ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, ආචාර්ය ධර්මසේන
පතිරාජ වැනි අධ්‍යක්ෂවරැන් හොඳ නිර්මාණ රසිකයන්ට ඉදිරිපත් කරමින් රසිකයාගේ බුද්ධිය
අවදි කළා. ගැඹුරැ දෘෂ්ටියකින් ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කළා. නැතුව රසිකයා මොට කළේ
නැහැ. රසිකයා සිහින ලෝකවල අතරමං කළේ නැහැ
හොඳ ටෙලිනාට්‍යයකින්
නිර්මාණයක් කිරීමට නම් ජනප්‍රිය නවකතාවක් හෝ ජනප්‍රිය ලේඛකයකුගේ හෝ ලේඛිකාවකගේ
නවකතාවක් පාදක කර ගත යුතුය කියා සමාජය තුළ අදහසක් තියෙනවා.
මෙය අද වන විට සමාජයේ මුල් බැස
තිබෙන වැරුදි අදහසක්. පසුගිය කාලයේ මෙවැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය වුණා. ඒත් ඒ
කිසිදු ටෙලිනාට්‍යයක්, අදාළ නවකතාව හරිහැටි අධ්‍යයනය කර නිර්මාණය කළා ද කියන එක
අපට ලොකු සැකයක්. ඒවායින් බොහෝ ඒවා අසාර්ථක බවයි මගේ අදහස. මොකද පසුගිය කාලයේ බිහිවූ ඇතැම්
ටෙලිනාට්‍ය නිර්මාණ දකින විට නවකතා රචකයා සිටියා නම් සිය වරක් සිය දිවි නසා ගනු
ඇතැයි අපට සිතුණා. ඒවා ඒ තරම් විකෘති කරලා. විශේෂයෙන් ම මාර්ටින් වික්‍රමසිංහ,
වෛද්‍ය ගුණදාස අමරසේකර, කරැණෘසේන ජයලත්, කේ ජයතිලක වැනි නවකතාකරැවන්ගේ නවකතාවක් හෝ
කෙටිකතාවක් පාදක කරගනිමින් ටෙලි නිර්මාණයක් කිරිම ඉතා අභියෝගාත්මක, භාරදූර
කටයුත්තක්. ඒවා ආප්ප තම්බනවා වගේ කරන්න බෑ. ඊට එම නිර්මාණය පිළිබඳ ඉතා පුළුල්
විශ්ලේෂණයක් සිදුකළ යුතුයි. විමර්ශනයක් සිදුකළ යුතුයි. අද මෙවැනි හරසුන් ටෙලිනාට්‍ය පිළිබඳව කිසිදු විචාරකයෙක් යම් හරවත් විචාරවත්
විචාරයක නොයෙදීමත් ටෙලිනාට්‍ය කලාව, කලාවක් ලෙස කඩාවැටීමට බලපානවා.
ඒත් මෙවැනි ප්‍රශ්න
ටෙලිනාට්‍ය කලාව තුළ ඇත්නම් ඒ වෙනුවෙන් හඬ
නැගීමට කලාකරැවාට පුළුවන්. ඒ සඳහා රජය සමග විශාල කලාකරැවන් පිරිසක් සිටිනවා. ඒත්
මෙයින් පෙනෙන්නේ මොවුන් ඒ පිළිබඳව රජය හා කතා නොකරන බවයි. එයින් ඔබ අදහස් කරන්නේ
අද කලාකරැවා දේශපාලනයට යටවී ඇති බවද?
කලාකරැවා සිටිය යුත්තේ
කලාකරැවාට අයත් ස්ථානයේයි. ඔහු හෝ ඇය දේශපාලනයට යට නොවිය යුතුයි. ඒත් කලාකරැවාට
පාලකයන්ගෙන් සිය ඉල්ලීම් ඉටුකරගන්න අයිතියක් තිබෙනවා. ඒත් අද සිටින ඇතැම්
කලාකරැවන් රජය සමග එක්වී සිටින්නේ ඒ වෙනුවෙන් ද යන්න අපිට ලොකු ප්‍රශ්නයක්. ඒ වගේ
ම ඇතැම් සිනමා නිර්මාණ දකින අපට මේවාට අදිසි දේශපාලන අත පෙවීම් සිදු වී තිබෙන බවට
සැක පහළ වෙනවා. බොහෝ විට එම චිත්‍රපටවලට ලබාදෙන අනවශ්‍ය ප්‍රචාරණයේදී එය කැපී
පෙනෙනවා. මෙය සෙසු කලාකරැවන්ට කරන අසාධාරණයක්.
ඒ වගේ ම අද වන විට ලංකාව තුළ
ඇතැම් කලාකරැවන්ට පමණක් පාලකයන් විසින් සළකන යුගයක් ඇතිවෙලා තිබෙනවා. ඔවුන්ට පාලක
පන්තියෙන් නොයෙකුත් වරප්‍රසාද ලැබෙනවා. ඒත් දේශපාලකයාට කඩේ නොයන කිසිදු කලාරැවකුට
කිසිදු සහනයක් ලැබෙන්නේ නෑ.
ශ්‍රී ලංකාවෙන්
බිහිවූ අතිදක්ෂ අභිරෑපණ ශිල්පියෙකු විදිහට විමල් කුමාර ද කොස්තා හඳුන්වන්න
පුළුවන්. ඔහු වේදිකාවේ, ටෙලිනාට්‍යයේ මෙන් ම සිනමාවේ ද එකසේ දස්කම් දැක්වු
ශිල්පියෙක්. ඒත් ඔහු ගැන අද කවුරැත් බලන්නේ නෑ. එවැනි සමාජයකයි අද අපි ජීවත්
වන්නේ. අපි මේ ගැන කිහිපවරක් ම රජයටත් කිව්වා.
ඔබ හිටපු ප්‍රබල නිදහස්
පාක්ෂිකයෙක්. එසේ නම් ඔබ කළ ඒ ඉල්ලීම්වලට
හෝ රජය ඇහුම්කන් දුන්නේ නැද්ද?
එහෙම ප්‍රශ්නයක් නැහැ. මට
ජනාධිපතිතුමා වුණත් කියලා තියෙන්නේ ඕනෑ වෙලාවක ඕනෑ දෙයක් කියන්න කියලා. ඒ වගේ ම
මැති ඇමැතිවරැත් මට නිතර නිතර කතා කරනවා. ඒත් අපි අපේ ගෞරවය තියාගෙන සිටිනවා. අපි
දේශපාලකයන්ට කවදාවත් කඩේ යන්න උත්සාහ කළේ නැහැ.
No comments:
Post a Comment