Friday, July 5, 2013

ඉගෙනීම


අප හෙළයේ මහා ගත්කරැ කවුරැන්දැයි ඇසුවොත් අනිවාර්යයෙන්ම පවසන්නේ ඒ මාර්ටින් වික්‍රමසිංහ සූරින් කියායි.මේ වන විට එම ගත්කරැවා විසින් රචනා කළ කෘති විශ්ව විද්‍යාල කෘති ලෙසින් ද නිර්දිෂ්ට ව ඇත.එහෙත් වික්‍රමසිංහයන් ඉගෙනගෙන ඇත්තේ පහ වසර දක්වා පමණක් යැයි ඔබ නොදන්නවා විය හැකිය.දන්නවාද විය හැකිය.කෙසේ වෙතත් එකල අධ්‍යාපනයෙන් පහ වසර දක්වා ඉගෙනුම ලැබුව ද එය ජීවිතයට ඉතා ඵලදායක අධ්‍යාපනයක් වී ඇති බව මෙයින් අපට පෙනී යයි.එහෙත් පවුලේ අඩු ලුහුඬුකම් මධ්‍යයේ ඉගෙනීම කඩා කප්පල් වූ වික්‍රමසිංහයන් එතැන් සිට නිරත වූයේ ස්ව-අධ්‍යාපනයකය. අන්තර්ජාලය,පරිගණක හෝ ජංගම දුරකතන නොතිබුණු සමයක පොත්පත් කියවීමේ තම පරිඥානය තර කර ගනිමින් ද,පරිකල්පන ශක්තිය වර්ධනය කර ගනිමින් ද කටෝර මාවතක් හරහා ජීවිතය ඉගෙන ගත් වික්‍රමසිංහයන්,ජීවිතය පිළිබඳ ඉගෙනීමට කදිම තෝතැන්නකි.එහෙයින් පණහ දශකයේ සිට පැවත එන නිදහස් අධ්‍යාපනයෙන් සැබෑ ඉගෙනීමක් ලැබේද ? එතැනින් ඉගෙනීම අවසන් වේද යන්න විමසා බැලිය යුතු කරැණකි.

පවතින අධ්‍යාපන ක්‍රමය

කිසිම දිනෙක අසා නැති, දැක නැති සිද්ධාන්ත කරැණුවලට පමණක් සීමා වූ වත්මන් පාසල ගිරා පෝතකයන්ට නම් කදිම ස්ථානයකි.ජීවිතය හා බද්ධ නොවන, ආචාර්ය මහාචාර්යවරැන් හුදු පාණ්ඩිත්‍යය හුවා දක්වන වත්මන් අධ්‍යාපනයේ ප්‍රායෝගික භාවිතාවන් නොමැති බව කීම අතිශයෝක්තියක් නොවේ. එමෙන්ම සමාජ ශෝධනය,මනුෂ්‍ය සම්බන්ධතා හෝ සාරධර්ම පිළිබඳ අවම වශයෙන් කතා බස් කෙරෙන පාසල තුළින් බිහිවන්නේ මනුෂ්‍යකුට වඩා රොබෝවරැන් බව කීම ද කිවමනාය.එනිසාවෙන් අනාගත ලෝකය තුළ රොබෝවරැන් හෝ මිනිසුන් තුළ වැඩි පරතරයක් නොමැති වනු ඇතැයි අපි සතුටින් දන්වාලීමට කැමැත්තෙමු.

සැබෑ ඉගෙනීම

මෙලොවට බිහිවන සෑම දරැවකුම සුවිශේෂි දරැවෙකි.ඔහුටම අනන්‍ය වූ සුවිශේෂීතා පවතී. දක්ෂතා පවතී. එහෙයින් අප කුඩා කල සිටම ඔහු හඳුනාගත යුතුය.ඔහුගේ එම සුවිශේෂිතා වර්ධනය වන උත්ප්‍රේරක ලබා දිය යුතුය.එහෙත් මොන්ටිසෝරියේ සිටම ගුරැවරැන්ට අවශ්‍ය දේ මිසක ළමයාට අවශ්‍ය දේ නොඉගැන්වෙන අධ්‍යාපනයක් තුළින් කිසිදිනෙක මෙම හඳුනා ගැනීම කළ නොහැක.කොටින්ම කියතොත් ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයක් බව කියනා වත්මන් අධ්‍යාපනයෙන් බිහිවන දරැවා,ඉනික්බිති තමන් ඉගෙන ගත් පොත් පත් විසිකර දමන්නේ හතුරෙකුටවත් මෙවන් විපතක් සිදුනොවේවායි පතමිනි. මේ නිසා අපට සැබෑ ඉගෙනීම යන්නද තවත් අනු කොටස් කිහිපයට විභජනය කළ හැක.

වෘත්තිය අධ්‍යාපනය

අප ජීවිත කාලයෙන් වැඩි කාලයක් ගත කරන්නේ කිසියම් වෘත්තියක නියැලෙමිනි.එනිසාවෙන් අප අදාළ වෘත්තිය පිළිබඳ වසර දෙකක හෝ පළපුරැද්දක් ලබා ගත යුතුමය.එය තාක්ෂණ විෂයක් විය හැකිය.විද්‍යා විෂයක් විය හැකිය.සෞන්දර්ය විෂයක් විය හැකිය. වානිජ විෂයක් විය හැකිය. නොඑසේ මේ කිසිදු කුලකයට අයත් නොවන විෂයක් වුව ද විය හැකිය. එහෙත් ගෝලීයකරණය පිළිබඳ කතා කරන වත්මන් සමාජයේ එවන් වෘත්තිය අධ්‍යාපනයකට මං සැලසී නොමැතී නම්, එවන් වාතාවරණය ඇති ඉඩකඩ අහුරා ඇත්නම් එය මහා ඛේදවාචකයකි.එමෙන්ම මෙය වත්මන් නීති පද්ධතියට අනුව තමන්ට අවශ්‍ය මාවත අවහිර කිරිමේ චෝදනාවට ද ලක් වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසය.

සෞන්දර්යය

අපට හිමිදිරියේ නැගිට වළාකුළු අතරින් අප හා සිනාසෙන හිරැ රුස් විඳිය හැකිද? ඒ තුළින් කිසියම් සෞන්දර්යයක් අත් විඳිය හැකිද ? දිය ඇල්ලක් ළඟට ගොස් ඒ තුළින් රැරා වැටෙන දිය දහරාවේ මනස්කාන්ත දසුන කෙතරම් රසවිඳිය හැකිද ? කවියක් හෝ ගීතයක් තුළින් ජීවිතයෙන් පෙත්තක් කියවිය හැකිද ? නාට්‍යයක් හරිහැටි රසවිඳිය හැකිද ? නවකතාවක් හෝ කෙටිකතාවක් කෙතරම් සාර්ථක ලෙස රසවිඳිය හැකිද ? එතුළින් ජිවිතය කියවිය හැකි වේද ? එහෙත් ඔබ ඔබගේ ළමා කාලයට ආපසු හැරැණොත් ගීත ගැයීමට,චිත්‍ර ඇඳීමට,නැටීමට, රඟපෑමට කෙතරම් ආශාවක් දැක්වුයේදැයි දැන් සිහිපත් වනු ඇත.එහෙත් එවන් දක්ෂ හැකියාවන් තිබූ ඔබට දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? ඔබට දැන් චිත්‍රයක් ඇඳිය හැකිද ? ගීතයක් ගැයිය හැකිද ? නැටිය හැකිද ? එම දක්ෂතාවලට සිදුවූයේ කුමක්ද ? ඔබගේ ජීවිතය ඔබටම අහිමි වී ඇති බැව් දැන් ඔබට වැටහෙනු ඇත.එනිසාවෙන් වෘත්තිය අධ්‍යාපනයක් ලබන අතරවාරයේ සෞන්දර්ය අධ්‍යාපනයක් හැදෑරීම තම ජීවිතය ඉතා සාර්ථක ජිවිතයක් කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇත.එමෙන්ම වෘත්තිය ජීවිතය අවසන් වූ විට පවා (පැන්ෂන් ගිය විට පවා) ඔබට සතුටින් ජීවත් විය හැකිය.මන්ද වසර ගණනාවක් තිස්සේ ඔබ යෙදුණු වෘත්තිය ජීවිතය නිමා වුව ද ඔබ තුළ වූ සෞන්දර්ය රසිකත්වය ඔබ තුළින් කිසිදිනෙක නොමියෙනු ඇති බැවිනි.එහෙත් මෙයින් අප ඔබට නාට්‍යකරැවකු, ගායකයකු හෝ කවියෙකු වීමට කියනවා නොවේ.එසේම අප එසේ කීවා යැයි සිදුවන්නේ ද නැත. එහෙත් ඔබ සැබෑ මිනිස් ගුණවලින් හෙබි මනුෂ්‍යකු බවට පත්වීම ඉන් සිදුවන බව නම් අපට කිව හැකිය. 

සාහිත්‍යය

ජීවිතය පිළිබඳ කියවීමට හැකි ප්‍රධානතම මාධ්‍යය වන සාහිත්‍යය අප තුළින් බොහෝ දුරට දුරස් වී ඇත.එහෙත් සාහිත්‍යය යන්න උපතේ සිට මැරෙනා තුරැම අපට වැදගත්ය.මෙය එතරම්ම පුළුල්ය.“සාහිත්‍යය, කලාව කන්නද“ වැනි ආකල්පවලින් යුතු මෙවන් සමාජයක සාහිත්‍යය යන්න සමාජගත කිරීම උඩුගං බලා පිහිනා යාමක් වුව ද මේ මොහොතේ එහි අත්‍යවශ්‍යතාවය අපට තදින් දැනේ.තාරැණ්‍යයේ අපට  ආදරය, විරහව, දැනුම, විනෝදය, කුතුහලය, ත්‍රාසය ආදියට සාහිත්‍යය වැදගත් වනවා මෙන්ම සමස්ත ජීවිතයම ඉගෙනීම වස් අපට මෙය වැදගත් වන්නේ එබැවිනි. මෙහි ඛේදවාචකය නම් ජිවිත කාලය තුළදීවත් කියවා නිම කළ නොහැකි සාහිත්‍යයක් හිමි අප, ජීවිත කාලයේදිවත් කියවා නිම කළ නොහැකි ලෝක සාහිත්‍යයක් හිමි අපට එහි වැදගත්කම නොවැටහීමයි.සාහිත්‍යය මාස හෝ සාහිත්‍ය උත්සව පැවැත්වුණ ද,පොත් ප්‍රදර්ශන පැවැත්වුණ ද එයින් අපගේ සාහිත්‍යයමය ඥානය කෙතරම් පුළුල් වුයේ ද යන්න ප්‍රශ්නාර්ථයක්ම වන්නේ මෙනිසාවෙනි.මේ පිළිබඳ අපූරැ කියැවෙන චිත්‍රපටයක් වන Dead Poet Society මීට කදිම නිදසුනකි.ජීවිකාවට වඩා ජීවිතයේ වටිනාකම පිළිබඳ කියැවෙන මෙම චිත්‍රපටය මීට දශක දෙකකටත් වඩා පෙරදී නිර්මාණය වූවකි.එහෙත් අපට මෙම චිත්‍රපටයේ කතා තේමාව වඩා තදින් දැනෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ යම් වේදනාවක් සිත තුළ දවාලමිනි. එනම් අප තවමත් ජීවත් වන්නේ 2012 වසරේ නොව අනූව දශකයේ බව හඟවමිනි.

“අපි ජීවන තරගයක යෙදෙන සාමාජිකයන්. හැබැයි ජීවන තරගය රුඳී තිබෙන්නේ විවිධත්වය මත.ඒක සමහර විට නීතිය,ඉංජිනේරැ විද්‍යාව,වෛද්‍ය විද්‍යාව හෝ ආර්ථික විද්‍යාව වෙන්නත් පුළුවන්.ඒත් කවිය? කවියේ තියෙන්නේ ඊට වඩා වෙනස් දේවල්. මිනිස්සු තුළ ආදරය,රසය,ලස්සන,හිනාව,කුතුහලය ඇති කරන්නේ කවිය මගින්. ඒවා මිනිස්සුන්ට මැරෙනකල් ඕනේ. ඒ නිසා ඔබ කව්ද කියලා ලෝකෙට පෙන්නන්න නම් ඔබ අලුත් විදිහට හිතන්න ඕනේ.වෙන කවුරැවත්ම හිතන්නේ නැති විදිහට හිතන්න ඕනේ. කවිය තමයි ඒකට මග පෙන්වන්නේ. කවිය තමයි අපිව අලුත් විදිහට හිතන්න පොළඹවන්නේ. ඒ නිසා ඔබ මැරෙන්න කලින් ලෝකය ඉදිරිපිට විශේෂ චරිතයක් රඟපාන්න ඕනේ. ඔබ කව්ද කියලා අනාගත පරපුරටත් පෙන්නලා දෙන්න ඕනේ. එතකොටයි ඔබ ගැන අනාගත පරපුර කතා කරන්නේ “ චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ඉස්මතු වන ප්‍රධානතම අවස්ථාව මෙයයි.

එබැවින් ඇමෙරිකාව අද සිටින්නේ කොතැනද යන්න අපට දැන් සක් සුදක් සේ පැහැදිලිය.එමෙන්ම අසල්වැසි ඉන්දියාව ද ඇමෙරිකාව හා කරට කර සිටින්නේ කෙසේදැයි පැහැදිලිය. අප ජාතිවාදය අවුලවමින්, යුද්ධවලට පෙළඹෙමින් ද අමන ක්‍රියාවල නිරත වෙද්දී ඔවුන් සියලු මිනිසුන් එකම කුලකයක් සේ සළකා දියුණුවන්නේ වේදැයි දැන් පැහැදිලිය.අතිගරැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයෙන් පසුව මින් මතු ශ්‍රී ලංකාවේ ජීවත් වන්නේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් යන වර්ග දෙක පමණකැයි කීව ද එවැන්නක් දැන් දැන් සිදුවේදැයි යන්නද පැහැදිලිය.

එබැවින් අපට මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ බටහිර රටවල් මෙන්ම බොහෝ ආසියානු රටවල් පවා ජීවිතය පිළිබඳ දැන් දැන් හොඳ කියවීමක් ලබන බවය.එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සාහිත්‍යය,සංගීතය,නාට්‍යයට නිසි ස්ථානය නොලැබෙද්දී විදේශිකයන් ඒවාට ගෞරව කරන්නේ මන්දැයි යන්න ද අපට පැහැදිලිය.ලෝකයා මහත්මා දේශපාලනයක නිරත වෙද්දී, කලාවෙන් පෝෂ්‍ය නොවූ හෙයින් ද, සාරධර්මයන්ගෙන් පෝෂ්‍ය නොවූ හෙයින් ද,සංවරයක් නොවූ, කැළඹිලි සහගත, මනුෂ්‍ය කොට්ඨාසයක් ශ්‍රී  ලංකාව තුළ සමාජගත වන්නේ ඇයිදැයි යන්නද පැහැදිලිය.එනිසාවෙන් ලෝකයෙන් ලබාගත යුතු දේ දැන්වත් අපි දැන්වත් ලබා ගනිමු. ඒ සඳහා අපි දවසට තුන් වරක් හෝ මෙසේ ගායනා කරමු. මෙය අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි.

“එක මවකගේ දරැ කැළ බැවිනා යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම බේද දුරුලලා දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ මාතා“   

සටහන - මාලන් විදානපතිරණ
  

No comments:

Post a Comment