Saturday, July 13, 2013

අද පේ‍්‍රක්ෂකයාට ශේක්ස්පියර්ගේ නාට්‍යයක් පෙන්වීම ප‍්‍රයෝජනවත් ද කියලත් හිතෙනවා

ප්‍රවීණ නාට්‍යවේදී  බන්දුල විතානගේ සමග කතාබහක් 

2011/03/16 - ලංකාදීප

සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ




බන්දුල විතානගේ විසින් නිර්මාණය කරන ලද ඉතා මෑතක් වන තුරැ වේදිකාගත වූ රෝමය ගිනි ගනී වේදිකා නාට්‍යය ඔබට මතක ඇතුවා නිසැකය.එහිදී ලද ජනපි‍්‍රයත්වය නිසාම ඔහු රෝමය ගිනි ගනී 2 වේදිකා නාට්‍යය එම නාට්‍යයේම දිගුවක් ලෙසින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ මේ මස 23,24 දිනවල එල්ෆින්ස්ටන් රඟහලේදීය.

    රොජර් සෙනෙවිරත්න ගේ නිෂ්පාදනයක් වන රෝමය ගිනි ගනී 2 නාට්‍යයට සම්පත් තෙන්නකෝන්,රත්නා ලාලනි ජයකොඩි, උපාලි බණ්ඩාර, අයේෂා දිසානායක, තිළිණි පි‍්‍රයංවදා, ඉෂාර වික‍්‍රමසිංහ ආදිහු රංගනයෙන් දායක වෙති.

    අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් තම නැණ පහන් දල්වා ගත් බන්දුල කොළඹ විශ්ව විද්‍යාලය තුළින් එය මුවහත් කර ගත්තේය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම කෙළවර වුයේ මේඝ ගර්ජනා(1965) නමින් තම ප‍්‍රථම වේදිකා නාට්‍යය කරළියට ගෙන ඒමත් සමගමය.  විදේශ ගණනාවක සංචාරය කර ඇති ඔහු මේ වන විට විවිධ ශෛලියේ නාට්‍ය 200 ආසන්න ප‍්‍රමාණයක් නරඹා ඇත.ඔහුගේ ප‍්‍රථම වේදිකා රංගනය ලෙස සලකුණු වන්නේ පී වැලිකලගේ රත්නාවලි නාට්‍යයේ විදූෂක ලෙසින් රඟපෑ චරිතයයි.ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක්,සෙනෙහෙබර ඩොලී,වැනිසියේ වෙළෙන්දා,සිකුරැ සැණකෙළි,මැක්බත් ආදී වේදිකා නිර්මාණ රැසක් වේදිකාගත කළ සම්මානනීය නාට්‍යවේදියෙකු වන බන්දුල විතානගේ වැනිසියේ වෙළෙන්දා (නව නිෂ්පාදනය) සහ හැම්ලට් වේදිකාගත කිරීමට සැලසුම් කරමින් සිටී.

ලාංකීය ශේක්ස්පියර් විරැදාවලිය ලත් ඔහු වේදිකාවේ පමණක් නොව බුමුතුරුණු, අසල්වැසියෝ ආදී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් රෑපවාහිනී තිරයේ ද තම කුසලතාව පළ කර ඇත. එමෙන්ම ඔහු වසන්ත ඔබේසේකරගේ වෙස්ගත්තෝ,පතිරාජ එල්. එස්.දයානන්ද ගේ ජෝඩු වළලූ ආදී චිත‍්‍රපටි 10කට පමණ චරිත නිරූපණය කර ඇත.  මේ ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ සමග කළ කතාබහක සටහනකි.

‘‘
රෝමය ගිනි ගනී ප‍්‍රහසන නාට්‍ය කලාවේ අග‍්‍ර ඵලය ලෙස සලකන රේ කූනි
Ray Cooney) නම් බි‍්‍රතාන්‍ය ජාතික නාට්‍ය රචකයාගේ Run for Your Wife නම් නාට්‍යය ඇසුරින් කළ වේදිකා නිර්මාණයක්. රෝමය ගිනි ගනී 2 නාට්‍යය නිර්මාණ කර තියෙන්නේ ඔහුගේම Caught in the net නම් නාට්‍යය ඇසුරින්.මේ නාට්‍ය මා රචනා කිරීමේදී මගේ අනෙක් නාට්‍යවලට වඩා වෙනස්ම වූ භාෂා විලාසයක් අනුගමනය කර තිබෙනවා. මෙහිදි මම දෙබස් සඳහා යොදා තිබෙන්නේ එදිනෙදා භාවිතා කරන කතා කරන භාෂාව.ඒකට ප‍්‍රධාන හේතුව අද ටෙලිනාට්‍ය පේ‍්‍රක්ෂකයාගේ ඇඟේ කොටසක් බවට පත්ව තිබීම.ඇත්තටම අද පේ‍්‍රක්ෂකයාට ශේක්ස්පියර්ගේ නාට්‍යයක් පෙන්වීම ප‍්‍රයෝජනවත් දෙයක් වෙයිද කියලත් හිතෙනවා. මොකද ඔවුන් ශේක්ස්පියර්ගේ කාව්‍යමය භාෂාව දන්නේ නැති නිසා.ඒක වේදිකාව තුළ දැක ගැනීමටත් පේ‍්‍රක්ෂකයා කැමතියි. මේ නිසා මේ නාට්‍යය හැකි තරම් ස්වාභාවික අයුරින් ඉදිරිපත් කිරීමටයි අපි උත්සාහ ගෙන තිබෙන්නේ.ඒ වගේම අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම හැකි තරම් අවම කර තිබෙනවා.ඒත් ප‍්‍රහසනාත්මක ගුණය කිසිලෙසකින්වත් අඩු කර නැහැ.’’
රෝමය ගිනි ගනී 2 නමින් නාට්‍ය දිගුවක් නිර්මාණය කළේ ඇයි ?

මේ නාට්‍යයේ රචකයා මෙහි දිගුවක් රචනා කිරීම නිසයි මම මේ නාට්‍යයේ දිගුවක් නිෂ්පාදනය කළ යුතු යැයි අදහස් කළේ. මෙවැනි දිගු වේදිකා නාට්‍යය එතරම් දකින්න නොලැබුණත් නවකතා,චිත‍්‍රපටිවල මෙය දකින්න පුළුවන්. රෝමය ගිනි ගනී නාට්‍යයේ දෙවැන්න රේ කූනි විසින් Caught in the net නමින් හැඳින්වුවත් අපි මෙය රෝමය ගිනි ගනී 2 ලෙසයි නම් කළේ. පේ‍්‍රක්ෂකයා පළමුවැනි නාට්‍යය ගැන දන්න නිසා දෙවැන්න වේදිකාගත කිරිමට එතරම් අපහසු වෙන එකක් නෑ කියලයි මම නම් හිතන්නේ. මොකද දන්නා දෙයින් නොදන්නා දෙය කරා යාමට පහසු නිසා. එක්තරා කුලී රථ රියදුරෙක් භාර්යාවන්  දෙදෙනෙකු සමග විවාහ වී කුටුම්බ දෙකක් නඩත්තු කිරීමත් පසුව එය හසුවීමත් පිළිබඳ කතා පුවතක් තමයි රෝමය ගිනි ගනී 1 නාට්‍යය තුළින් කියැවෙන්නේ.ඒත් මෙහි දෙවැන්න තුළින් ඒ භාර්යාවන්ට දරැවන් දෙදෙනෙකු බිහිවී එම දරුවන් අන්තර්ජාලය හරහා පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගැනීම නිසා ඇතිවන තත්ත්වය පිළිබඳවයි කියැවෙන්නේ. ප‍්‍රහසන නාට්‍යයක චරිත නිරූපණය ඉතා වැදගත්  වෙනවා. නාට්‍ය චරිත සැබෑ චරිත බවට පත් කරන්න තමයි නාට්‍ය රචකයා සැමවිටම උත්සාහ කරන්නේ. එතුළින් තමයි පේ‍්‍රක්ෂකයා චරිතයට අනුගත වී නාට්‍ය රසවිඳින්නේ. සාමාන්‍යයෙන් ප‍්‍රහසනාත්මක නාට්‍ය ගැට ගසන විදිහට පේ‍්‍රක්ෂකයාට සිනා නොවී ඉන්නට බැහැ.

ඔබත් මේ නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා නේද ?

ඔව් මම මෙහි ස්ටැන්ලිගේ පියාගේ චරිතය නිරෑපණය කරනවා.ශේක්ස්පියර්ගේ නාට්‍යයක වුණත් නාට්‍ය අතරමැදදී විශේෂයෙන් සංකීර්ණ අවස්ථාවලදී විවිධ චරිත මගින් සුළු විවේකයක් පේ‍්‍රක්ෂකයාට ලබා දෙනවා.මගේ මැක්බත් නාට්‍යයෙත් එහෙමයි. මේ නාට්‍යය ප‍්‍රහසනයක් වුණත් චරිතවලට මෙය ශෝකාන්තයක්. ඔවුන් මුහුණපාන ප‍්‍රශ්නය නිසා ඔවුන් හරියට දුක් විඳිනවා.මේ දෙස බලා සිටින පේ‍්‍රක්ෂකයාගේ භාව විරේචනයක් සිදුවෙනවා.මේ නිසයි මේ රචකයා මේ චරිතය නිර්මාණය කර තිබෙන්නේ. විලියම් ශේක්ස්පියර් වුණත් ශෝකාන්ත 9ක් පමණ ලියා තිබෙනවා තමයි.ඒත්  ඔහුගේ නිර්මාණ සුඛාන්ත විදිහටයි වඩා ප‍්‍රචලිත වී තිබෙන්නේ.ඔහු සුඛාන්ත නාට්‍ය 17ක් රචනා කර තිබෙනවා.

ඔබ පරිවර්තන නාට්‍යයම කරන්නේ ඇයි ?

ඇත්තටම මම මාව නාට්‍ය රචකයෙක්ට වඩා පරිවර්තකයෙක් විදිහටයි හඳුන්වන්න කැමති. විලියම් ශේක්ස්පියර් ගැන කියෙව්වට හැදෑරැවට පස්සේ මම ඔහුගේ නාට්‍යවලට වශී වුණා. මේ නිසා මම වඩා උත්සාහ කළේ නාට්‍යය පරිවර්තනය කරන්නයි. මගේ බලාපොරොත්තුව මගේ ජීවිත කාලය ඇතුළතදී නාට්‍ය 10ක්වත් පරිවර්තනය කරන්නයි.මොකද නැත්නම් මගේ භාෂා දැනුමෙන් ප‍්‍රයෝජනයක් නැතුව යන හින්දා. දැනටත් මම නාට්‍ය 4ක් පරිවර්තනය කරමිනුයි ඉන්නේ.මෙය  අධ්‍යාපනය ලබන දරැ දැරියන්ට මගෙන් කෙරෙන සේවාවක් හැටියටයි මා දකින්නේ.මේ නිසා මට ස්වතන්ත‍්‍ර නාට්‍යයක් ගැන හිතන්න වෙලාවක් තිබ්බේම නෑ. අනික අද ස්වතන්ත‍්‍ර නාට්‍ය රචකයෝ හුඟාක් බිහිවෙලයි ඉන්නේ.ඒත් මම හොඳ නාට්‍ය රචනයක් මගේ අතට පත්වුණොත් වේදිකාගත කරන්නත් බලාපොරොත්තු වෙනවා. ශේක්ස්පියර් නාට්‍ය තුළ ඔහු කතා ගොනු කර තිබෙන්නේ කෙසේද ? ශේක්ස්පියර්ගේ නාට්‍ය ඇසුරින් ලබා ගත හැකි කතා වස්තු මොනවාද ? යන්න පිළිබඳ අද අවධානය යොමු කරන්නේ නැහැ.අද සමහර වේදිකා නාට්‍ය තුළින් ඔහේ යමක් ලියා තිබෙනවා මිස නාට්‍යෙයාචිත අවස්ථා දකින්න නැහැ.
                                                                                                                                     නාට්‍ය පරිවර්තනය කිරීමේදී කිසියම් ආකාරයකින් මුල් කෘතියට යම්  හානියක් සිදුවෙනවාද?

ඒකේ යම් සත්‍යතාවක් තියෙනවා.මෑතකදී බි‍්‍රතාන්‍ය නාට්‍යකරැවෝ එකතුවෙලා පරිවර්තනය පිළිබඳ සමුළුවක් පවත්වා තියෙනවා. එහිදී පරිවර්තනයක් කිරීමේදී ම අපි එම මුල් කෘතියේ සුවඳ ගුණය නැති කරනවා කියා ඔවුන් කියා තියෙනවා. ඊට හේතුව තමයි අදාළ නාට්‍ය අපි පරිවර්තනය කරන විට එය අපේ සමාජයට ගැළපෙන්නේ නැති ගතියක් තිබීම.ඒක කොහොමත් තියෙනවා. මේ නිසා අපට එය ශී‍්‍ර ලංකාවට ගැළපෙන පරිදි නිර්මාණය කිරිමේදී ඒ කෘතියේ ගුණ සුවඳ එපරිද්දෙන්ම ආරක්ෂා කරන්න අපහසුයි.ඒත් ඒ නාට්‍යයේ පවත්නා ශක්තිය,නාට්‍ය උචිත අවස්ථා සර්වකාලීන හා සර්ව භෞමික බව ආරක්ෂා කරමින් පරිවර්තනය කිරිම තුළින් ඒ නාට්‍යය රසවිඳිය හැකියි. මම පරිවර්තනය කළ වැනිසියේ වෙළෙන්දා නාට්‍යය තුළින් ශේක්ස්පියර්ගේ කාව්‍යමය ගුණය හොඳින් ගම්‍ය වෙලා තියෙනවා කියලයි විචාරකයෝ සඳහන් කරන්නේ.

තරැණ නාට්‍යකරුවෝ ගැන ඔබ මොකද හිතන්නේ ?

අද තරැණ නාට්‍යකරුවා ඉතා දක්ෂ ලෙස තම නිර්මාණ ඉදිරිපත් කරනවා.බුද්ධික දමයන්ත, ඉන්දික ෆර්ඩිනෑන්ඩු,ධනංජය කරැණාරත්න වගේ අය ඒ අතරින් විශේෂයි.ඔවුන් බොහෝ විට ස්වතන්ත‍්‍ර නාට්‍ය රචනා කිරීමට පෙළඹෙනවා. ඒක හොඳ ලක්ෂණයක් විදිහටයි මා දකින්නේ. ඔවුන් නාට්‍ය කලාවේ නොයෙකුත් ඉසව් සොයා යනවා.මා මෑතකදී නැරඹූ උදයසිරි වික‍්‍රමරත්නගේ සුද්දෙක් ඔබ අමතයි ඊට කදිම උදාහරණයක්.මං හිතන්නේ මේ වගේ නාට්‍යයක් ලංකාවේ නිෂ්පාදනය වුණේ ප‍්‍රථම වතාවට.මේ වගේ නාට්‍ය ගී‍්‍රසියේ ඉඳලම පැවතගෙන ඇවිත් තිබෙනවා.මම ඇමරිකාවේදී මෙවැනිම වු නළුවන් දෙදෙනෙකු පමණක් ර`ගපෑ නාට්‍ය දැක තිබෙනවා.ඒ වගේම මමත් විශ්ව විද්‍යාල අවධියේ ගංගාවක්,සපත්තු කබලක් සහ මරණයක් නමින් එවකට නව රංග රීතියක් වූ අධි තාත්ත්වික සම්ප‍්‍රදායයෙන් නාට්‍යයක් කළා. ඒ නාට්‍යයට රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මාන පවා හිමි වුවත් ඒ නාට්‍යය එතරම් කතා බහකට ලක්වුනේ නෑ.

ඔබ ලයනල් වෙන්ඩ්ට් කේන්ද්‍රගත ඉංගී‍්‍රසි නාට්‍ය කලාවටත් සම්බන්ධයි.ඉංගී‍්‍රසි නාට්‍ය කලාව ශී‍්‍ර ලංකාවේ නාට්‍ය කලාවට එක්කාසු කරගන්න බැරිද?

මං හිතනවා පුළුවන් වේවි කියලා.මගේ මැක්බත් නාට්‍යය රචනා කළේ ජෙරෝම් ද සිල්වා.ඔහු ශී‍්‍ර ලංකාවේ ඉංගී‍්‍රසි නාට්‍ය නිර්මාණය කරන නිර්මාණකරැවෙක්.මං ඉන්පස්සේත් ඔහු සමග නාට්‍යයක් කළා.ඒත් ඒක කෙරැණේ නැහැ.දැන් මම ඔහුට Blood Brothers නම් අලූත් නාට්‍යයක් පරිවර්තනය කරමිනුයි ඉන්නේ.යුද්ධයෙන් පසු ඉංගී‍්‍රසි නාට්‍යකරැවෝ නැවතත් තමන්ගේ නිර්මාණ කි‍්‍රයාදාමය ආරම්භ කර තිබෙනවා.ඒත් ඒවායේ ඉස්සර තිබ්බ සංකීර්ණ බව නම් නැහැ. විශේෂයෙන් ඒ කාලේ මැකින්ටයර් වගේ ඉංගී‍්‍රසි නාට්‍යකරුවෝ නිෂ්පාදනය කළේ බර්ටෝල්ට් බෙච්ට්,ඉයුජින් අයනෙස්කෝ,විලියම් ශේක්ස්පියර් වගේ නාට්‍යකරැවන්ගේ නාට්‍ය.දැන් ඒ නාට්‍ය කලාවත් ප‍්‍රහසන නාට්‍ය රුල්ලට හසුවෙලා. Run For Your Wife නාට්‍යයේ  ඉංගී‍්‍රසි නිෂ්පාදනය මම දැක තිබෙනවා.එමෙන්ම වේදිකාගත කිරීමට නියමිත රෝමය ගිනි ගනී 2 නාට්‍යයේ ශී‍්‍ර ලංකා ඉංගී‍්‍රසි නිෂ්පාදනයත් මා දැක තිබෙනවා. එය ඉතා සාර්ථක නිෂ්පාදනයක්. ඔවුන්ට අනුග‍්‍රාහකත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් නෑ.ලක්ෂ 10ක අනුග‍්‍රාහකත්වයක් ලබා දීමට වුණත් අනුග‍්‍රාහකයෝ ඉන්නවා.ඒත් අපිට සොයා ගන්න අපහසුම දෙය අනුග‍්‍රාහකත්වයයි. රෝමය ගිනි ගනී 2 නාට්‍යය මෙතරම් ප‍්‍රමාද වීමට හේතුවත් මෙයයි.අපට නිසි අනුග‍්‍රහකත්වයක් ලැබෙනවා නම් අපිට තියෙන අදහස් නිර්මාණ බවට පත් කරන්න බොහොම පහසුයි. එවිට අවම වශයෙන් වසරකට එක් නාට්‍යයක් හරි නිෂ්පාදනය කරන්න පුළුවන්.
 
සටහන හා ඡායාරෑප-මාලන් විදානපතිරණ
                                                                                                                                                                                                                                                                                                                          

No comments:

Post a Comment