Sunday, July 7, 2013

ප්‍රවීණ නාට්‍යවේදී රෙජිනෝල්ඩ් ජයමාන්න සමග කතාබහක් - 2013/05/17 -



කතාබහ සහ සටහන - මාලන් විදානපතිරණ

ය‍ශෝරාවය,හයසිය හැට හය, ඉංගම්මාරැව,ඉසිවර අසපුව වැනි ටෙලිනාට්‍ය හරහා පුංචි තිරයේ ජනප්‍රියත්වයට පත් නළුවෙකු වන රෙජිනෝල්ඩ් ජයමාන්න වේදිකාවෙන් නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණි, වෘත්තියෙන් කාර්මික චිත්‍ර පිළිබඳ උපදේශකවරයෙකු වන්නකි.අසූව දශකයේ බිහිවූ කලා ශිල්පීන් අතරින් එක් අයෙකු වන ඔහු, කෙටි නාට්‍යකරැවකු වශයෙන් මෙන්ම කෙටි නාට්‍ය රචකයකු ලෙස ද එකල ප්‍රකට දස්කම් දැක්වුයේය. එකල යොවුන් කෙටි නාට්‍ය උලෙළේදී යුද්දෙටත් නාට්‍යය නිර්මාණය කරමින් ඒ වෙනුවෙන් හොඳම නළුවා සහ හොඳම රචනයට හිමි සම්මානය දිනා ගත් ඔහු, ඊට අමතරව මරණය අබියස, ඌරැ සංගෙඩිය (හොඳම රචනය සම්මානය) ආදී කෙටි නාට්‍යද අධ්‍යක්ෂණය කළේය.එසේමම රෙජිනෝල්ඩ්, 1985 වසරේ පැවැති යොවුන් නාට්‍ය උලෙළේදී ද විකල් සමයම(දිගු) නාට්‍ය වෙනුවෙන් හොඳම නාට්‍යය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා (එහි රඟපෑ වෙනත් නළුවෙකි.), හොඳම නිළිය,හොඳම ඇඳුම් නිර්මාණය , හොඳම පසුතල නිර්මාණය ආදී සම්මාන අටක් දිනා ගත්තේ නාට්‍යකරණයේ වූ තම ශක්‍යතාවය මොනවට ඔප්පු කරමිනි. එසේම වේදිකා නළුවෙකු ලෙස සයිමන් නවගත්තේගමගේ සුබ සහ යස, සුදු සහ කළු මෙන්ම විමලරත්න අධිකාරීගේ පරාස්ස යනාදී නාට්‍ය සඳහාද තම දායකත්වය ලබා දුන් ඔහුගේ කුළුඳුල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වන්නේ සඳ දුර නම් නිර්මාණයයි. මේ අනුව සන්ධ්‍යා මෙන්ඩිස්ගේ ආරාධනාවෙන් බෝනික්කෝ තිර රචනය කර අධ්‍යක්ෂණය කළ රෙජිනෝල්ඩ්, ඉන් අනතුරැව නාලන් මෙන්දිස් අධ්‍යක්ෂණය කළ හිරැ කුමාරි සහ පාරාදීසය යන ටෙලිනාට්‍ය සඳහාද තම තිර රචනා දායකත්වය ලබා දුන්නේය.
ඔහු මෑතකදී තිර රචකයකු ලෙස ජනප්‍රිය වූයේ ජනක සුරංජිත්ගේ වසන්ත කුසලාන (2007 වසරේ සුමති සම්මාන උලෙලේ මෙන්ම රාජ්‍ය සම්මාන උලෙළේද හොඳම තිර රචනය), ඔහුගේ අධ්‍යක්ෂණයක් වන සැණකෙළියයි මායා සහ සුමිත්‍රා රාහුබද්ධගේ නටු නැති මල් (තිර රචකයා) යන නිර්මාණවලිනි. මේ නිසා කලාව තුළ තරමක නිහඬ ගමනක නිරත වන රෙජිනෝල්ඩ් ජයමාන්න සමගින් කෙටි පිළිසඳරක යෙදීමට අපි අදහස් කළෙමු.
ඔබ රංගන ශිල්පියෙකු වුණත් මෑතකදී ඔබ කිසිදු නිර්මාණයකට නළුවෙකු වශයෙන් දායක වී නැහැ. ?    
ඇත්තටම මගේ වැඩ අධිකකම නිසයි එහෙම වෙලා තියෙන්නේ.අනික මම නාට්‍යකරණයේදී ප්‍රමුඛතාවය ලබාදෙන්නේ රංගනයට නෙමෙයි. පිටපත් රචනයට සහ අධ්‍යක්ෂණයටයි.ඒ නිසා මෑතකදී මට හොඳ වේදිකා නාට්‍යයක් හෝ ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමට තරම් ඉඩක් ලැබුණේම නැහැ.අනික රෑපවාහිනි මාධ්‍යයත් සමග අපිටත් ඒ කාලේ වේදිකාවෙන් ඈත්වෙන්න සිදුවුණා.විවිධ ටෙලිනාට්‍යවලට සම්බන්ධවෙන්න සිදුවුණා.
කොහොම වුණත් පවතින රුල්ලේ ටෙලිනාට්‍ය නිසා දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පි ශිල්පිනියන් පවා අද වේදිකාවේ රඳවා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. හැබැයි අනූව දශකයේ එවැනි ප්‍රශ්නයක් මතුවු‍ණේ නැහැ.එහෙම නේද ?
එහි කිසියම් සත්‍යතාවයක් තිබෙනවා.ඒත් අපි මේ ගැන නළු නිළියන්ගේ පැත්තෙන් හිතලා බැලුවොත් ඔවුනුත් කැමැතියි ජනප්‍රිය වෙන්න.ඒ හින්දයි ඔවුන් ටෙලිනාට්‍ය පසුපස හඹායන්නේ.ඒත් මෙහි බරපතලකම තිබෙන්නේ නළු නිළියන් ඕනෑවට වඩා ජනප්‍රියත්වයට ගිජු වෙනකොටයි.එතකොට ඔවුන්ට රංගනය හදාරන්න බැහැ. ඒත් අපි නාට්‍යකරණය යෙදු‍‍ණේ හැදෑරීමක් කරමින්. එයින් අපිට අත්දැකීම් සම්භාරයක් ලැබුණා.පළපුරැද්දක් ලැබුණා.  හැබැයි අද නාට්‍ය හා රංග කලාව කියලා විෂයක් තියෙනවා  තමයි. ඒත් නාට්‍යකරණයේ ප්‍රායෝගික තත්ත්වයේදී නාට්‍ය නිෂ්පාදනය පිළිබඳ කතිකාවත,රංගනය පිළිබඳ සතතා අභ්‍යාස ඉතා වැදගත්.ඒ වගේම පුහුණුවීම්වලට පැමිණෙනකොට සමාජය පිළිබඳ නිවැරදි කියවීමක් තිබීමත් ඉතා වැදගත්. ඒත් වත්මන් නාට්‍ය කලාව තුළ මෙවැන්නක් සඳහා ඉඩක් නැහැ.නිදහසක් නැහැ.

වත්මන් ටෙලිනාට්‍ය කලාව මෙන්ම වේදිකා නාට්‍ය කලාව තුළත් හොඳ රචකයන්ගේ අඩුපාඩුවක් තිබෙනවාලු. මේක ඇත්තක්ද ?
ඔව්. මේක අද බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා.හැබැයි මීට හේතු කාරණා කිපයක්ම බලපානවා. ඒත් මේ ඛේදවාචකය ආරම්භ වෙන්නේ තාක්ෂණයේ නැගී සිටීමත් සමගයි. ඒ අනුව සාහිත්‍යය පරිශීලනය තරැණ පරපුරෙන් ඈත් වුණා.ඉතින් එතකොට කොහොමද රචකයන් බිහිවෙන්නේ ? හැබැයි මම මෙයින් කියන්නේ නැහැ තාක්ෂණය එපා කියලා.හැබැයි දැන් හැමෝම තාක්ෂණය පසුපස හඹායන්න පටන් අරන්.කොටින්ම මටත් මේ ගැන අත්දැකීම් තිබෙනවා. මොකද මමත් වීඩියෝකරණය පිළිබඳ පාඨමාලාවල තිර රචනය ඉගැන්විම් සඳහා දේශකයකු විදිහට සහභාගි වෙනවා. එතැනදී මම එතැන සිටි ළමයින්ගෙන් අනාගත බලාපොරොත්තුව ගැන ඇහුවා. හැමෝටම තිබ්බේ අධ්‍යක්ෂවරයෙකු,කැමරාකරැවකු,සංස්කරණ ශිල්පියෙකු වීම වගේ බලාපොරොත්තු. තිර රචකයකු වෙන්න කැමැති ළමයින් හිටියේ එක්කෙනෙක් දෙනෙක් පමණයි.සමහර පාඨමාලාවල එහෙමමවත් නැහැ.
අනික වත්මන් සමාජයේ තිර රචකයාට හෝ නාට්‍ය රචකයාට ඇති පිළිගැනීමත් මීට සෘජුවම බලපානවා නේද  ?
පැහැදිලිවම ඔව්. විශේෂයෙන්ම සම්මාන උලෙළවල්වලදී මුලින්ම සම්මාන ලබා දිය යුත්තේ තිර රචකයාටයි. ඉන්පස්සේයි අධ්‍යක්ෂවරයාට සම්මාන ලබා දිය යුත්තේ. ඒත් තිර රචකයාට සම්මාන ගැනීමට සිදුවෙලා තිබෙන්නේ සහාය අධ්‍යක්ෂවරයාත් සමගයි.එතකොට තිර රචකයා පසුගාමී වෙනවා.ඒ නිසයි අද රෑපවාහිනි නාලිකා විශාල ප්‍රමාණයක් තිබ්බත් ඊට සමගාමීව දක්ෂ තිර රචකයන් බිහිනොවෙන්නේ.ඒ වගේම මෙහිදී තිර රචකයන්ට දක්ෂයන් වීමට අවශ්‍ය කාලය ලැබෙන්නේත් නැහැ.මොකද තිර රචකයකුට පිටපතක් සඳහා විශාල කාලයක් අවශ්‍යයි.පර්යේෂණ සඳහා ඉඩ ප්‍රස්තාව ලැබිය යුතුයි.ගවේෂණය කරන්න අවස්ථාව ලැබිය යුතුයි.  ඒත් ඒක අද සිදුවෙන්නේ නැහැ.අනික අද තිර රචකයාට low budget රාමුවට  කොටුවෙලයි නිර්මාණ කාර්යයයේ  යෙදීමට සිදුවෙලා තියෙන්නේ.




No comments:

Post a Comment