Friday, July 12, 2013

ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් සමග කතාබහක් - (අද)- 2012/08/15



අප රසිකයාට සමාජ යථාර්ථයන් පෙන්වා දිය යුතුයි


සටහන - මාලන් විදානපතිරණ

ගායන ක්ෂේත්‍රය තුළ එක්තරා යුගයක් නිර්මාණයට කිරීමට සමත් ව ඇති අමරසිරි පීරිස් තාරැණ්‍යයේ හද බැඳ ගත් ප්‍රතාපවත් හඬ යැයි කිවහොත් මා වඩාත් නිවැරදිය. ළඳුනේ, මිනිසා මරණ තුනක් මැද, ආල වඩන සුවඳ සබන් වැනි අභියෝගාත්මක ගීත මෙන් ම මට ගමට එන්ඩ වැනි පර්යේෂණාත්මක ගීත ද, මගේ පුංචි රෝස මලේ, ඔබ ඇපල් මලක් වගේ, හන්තානට පායන සඳ වැනි තරැණ පරපුරේ ගීත රචකයන්ගේ ගීත ගායනා කළ ඔහු, පසුගියදා සිය නවතම ගීත සමුච්චය වන "ගඟ ගලා යාදෙන් "රසිකයාට තිළිණ කළේය. මේ ඒ නිමිත්තෙන් ඔහු සමග කළ කෙටි පිළිසඳරක සටහනකි.

"මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශයේ ප්‍රධානියා ව සිටි කාලයේ නිවේදකයෝ ඇවිල්ලා අපෙන් අහනවා අලුත් දේවල් තිබෙනවා ද කියලා. මොකද එකල සිටි නිවේදක නිවේදිකාවන් හැම වෙලේ ම උත්සාහ කළේ රසිකයා අතරට අලුත් යමක් ගෙන යන්නයි. මේ නිසයි ඔවුන් ඒ කාලේ නවක ගායකයන් ට ගුවන් කාලයෙන් වැඩි අවස්ථාවක් ලබාදෙන්න උත්සුක වුණේ. ඒ නිසාමයි අපි ඒ කාලේ පිබිදෙන ගායක පරපුර වැනි වැඩසටහන් ආරම්භ කළේ. ඊට කරැණාරත්න අබේසේකර, ව්‍යාපාරිකයකු වන දාස මහත්මයාත් මූලික වෙලා කටයුතු කළා. එයින් ආ ශිල්පීන් තමයි අද ප්‍රවීණ ශිල්පීන් (එඩ්වඩ් ජයකොඩි, රෝහණ බෝගොඩ වැනි ශිල්පීන්)  බවට පත් වී තිබෙන්නේ. ඒත් අද සිටින නාලිකාවල ඇතැම් නිවේදක නිවේදිකාවන්ට එවන් උවමනාවක් නැහැ.අපට පෙනෙන හැටියට ඔවුන් කරන්නේ කොහෙන් හරි තමන්ට ලැබෙන ගීත ටිකක් ඔහේ ප්‍රචාරය කිරීම පමණයි." කතාව අරඹමින් අමරසිරි පීරිස් පැවසුවේය.

ඒත් අදත් විවිධ ගායන තරැ වැඩසටහන් හරහා තරැණයන් ට තමන්ගේ දක්ෂතා උරගා බැලීමට අවස්ථාව ලැබී තිබෙනවා ?

ඔව්. ඒත් මෙතන ප්‍රශ්නය මෙම තරගාවලි සංවිධානය කරන බලධාරීන්, මේවා නවක ගායක ගායිකාවන් බිහිකිරීමේ අපේක්ෂාවන් ම පවත්වාගෙන යනවාද යන්නයි. මොකද ඔවුන් ගායකයාගේ/ගායිකාවන්ගේ ගායන කුසලතා දියුණු කෙරෙන වැඩපිළිවෙළක් මේ හරහා නිර්මාණය කරන බවක් අපට පෙනෙන්නට නැහැ. අනික එ‍හෙම වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණා නම් අද වන විට එහි ප්‍රතිඵල ලැබෙන්නට ඕනෑ. ඒත් අප මෙයින් විද්‍යුත් නාලිකා හරහා නවකයන්ට ලබාදෙන මෙම මහඟු අවස්ථාව ගර්හාවට ලක්කරන්නේ නැහැ. ඒත් මේවා විනිශ්චය කරන්න පැමිණෙන විනිශ්චයකරැවනුත් නවකයන්ගේ අඩුපාඩු පෙන්වාදෙමින් ඔවුන් ට ඉදිරියට යාමට අවශ්‍ය මාර්ගය සකසා දීමයි කළ යුතු වන්නේ. නැතුව වැරදු‍ණත් හොඳයි කියන විනිශ්චය මණ්ඩලවලින් සංගීත ක්ෂේත්‍රයට සැලසෙන සෙතක් නැහැ. ඒ නිසා නවකයන් ට ගීත ගායනා කිරීම සඳහා හොඳ වේදිකාවක් වගේ ම සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන් මග සඳහා වූ වැඩපිළිවෙළකුත් අවශ්‍යයි. මොකද එසේ නැතිවුණොත් පෞරැෂවත් ගායක ගායිකාවන් අපට අහිමි ව යනවා. අනික මෙතන තියෙන අනිත් ප්‍රශ්නේ තමයි ‍ගායනය පිළිබඳව හෝ හඬ පිළිබඳ හෝ කියාදෙන්න සුදුසු පෙරගමන්කරැවන් නොමැති වීම. මෙය ඉතා බරපතල ප්‍රශ්නයක්. මේ නිසා අද ගීත ගයන හඬයි, කතා කරන හඬයි කියන්නේ දෙකක් කියලාවත් සමහරැ දන්නේ නැහැ. එහෙම කියා දෙන්න කෙනෙකුත් අද නැහැ. මේ නිසා නවක ගායක ගායිකාවන් ට මග පෙන්වන වැඩපිළිවෙළක් ජාතික නාලිකාවලින් හෝ ආරම්භ කරනවා නම් එය තරැණයන් ට කරනා විශාල සේවයක්.
 
"උදාහරණයක් විදිහට American Idol ගත්තොත් එය අපේ රටේ ගායන තරගවලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමේ තරගයක්. මොකද එහි සංවිධාකයන් යම්කිසි අරමුණක් ඇතිවයි මෙය ආරම්භ කළේ. අනික ඔවුන් ඒ හරහා එංගල්බර්ඩ් (Engelbert Humperdinck) වැනි විශිෂ්ට ගණයේ ගායකයන්ගේ හඬවල් නවකයන් ට ශ්‍රවණය කිරීමට සැලැස්සුවා. ඔවුන්ගෙන් ගත හැකි දේ එහි සංවිධාකයන් විසින් නවකයන්ට පෙන්වා දුන්නා. නැතුව අපේ වගේ නවකයන් ව සුරංගනා ලෝකයක අතරමං කළේ නැහැ."

එසේ නම් රාජ්‍ය නාලිකාවලට පුළුවන් නේද මීට මැදිහත් වෙන්න ?

ඔව්. ඔවුන් ට පුළුවන් මීට යම් කිසි ප්‍රමිතිගත වැඩපිළිවෙළක් ගෙන එන්න. ඒ වගේ ම නවකයන් පුරැදු පුහුණු කරන ආයතන, සංවිධාන ඇති කිරීමට මග සලසා දීමටත් ඔවුන්ට පුළුවන්. ඒත් ඔවුන් ඊට සූදානම් වන බවක් අපට දකින්නට නැහැ. ඒත් මෙය අත්‍යවශ්‍ය දෙයක්. හැත්තෑ දශකයේදී අපි ‍මෙය කළා.

ඒත් සංවර්ධන ක්‍රියාවලියට දායක වීම සඳහා අද සිටින ඇතැම් සංගීත ශිල්පීන් පවා පවතින රජයත් සමග එකතු වී තිබෙනවා. ඇතැමුන් විවිධ තානාන්තරත් දරනවා. ඒත් මෙවැනි වැඩපිළිවෙළකට තවමත් ඔවුන් සූදානම් නැති බවයි අපට පෙනෙන්නේ ?

ඔව්. ඒ නිසා ඔවුන්ටත් පුළුවන් මෙවැනි දෙයක් යෝජනා කරන්න. ඒ වගේ ම ඊට හොඳ මාර්ගෝපදේශකත්වයක් සපයන්ටත් ඔවුන් ට පුළුවන්. කෙසේ වෙතත් වුණත් මොන කලා ශිල්පියා වුණත් මෙවැනි තනතුරැ දැරීම වරදක් නෙමෙයි. මොකද එය සාමාන්‍ය දෙයක්. එය ස්වභාවිකයි.ඒත් ඔවුන් මෙවැනි දේවලුත් යෝජනා කරනවා නම් වඩා හොඳයි. මොකද එවිටයි මහජනයාගේ බදු සල්ලිවලට සාධාරණයක් ඉටු වෙන්නේ.

දැන් අපි ඔබේ නව නිර්මාණ එකතුව වන ගඟ ගලා යාදෙන් ගැන කතා කරමු.

මේ ගීත සමුච්චය තුළ අපගේ ඇස නොගැටුණු විවිධ තේමාවන් තිබෙනවා. විශේෂයෙන් ම එහි ඇතුළත් මොනාලිසා ගීතය තුළින් අපි රසිකයාව වෙනස් ම මානයකට ගෙන යාමට උත්සාහ කළා.මේවා ඉතා ප්‍රශස්ත මට්ටමේ ගීත.මේ නිසා මෙය එළිදක්වන දිනයේ විශාල ඇගයීමකට ලක් වුණා. මේ ගැන අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ජයන්ත චන්ද්‍රසිරි වගේ විද්වතුන් පවා එදා මාව ඉහළ ම තලයේ තියලයි කතා කළේ. ඒ වගේ ම මේ ගීත ගායනා කරන විට ඒවා හොඳින් රසවිඳින බවත් මම දැක්කා. මේ නිසා එදා එහි රුස් ව සිටි පිරිසෙන් මට ලැබුණු ප්‍රශංසා අති මහත්. ඒ නිසා අපිට බැහැ නාලිකා පස්සේ දුවමින් ගීත ප්‍රචාරය කරන්න. මොකද නිර්මාණකරැවන් වශයෙන් අපි අපේ වගකීම ඉටු කරලයි තිබෙන්නේ. මේ නිසා නාලිකාවල යුතුකම තමයි මෙවැනි ගීත සොයා ඇවිත් ඒවා සමාජගත කිරීම. ඒත් මොවුන් එය කරන්නේ නැහැ. ඔවුන් ට ඕනෑකමක් නැහැ මේවා ප්‍රචාරය කරන්න. ඒ නිසා ම බොහෝ රසිකයෝ මගෙන් නිතර නිතර අහනවා අලුත් නිර්මාණ මුකුත් නැද්ද කියලා. ඉතින් මට මගේ රසිකයන්ට කියන්න තියෙන්නේ මම අලුත් නිර්මාණ කළාට ඒවා හරිහැටි ප්‍රචාරය වෙන්නේ නැහැ කියලා තමයි. ඒත් මෙවැනි ගීත ප්‍රචාරය කිරීම මාධ්‍යකරැවාගේ සමාජ වගකීමක්. ඒත් ඇතැම් මාධ්‍යකරැවන් මෙය දන්නේ නැහැ. ඔවුන් හිතන් ඉන්නේ අපි සියලු දේ ම ඔවුන් ළඟට ගෙනැවිත් දිය යුතුයි කියලායි. ඒත් මම නැවතත් කියනවා මාධ්‍යකරැවා කියන්නේ අලුත් දේ පසුපස හඹා යන පුද්ගලයා ට බව. ඔබේ පන්හිඳ නොදුටු තැන් ඇත කියලා ගීතයකුත් මම ගායනා කළේ මේ නිසයි.

ඔබ අභියෝගාත්මක තේමා රුගත් ගීත ගායනා කළ ගායකයෙක්. ‍මීට පසුබිම සකස් වුණේ කොහොමද ?

සංඛ්‍යාත්මක  ගත්ත ම මම ඔය වර්ගයේ ගීත විශාල ගණනක් ගායනා කර තිබෙනවා. ඒත් එයින් බොහෝ ඒවා අද ප්‍රචාරය වෙන්නේ නැහැ. විශේෂයෙන් ආල වඩන සුවඳ සබන් ගීතයෙන් අපි සමාජයේ එක්තරා ඛේදජනක පැතිකඩක් විවරණය කිරීමට උත්සාහ කළා. ඒ ගීතය ලිව්වේ රත්න ශ්‍රී විජේසිංහ විසින්. ඒ වගේම රණ්බණ්ඩා සෙනෙවිරත්න ලියූ ළඳුනේ ගීතය තුළින් අපි සමාජයේ ගර්හිත චරිතයක් සම්බන්ධව කතා කළා. මේවා තමයි අපි සමාජයේ කතා කළ යුතු මාතෘකා. නැතුව ආදර ගීත විතරක් ම ගායනා කරන එක නෙමෙයි ගායකයාගේ වගකීම. මේ නිසා කලා ශිල්පීන් වශයෙන් අප රසිකයාට සමාජ යථාර්ථයන් පෙන්වා දිය යුතුයි. ඒ වගේ ම හැමවෙලේ ම අර්ථවත් යමක් රසිකයාට පිළිගැන්විය යුතුයි.


 ඒත් ළඳුනේ වගේ ගීතයක් අපට ප්‍රසිද්ධියේ විවරණය කිරීමට ඇති සංස්කෘතිමය හැකියාව සීමිතයි නේද ?

නැහැ. අප මේවා ගැන කතා කළ යුතුමයි. විශේෂයෙන් මෙවැනි චරිතයන් සමාජ‍ය තුළින් බිහිවීමට හේතු වූ කරැණු සම්බන්ධයෙන් අප විශේෂයෙන් අවධානය කළ යුතුයි. මීට පාදක වුණෙත් නුවර ප්‍රදේශයේ ඉතා වැදගත් පවුලක ළමයෙකුට සිදුවූ අකරතැබ්බයක්. ඇය වැරුදි පුද්ගලයකුට අසුවීමෙන් අසරණ වුණා. ඒත් මැයට තමන්ගේ පවුලෙන්වත් කිසිම පිළිසරණක් නැතුව ගියා. මේ නිසයි, ඇය ‍ඔවැනි තත්ත්වයකට වැටුණේ. මෙය දළඳා මාළිඟාව වඳින්න ආ ඇයට රන්බණ්ඩාගේ යාළුවෙක් කිව්වා. මේ අනුවයි මෙය රන්බණ්ඩා අතින් ලියැවෙන්නේ.

ඔබ මෙවැනි ගීත නිර්මාණාත්මකව ගායනා කළත් මෙවැනි ගීත සමාජගත වීමට නම් ඊට හොඳ විචාරයක් ලැබිය යුතුයි. එ‍හෙත් මෙවැනි ගීත විචාරය කිරිමට විචාරකයා පවා යම් බියක් දක්වනවා නේද ?

ඔව්. එය ඇත්ත. අද මෙවැනි ගීත ගැන විචාරය කරන්න විචාරකයන් හරි බයයි. මීට තවත් හේතුවක් බලපානවා. ඒ තමයි මම සහ කේමදාස මාස්ටර්(ආචාර්ය ප්‍රේමසිරි කේමදාස) අතර තිබුණූ බැඳීම. ඔහුගේ හැම දෙයක් ම වගේ දායක වුණේ මම. මොකද ඔහු සංගීත ක්ෂේත්‍රයේදී තනි අලියෙක්. අනික ඔහු වැරුදි තැන වැරදියි කියන්නේත් තරමක් සැර පරැෂ විදිහටයි. ඔහුගෙන් මං ඒ ගැන ඇහුවමත් මාස්ටර් කිව්වේ එසේ නොකියා ඒ වැරුද්ද හදන්න බැහැ කියලායි. මේ නිසා සමහර චිත්‍රපට නිෂ්පාදකවරැන්/ අධ්‍යක්ෂවරැන්, නාට්‍ය නිෂ්පාදකවරැන් වගේ ම ගායකයන්, ගී පද රචකයන් පවා ඔහු සමග අමනාප වුණා. මොකද ඔහු සමහර වෙලාවට නාට්‍යයේ නිෂ්පාදනය කාර්යයට පවා අත ගැහුවා. පසුව මෙම අමනාපය මටත් බලපෑවා. මේ නිසා ඇතැමුන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳ කතා කිරීමේදී හිතාමතාම මගෙන් සිදුවූ මෙහෙය අමතක කරනවා. සමහර වෙලාවට මගේ නම පවා සඳහන් කරන්නේ නැහැ. කෙසේ වෙතත් මම දන්නවා පවුරක් වගේ මම වටා සිටින රසික පිරිස ගැන. විශේෂයෙන් ම දැවැන්ත තරැණ රසික පිරිසක් මම වටා සිටිනවා. ඒත් මම මෙහිදී පැහැදිලිවම කියනවා මම කේමදාස මාස්ටර්ගේ වන්දි භට්ටයෙකු‍ නොවන බව. ඒත් මම ඔහුගේ ආභාෂය ලැබූ ඇත්ත. මොකද ඔහු ලංකාවෙන් බිහිවුණ අතිවිශිෂ්ට සංගීතඥයෙක්.

අද අපි ජීවත් වෙන්නේ ගෝලීයකරණ වූ ලෝකයක. මෙහි රජ කරන්නේ පොප්, ‍හිපොප්, රොක් වැනි සංගීත ශෛලීන්. ඒත් ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ තවමත් ඉගැන්වෙන්නේ හින්දුස්ථානි රාගධාරී සංගිතයයි. බටහිර සංගීතය තිබුණත් එය පවතින්නේ තවමත් ප්‍රාථමික අවදියේයි. ඒත් ලෝක සංගීත කලාව දිනෙන් දින වෙනස් වෙනවා.

ඔව් අද අපි ජිවත් වෙන්නේ පරිගණක, අන්තර්ජාල පහසුකම් පිරැණූ ලෝකයක. අද ළමයින්ට පේනවා තාක්ෂණය දියුණූ වන ආකාරය. මම කියන්නේත් අපිත් නවීන තාක්ෂණය සමග දියුණූ විය යුතුයි කියලයි. ඒත් මෙය නිවැරදි අන්දමින්, වඩා නිර්මාණශිලීව භාවිතා කළ යුතුයි යන්නයි මගේ නම් අදහස. නැත්නම් මෙයින් සිදුවෙන්නේ විනාශයක්.මොකද වෙනස කියන වචනය ඇතුළත ම විනාශය යන්න තිබෙනවා. අනික හින්දුස්ථානී රාගධාරී සංගීතයෙන් ලංකාවේ සංගීතය බේරා ගත්තේත් කේමදාස මාස්ටර්. මේ නිසා කේමදාස මාස්ටර් සමග වැඩකළ සියලු ශිල්පීන් ට ඒ කාලේ ඔහුට ඕනෑ විදිහට වෙනස් වෙන්න සිදුවුණා. ඒ තරම් ඔහුගේ සංගීතය වෙනස්. කෙසේ වෙතත් අද ඉන්දියාවේ සංගීතය පවා හුඟාක් වෙනස් වෙලා. හැබැයි තවමත් මූලික සංගීතය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඉන්දියාව වඅදාළ ශිල්පීන්ට ලබාදෙනවා. මෙය ඕනෑම කෙනෙකුට වැටහෙන දෙයක්.

අවසාන වශයෙන් අපි පසුගිය දිනෙක ඔබ සහ භාතිය - සංතුෂ් අතර ඇති වූ මතභේදාත්මක සිදුවීම පිළිබඳ කතා කරමු.

ඇත්තටම කිව්වොත් මෙය තරැණ ගායන පරම්පරාව සහ මා අතර යම් විරසකයක් ගොඩ නගන්න කළ වැඩක්. මොකද මේ වෙනකොට රින්ග්ටෝන් ප්‍රශ්නය සංගීත ක්ෂේත්‍රය තුළ ඉතා බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේ නිසා මම ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කළ වෙලාවේ තමයි, ඊට මේ ළමයි කලබල වෙලා තිබෙන්නේ. ඒත් මම ඔවුන් ඉලක්ක කරල නෙමෙයි එය කිව්වේ. මොකද මගේ ගීත විකුණමින් සල්ලි උපයන්නේ කවුද කියලා මට තවමත් සොයාගන්නට බැරිවුණා. අනික අපේ වටිනා නිර්මාණ විකුණමින් ලක්ෂ ගණන් හම්බකරන උදවිය දන්නවා, අපි මේවාට විරැද්ධව උසාවි ගාණේ යන්නේ නැහැ කියලා. මේ නිසයි ඔවුන් බය නැතිව මේවා කරන්නේ. ඒත් අපි කැමැති නැහැ තාමත් උසාවි ගාණේ ගිහින් මේවා ට කාලේ නාස්ති කරන්න. කොහොම හරි මේ ප්‍රශ්නය මම ප්‍රසිද්ධියේ හෙළි කළාට පස්සේ අපට මෙහි හොඳ ප්‍රතිඵල දකින්නට ලැබුණා. මේ නිසා දැන් ගීතයක් රින්ග්ටෝන්වලට ගන්නවා නම් ඊට ගායකයාගේ අවසරය ලැබිය යුතු බවට සම්මතයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒත් දැන් එය වෙන විදිහකට ඉතා සූක්ෂමව කෙරෙන බවයි ආරංචිය.. ඒ සඳහා එක්තරා තරැණ පිරිසක් රින්ග්ටෝන් සමාගම් පිහිටුවා ගනිමින් ලක්ෂ ගණන්වලට අද ගීත විකුණනවා. ඔවුන් මගේ ළඳුනේ ගීත පමණක් ලක්ෂ අසූපහකට විකුණලා. ඒත් මට හෝ ගී පද රචකයාට හෝ සංගීතඥයාට සත පහක මුදලක් ලැබුණේ නැහැ. ඒත් මුලින් ම ඔවුන් සූදානම් වුණේ ගායකයා ට පමණක් මුදල් දී ගීතය ලබා ගන්නයි. අපි මෙයට බැහැ කිව්ව නිසයි ඔවුන් මේ විදිහට රහසේ මෙය කළේ.    

No comments:

Post a Comment