Friday, July 12, 2013

අප සුදුසු දේ පමණක් කලාවට මුසුකරගත යුතුයි


ප්‍රවීණ ගායක විශාරද වික්ටර් රත්නායක - (අද) 


2012/07/15

කතාබහ - මාලන් විදානපතිරණ




සුභාවිත ගීතයේ මිහිරියාව

රසිකයන් වෙත සමීප කිරීමේ පරමාර්ථයෙන් ඇරඹි ජනප්‍රිය ඒක පුද්ගල ගී ප්‍රසංගය  සමාප්ත කිරීමට ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක තීරණය කර ඇත. ඒ අනුව ඔහු විසින් පවත්වනු ලබන අවසන් '' ප්‍රසංග ත්‍රිත්වයෙන් දෙකක් ම ඊයේ සහ පෙරේදා පිළිවෙළින් අතිගරැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ පණ්ඩිත් ඩබ්ලිව් ඩී. අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රංග ශාලාවේදී  සහ මහරගම යොවුන් රඟහලේදී  පැවැත්වුණි.  මෙහි අවසන් ඒක පුද්ගල ගී ප්‍රසංගය ‍හෙට දින මහාචාර්ය සුනිල් ආරියරත්න‍ගේ ප්‍රධානත්වයෙන් ලුම්බිණි රඟහලේදී පැවැත්වීමට නියමිතය.

1973 ජුලි 20 වැනිදා ලුම්බිණි රඟහලේදී අරඹන ලද '' ප්‍රසංගය මේ වන විට වසර 39ක් කාලයක් පුරා 1500කට ආසන්න වාර සංඛ්‍යාවක් පවත්වා ඇති අතර මෙම වසරට වික්ටර් රත්නායකගේ සංගීත දිවියට අඩසිය වසක් සපිරීම මෙහිලා සටහන් කිරීම වටී.
ඔබ  "ස" ප්‍රසංගය සමාප්ත කිරීමට අදහස් කළේ ඇයි ?

ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග ආරම්භ කළ කිසිදු ගායකයකුට හෝ ගායිකාවකට එය ආරම්භ කළා මිසක, එය අවසන් කිරීමට හැකිවු‍ණේ නැහැ. මේ නිසා කොයි මොහොතක හෝ මගේ ගායන කුසලතාවයත් හීන‍විය හැකි බව මම දැනගත යුතුයි. සමහර විට මට මගේ  ම ගීතම නිසි සෘතියට ගායනා කරන්න බැරිවේවි. මෙය තමයි ලෝක ස්වභාවය. සියලු දේ අනිත්‍යයයි කියලා බුදුරජාණන් වහන්සේත් දේශනා කළේත් ඒ නිසයි. අප මෙය වටහා ගත යුතුයි. මොකද '' ප්‍රසංගය පැවැත්වෙද්දී ගායන කුසලතාවය නැතිවෙලාය කියලා රසිකයන්ට දැනුණොත් එයින් සිද්ධවෙන්නේ මා ගෙනා පෞරැෂ ගෞරවය, නම්බුව ආදී මේ සියල්ලක්ම නැතිවීමයි. ඒ නිසා රසිකයන් තුළ මා ගැන යම් ප්‍රසාදයක් තිබෙන මේ මොහොතේදීම  '' ප්‍රසංගය නැවැත්වීමයි වඩාත්ම සුදුසු. ඒත් තවමත් මේ ප්‍රසංගයට විශාල ඉල්ලුමක් තිබෙනවා."

ඔබ අඩසිය වසක් මුළුල්ලේ විවිධ තේමා යටතේ ගීත ගායනා කළ ප්‍රවීණ සංගීතවේදියෙක්. නවක ගායක ගායිකාවන් මොකද හිතන්නේ ?

දක්ෂ ගායකයකු හෝ ගායිකාවක වීමට නම් මේ විෂය ගැඹුරින් හැදෑරිය යුතුයි. ඒ නිසා වැදෑරීමට පෙර හැදෑරිය යුතු බවයි මගේ නම් අදහස. ඒත් අද බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ පැරුණි ගායකයන් හරහා බැබළෙන්නටයි. ඒක වැරුදියි.

ඔබ එසේ කිව්වොත් මීට වසර 25කට පෙර මිය ගිය එච්.ආර්.ජෝතිපාල පවා ඒ කාලේ නොයෙක් චෝදනාවන්ට ගොදුරැ වුණා. ඒත් ඔහුගේ ජනප්‍රියත්වය වළක්වන්න කාටවත්ම බැරිවුණා ?

එච්.ආර්. ජෝතිපාල සාධාරණ හේතුවක් මතයි චෝදනාවට ලක්වුණේ. මොකද ඔහු ඒ  කාලේ ගීත ගායනා කළේ හින්දි තනුවලටයි. ඒත් මේ චෝදනාවලට ලක්වුණේ ජෝතිපාල පමණක් නෙමෙයි. ලතා වල්පොල, ධර්මදාස වල්පොල,ඇන්ජලින් ගුණතිලක, මිල්ටන් පෙරේරා, මොහිදින් බෙග්, ජේ.එස්.පී රාණි වගේ ප්‍රවීණ ශිල්පි ශිල්පිනියටත් මේ චෝදනාව එල්ල වුණා. මමත් කියන්නේ එය වැරුදියි කියලායි. ඒත් ඒ කාලේ අපට දක්ෂ ගී තනු නිර්මාපකයන් හෝ සංගීතවේදීන් සිටියේ නැහැ. හොඳ ගී තනු තිබුණේ නැහැ. ඒ නිසා ඒ කාලේ අමරදේවයන් සහ සුනිල් ශාන්තයන් සංගීත ලෝකයේ තනිවෙලායි සිටියේ. ඉන්පසුවයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, සෝමදාස ඇල්විටිගල, මම, මර්වින්‍ පෙරේරා, සරත් දසනායක වගේ සංගීත ශිල්පීන් බිහිවෙන්නේ. මේකයි හේතුව. ඒත් ඉන්පසුව මේ ගායක ගායිකාවන් හින්දි තනුවලට ගීත ගායනා කළේ නැහැ.අනික ජෝතිපාල වුණත් ඉන්පස්සේ ටජ් මහලක් තනවන්නට වගේ හොඳ ගීත ගායනා කළා. ඒ නිසා ජෝතිපාල කියන්නේ ගායකයකු ලෙස ඉතා පරිපූර්ණ ගායන ශිල්පියෙක්.


සංගීත ක්ෂේත්‍රය තුළ ඉතා ජනප්‍රිය තරැ සංකල්පය ගැන මොකද හිතන්නේ ?

තරැ සංකල්පය තවදුරටත් වර්ධනය වීම තුළින් අපට තේරෙන්නේ තමන්ට කියලා නිර්මාණශීලීත්වයක් හෝ දක්ෂතාවයක් නැහැ කියන එකයි. මේ නිසා රෑපවාහිනී නාලිකා විසින් කළ යුත්තේ වඩා නිර්මාණනීය ගුණයෙන් යුක්ත නිර්මාණ කිරීම සඳහා තරැණයන් පෙළඹවීමයි. ඒත් එයින් මං කියන්‍නේ නැහැ සියල්ලෝම රාගධාරි සංගීතය හැදෑරිය යුතුමයි කියලා. මොකද ලෝකයේ තිබෙන එකම සංගීත ශෛලිය හින්දුස්ථානි රාගධාරි නෙමෙයි. ඒ නිසා තාරැණ්‍යයට ඕනෑම ශෛලියක් හදාරන්නත්, ඕනෑම ශෛලියකින් ගීත ගායනා කිරීමටත් අවස්ථාව ලැබිය යුතුයි. එවිටයි සංගීත ක්ෂේත්‍රය පෝෂණය වෙන්නේ. ඒ නිසා මේ ගැන රජය අවධානය යොමුකළ යුතුයි. නැත්නම් අපට අනාගතයේදී දක්ෂ ගායක ගායිකාවන් නැතිවේවි. මොකද තරැ සංකල්පයට පෙළ‍ඹවෙන  බොහොමයක් ගායක ගායිකාවන් හරිම දක්ෂයි. තරැ සංකල්පය ගියාට පස්සේයි ඔවුන් මොට වෙන්නේ. ඒ නිසා තාරැණ්‍යය කළ යුත්තේ උගත මනා ශිල්පයමයි මතු රුකෙනා ආප්තෝපදේශය හිතට ගෙන වඩා කල්පනාකාරීව කටයුතු කිරීමයි. එවිටයි ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත වන්නේ.

ඔබ කියන විදිහට තරැ සංකල්පයෙන් සංගීත ක්ෂේත්‍රයට සිදුවූ සෙතක් ඇත්තෙම නැද්ද ?

සෙතක් වුණේම නැහැ. ඒත් මටත් ඔය වැඩසටහන්වල විනිශ්චය මණ්ඩලවලට කතා කරලා තියෙනවා. ඒත් මම යන්නේ නැහැ. මොකද එතැනින් අලුත් නිර්මාණ බිහිවෙන්නේ නැහැ. ඒ නිසා ඇගයීමට හෝ වර්ණනා කරන්න තරම් දෙයක් එතැන නැහැ.  එතැන ගායනා කරන්නේත් එච්.ආර්.ජෝතිපාල, මොහිදින් බෙග්, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි වගේ ගායකයන්ගේ ගීතයි. ඉතින් ඒකට මොකටද විනිශ්චය මණ්ඩල ? ඒත්  අලුතින් නිර්මාණ කරන දරැවන්ට අතදෙන්න, අලුතින් කරන නිර්මාණ අගයන්න අපි ඕනෑවෙලාවක සූදානම්. අන්න ඒ වගේ විනිශ්චය මණ්ඩලවලටයි අපිත් කැමැති.

ඒත් පිබිදෙන ගායක පරපුර වැනි ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන් ඒ කාලයේත් තිබුණා නේද
?

ඔව්. ඒත් අපි ඒවාට කිසිම දවසක අනුන්ගේ ගීත ගායනා කළේ නැහැ. ඒත් ඒ අතරත් අනුන්ගේ ගීත ගායනා කළ කීපදෙනෙක් හිටියා. ඒත් ඒ කාටවත් ඉදිරියට එන්න හම්බවුණේ නැහැ. අනික මෙම සරල ගී වැඩසටහන් යම් කිසි ප්‍රමිතියකට සකස් වූ එකක්. ඒ නිසා කොතරම් දක්ෂයකු වුණත් ගුවන් විදුලියේ ඒ ශ්‍රේණීයේ හෝ බී ශ්‍රේණීයේ ගායකයකු බවට පත් වී එහි නාම ලේඛණයටත් ඇතුළත් වූ පසුවයි, ගායනය සඳහා අවස්ථාව ලැබෙන්නේ. ඒ සඳහා ඒ කාලේ පරීක්ෂණයකුත් පැවැත්වුවා. ඒත් අද එවන් තත්ත්වයක් නැහැ. ඒ නිසා අද තියෙන ඇතැම් ගීත  ඝෝෂාකාරියි.අද බොහෝ අය කරන්නේ පරිගණකයෙන් ගත්ත ශබ්ද ටිකක් තනුවකට මිශ්‍ර කරන එක පමණයි.

ඔබ එසේ කිව්වත් නූතන ලෝකය බැඳී සිටින්නේ පරිගණකයත් සමගයි ?

මම කියන්නේ නැහැ පරිගණකයෙන් ඈත්වෙන්න කියලා. ඒත් අදාළ ගීතය තුළ අපේකම තිබිය යුතුයි. අපේ සංගීත භාණ්ඩයක් වාදනය විය යුතුයි. එවිටයි අපේ කියා අනන්‍යතාවයක් ගොඩනැගෙන්න ඕනේ. අපි ලෝකය සමග ගමන් කළ යුතු බව ඇත්ත. ඒත් අප ඒවායින් සුදුසු දේ පමණක් කලාවට මුසුකර ගත යුතුයි.ඒ වගේ ම ගීතය තුළ  රසාලිප්ත බවක් තිබිය යුතුයි.හදවතට සංවේදී විය යුතුයි. නිර්මාණශීලි කලාකරැවන් පිරිසක් බිහිකර ගත හැක්කේ එවිටයි. ඔවැනි අනුපාන භාවිතා කර යුත්තේ ඉතා ප්‍රවේශමෙන් බව මම කියන්නේත් මේ නිසායි.

එසේ නම් මෙවැනි උත්තම කලාවක් දියුණු කිරීමට, ඒවා පිළිබඳ සොයා බැලීමට 
කලාකරැවන්ට දැන් ප්‍රබල ශක්තියක් ලැබී තිබෙනවා. මොකද අද සමහර කලාකරැවන් රජයේ ඉහළ තානාන්තර දරනවා. ඔවුන් කියන්නේත් තමන් කලාව දියුණු කිරීමට මෙම තානාන්තර ගත් බවයි ?

ඔව්. එහෙම කරනවා නම් හොඳයි. මොකද ඔවුන්ට තිබෙනවා රජයත් සමග ඉතා කිට්ටු සබඳතාවයක්. ඒත් එහෙම ප්‍රබල උත්සාහයක් හෝ ප්‍රයත්නයක් හෝ ඔවුන් දරනවා කියා මට නම් පෙනෙන්නේ නැහැ.අනික රටේ කලාව මෙවන් තත්ත්වයකට ඇද වැටීමට ඇතැම් විද්‍යුත් නාලිකා ද වගකිව යුතුයි.විශේෂයෙන් ම අද එෆ්.එම්.නාලිකා පණහකට වඩා තිබෙනවා. ඒත් මේවායේ සහතික ගැන කවුරැත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ නිසයි ඔවුන් කංසා බොන්ට සොඳා වැනි ගීත නිදහසේ ප්‍රචාරය කරන්නේ. එතකොට මොකක්ද අපේ ශ්‍රි ලාංකිකත්වයට සිදුවෙන්නේ ? මේවා ගැන රජය සොයා බලනවා ද ? ගීතවලට රජය යම් ප්‍රමිතියක් ලබා දී තිබෙනවාද ? කෝ මත් ද්‍රව්‍ය පිළිබඳ ව්‍යාපෘති ? කෝ මේවාට එරෙහිව හඬ නගන ස්වාමීන් වහන්සේලා ? කෝ බුද්ධ ශාසන අමාත්‍යාංශය ? කෝ සංස්කෘතික දෙපාර්තමේන්තුව ? ඒ නිසා ආණ්ඩුව මේ පිළිබඳ තමන්ගේ දැඩි අවධානය යොමුකළ යුතුයි. එහෙම නොක‍ළහොත් අපට එයින් තේරෙන්නේ ආණ්ඩුවත් මේවාට උඩගෙඩි දෙනවා කියන එකයි. ඒ වගේම තරැණ පරම්පරාව ගැන ඔවුන් තැකීමක් නොකරනවා කියායි.

අප මේ ප්‍රශ්නයේ අග මුල සොයගෙන ගියොත් රටේ අධ්‍යාපන ක්‍රමය මීට ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි නේද ?

අධ්‍යාපන ක්‍රමය නම් සම්පූර්ණයෙන් ම වෙනස් විය යුතුයි.මොකද අධ්‍යාපන පාඨමාලා සැකසුම්වල නිර්මාණශීලී පුරවැසියෙකු බිහිවීමට ඉඩක් නැහැ.මොකද අද සාහිත්‍යය විෂය උසස් පෙළ දක්වාම හැදෑරීම අනිවාර්ය කර නැහැ. කලා විෂයක් අනිවාර්ය කරලත් නැහැ. භාෂාව අනිවාර්ය කරලත් නැහැ. ඒත් ජපානයේ ළමයෙකුට අවුරැදු දොළහක් යනකං වෙනත් කිසිම භාෂාවක් ඉගෙනීමට අවසර දී නැහැ. ඒ කාලේ කුමාරතුංග මුනිදාස උන්නැහේ බස නැසුණොත් රස නැසේ කියලා කිව්වේ මේ නිසයි.අද පවතින ජාත්‍යන්තර පාසල් ව්‍යුහයත් මීට බලපානවා.මේ නිසා අද සිටින ඇතැම් බෞද්ධ සිංහල අම්මලා කියන්නේ ‍''Don’t Speak Sinhala putha " කියලයි.මේක අපි විසින් අපේම බෙල්ල මිරිකගන්න වැඩක්.අනික මව්බස ඉගෙන ගන්නේ රස්සාවක් කරන්න නෙමෙයි.මේක බොහෝ දෙනා ගෙන එන මෝඩ තර්කයක්.භාෂාව තුළින් තමයි උසස් රසිකත්වයක් ගොඩනැගෙන්නේ.

ඔබ බෞද්ධ ගීත විශාල ගණනාවක් ගායනා කළ ගායකයෙක්. ඒත් ඔබෙන් පසු පරම්පරාවෙන් එවැනි ප්‍රවණතාවයක් අපට දකින්නට නැහැ ?

අපි ඒ කාලේ බිහිවුණේ ගුවන්විදුලි ශිල්පියෝ හැටියටයි. ඒ නිසා ඒ කාලේ ගුවන් විදුලියේ සිටි බලධාරීන් අපට බොදු ගීත,දේශානුරාගී ගීත,මව්ගුණ ගීත අනිවාර්යය කරලයි තිබුණේ. අපි සරල ගීත වැඩසටහන්වලට ඉදිරිපත් වන විට එය අපට ලිඛිතව දන්වා තිබුණා.ඒත් මෙය බලහත්කාරයෙන් පැටෙව්ව දෙයක් නෙමෙයි. ඒත් එසේ සිදුවනවා නම් හොඳයි කියා අපට දන්වා තිබුණා. ඒ නිසයි ඒ කාලේ මෙවැනි ගීත අපෙන් නිර්මාණය වුණේ. ඒත් අද එවන් ප්‍රමිතිකරණයක් දකින්නට නැහැ.අපේ ගීත ගැන අදත් කතා කරන්නේ මේ නිසයි.  

මාලන් විදානපතිරණ


       

No comments:

Post a Comment