Friday, July 12, 2013

ප්‍රවීණ නළු ජගත් චමිල සමග කතාබහක් - අද - 2012/08/15



නිර්මාණකරැවා තුළ ඉබේම වාරණයක් සිදුවෙලා

සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ

ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය මෙන්ම සිනමා රංගන ශිල්පියෙකු වන ජගත් චමිල, මේ දිනවල නවක අධ්‍යක්ෂවරයෙකු වන දිලූක ගුණතිලකගේ අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වී සිටී. එහි ඔහු නිරෑපණය කරන්නේ ප්‍රේක්ෂකයන්ට සුවිශේෂී වූ චරිතයකි. මේ වන විටත්  සුනිල් අරැණ වීරසිරිගේ අලුත්ම චිත්‍රපටයක් වන වීරයා චිත්‍රපටයේ වැඩ නිම කර ඇති ජගත්, ඕස්ට්‍රේලියාවේ සිටින නවක අධ්‍යක්ෂවරයෙකුගේ වේදිකා නාට්‍යයක් සමගින් ළඟඳීම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට බලාපොරොත්තුවෙන් සිටී. මේ ඒ අතරතුර ඔහු සමග කළ පිළිසඳරක සටහනකි.

ඔබ රංගනයෙන් දායක වන අලුත් ටෙලිනාට්‍යය චරිතය ගැන කතා කළොත් ?

මට මේ ටෙලිනාට්‍යයේ ලැබී තිබෙන්නේ තරැණ හේන් ගොවියෙකුගේ චරිතයක්. ඔහුට එහිදී වනසතුන්ගේ ආරක්ෂා වීමට මට විවිධ උපක්‍රම භාවිත කිරීමට සිදුවෙනවා. එහිදී ඊට ඔහු ළඟ ගිනි භටයක් පවා භාවිත කිරීමට සිදුවෙනවා.ඇත්තටම කිව්වොත් මේක ඉතා කර්කශ චරිතයක්. ඒත් මේ කර්කශ ජීවිතය තුළ ඔහුට ආදරය දැනෙනවා. ඒත් අවාසනාවට වගේ ඒ හැඟීම් ඔහු තුළින් ප්‍රකාශ වෙන්නේ ඉතා ගොරහැඬි අයුරින්. ඒ නිසා මේ ආදරය අනෙකාට දැනෙන්නෙ නැතුව යනවා.මොකද ඔහුගේ හැඟිම් හරිම වියළියි. කර්කශයි. ගොරහැඬියි. ඒත් ඔහු ඉතා හැඟුම්බරයි. මේ චරිතය පරාජිත ආදරවන්තයෙකුගේ චරිතයක් වෙන්නේ මේ වගේ වටපිටාව නිසයි.

ඔබ වේදිකාවෙන් පැමිණි රංගන ශිල්පියෙක්. අද වේදිකාවේ තිබෙන බොහොමයක් නාට්‍ය නිර්මාණ අනුවර්තන හෝ පරිවර්තන බවයි අපට පෙනෙන්නේ. ඒ නිසා වත්මන් නාට්‍යකරැවා ස්වතන්ත්‍ර නිර්මාණය කරා යොමුවෙමින්, ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්න පිළිබඳ කතා නොකරන බවයි අපට පෙනෙන්නෙ ?

නැහැ. මම නම් ඒක පිළිගන්නෙ නැහැ.මොකද ස්වතන්ත්‍ර වේදිකා නාට්‍යයක් නිර්මාණය කරනවා යන්න එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. අනික ස්වතන්ත්‍ර නිර්මාණයකට ගතවන කාලය ඉතා දීර්ඝයි. ඒ නිසා අපි දැන් ගත කරන්නේ මෙවැනි දීර්ඝ ක්‍රියාවලියකට නැඹුරැ විය හැකි කාල පරිච්ඡේදයක් නොවන බව අප වටහාගත යුතුයි. අද අපේ සියලු කලා රුඳී පවතින්නේ පවත්නා ආර්ථිකය මතයි. ඒ නිසා ඔවුන් අතින් හොඳ කලා නිර්මාණ බිහිවෙන්නේ ආර්ථිකය මගින් ඔවුන්ව කොතරම් දුරට ආරක්ෂා කරනවාද යන්න මතයි. මෙය ‍සමස්ත ලෝකයාටම පොදු දෙයක්. අද පළමු ලෝකයේ ධනේෂ්වර රටවල් පවා මේ ආර්ථික අර්බුදය සමග පොර බදනවා. අනික අද පවතින ක්ෂණික සමාජයත් සමග නාට්‍යකරැවා වුණත් ස්වතන්ත්‍ර නාට්‍යවලට වඩා මෙවැනි පරිවර්තන, අනුවර්තන කරා යොමුවීම ‍ස්වාභාවිකයි.මොකද විදෙස් නිර්මාණ හරහා තමන්ගේ සීමා මායිම් අතික්‍රමණය කිරීම පහසුයි. ඒ වගේම තමන්ගේ ප්‍රකාශනය අනුගත කිරීමත් පහසුයි. කොහොම වුණත් ස්වතන්ත්‍ර නිර්මාණවල අඩු ලුහුඬුතාවක් පවතිනවා. එය ඇත්ත. ඒත් අදක්ෂ නාට්‍යකරැවන් පිරිසක් ඉන්න බව එයින් ගම්‍ය වෙන්නෙ නැහැ.මොකද අද අපිට ඉන්දික ෆර්නැන්ඩුගේ %කලම්බෝ කලම්බෝ^, පියල් කාරියවසම්ගේ %රහස් උදවිය^, රවීන්ද්‍ර ආරියරත්නගේ %බල්ලොත් එක්ක බෑ^ වැනි නාට්‍ය නැතුවාම නොවේ. ඒ වගේම ඒ තුළින් සමාජ ප්‍රශ්න ගැන, ජීවිතය ගැන, සාමාජීය ඛේදවාචක ගැන විමර්ශනය කෙරෙනවා.

නාට්‍ය හා රංග කලාව විෂය අධ්‍යාපන පද්ධතියට එකතු වී දැනට වසර විස්සකට වැඩියි. ඒත් නාට්‍ය හා රංග කලාව පිළිබඳ හැදෑරීමට අවශ්‍ය නිශ්චිත ආයතනයක් හෝ සමාගමක් හෝ තවමත් නිර්මාණය වෙලා නැහැ. මේ ගැන මොකද හිතන්නෙ ?

මෙය අපි වසර ගණනාවක් තිස්සේ කතා කළ ප්‍රශ්නයක්. ඒත් තවමත් මීට නිශ්චිත විසඳුමක් ලැබී නැහැ.ඒත් ආචාර්ය සාලමන් ෆොන්සේකා මීට වසර විස්සකට කලින් නාට්‍ය හා රංග කලාව පිළිබඳ චෙකෝස්ලෝවැකියාවෙන් ගෞරව උපාධියක් ලබාගෙන පැමිණියා.ඔහු තමයි විදේශ රටකින් මෙවන් ගෞරව උපාධිය රුගෙන පැමිණි පළමුවැනි නාට්‍යකරැවා. එහෙත් කව්ද ඒ මහා පතාක යෝධයාගෙන් ප්‍රයෝජන ගත්තෙ ? කොහෙද ඊට පහසුකම් තිබුණෙ ? කව්ද ඒ දැනුම සම්ප්‍රේෂණය කරගන්න අවස්ථාව සලසා දුන්නෙ ? ඒ නිසා මෙතැන තිබෙන්නේ ඒ කාලයේ සිටි පාලකයන්ගේ ප්‍රශ්නයක්. ඒත් වාසනාවකට වගේ ආචාර්ය සාලමන් ෆොන්සේකා නාට්‍යකරැවා නිහඬව සිටියෙ නැහැ. ඔහු තමන්ට හැකි පමණින් නාට්‍ය කලාව පෝෂණය කළා. ඒ සඳහා ඔහු තමන්ගේ පෞද්ගලික ධනය පවා වැය කළා. ඒ නිසා තමයි අද අපිට කමල් අද්දරආරච්චි, පාලිත සිල්වා, මහේන්ද්‍ර පෙරේරා, ලලිත් රාජපක්ෂ වැනි ශිල්පීන් ගැන කතා කරන්න ලැබී තිබෙන්නෙ. මොකද ඔවුන් මේ කලාව ගැන දිගින් දිගටම හොයාගෙන ගියා. ඒත් අදත් මෙවැනි ( ආචාර්ය සාලමන් ෆොන්සේකා වැනි) ගුරැවරැ සිටිනවා. ඊට හොඳම උදාහරණය ලෙස මගේ නාට්‍යාචාර්ය මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ තිස්ස ගුණවර්ධනයන් හඳුන්වන්න පුළුවන්. අනික ශ්‍රී ලංකාවේ නාට්‍යකරැවා කියන්නේ ප්‍රකාශනයෙන් පොහොසත් නාටයකරැවන් සිටින රටක්. ඒත් ඔවුන් මූල්‍යමය වශයෙන් දුප්පත්.මේ නිසා ඔබ කියූ විධිමත් නාට්‍ය සමාගම්,නාට්‍ය ආයතනය ආදිය අපට දැන්ම බලාපොරොත්තු වෙන්න අමාරැයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කියන්නේ වසර 30ක යුද්ධයකට මුහුණ දුන් රටක් නිසා අපට හුඟාක් දේවල් අහිමි වුණා. දැන් තමයි අපට පොළොවෙ පය ගහලා ඉන්න පුළුවන් රටක් තියෙන්නෙ. අපි ඒ ගැන සතුටු විය යුතුයි.    

 කෙසේවුවත් නෙළුම් පොකුණ වගේ මහා පරිමාණ රඟහල් ඉදිකිරීමට රජයට ශක්තිය ලැබී තිබෙනවා. ඒත්  නාට්‍ය කේන්ද්‍රයක් හෝ නාට්‍ය සමාගමක් වැනි අනාගත ආයෝජනයක් කරා නැඹුරැ වූවා නම් එය ඊට වඩා වටිනවා නේද?

ඔව්. ඒත් මම කියන්නේ නෙළුම් පොකුණ වගේ රඟහල් තිබිය යුතුයි කියලයි. ඒ වගේම නාට්‍ය සමාගම්ද තිබිය යුතුයි කියලයි. නාට්‍ය ආයතනද තිබිය යුතුයි කියලායි. රටක විය යුත්තේ එයයි. ඒත් ගැටලුව තිබෙන්නේ අපේ වේදිකා නාට්‍ය නෙළුම් පොකුණ වැනි රඟහලක පෙන්වන්න පුළුවන් මට්ටමක නොපැවතීමයි. අපේ නාට්‍යකරැවා එහි පවතින ශිල්ප ක්‍රමවලට අනුගත වී නොමැති බවයි. අනික දැන් අපිට ජාත්‍යන්තරය හා සමාන හොඳ ගුවන් තොටුපළක් තිබෙනවා. ඒ ගැන අපි ආඩම්බර විය යුතුයි.‍ ඒ වගේම ගෝලීයකරණය ගැන පම්පෝරි ගැහුවට දැන් තමයි අපට උතුරේ සිට දකුණට යන්න අධිවේගී මාර්ග පවා සැකසෙන්නෙ. ඒත් සමහරැ කියන්නේ පුළුවන් නම් ඒකත් තමන්ගේ ගේ ඇතළටම දාලා දෙන්න කියලායි. මම කාටවත් පක්ෂව කතා කරනවා නොවෙයි. ඒත් මේවා වැරුදි වැඩ. අපි සියලු යටිතල පහසුකම් එකවර බලාපොරොත්තු වීම හරිම අසාධාරණයි. ඊට කාලය ලබාදිය යුතුයි.මේක තමයි යථාර්ථය. යුද්ධය නිමාකර ගන්න වුණත් අපිට වසර 30 ක් බලන් ඉන්න සිදුවුණා. එය අපි අමතක නොකළ යුතුයි. අදාළ පුද්ගලයන් පැමිණි පසුවයි යුද්ධය නිමා වුණේ.

වත්මන් වේදිකා නාට්‍යකරැවා තම ප්‍රකාශනය සමාජගත කිරීමේදී ස්වයං වාරණයකට ලක්ව තිබෙන බවයි අපට පෙනෙන්නෙ?


අද නිර්මාණකරැවා තුළ ඉබේම වාරණයක් සිදුවෙලා හමාරයි. අද මා මාවම වාරණය කරගෙනයි කතා කරන්නෙ. එයින් තමයි මම සංතෘප්තිමත් වෙන්න පුරැදුවෙලා තිබෙන්නෙ. එය කවුරැත් දන්න කරැණක්. මෙය අදක ඊයෙක සිට සිදුවුණු දෙයක් නෙමෙයි.ඒ වගේම මෙය ලංකාවට පමණක් සීමා වූ දෙයකුත් නෙමෙයි. මෙය ක්‍රමයේ වැරුද්දක්. මේ නිසා අප විමර්ශනය කළ යුත්තේ මෙවැනි වාරණයක් සිදුවුණේ කෙසේද යන ප්‍රශ්නය ගැනයි. ඒත් අද අපේ නාට්‍යකරැවෝ කොතරම් වාරණ තිබුණත් කොළේ වහල හරි ඔහුගේ යුතුකම කරනවා. ඔහු ඔහේ බලා සිටින්නෙ නැහැ. නේක උපක්‍රම භාවිත කරනවා. ව්‍යාංගාර්ථ භාවිත කරනවා.ඔහු තමන්වම වාරණය කරගනිමින් හෝ තමන්ව ආරක්ෂා කර ගනිමින් හෝ තමන්ගේ වගකීම ඉටු කරනවා. ඒ නිසා  නිර්මාණකරැවාගේ අසාර්ථකභාවයක් නැහැ. ඔහු නිර්භීතයි.

අනික ‍අපි අද කතා කරන්නේත් දශක දෙක තුනකට පෙර සිටි ශ්‍රී ලංකාවක් ගැන හිතේ තබාගෙන. ඒ වගේම අපි තාමත් කතා කරන්නේ මනා සංයමයකින් නිර්මාණය වූ නාට්‍ය නිර්මාණවලට සාපේක්ෂවයි. ඒත් ඒවා නිර්මාණය වුණේ මොන වගේ වටපිටාවකද, මොනවගේ පසුබිමකද ,මොනවගේ කාලයකද ආදී ප්‍රශ්න ගැන කවුරැවත් කතා කරන්නෙ නැහැ. ඒත් එදා නාට්‍යකරැවාට හොඳ යටිතල පහසුකම් තිබුණා. ඒ වගේම අවුරැද්දක් වුණත් නාට්‍ය නිර්මාණය සමග ගත කළ ආර්ථිකයක් පවා එකල නාට්‍යකරැවාට තිබුණා. කෙලින්ම කිව්වොත් ඒ කාලේ බිහිවූ නාට්‍ය නිර්මාණ බොහොමයක් නිදහස් මනසකින් නිර්මාණය වූ ඒවා. ඒත් අද අපි ගෙවන්නේ දඩි බිඩි ජිවිතයක්. ඒ නිසා ක්ෂණික සමාජයක් තුළින් එවැනි නිදහස් නිර්මාණ බලාපොරොත්තු වෙන්‍න බැහැ. ඒ කාලේ නාට්‍යකරැවන් අතර නාට්‍ය පිළිබඳ කතිකා පැවතුණා. නාට්‍ය පිළිබඳ මතවාද ඉදිරිපත් වුණා. මේ නිසා විවෘත සංවාද පවා ඇතිවුණා.ඒ නිසා ඔවුන් කතා කළේ බඩගින්න ගැන නෙමෙයි. සෞන්දර්ය ගැනයි. ඔවුන් ජීවත් වුණේ සෞන්දර්යාත්මක ලෝකයත් සමගයි.

ටෙලිනාට්‍ය පිළිබඳව කතා කළොත්, එහි වත්මන් ස්වභාවය පිළිබඳ ඔබේ දැක්ම කෙබඳුද ?

ටෙලිනාට්‍ය කලාවේ සිදුවන හොඳ සහ නරක යන දෙපැත්තක් තිබෙනවා. එයින් මොන පැත්ත තෝරා ගන්නවාද කියන එක ටෙලිනාට්‍යකරැවාගේ වැඩක්. මෙය මෙගා නාට්‍යවලටත්  අදාළයි. හැබැයි මෙගා ‍ටෙලිනාට්‍යවල දකින එක් හොඳ පැත්තක් මම කියන්න කැමැතියි. ඒ තමයි ඒවායින් අදාළ ශිල්පීන්ගේ රුකී රක්ෂා සුරක්ෂිත වීම. ඒත් මෙහිදී ටෙලිනාට්‍යයේ ගුණාත්මක බව රුක ගැනීම ඉතා අසීරැ කාර්යයක්. ඒත් ඒ අභියෝගය ඉතා සාර්ථකව ජය ගත් ටෙලිනාට්‍යද තිබෙන බව අප අමතක නොකළ යුතුයි. ‍ඒ නිසා රටේ ජීවන රටාවට ඉතා තදින් බලපාන ටෙලිනාට්‍ය කලාව වඩා ගුණාත්මක කලාවක් වීමයි වඩා වැදගත්. මේ සඳහා රෑපවාහිනී නාලිකාවලටත් යුතුකමක් තිබෙනවා. මොකද සමහරැ විකාශය කරන්නේ තමන්ගේ සීමාවට අයත් ටෙලිනාට්‍ය පමණයි. මොකද ගුණාත්මක බවින් වැඩි, අධික මිලකින් යුතු ටෙලිනාට්‍ය විකාශය කරන්න ඔවුන් කැමැති නැහැ.

ඔබ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ‍යේ කවියෙකු ‍ලෙසයි. වත්මන් කවිය ගැන මොකද හිතන්නෙ ?

ඉතා වැදගත් ප්‍රශ්නයක්. මොකද අද වන විට තාරැණ්‍යය තුළ සාහිත්‍යයට නැඹුරැ වීමේ හොඳ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ඒත් පසුගිය කාලයේ මෙවන් ප්‍රබෝධයක් තිබුණෙ නැහැ. කෙසේ වෙතත් මම දකින විදිහට අද කවිය එදා කවියට වඩා බොහෝ වෙනස්. මොකද අද තරැණයා සමාජ ප්‍රශ්න පවා කතා කරන්නේ ඉතා සෞම්‍ය ආකාරයටයි. සෞන්දර්යාත්මකවයි. ඒ නිසා අද කවියට නිසඳැස් සාහිත්‍ය,කවිමඩු, කවි පොත්, කවි මඩු, කවි සංවාද ආදී විවිධ සාහිත්‍යාංග එකතු වී තිබෙනවා.
     



  

No comments:

Post a Comment