Friday, July 12, 2013

අඩි ගාණක වළක් කපලා අඩි ගාණක් අනුන් හෙළලා අඩියක්වත් ඉහළ යන්න නුඹට බෑ පුතේ - (අද) - 2012


(මාලන් විදානපතිරණ)

ටයි මාමා ‍නොහොත් ටයිටස් තොටවත්තයන් පසුගිය වසරේ මිය ගිය ශ්‍රී ලංකාවේ හඬ කැවීම් කලාවේ පියාය.  ශ්‍රී ලංකාවේ ළමා පරපුර වෙනුවෙන් වටිනා සැකිලි රෑ නිර්මාණ ගණනාවක් දායාද කළ එතුමා විසින් මෙහෙයවූ ජනප්‍රිය සැකිලි රෑ නිර්මාණයක් ලෙස දොස්තර හොඳ හිත දැක්විය හැක. එම කතා මාලාවේ අනර්ඝ වූ ඔවදන් රුසකින් හෙබි ගීත නිර්මාණ රැසක් ඇතුළත්ය. එම ගීතවල නිර්මාපකයා වන්නේ, ඉතා අවාසනාවන්ත ලෙස අනූව දශකයේදී රැදුරැ ගිනි අවියකට ගොදුරැ වූ අතිදක්ෂ ගී පද රචකයකු වන ප්‍රේමකිර්ති ද අල්විස් ය. අද අවධානය ඔහු විසින් දොස්තර හොඳ හිත සැකිලි රෑ කතා මාලාවට රචනා කළ අඩි ගාණක වළක් කපලා අඩි ගාණක් අනුන් හෙළලා අඩියක්වත් ඉහළ යන්න නුඹට බෑ පුතේ යන ගීතය පිළිබඳවයි.
ගීතය ඇරඹෙන්නේ ‍‍මෙසේයි.

අඩි ගාණක වළක් කපලා
අඩි ගාණක් අනුන් හෙළලා
අඩියක්වත් ඉහළ යන්න
නුඹට බෑ පු‍තේ
අනුන්ට කැපූ වලේ
වැටෙන්නේ නුඹයි බොලේ

ගී පද රචකයාගේ විමර්ශන ඇස යොමු වී ඇත්තේ එදත් අදත් ඇතැම් විට හෙටට ද වලංගු විය හැකි මිනිසුන් තුළ පවත්නා එක්තරා දුර්ගුණයක් දෙසටයි. කුමන වෘත්තිය ක්ෂේත්‍රයකට ගිය ද ඉතා ස්වාභාවික සිදුවිමක් බවට පත්ව ඇති මෙය පිළිබඳ පැවසීමේ ගී පද රචකයාගේ යටි අරමුණ වී ඇත්තේ අනාගතය භාර ගන්නා ළමා පරපුරට හෝ මේ පිළිබඳව කියා දී මෙය සමාජයෙන් තුරන් කිරීමය.

තමන්ගේ කාර්යය ඉටු කර ගැනීම උදෙසා දන්නා සියලු උප්පරවැට්ටි යොදනා අද සමාජයේ බොහෝ දෙනා ආත්මාර්ථකාමීන් යැයි සැළකීම එතරම් අපහසු නැත. තනතුරැ, තාන්න මාන්න, උසස්  වීම් බලාපොරොත්තුවෙන් තමන් හා එකට බත් පත කන මිත්‍රයා දෙස පවා වපරුසින් බලන බොහෝ දෙනා මුදල් පසුපස හඹා යන්නේ තමන් තුළ වූ සාරධර්ම ද පසෙකලමිනි.

මෙම දරැණු ‍වසංගතය පාසැලට ද අද වන විට බෝ ව තිබීම මෙහි නවතම ප්‍රවණතාවයයි. ලකුණූ පසුපස හඹායන වත්මන් සිසුවා, අද වන විට ගුරැවරයාගේ හිත දිනා ගැනීමට විවිධ උපක්‍රම යොදනා තත්ත්වයක් උදා වී අතර ඔවුහු සිය මිතුරා මානසික ව හෝ කායික ව දුබල වන තුරැ බලා සිටින්නේ බොර දියේ මාළු බෑමට බලා සිටින්නන් පරිද්දෙනි. ඔවුන්ගේ මුළු ජීවිතය ම වී ඇත්තේ ලකුණුය. සියල්ලන්ට ම අවශ්‍ය වී ඇත්තේ පළමුවැනියා වීමය.


ගීතයේ දෙවැනි කොටස මෙසේය.

උගුල් ඇදලා අගුල් දාලා
මගුල් කන්න නුඹට බෑ
මළ මුත්‍ර ගියොත් වළට
වැටෙනු වළක්වන්න බෑ
බොරැවෙන් වැඩ බොරැවෙන්මයි
බොරැවෙන් ජය ලබනු බෑ
ඒවා තාවකාලිකයි

සිය වාසිය තකා අනෙකුන් ට පහර ගැසීමට විවිධ උපක්‍රම භාවිතා කරන මේ සමාජය පිළිබඳව අවධානය යොමු කර ඇති ‍ගී පද රචකයමෛහි දෙවැනි ‍පේළියේදී පවසන දේ ළමා පරපුර ට ගෙන එන්නේ ඉතා වැදගත් පණිවිඩයකි. මන්ද අද සමාජයේ ඇතැමුන් සිතා සිටින්නේ තම මඩිය තර ගනු වස් සැහැසිකම් කර, වංචා, දූෂණ සිදුකර බො‍හෝ කාලයක් සැප සේ ජීවත් විය හැකි බවයි. එහෙත් සිය හෘද සාක්ෂියට එකඟව සිය හදවතට බොරැ කරමින් සැපවත් නින්දක් හෝ ලබාගත නොහැකි බව ‍වක්‍රෝක්තියෙන් පවසන රචකයා, ළමා පරපුරට ද අවවාද කර සිටින්නේ තමන් අතින් වරදක් සිදුවුවහොත් එය කිසිදාක යළි නිවැරදි කළ නොහැකි බවයි. ඔහු පවසන්නේ එනිසාවෙන් තම සිතට එකඟ ව තමන් අවංක ව ජීවත් විය යුතු බවයි. එය මළ මුත්‍ර ගියොත් වළට වැටෙනු වළක්වන්න බෑ කොටසෙන් ඉතා අපූරැවට කියැවේ.

මෙහි අවසන් කොටස දැක්වෙන්නේ මෙසේය.

ලණූ ඇදලා මග අහුරා
කෙනෙකු බිමට දමනු බෑ
හැමදාමත් හැමකෙනාම බොරැවෙන් රවටන්න බෑ
 බොරැවෙන් බොරැ මහ බොරැවට
ආයුෂ වැඩි කලක් නෑ
ඒවා තාවකාලිකයි

ලණු ඇදලා, මග අහුරා ආදී සමාජයේ පවතින නොයෙක් විදියේ කැපිලි කෙටිලි විස්තර කරන රචකයා මෙම කොටසේදී අවංක මිනිසා සත්‍යවාදී බවත්, එසේ ජීවත් වන ඔහු හෝ ඇය කෙදිනක හෝ බොරැවෙන් රවටන්න බැරි බවත් රුවටෙන්නේ වංචා කෙරෑ පුද්ගලයා බවත් කදිමට පවසයි.

සමස්ත ගීතය පිළිබඳ කතා කිරීමේදී යම් කෙනෙකුට මෙහි තේමාව ඉතා සරල බැවින් ද ස්වාභාවික බැවින් ද කිසිදු ආකාරයක සුවිශේෂිෂත්වයක් ඇතැම් විට දක්නට නොලැබෙනු ඇත. එහෙත් මහගමසේකර ප්‍රබුද්ධ පද්‍ය සංග්‍රහයේ පැවැසූ බල්ලෝ මරාලා හරි සල්ලි හොයාලා ඉන්නේ ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා යුගය අද උදා වී හමාරය. ඒ නිසාවෙන් එවන් වූ සමාජයක, අනාගතය භාර ගන්නා ළමා පරපුර හෝ මෙයින් ගලවා ගැනීමෙහිලා මෙවන් ගීත පිළිබඳ යළිදු විමර්ශනයක යෙදීම කාලෝචිත බවත් අගනේය බවත් මගේ හැඟීමයි.

No comments:

Post a Comment