Friday, August 9, 2013

බඩගෝස්තරවාදී දේශපාලනයට චේ ගුවේරා හොඳ පිළිතුරක්



බඩගෝස්තරවාදී දේශපාලනයට චේ ගුවේරා හොඳ පිළිතුරක්

බුද්ධික දමයන්ත

2013/08/02 - අද 

සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ

රාජ්‍ය සම්මාන දිනූ අධිපතියාගේ මරණ මංචකය, පාදඩයා, පළිඟු රූන, දවස තාම ගෙවුනේ නෑ, බංසි මැරිලා නෑ, අපේ පංති කාමරය, රුකවලා, පරණ අයගේ කතාවක්, පුතා එනකං, පුංචි ආදර බලකිරීමක්, උතුරැ කොනට පටු පාරක්, වෙස් මුහුණ, සුරඟනක් ඇවිත් ආදී නාට්‍ය කරමින් වසර විස්සකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව පෝෂණය කළ නාට්‍යකරැවකු ලෙස බුද්ධික දමයන්ත හැඳින්විය හැකිය. 2012 වසරේදී හොඳම නිළිය,හොඳම නළුවා යන සම්මාන ද්විත්වයම දිනා ගත් සිංදු කිරිල්ලී වේදිකා නාට්‍යයද ඔහුගේ නිර්මාණයකි.  කෙසේ නමුත් ඉන් නොනැවතුණු බුද්ධික දමයන්ත තවත් නාට්‍ය නිර්මාණයක් ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට දායාද කිරිමට මේ සති අන්තයේ බලාපොරොත්තුවෙන් සිටියි.ඒ ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වන “මරා දැමූ ජිවත්වන මිනිසා“ වේදිකා නිර්මාණය හරහාය.ඒ අනුව මෙම නාට්‍යය අගෝස්තු මස 03 සහ 04 යන දෙදින තුළ  කොළඹ ලූම්බීණි රඟහලේදි (සවස 6.30) වේදිකා ගතවීමට නියමිතය. මේ ඒ පිළිබඳ ඔහු සමග කළ සංවාදයක සටහනකි.

“මරා දැමූ ජීවත් වෙන මිනිසා“ චිත්‍රපටයේ පසුබිම ගැන කතා කළොත් ?

මේක ප‍්‍රකට නාට්‍ය රචක ජොසේ රිව්යේරාගේ “School of the Americas (2006)* ඇසුරින් පරිවර්තනය වූ නාට්‍යයක්. ඒ අනුව  මෙම නාට්‍යය “මරාදැමූ ජිවත්වන මිනිසා* ලෙසින් පරිවර්තනය කලේ චූලා සමරනායක.ආජන්ටියානු ජාතික විප්ලවවාදියෙකු වන අර්නෙස්ටෝ චේ ගූවේරාගේ ජිවිතයේ අවසන් දින දෙක තමයි මීට පාදක වෙන්නේ.

මෙහි එන කතා තේමාව චේ ගුවේරා පිළිබඳව මෙතෙක් පළ වූ කලා කෘතිවල තේමාවට වඩා වෙනස් ?
ඔව්. අසාර්ථක වූ බොලිවියන් විප්ලවය අවසානයේදී චේ ගුවේරා හමුදා අත්අඩංගූවට පත්වෙනවා. ඒ අනුව චේ ගුවේරා තමන්ගේ අවසන් ඉරණම විසඳෙන තෙක් හිගුවේරා ගම්මානයේ පාසල් පංති කාමරයක සිරගත කෙරෙනවා. ඒ අතරතුර චේ ගූවේරා මුණගැසීමට අමුත්තියක් පැමිණෙනවා. ඒ තමයි ජූලියා කෝටේස් නම් පාසල් ගුරැවරිය.මෙය සැබෑ සිදුවීමක්. ඒ අනුව ප්‍රධාන කතා පුවත කේන්ද්‍රගතවෙන්නේ ඔවුන් දෙදෙනා වටායි. ඒ අනුව අධ්‍යාපනික විප්ලවය තමයි කළ යුතු හොඳම විප්ලවය කියලා මේ අසාර්ථක විප්ලවවාදියාට අවසන් මොහොතේ තේරැම් යනවා. ඒත් මේ නාට්‍යයෙන් මම උත්සාහ කරන්නේ ජනතාව විප්ලවයක් කරා රුගෙන යන්න නෙමෙයි.අනික ගල් කටස් විප්ලව අභාවයට ගිහින් හුඟක් කල්. .

ඒත් මේ වන විට බොහෝ දෙනෙක් පවතින ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. එවැනි මොහොතක තමයි ඔබේ නාට්‍යයත් සමාජගත වෙන්නේ.මේක මාකට් කිරීමේ උපායක්ද ?

කොහෙත්ම නැහැ. මම පෞද්ගලිකව චේ ගුවේරා කියන විප්ලවවාදියාට කැමැතියි. අනික ඔහු එක් පක්ෂයකට පමණක් අයිති පුද්ගලයෙක් නෙමෙයි. අපි කවුරැත් ඔහුට විවිධාකාරයෙන් ආදරේ කරනවා. ඒ නිසාමයි මම මේ නාට්‍ය පිටපත තෝරා ගත්තේ. ඒත් මෙහි කාලීන වැදගත්කමකුත් තිබෙනවා. ඒකත් මගේ තෝරා ගැනීමට හේතු වුණා. විශේෂයෙන්ම චේ ගුවේරා මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්වෙලයි, මේ විප්ලවයට නායකත්වය දෙන්නේ. ඒත් වත්මන් දේශපාලනය ක්‍රමය තුළ ලංකාවේ එහෙම දෙයක් දැකීමත් විහිළුවක්.

චේ ගුවේරාගේ දේශපාලනය කොහොමද ලංකාවට වැදගත් වෙන්නේ ?

ලංකාවේ තිබෙන්නේ තක්කඩි දේශපාලනයක්. ඒ නිසා ඔහුගේ දේශපාලනය ඊට කොතරම් පරස්පරද යන්න මේ නාට්‍යය හරහා හොඳින් පේනවා. ඒක ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික දේශපාලනය සහ අපේ පාර්ලිමේන්තුවේ සිටින මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ හරහා පේනවා. ඒකයි මේ නාට්‍යය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට වැදගත්වෙන්නේ. ඒ නිසා අධ්‍යාපනික දැනුම්වත්භාවය ජනතාවට කොතරම් වටිනවද යන්නත්, මෙහි එන දේශපාලන දර්ශනය කොතරම් සර්වකාලීනද යන්නත් දැන ගැනීමට මේ කලාකෘතිය ඉතා වැදගත්. ඒකයි මගේ අදහස. හැබැයි නාට්‍ය මුදලාලිලා පෙන්වන නාට්‍ය බලන,ඒවාට පුරැදු වුණ ප්‍රේක්ෂකයාට මේවා වැදගත් වෙන්නේ නැහැ.ඒ නිසා එවැනි නාට්‍ය බලන ප්‍රේක්ෂකයාට, මෙවැනි නාට්‍ය තේරැම් ගන්න පුළුවන් වෙයිද කියන එකත් සැකයක්.

කොහොම වුණත් අද අපි ජිවත්වෙන්නේ ධනවාදය රජ කරන සමාජයක. ඒ නිසා ඒ මත්තෙන්ම ගොඩයෑමක් විනා ඉන් සමාජය මුදවාගත හැකි විසඳුමක් පේන තෙක් මානයක නැහැ. ඒ නිසා මෙවැනි නාට්‍යයක් විසි එක් වැනි සියවසට තවදුරටත් වලංගුද?

ධනවාදී ක්‍රමයෙන් එහාට අපට යා හැකි මගක් නැහැ තමයි. ඒක මමත් පිළිගන්නවා. ඒ නිසා තමයි අද බඩගෝස්තරවාදී දේශපාලඥයන් තමන්ගේ පාට පක්ෂ පවා මාරැ කරන්නේ. ඒක තමයි මේ ක්‍රමයේ ස්වභාවය.හැබැයි ඒ නිසාම මෙය බඩගෝස්තරවාදී දේශපාලනයට හොඳ පිළිතුරක් බවට පත්වෙනවා.හැබැයි මේක කලාකෘතියක්. එහෙම නැතුව චේ ගුවේරාගේ ජීවිත කතාව වේදිකා නාට්‍යයක් හැටියට කළා නෙමෙයි.ඒත් මම දකින චේ ගුවේරා මෙතැන ඉන්නවා.ප්‍රේක්ෂකයා දකින චේ ගුවේරාත් මෙතැන ඉන්නවා. ඒ වගේම මම පවා එකඟ නොවන තැන් මෙහි පිටපත පුරාම තිබෙනවා. ඒත් ඒකම තමයි මාව මේ නාට්‍යය නිර්මාණය කිරිමට පෙළඹෙව්වේ.

වත්මන් වේදිකා නාට්‍ය කලාව ගැන මොකද හිතන්නේ ?

අපිට නම් වේදිකා නාට්‍ය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ පූරැවේ පවක් පල දීලා.මොකද අද අපි ජීවත්වෙන්නේ චංගුමී රස කර කර බලන සමාජයක. එවැනි බාල රසවින්දනයක් තමයි ප්‍රේක්ෂකයාට තිබෙන්නේ. ඒත් අද ලොකු කැපවීමක් කළ නාට්‍ය කරන තරැණ පිරිස් ඉදිරියට පැමිණ තිබෙනවා.නමුත් ඔවුන්ට නිසි අනුග්‍රහයක් නැහැ.ඒ නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේ කලාවෙන් ඉවත්වෙලා යනවා. 

අනික නාට්‍ය කලාව පිළිබඳ විශාල උනන්දුවක් තිබෙන පිරිස් පවා අද වාරණය, පිරිවැය හේතුවෙන් තමන්ගේ ප්‍රකාශනය සඳහා කෙටි නාට්‍ය කලාව මාධ්‍යයක් විදිහට යොදාගෙන තිබෙනවා. ඒ නිසා අද කෙටි නාට්‍ය කලාවට ප්‍රවේශ වන පිරිස වැඩිවෙලා තිබෙනවා. ඒත් සමස්තයක් විදිහට ගත්තම වේදිකා නාට්‍ය කලාවේ කඩා වැටීමක් මිසක් ප්‍රබෝධයක් දකින්න නැහැ. අනික ප්‍රවීණයි කියන සමහර ශිල්පීන් ප්‍රවීණ වුණේ කොහොමද කියන එකත් අද ලොකු ප්‍රශ්නයක්.හැබැයි මම නම් තාමත් ආධුනිකයි.අවුරැදු විස්සක් තිස්සේ දිගින් දිගටම නාට්‍ය කළත් අපි තාමත් නාට්‍ය කලාව හදාරනවා.

“මරා දැමූ ජීවන් වන මිනිසා* නාට්‍යයට සම්බන්ධ වන ශිල්පීන් මතක් කළොත් ?

මහේන්ද්‍ර වීරරත්න, ගයනි ගිසන්තිකා, නිල්මිණි පෙරේරා, රජිත හේවාතන්ත‍්‍රිගේ, ධනුෂ්ක චින්තක සමඟ හර්ෂ සුමිත‍්‍ර මෙහි චරිත නිරෑපණය කරනවා. අංග රචනය පේ‍්‍රම් ජයන්ත කපුගේගෙන්. ආලෝක නිර්මාණය කපිල කිත්සිරිගෙන්. පසුතල හා ඇඳුම් නිර්මාණය මගෙන්. වේදිකා පරිපාලනය ධනුෂ්ක චින්තක සමඟ හර්ෂ සුමිත‍්‍රගෙන්.

Monday, August 5, 2013

“සත්‍යග්‍රහ“ චිත්‍රපටය අන්නා හසාරේගේ දේශපාලන ජිවිතයට සම්බන්ධ නැහැ


“සත්‍යග්‍රහ* අන්නා හසාරේගේ දේශපාලන ජිවිතයට සම්බන්ධ නැහැ

- සත්‍යග්‍රහ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රකාශ් ජ්හා

මාලන් විදානපතිරණ

බොලිවුඩයේ සිටින විශිෂ්ට ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රකාශ් ජ්හාගේ චිත්‍රපට සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ වෙනස්ම කියවීමක් සහිත විචාර පළ විය. එයින් කියවුණේ ප්‍රකාශ් ජ්හා යනු සත්‍ය සිදුවීම් සහ සැබෑ චරිත ආශ්‍රයෙන් චිත්‍රපට නිර්මාණය කරන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බවයි.මීට ආසන්නතම හේතුව වූයේ ඔහු අගෝස්තු මස 30 වැනිදා සිට ලෝ පුරා තිරගත කිරිමට නියමිත “සත්‍යග්‍රහ* නම් චිත්‍රපටයයි.එනම් ඊට පසුබිම් වී ඇත්තේ ජනප්‍රිය ඉන්දීය දේශපාලඥ “අන්නා හසාරේ* බැව් බොහෝ විචාරකයන්ගේ මතය විය.එබැවින් මේ මොහොත වන විටත් හසාරේට පක්ෂපාතී පිරිස් මෙම චිත්‍රපටයට විරැද්ධව උද්ඝෝෂණය කරන අතර  කෙසේ නමුත් මෙම උද්ඝෝෂණය ගැන දැනගත් වහාම මෙය හසාරේගේ ජිවිතයට කිසිසේත් සම්බන්ධ නැති වග පවසන ජ්හා එය එකහෙළා ප්‍රතික්ෂේප කරයි. එබැවින් ජ්හා පවසන්නේ තමන්ට එවැනි උවමනාවක් නොතිබුණු බවත්,තමන්ගේ අරමුණු හොඳ වානිජමය චිත්‍රපටයක් කිරීම පමණක් බවත්ය. එබැවින් තමන් සෑමවිටම ගනුදෙනු කරන්නේ මනුෂ්‍යාගේ හැඟීම් සමග පමණක් බැව් ඔහු පවසයි.

“ මගේ සත්‍යග්‍රහ චිත්‍රපටය අන්නා හසාරේ හෝ අර්වින්ද් කෙජ්රිවල්ගේ උද්ඝෝෂණයට කිසිසේත්ම සම්බන්ධ නැහැ. උද්ඝෝෂණය කරන දර්ශන හුඟක් ඒ චිත්‍රපටයේ තියෙනවා තමයි. ඒත් ඒකෙන් කියැවෙන්නේ නැහැ, මේක අන්නා හසාරේගේ දේශපාලන ජිවිතයට සම්බන්ධයි කියලා.අනික ඉන්දියාවේ විතරද උද්ඝෝෂණය සිදුවීම් වෙන්නේ.ලෝකේ මෙහෙම දේවල් වෙන්නේම නැද්ද ? ඒ නිසා මම චිත්‍රපට හදන්නේ ඉන්දියාව දිහා බලාගෙනම නෙමෙයි කියලයි මට කියන්න තියෙන්නේ. මම වැඩකරන්නේ ලෝකෙත් සමගයි.මගේ චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාවෙන් කියැවෙන්නේත් පුතෙකුගේ මානසික අසහනය ගැනයි.පුතා හරිම කෑදරයි. ඒක හොඳ දෙයක් කියලයි පුතා හිතන් ඉන්නේ. ඒත් ඔහුගේ තාත්තා මේක නරක දෙයක් කියලා පැහැදිලි කරන්න උත්සාහ දරනවා.ඒක තමයි චිත්‍රපටය පුරාම ගලා යන්නේ.ඒත් මේක පිළිගන්න අන්නා හසාරේගේ පාක්ෂිකයන් කැමැති නැත්නම්, මම කැමැතියි මෙහි විශේෂ දර්ශනයක් ඔවුන්ට පෙන්නන්න.ඒකට අපි ඕනැ වෙලාවක සූදානම්*   ඔහු ජාත්‍යන්තර මාධ්‍යයක් තුළින් කෙරැණු සම්මුඛ සාකච්ඡාවකදී එසේ පැවසුවේය.  

 “ මගේ චිත්‍රපටවලින් කෙරෙන්නේ සත්‍ය පිටින් ගෙඩිය පිටින් චිත්‍රපටයට නැගීම නෙමෙයි. මම උත්සාහ කරන්නේ සත්‍ය සිදුවීම් සහ සත්‍ය මනුෂ්‍ය චරිත තුළින් සිනමාත්මක යමක් තියෙනවා නම් එය පමණක් ලබාගැනීම පමණයි.ඒ නිසා මගේ චිත්‍රපට හුඟක් හැඟීම්බරයි.ඒ නිසා ඒ තුළ ඇත්ත චරිත නැහැ.ඇත්ත සිදුවීම් නැහැ.සියලු දේ නිර්මාණාත්මකයි.ඒ නිසා මගේ චිත්‍රපට කතාවලින් මිනිස්සුන්ගේ හැඟීම් උද්දීපනය වෙන්නේ නැත්නම්, මම සාර්ථක නැහැ.ඒකයි ඇත්ත තත්ත්වය.* ඔහු තවදුරටත් මේ පිළිබඳ පැහැදිලි කළේය.

එහෙත් දැනට හැට එක් හැවිරිදි වියේ පසුවන ජ්හාගේ චිත්‍රපට විශ්ලේෂණය කරන කල්හි මේවා දේශපාලන මුහුණුවරකින් ඉදිරිපත් කර ඇති බැව් පෙනෙන අතර විශේෂයෙන්ම “ගංගාජාල්* චිත්‍රපටයට භගල්පූර්හිදී සිදුවූ සත්‍ය සිදුවීමක්ද,“අපහරන්* චිත්‍රපටයට බිහාර්හිදී සිදුවූ සත්‍ය ඉතා ජනප්‍රිය පැහැර ගැනීමක්ද,චක්‍රවියු චිත්‍රපටයට නක්සල්වාදයද පාදක වී තිබීම කැපී පෙනේ.

සත්‍යග්‍රහ චිත්‍රපටයේ රැට්වික් ඕසා,අන්ජුම් රාජාබාලි සහ ප්‍රකාශ් ජ්හා තිර පිටපත රචනා කර ඇති අතර චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ UTV Motion Pictures නිෂ්පාදන ආයතනය මගිනි.මෙහි ප්‍රධාන චරිත නිරෑපණය කරන්නේ අමිතාබ් බච්චන්, අර්ජුන් රම්පාල්,කරීනා කපූර්,අජේ දේව්ග් සහ මනෝජ් බජ්පායිය.

Saturday, August 3, 2013

සුපිරි නළු ජොනී ඩෙප් රඟන නවතම චිත්‍රපටය - The Lone Ranger



2013/08/03
තරැණයා - හොලිවුඩ්

සුපිරි නළු ජොනී ඩෙප් රඟන නවතම චිත්‍රපටය
The Lone Ranger 

Introduction

සම්මානනීය සුපිරි හොලිවුඩ් නළු ජොනී ඩෙප් ඔබ වෙත පැමිණෙන නවතම සිනමා නිර්මාණය වන The Lone Ranger මේ දිනවල මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ තිරගත වේ.ඩෙප් මේ වසරේ රඟන පළමු සහ එකම සිනමා නිර්මාණය වන The Lone Ranger චිත්‍රපටය සඳහා පාදක වන්නේ මෙනමින්ම විකාශය වුණු ගුවන් විදුලි කතා මාලාවකි. ඩෙප්ගේ විධායක නිෂ්පාදනය යටතේ ජස්ටින් හේදේ, ටෙඩ් එලියට් සහ ටෙරී රෝසියෝ තිර රචනා කළ The Lone Ranger අධ්‍යක්ෂණය කර ඇත්තේ ගෝ වර්බින්ස්කිය. ඔහු මෙහි සම නිෂ්පාදකවරයෙකුද වන්නේය.

Production

2007 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වාම මෙහි බුද්ධිමය දේපළ යටතේ චිත්‍රපටයක් කිරීමට අවසර ලබා ගැනීම වෙනුවෙන් සටන් කිරීමට නිෂ්පාදකයන්ට සිදුවිය.ඒ අනුව අවසන වෝල්ට් ඩිස්නි සමාගම එය ලබා ගනිමින් චිත්‍රපටය පිළිබඳ සියලු සැක සංකා දුරැ කර ගත් අතර එම චිත්‍රපට සමාගමේ විධායක ඩික් කුක්ගේ නායකත්වය යටතේ නිෂ්පාදන කටයුතු ඇරඹිණ.(කෙසේ වෙතත් මේ සඳහා වෝල්ට් ඩිස්නි ඇතුළුව තවත් චිත්‍රාගාර හතරක් භාවිතා විණ) ඒ අනුව Pirates of the Carribbean චිත්‍රපට මාලාව රචනා කළ ටෙඩ් එලියට් සහ ටෙරී රොසියෝ මෙහි තිර පිටපත රචනා කිරීමට තෝරා ගැනුණු අතර 2008 වසරේ මාර්තු මස වන විට ඔවුන්ගේ රචනා කිරිමේ කටයුතු අහවර විය. එහෙත් එය අති ස්වාභාවික බැව් චිත්‍රපට නිෂ්පාදක ජෙරී බෘක්හෙයිමර්ගේ අදහස් වූ බැවින් නැවතත් එය සංශෝධනය කිරීමට සිදුවූ අතර එය සිදුකළේ ජස්ටින් හේදේ විසිනි.2009 වසරේ මැයි මසදී මෙහි අධ්‍යක්ෂණ කාර්යය සඳහා Prince of Persia: The Sands of Time චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන මයික් නෙවෙල් තෝරා ගැනුණද ඔහු ඒ වන විට Prince of Persia චිත්‍රපටයට ප්‍රමුඛත්වය ලබාදෙමින් වැඩකටයුතු කරමින් සිටි බැවින් ඔහුව මෙම චිත්‍රපටයෙන් ඉවත් කෙරිණ. ඒ අනුව අධ්‍යක්ෂවරයෙකුව නොමැතිව සහ ජොනී ඩෙප්ගේ Pirates of the Caribbean: On Stranger Tides චිත්‍රපටයේ රෑගතකිරිම් අවසන් වන තුරැ මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු 2010 වසරේ මැද භාගය දක්වා කල්ගිය අතර ගෝරේ වර්බින්ස්කි එම වසරේ සැප්තැම්බර් මස මිට තේරීපත්වන්නේ මෙබඳු වටපිටාවක් තුළයි. Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේද ඔහුය.
කෙසේ  වෙතත් මුදල් පිළිබඳ ගැටලුවක් හේතුවෙන් 2011 අගෝස්තු මස දක්වා නැවතත් මෙහි නිෂ්පාදන කටයුතු කල් ගිය අතර රෑගතකිරීම් 2012 වසරේ පෙබරවාරි මස 06 දක්වා කල්ගියේද මෙවැනි පසුබිමක් තුළයි.එහෙත් එයද සිදුවූයේ මාර්තු මස 08 වැනිදාය. එනම් මෙහි ප්‍රධාන නළු දෙපළ වන ඩෙප් සහ    

Plot

1933 වසරේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි සිටි පුරාවෘත්තයක් සේ සැළකෙන ටොන්ටෝ නම් තරැණයකු සහ ලෝන් රේන්ජර් නමින් හඳුන්වන ජෝන් රෙයිඩ් කේන්ද්‍ර කරගත් ක්‍රියාදාම සිදුවීම් මාලාවක් වටා ගෙතෙන මෙහි කතා පුවත වරෙක 19 වන සියවසේ අග භාගය දක්වා විහිදී යයි.ක්‍රියාදාම වුවද මෙහි ලක්ෂණ චරිතාපදාන චිත්‍රපටවල ලක්ෂණ කරා සමීප වෙයි. ඒ අනුව ජෝන් රෙයිඩ්ට අවසානයේදී සිදුවන්නේ කුමක්ද ? ටොන්ටෝට සිදුවන්නේ කුමක්ද ? චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ගලා යන්නේ මේ ඔස්සේය.         

 Cast

ටොන්ටෝ                                  - ජොනී ඩෙප්
ජෝන් රෙයිඩ්                              - ආමි හැමර්
බුච් කැවෙන්ඩිෂ්                         - විලියම් ෆික්ට්නර්
ලේදම්                                       - ටොම් විල්කින්සන්
රෙබෙකා රෙයිඩ්                         - රැත් විල්සන්

Release

චිත්‍රපටය පසුගිය මැයි මස 31 වැනිදා තිරගත වීමට නියමිතව තිබුණද නොවැළැක්විය හැකි හේතු මත එය ක්‍රියාවට නැංවීමට නොහැකි වූ අතර  ජුනි මස 22දා මෙහි ආරාධිත දර්ශනයක් හොලිවුඩයේ හයිපීරියන් රඟහලේදී තිරගත කළ අතර ලෝ වටා ප්‍රදර්ශනය ආරම්භ කෙරැණේ පසුගිය ජුලි මස 03 වැනිදාය.

Box office

ඇ.ඩො. මිලියන 225ක් වැය කරමින් නිෂ්පාදිත මෙම සිනමාපටය පසුගිය ජුලි මස 28 වැනිදා කැනඩාවේ සහ ඇමෙරිකාවේ පමණක් ප්‍රදර්ශන කරමින් ඇමෙරිකානු මුදලින් ඩොලර් මිලියන 85 ඉක්මවූ ආදායමක් උපයා ගත්තේය. සෙසු රටවලින් උපයා ගත් ආදායම දැනට ඇ.ඩො. මිලියන 80කට ආසන්නය. ඒ අනුව  චිත්‍රපටය උපයාගෙන ඇති සමස්ත ආදායම ඇ.ඩො. මිලියන 164කට ආසන්නයි.

මාලන් විදානපතිරණ

Tuesday, July 23, 2013

අඳුරු යුගයක පෑයූ දීප්තිමත් තෙරනම

මාලන් විදානපතිරණ
2012/07/22 (අද)


    ශී‍්‍ර ලංකාව බෞද්ධ රටක් බවට පත්වූයේ අදක ඊයෙක නොවේ. ඊට විශාල ඉතිහාසයක් පවතී. එවන් දිගු ඉතිහාසයකට නෑකම් කියන්නේ බුදුදදහම සිරිලකෙහි පවත්වාලීමට හා එය සුරැකීමට උරදුන් උදාර පුරවැසියන් හේතුකරගෙනය. ඒ අතර යතිවරයෝ මූලික වෙති. ශී‍්‍ර ලංකාවට උපසම්පදාව ගෙන ඒමට මූලිකත්වය දුන්නේ කවුරුන්ද යන්න ඔබෙන් ඇසුවොත් ඔබ සියලූ දෙනාම පාහේ ඒ වැලිවිට අසරණ සරණ සරණංකර හිමිපාණන් බව පවසනු ඇත. එහෙත් බුදුදහමට උරදුන්නේ උන්වහන්සේ පමණද ?

    වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ගෝලයෙකි, වැලිතර අඹගහපිටියේ ඤාණවිමලතිස්ස ස්වාමීන් වහන්සේ. වැලිවිට සංඝරාජ හිමියන් ඇතිකළ ඒ බෞද්ධ පුනරුදය තව තවත් ඉදිරියටම ගෙන යෑම උදෙසා උන්වහන්සේ විශාල සේවාවක් ඉටු කළේය. මේ ඒ ඤානවිමලතිස්ස හිමියන් පිළිබඳ කෙටි සටහනකි.

    වැලිතර මහකරාව නම් ගමේ උපත ලද උන්වහන්සේ කරෝලිස් ද සිල්වා වෙදමහතාගේ පුතෙකි. පැවිදි වීම සඳහා වැලිවිට සරණංකර හිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ මාතර බෝවල ධම්මානන්ද හිමියන් හා මහනුවරට ගිය ඤානවිමලතිස්ස හිමියෝ එහිදී වැලිවිට සරණංංකර හිමියන් පැවිදි දිවියට පත්වූහ. පැවිදි වීමෙන් අනතුරුව සරණංකර හිමියන්ගෙන් පාලි භාෂාවේ හා ධර්ම විනයේ මුලකුරු මනාව ඉගෙන ගත් උන්වහන්සේ සත් වසකට පසුව යළි උපන් ගමට වැඩම කොට අමගහපිටිය විහාරස්ථෘනයේ (මෙය අද වැලිතර අම්බරුක්ඛාරාම මූල මහා විහාරය නමින් හැඳීන්වේ.* සිට බුද්ධ ශාසනය වෙනුවෙන් ඉමහත් වූ මෙහෙයක් ඉටු කළහ. ඒ අතරින් වර්තමානයේ සිරිලක ඇතිරී පැතිරී ඇති අමරපුර නිකාය නම් භික්ෂු සංවිධානය පිහිටුවීම උන්වහන්සේ අතින් සිදුවු වටිනාම යුග මෙහෙවරකි.

    තිස් වැනි වියේදී සිතේ පැල පදියම්ව තිබූ සියම (අද තායිලන්තයයි*ට වැඩම කර උපසම්පදාව ලබා ගැනීමට ඇති බලවත් කැමැත්ත හේතුවෙන් සරණංකර හිමියන් හා බෝවල ධම්මානන්ද මාහිමියන්ගෙන් අවසර ගෙන සියම බලා සාමණේරයන් වහනසේ පස්නමක් හා කැපකරු දායකයන් තිදෙනෙක් කැටුව පිටත් වූ නමුදු අතරමගදී පැමිණි බාධක නිසා බුරුම රටට (අද මියන්මාරයයි* වැඩම කළහ.එහිදී උපසම්පදාව ලත් උන්වහන්සේ ඇතුළු සය නම හේතුවෙන් මෙලක බුරුමයට හා සබැඳී භික්ෂු පරපුරක් ආරම්භ විය.එකල එය හඳුන්වන ලද්දේ අමරපුර සමාගම යනුවෙනි.එකල බුරුමයේ අගනුවර ද අමරපුරයි. බුරුම සංඝරාජයන් අතින් මහාධම්ම රාජාධිගුරු යන ගෞරව නාමයෙන් පුද ලද උන්වහන්සේ අමරපුර සමාගමේ ප‍්‍රධානියා බවට ද පත් වූහ.

    අමරපුර නිකාය ශික්ෂාගාමී භික්ෂූන් වහන්සේ ගෙන් යුක්ත වූ සංවිධානයක් කිරීමට වෙහෙසුණු ඤාණවිමල හිමියන්ට සහාය වූ තවත් ස්වාමීන් වහන්සේලා සිව් නමක් වූහ. උන්වහන්සේලා කපුගම ධම්මක්ඛන්ධ, බෝගහපිටියේ ධම්මජෝති, අත්තුඩාවේ  ධම්මරක්ඛිත, කතළුවේ ගුණරත්න වෙති. සිරිලක සම්බුද්ධ ශාසනය චිරස්ථීතිය උදෙසා මුන්වහන්සේලා සියල්ලෝම දිවිහිමියෙන් කටයුතු කළ බව මුහන්දිරම් මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා විජය ශී‍්‍ර වර්ධන මැතිතුමා සිය ශී‍්‍ර ලංකා අමරපුර වඞශය කෘතියේ සඳහන් කර ඇත.
                          
                                        මාලන් විදානපතිරණ

සහජීවනයට දහමින්


සටහන - මාලන් විදානපතිරණ
2012/07/22 - (අද)

    සහයෝගයෙන් ජීවත් වීම, සමගියෙන් සාමයෙන් ජිවත්වීම සහජීවනය වශයෙන් සරල ව හඳුන්වා දිය හැකිය. එහෙත් මෙම සංකල්පයේ පවතින්නේ එසේ මෙසේ වටිනාකමක් නොවේ. ශී‍්‍ර ලංකාව තිස් වසරක් ආපස්සට ගෙන යාමට ප‍්‍රධාන වශයෙන් බලපෑවේ ද එකල ලංකාවේ පැවති සහජීවන ඌනතාවයයි.

    සහජීවනයේ ඇති වැදගත්කම පිළිබඳ දාර්ශනිකයෝ විවිධ අදහස් පළ කළහ. ඒ අතරින් ආගමික ශාස්තෘවරුන් පළ කළ අදහස් මුල් තැනක් ගනීග සහජීවනය මනුෂ්‍ය සමාජයේ තිබිය යුතු උසස් ම ලක්ෂණයක් බව බුදුරජාණන් වහන්සේ ද වදාළ සේක. සමවායෝ එව සාධු (සමගියම යහපත),  සමග්ගා හොථ මා විවදථ (සමගිවන්න වාද විවාද ඇතිකර නොගන්න) වැනි උපදේශ ඒ අතර වේ එහිදී උන්වහන්සේ අසමගියේ ආදීනව හා සමගියේ ආනිසංස බණ කතා ඇසුරින් ද පෙන්වා දුන් සේක. ඒ අතර කුඩා කල ඉගෙන ගත් දීඝායු කුමාරයාගේ කතාව ප‍්‍රකටය එහි වූ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව බෞද්ධ ඔබට මතක ඇති. වැද්දාගේ මස් දැලට හසු වූ වටු කුරුලූ රංචුව සමගියේ බලයෙන් දිවි ගලවා ගත් අන්දම ද ඔබට මතක ඇති.

    සහජීවනය පිළිබඳ ජේසුස් වහන්සේ ද බයිබලයේ අවස්ථා කීපයකදීම අවධාරණය කළ සේක. උන්වහන්සේ අසල්වැසියාට පේ‍්‍රම කරන්න යැයි කිතුනු කතෝලික බැතිමතුන්ට නිතරම පැවසූ සේක. එමෙන්ම සාමය සඳහා කි‍්‍රයා කරන්නෝ දේවාශීර්වාදය ලද්දෝ වශයෙන් ද උන්වහන්සේ පැවසූ සේක. බයිබලයේ සඳහන් වන පරිදි වරක් පව් කළ ස්ති‍්‍රයකට ගල් ගැසීමට සැරසෙන මිනිසුන් පිරිසක් දුටු  ජේසුස් වහන්සේ ඔවුනට පැවසුවේ මේ ස්ති‍්‍රයට ගල් ගැසීමට පළමුව උපතේ සිට කිසිදා වරදක් සිදුනොකළ තැනැත්තෙකුට ගල් ගසනා ලෙසයි.

    මිනිසා ජාතිය, කුලය වැනි කරුණු පදනම් කරගෙන මනුෂ්‍ය වර්ගයායෙන් එක් කොටසක් උසස් ලෙසත් තවත් කොටසක් පහත් ලෙසත් සැළකීමේ ආකල්පය සහජීවනයට විශාල බාධාවක් වන්නේය. බුදුරජාණන් වහන්සේ සැමවිටම අගය කළේ සමානාත්මතාවයයි. උන්වහන්සේ එකල පැවති බ‍්‍රාහ්මණ, ක්‍ෂතී‍්‍රය, වෛශ්‍ය, ශුද්‍ර යන වර්ණ ධර්මයන් ප‍්‍රතික්ෂේප කළේ ද ඒ නිසාවෙනි. එමෙන්ම උන්වහන්සේ අන් අයට හිංසා පීඩා කිරීමට පෙර ඊට තමන් උපමා කරගන්නා ලෙස පෙන්වා දුන්නේ ද එබැවිනි. එය අත්තුපනායික ධර්ම පර්යාය නමින් හැඳින්වේ.

    ඉස්ලාම් ආගමෙහිදී ද අල් කුරාණය හරහා සහජීවනයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කර ඇත. දෙවියන්ට කීකරු වීම සාමයයි යනුවෙන් කුරාණයේ සඳහන් වන්නේ එබැවිනි.

    සහජිවනය වර්ධනය කරනු වස් බෞද්ධ දර්ශනයේ ද තවත් බොහෝ දේ දක්වා තිබේ බුදුරජාණන් වහන්සේ විසින් බෞද්ධයන්ට අවම වශයෙන් පංච සීලය හෝ ආරක්ෂා කරන්නැයි දේශනා කර ඇත්තේ එබැවිනි . සමාජයක ජීවත් වන සතුන්ට මිනිසුන්ට හිංසා කරන, අන් සතු මුදල්, දේපොළ ආදියට ගරු නොකරන හානි පමුණුවන සමාජයක සහජීවනයක් පැවතිය හැකි ද  යනාදී වශයෙන් උන්වහන්සේ ප‍්‍රශ්න කළේ එබැවිනි

    සූත‍්‍ර පිටකයේ එන සි`ගාලෝවාද සූත‍්‍රය ද සහජීවනය පිළිබඳ දැක්වෙන තවත් දර්ශනයකි එතුළින් යුතුකම් ඉටු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නේ ද මෙම සහජීවනයේ වැදගත්කම නිසාවෙනිි. සමාජයක වෙසෙන මව්පිය - ¥දරු, ගුරු - ශිෂ්‍ය, ස්වාමි - භාර්යා, හිත මිතුරු, සේව්‍ය සේවක, ගිහි-පැවිදි යන කොට්ඨාස ඉටු කළ යුතු යුතුකම් ඊට ඇතුළත්ය. මෙයින් එක් පිරිසක් හෝ තම යුතුකම් පැහැර හැරීම යනු ගැටුමකට පාර කැපීමක් බව උන්වහන්සේ වදාළේ එබැවිනි.

    සහජීවනය, සාමය පිළිබඳ හින්දු ආගමෙහි ද සඳහන්ය. සාමය පිළිබඳ නිතරම භාවනා කරනා මෙන් එම අගාමේ දැක්වේ. එමෙන්ම නිතරම සාම මන්ත‍්‍රය මතුරන ලෙස ද එහි පැවසේ.

සාම මන්ත‍්‍රය

පෘථිවිය මත සාමය       -   අහස මත සාමය
වනාන්තරය තුළ සාමය   -   ජලාශ මත සාමය
බ‍්‍රහ්ම තුළ සාමය          -   මා තුළ සාමය

    එහෙත් මෙවන් උත්තරීතර සාරධර්මයන්ගෙන් හෙබි වත්මන් සමාජයේ පවතින ඛේදවාචකය නම් ආගම්වල හෝ දර්ශනයන්හි ඇතුළත් කරුණූවලට ද පිටුපාමින් ආගමික අනුගාමිකයන් විසින් ජනී ජනයා තම ආගමට පිරිස් බලෙන් හරවා ගැනීමට උපක‍්‍රමශීලිව කටයුතු කිරීමයි මෙය ද සහජීවනයට බාධාවකි. එහෙත් අනෝන්‍ය අවිශ්වාසය, විවිධ අමනාපකම්, කැරළි කෝලාහල, නිස්සාර විවාද ආදිය ද සහජීවනයට බාධාවක් බව ඒවායේ සඳහන්ය.

    කෙසේ වෙතත් විවිධ කණ්ඩායම්වලින් යුතු සමාජයක ජීවත් වෙද්දී අපට කිසිසේත්ම සමාන ආචාර ධර්ම පද්ධතියක් බලාපොරොත්තු විය නොහැක. මේ නිසා ඉවසීම යනු අප පුරුදු පුහුණු කර ගත යුතු ඉතා වැදගත් ම ගුණාංගයක් ලෙස බුදුන් වහන්සේ ද පෙන්වා දුන් සේක. තමන් හා නොගැලපෙන පුද්ගලයන්, තමන්ට නොගැලපෙන හැසිරිම් ඇති පුද්ගලයන් හා සුහදව ජීවත් විය යුතු බව උන්වහන්සේ එහිදී තවදුරටත් අවධාරණය කළ සේක. එමෙන්ම තමාට පිළිගත නොහැකි, තමා අනුමත නොකරන අදහස් පළ කිරිම වැනි අවස්ථාවේදී ඇතිවන විසම්මුතිය සාමූහිකත්වයේ එක් ලක්ෂණයක් බැවින් ඒවා සියල්ල ඉවසා දරා සිටීම මැනවයි ද උන්වහන්සේ පෙන්වා දුන්නේ එබැවිනි. මෙය ශී‍්‍ර ලංකාව වැනි විවිධ ජාතීන් ජීවත් වන, විවිධ ආගමිකයන් ජීවත් වන රටකට අත්‍යවශ්‍ය ම වූ ගුණාංගයකි.
මේ හේතුවෙන් යළිත් වරක් ලේ වැගිරෙන ක`දුළු වැගිරෙන සමාජයක් ඇතිවිම වළක්වනු වස් අප සහජීවනයෙන් කටයුතු කළ යුතු නොවේදැයි අප මඳකට හෝ සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බව මගේ හැ`ගීමයි