Friday, August 9, 2013

බඩගෝස්තරවාදී දේශපාලනයට චේ ගුවේරා හොඳ පිළිතුරක්



බඩගෝස්තරවාදී දේශපාලනයට චේ ගුවේරා හොඳ පිළිතුරක්

බුද්ධික දමයන්ත

2013/08/02 - අද 

සටහන හා ඡායාරෑප - මාලන් විදානපතිරණ

රාජ්‍ය සම්මාන දිනූ අධිපතියාගේ මරණ මංචකය, පාදඩයා, පළිඟු රූන, දවස තාම ගෙවුනේ නෑ, බංසි මැරිලා නෑ, අපේ පංති කාමරය, රුකවලා, පරණ අයගේ කතාවක්, පුතා එනකං, පුංචි ආදර බලකිරීමක්, උතුරැ කොනට පටු පාරක්, වෙස් මුහුණ, සුරඟනක් ඇවිත් ආදී නාට්‍ය කරමින් වසර විස්සකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව පෝෂණය කළ නාට්‍යකරැවකු ලෙස බුද්ධික දමයන්ත හැඳින්විය හැකිය. 2012 වසරේදී හොඳම නිළිය,හොඳම නළුවා යන සම්මා ද්විත්වයම දිනා ගත් සිංදු කිරිල්ලී වේදිකා නාට්‍යයද ඔහුගේ නිර්මාණයකි.  කෙසේ නමුත් ඉන් නොනැවතුණු බුද්ධික දමයන්ත තවත් නාට්‍ය නිර්මාණයක් ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට දායාද කිරිමට මේ සති අන්තයේ බලාපොරොත්තුවෙන් සිටියි.ඒ ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වන “මරා දැමූ ජිවත්වන මිනිසා“ වේදිකා නිර්මාණය හරහාය.ඒ අනුව මෙම නාට්‍යය අගෝස්තු මස 03 සහ 04 යන දෙදින තුළ  කොළඹ ලූම්බීණි රඟහලේදි (සවස 6.30) වේදිකා ගතවීමට නියමිතය. මේ ඒ පිළිබඳ ඔහු සමග කළ සංවාදයක සටහනකි.

“මරා දැමූ ජීවත් වෙන මිනිසා“ චිත්‍රපටයේ පසුබිම ගැන කතා කළොත් ?

මේක ප‍්‍රකට නාට්‍ය රචක ජොසේ රිව්යේරාගේ “School of the Americas (2006)* ඇසුරින් පරිවර්තනය වූ නාට්‍යයක්. ඒ අනුව  මෙම නාට්‍යය “මරාදැමූ ජිවත්වන මිනිසා* ලෙසින් පරිවර්තනය කලේ චූලා සමරනායක.ආජන්ටියානු ජාතික විප්ලවවාදියෙකු වන අර්නෙස්ටෝ චේ ගූවේරාගේ ජිවිතයේ අවසන් දින දෙක තමයි මීට පාදක වෙන්නේ.

මෙහි එන කතා තේමාව චේ ගුවේරා පිළිබඳව මෙතෙක් පළ වූ කලා කෘතිවල තේමාවට වඩා වෙනස් ?
ඔව්. අසාර්ථක වූ බොලිවියන් විප්ලවය අවසානයේදී චේ ගුවේරා හමුදා අත්අඩංගූවට පත්වෙනවා. ඒ අනුව චේ ගුවේරා තමන්ගේ අවසන් ඉරණම විසඳෙන තෙක් හිගුවේරා ගම්මානයේ පාසල් පංති කාමරයක සිරගත කෙරෙනවා. ඒ අතරතුර චේ ගූවේරා මුණගැසීමට අමුත්තියක් පැමිණෙනවා. ඒ තමයි ජූලියා කෝටේස් නම් පාසල් ගුරැවරිය.මෙය සැබෑ සිදුවීමක්. ඒ අනුව ප්‍රධාන කතා පුවත කේන්ද්‍රගතවෙන්නේ ඔවුන් දෙදෙනා වටායි. ඒ අනුව අධ්‍යාපනික විප්ලවය තමයි කළ යුතු හොඳම විප්ලවය කියලා මේ අසාර්ථක විප්ලවවාදියාට අවසන් මොහොතේ තේරැම් යනවා. ඒත් මේ නාට්‍යයෙන් මම උත්සාහ කරන්නේ ජනතාව විප්ලවයක් කරා රුගෙන යන්න නෙමෙයි.අනික ගල් කටස් විප්ලව අභාවයට ගිහින් හුඟක් කල්. .

ඒත් මේ වන විට බොහෝ දෙනෙක් පවතින ක්‍රමය සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. එවැනි මොහොතක තමයි ඔබේ නාට්‍යයත් සමාජගත වෙන්නේ.මේක මාකට් කිරීමේ උපායක්ද ?

කොහෙත්ම නැහැ. මම පෞද්ගලිකව චේ ගුවේරා කියන විප්ලවවාදියාට කැමැතියි. අනික ඔහු එක් පක්ෂයකට පමණක් අයිති පුද්ගලයෙක් නෙමෙයි. අපි කවුරැත් ඔහුට විවිධාකාරයෙන් ආදරේ කරනවා. ඒ නිසාමයි මම මේ නාට්‍ය පිටපත තෝරා ගත්තේ. ඒත් මෙහි කාලීන වැදගත්කමකුත් තිබෙනවා. ඒකත් මගේ තෝරා ගැනීමට හේතු වුණා. විශේෂයෙන්ම චේ ගුවේරා මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්වෙලයි, මේ විප්ලවයට නායකත්වය දෙන්නේ. ඒත් වත්මන් දේශපාලනය ක්‍රමය තුළ ලංකාවේ එහෙම දෙයක් දැකීමත් විහිළුවක්.

චේ ගුවේරාගේ දේශපාලනය කොහොමද ලංකාවට වැදගත් වෙන්නේ ?

ලංකාවේ තිබෙන්නේ තක්කඩි දේශපාලනයක්. ඒ නිසා ඔහුගේ දේශපාලනය ඊට කොතරම් පරස්පරද යන්න මේ නාට්‍යය හරහා හොඳින් පේනවා. ඒක ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික දේශපාලනය සහ අපේ පාර්ලිමේන්තුවේ සිටින මංකොල්ලකාරයෝ, කුඩුකාරයෝ හරහා පේනවා. ඒකයි මේ නාට්‍යය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට වැදගත්වෙන්නේ. ඒ නිසා අධ්‍යාපනික දැනුම්වත්භාවය ජනතාවට කොතරම් වටිනවද යන්නත්, මෙහි එන දේශපාලන දර්ශනය කොතරම් සර්වකාලීනද යන්නත් දැන ගැනීමට මේ කලාකෘතිය ඉතා වැදගත්. ඒකයි මගේ අදහස. හැබැයි නාට්‍ය මුදලාලිලා පෙන්වන නාට්‍ය බලන,ඒවාට පුරැදු වුණ ප්‍රේක්ෂකයාට මේවා වැදගත් වෙන්නේ නැහැ.ඒ නිසා එවැනි නාට්‍ය බලන ප්‍රේක්ෂකයාට, මෙවැනි නාට්‍ය තේරැම් ගන්න පුළුවන් වෙයිද කියන එකත් සැකයක්.

කොහොම වුණත් අද අපි ජිවත්වෙන්නේ ධනවාදය රජ කරන සමාජයක. ඒ නිසා ඒ මත්තෙන්ම ගොඩයෑමක් විනා ඉන් සමාජය මුදවාගත හැකි විසඳුමක් පේන තෙක් මානයක නැහැ. ඒ නිසා මෙවැනි නාට්‍යයක් විසි එක් වැනි සියවසට තවදුරටත් වලංගුද?

ධනවාදී ක්‍රමයෙන් එහාට අපට යා හැකි මගක් නැහැ තමයි. ඒක මමත් පිළිගන්නවා. ඒ නිසා තමයි අද බඩගෝස්තරවාදී දේශපාලඥයන් තමන්ගේ පාට පක්ෂ පවා මාරැ කරන්නේ. ඒක තමයි මේ ක්‍රමයේ ස්වභාවය.හැබැයි ඒ නිසාම මෙය බඩගෝස්තරවාදී දේශපාලනයට හොඳ පිළිතුරක් බවට පත්වෙනවා.හැබැයි මේක කලාකෘතියක්. එහෙම නැතුව චේ ගුවේරාගේ ජීවිත කතාව වේදිකා නාට්‍යයක් හැටියට කළා නෙමෙයි.ඒත් මම දකින චේ ගුවේරා මෙතැන ඉන්නවා.ප්‍රේක්ෂකයා දකින චේ ගුවේරාත් මෙතැන ඉන්නවා. ඒ වගේම මම පවා එකඟ නොවන තැන් මෙහි පිටපත පුරාම තිබෙනවා. ඒත් ඒකම තමයි මාව මේ නාට්‍යය නිර්මාණය කිරිමට පෙළඹෙව්වේ.

වත්මන් වේදිකා නාට්‍ය කලාව ගැන මොකද හිතන්නේ ?

අපිට නම් වේදිකා නාට්‍ය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ පූරැවේ පවක් පල දීලා.මොකද අද අපි ජීවත්වෙන්නේ චංගුමී රස කර කර බලන සමාජයක. එවැනි බාල රසවින්දනයක් තමයි ප්‍රේක්ෂකයාට තිබෙන්නේ. ඒත් අද ලොකු කැපවීමක් කළ නාට්‍ය කරන තරැණ පිරිස් ඉදිරියට පැමිණ තිබෙනවා.නමුත් ඔවුන්ට නිසි අනුග්‍රහයක් නැහැ.ඒ නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේ කලාවෙන් ඉවත්වෙලා යනවා. 

අනික නාට්‍ය කලාව පිළිබඳ විශාල උනන්දුවක් තිබෙන පිරිස් පවා අද වාරණය, පිරිවැය හේතුවෙන් තමන්ගේ ප්‍රකාශනය සඳහා කෙටි නාට්‍ය කලාව මාධ්‍යයක් විදිහට යොදාගෙන තිබෙනවා. ඒ නිසා අද කෙටි නාට්‍ය කලාවට ප්‍රවේශ වන පිරිස වැඩිවෙලා තිබෙනවා. ඒත් සමස්තයක් විදිහට ගත්තම වේදිකා නාට්‍ය කලාවේ කඩා වැටීමක් මිසක් ප්‍රබෝධයක් දකින්න නැහැ. අනික ප්‍රවීණයි කියන සමහර ශිල්පීන් ප්‍රවීණ වුණේ කොහොමද කියන එකත් අද ලොකු ප්‍රශ්නයක්.හැබැයි මම නම් තාමත් ආධුනිකයි.අවුරැදු විස්සක් තිස්සේ දිගින් දිගටම නාට්‍ය කළත් අපි තාමත් නාට්‍ය කලාව හදාරනවා.

“මරා දැමූ ජීවන් වන මිනිසා* නාට්‍යයට සම්බන්ධ වන ශිල්පීන් මතක් කළොත් ?

මහේන්ද්‍ර වීරරත්න, ගයනි ගිසන්තිකා, නිල්මිණි පෙරේරා, රජිත හේවාතන්ත‍්‍රිගේ, ධනුෂ්ක චින්තක සමඟ හර්ෂ සුමිත‍්‍ර මෙහි චරිත නිරෑපණය කරනවා. අංග රචනය පේ‍්‍රම් ජයන්ත කපුගේගෙන්. ආලෝක නිර්මාණය කපිල කිත්සිරිගෙන්. පසුතල හා ඇඳුම් නිර්මාණය මගෙන්. වේදිකා පරිපාලනය ධනුෂ්ක චින්තක සමඟ හර්ෂ සුමිත‍්‍රගෙන්.

No comments:

Post a Comment