Sunday, January 25, 2015

හීනයක් වුණු කැම්පස් ජීවිතය 2015/01/25

හීනයක් වුණු කැම්පස් ජීවිතය

කැම්පස් තේරේවිද නැද්ද කිය කිය හිතේ සැකයක් තියාගෙන, වැට මායිමේ හිටපු මම කොළඹ විශ්ව විද්‍යාලයේ තිබුණු අවුරුදු එක හමාරක බාහිර ඉංග්‍රීසි පාඨමාලාව කළේ 2011 A/L ඉවර කරපු දවස්වලමයි.කතා කරන්න පුළුවන් වුණත් හිතේ තිබ්බ චකිතය හින්දා මම ඉංග්‍රීසියෙන් කතා කරන්න වුණත් ඉස්කෝලෙදිත් බයවුණු චරිතයක්. ඒකට මම ගැන හොඳටම දන්න ඉස්කෝලේ යාළුවෝ සාක්ෂි දරාවි.ඒ දවස්වල මම ව්‍යාකරණ වරදීවි කියලා හුඟක් බයෙන් හිටියේ.බයට වඩා මට තිබ්බේ අනික් අය හිනාවෙයි කියලා තිබ්බ සැකයක්.ඉතින් මම පසුගාමී වුණා.ඒක කොච්චර ආතතියක් වුණාද කිව්වොත් පළමුවැනි දවසේ මට මගේ පන්තියවත් හරියට හොයාගන්න බැරිවුණා.වැරැදි පන්තියක තමයි මුල් පැයේ හිටියේත්.නම් ලකුණු කරනකොටයි වැරැදි පන්තියක ඉන්න බව දැනගත්තේ.

ඒත් අවුරුදු එක හමාරකට පස්සේ මම මගේ අන්තිම විභාගයට පෙනී සිටියා.ඒ වෙද්දි මම කැම්පස් එකට තේරුණා කියලා කොළේ ඇවිල්ලයි තිබ්බේ.මට සතුට කියාගන්න බැරිවුණා.මම මගේ කතාවට මාතෘකාව කර ගත්තේත් මගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථා කීපයක්.වෙනත් විදියකින් කිව්වොත් මගේ ජීවිතය වෙනස් කරපු අවස්ථා කීපයක්.

එදා විභාගයට මුහුණ දුන්නු අනික් අය කොළ බලාගෙන එහාට මෙහාට යද්දි මම විතරයි කිසිම කොළයක් නැතුව මගේ වාරය එනකම් බලන් හිටියේ.මගේ අන්තිම විභාගයට ලකුණු දුන්නේත් පාඨමාලාවේ මුල් අදියරේ ඉංග්‍රීසි ගුරුතුමිය.ඇය මම කතා කරද්දි මගේ දිහා ඇසිපිය නොහෙලා බලා සිටියා.ඒක මට තාම මතකයි.මොකද ඇයට මතකයි මම හිටියේ මොනවගේ තත්ත්වයද කියලා. අනික මම කතාව කරද්දි මගේ ඉදිරියෙන් හිටපු අනික් අයත්  පුදුමයෙන් වගේ මං දිහා බලා හිටියා.මට දැන් ඒක මතක්වෙද්දි හිතෙන්නේ ඒගොල්ලෝ හරියට චිත්‍රපටයක කතාවක් අහන් ඉන්නවා වගේ අහන් හිටියද කියලයි. මටත් මම ගැන එවේලේ පුදුම හිතුණා.ඒත් ඒ මමම තමයි.

අවුරුදු එක හමාරක් කැම්පස් එකට අදාළ නැති බාහිර ළමයෙක් විදිහට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තු මම, ගිය අවුරුද්දේදි කොළඹ විශ්ව විද්‍යාලයේ ටී ෂර්ට් එක ගහගෙන ඒ කැම්පස් එකටම ආවා.ඒ දෙවැනි වසරේ විද්‍යාර්ථයෙක් විදිහට. පළමු වසරේදි නම් මම කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ ළමයෙක් විදිහට මීටර් 100 ඉසව්ව පවා නියෝජනය කළා. දෙවැනි වසරේදී අපේ කොල්ලෝ කෙල්ලන්ට සහයෝගය දක්වන්නත් මට එන්න පුළුවන්කම ලැබුණා.දැන් මම තෙවැනි වසරේ.

ආපු දුර හීනයක් වගේ. Maths කරලා ෆේල් වෙලා ආයෙත් Art කරලා,ආයෙත් Econ ෆේල් වෙලා,ඒ වෙනුවට ජනමාධ්‍ය තෝරාගෙන තුන්වැනි වතාවටත් ඒ ලෙවල් කරලා මෙච්චර දුරක් එන්න පුළුවන් වෙයි කියලා මම කීයටවත් හිතුවේ නැහැ.මොකද ජනමාධ්‍යවේදියෙක් විදිහට ඉදිරියට යන්නයි මම සැලසුම් කරගෙන හිටියේ. ඒ හින්දා මට සිනමා විශේෂවේදී උපාධියක් හදාරන්න පුළුවන් වෙයි කියලා පවා අන්තිම මොහොත වෙනකම්ම හිතුණේ නැහැ.හැබැයි බලාපොරොත්තුවක් නොතිබුණාම නෙමෙයි.

ඒත් ඉංග්‍රිසි පාඨමාලාවත් අවසන් කරලා,පත්තරේ වැඩ ටිකත් කරගෙන,කැම්පස් එකේ අවුරුදු දෙකකුත් ඉවර කර ගන්න දැන් මට පුළුවන් වෙලා.හැබැයි දැන් නම් හුඟක් මහන්සියි.ඒත් දැන් ආපහු හැරෙන්න විදිහක් නැහැ.තවත් අවුරුදු දෙකක් එහෙමම තියෙනවා.ඉදිරියේදී රූගත කරන්නත් චිත්‍රපට කීපයක්ම තියෙනවා. තාමත් මගෙන් විධිමත් රූපමය අත්දැකීමක් විදිහට එළියට ආවෙත් මියුසික් වීඩියෝවක් විතරයි. කැම්පස් එකේ වැඩක් නෙමෙයි ඒකත්.

මේ කතාව කවදාහරි මම ලියන්න හිටපු කතාවක්.මේ වගේ පෞද්ගලික කාරණා ප්‍රසිද්ධ කිරිම හොඳ නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.මේවා ෆේස්බුක් දාන්න මට පිස්සුද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.ඒත් ඉඩ ලැබුණු වෙලාවේ අමතකවෙන්න කලින් මේක ලියලා තිබ්බොත් හොඳයි කියලා මට අද හිතුණා. හි හි.හි.

මාලන් විදානපතිරණ

Saturday, October 11, 2014

Ada Newspaper - Entertianment - බොලිවුඩ් නිළි බිපාෂා බාසු සාකච්ඡාව -2014/10/09



හැම වැරුද්දකින්ම මම ජිවිතය ගැන පාඩමක් ඉගෙන ගත්තා

බොලිවුඩ් නිළි බිපාෂා බාසු

මාලන් ගෝවින්ද

බොලිවුඩයේ සිටින ජනප්‍රියතම බොලිවුඩ් නිළියන් අතර බිපාෂා බාසුද මේ වන විට ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.ඒ ඉන්දීය සිනමාවේ ප්‍රථම වතාවට රාක්ෂයකු නිර්මාණයක කරමින් නිපැයුණු “ක්‍රියේචර්* ත්‍රිමාණ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ඇය රඟපෑමත් සමගමය.වික්‍රම් බට් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ඇය සමගින් ප්‍රධාන චරිතය නිරෑපණය කරන්නේ ඉම්රාන් අබ්බාස්ය.රාස්,ජිස්ම්,කපල් බ්‍රේකර්ස්,සීක්‍රට් ආදී චිත්‍රපට හරහා ජනප්‍රිය වූ ඇය,මෙවර “අද* පුවත්පතේ අවධානය දිනාගන්නේ සජීවිකරණය කළ රාක්ෂයකු සමගින් ගෙවූ රෑගතකිරීම්වලදී ලැබූ අත්දැකීම් හේතුවෙනි.මේ සටහන ඇය “ෆිල්ම්ෆෙයාර්*සඟරාව සමගින් කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරිනි.
“ක්‍රියේචර්* ත්‍රිමාණ චිත්‍රපටය බොලිවුඩ් සිනමාවේ සන්ධිස්ථානයක්.ලබපු අත්දැකීම් එහෙම කොහොමද ?
අපි තවත් අඩියක් ඉස්සරහට ගියා කියලායි හිතෙන්නේ.වික්‍රම් තමන්ගේම විදිහකට යන කෙනෙක්.අද්භූත චිත්‍රපටයක් වුණත් මේක වෙනස් විදිහක චිත්‍රපටයක් වෙන්නේත් ඒ නිසයි.හුඟක් දේවල් කරන්න පුළුවන්කම ලැබුණා මේ එක්ක.හුඟක් සතුටුයි.ඒත් මේ අලුත් දේ ඇතුළේ හුඟක් අමාරැ රෑගතකිරීම් තිබුණු බවත් කියන්න ඕනේ.මොකද අපිට ක්‍රියාවක් නැතුවයි ප්‍රතික්‍රියා දක්වන්න තිබුණේ.මේ රාක්ෂයා නිර්මාණය කළේ සී.ජී.අයි ස්ටුඩියෝ එක.අනික රාක්ෂයා සමගින් තිබුණු දර්ශනවලදි පසුතල තිබුණේත් නැහැ.අපිටමයි හිතින් හිතාගෙන ප්‍රතික්‍රියා දක්වන්න තිබුණේ.විශේෂයෙන්ම රාක්ෂයා ඉන්න තැන.බලන් ඉන්න තැන මේ හැමදේම අපි හිතින් හිතාගෙනයි කරන්න තිබුණේ.හරිම අමාරැම ඒ රංගනය.
ඉම්රාන් අබ්බාස් ගැන කතා කළොත් ?
ඉම්රාන් දක්ෂ නළුවෙක්. හැමදෙයක්ම ඉක්මනින් තේරැම්ගන්න වේගවත් නළුවෙක්.එයා නිකම් හරියට රොමෑන්ටික් චිත්‍රපටයක වීරයෙක් වගෙයි.මම හිතන්නේ එයා අනාගතයේදී චිත්‍රපට නළුවෙක් විදිහට ලොකු දෙයක් කරයි
ඔබත් දැන් බොලිවුඩයට ඇවිත් කාලයක් ගතවෙලා.ඒ නිසා දැන් සිනමා ජීවිතයේදී පසුකරපු විශේෂ අවස්ථාත් ඇති ?
මම හුඟක් සතුටු වෙනවා මෙතෙක් ආපු ගමන ගැන.මගේ රසිකයෝත් මට හුඟක් කැමැතියි.එදා ඉඳන් අද වෙනකම්ම ඔවුන් මට ලොකු සහයෝගයක් ලබාදුන්නා.මම අදත් කැමැති ඔවුන්ගෙන් මට ලැබෙන ප්‍රතිචාර අහන්න.ඇගයුම් අහන්න.අනාගතයේදිත් එහෙමයි.අනික මම මගේ හැම චිත්‍රපටයකදිම හුඟක් කැපවෙලා වැඩ කළා. අනික මේ චිත්‍රපටයෙන් පස්සේ මම තවත් අද්භූත චිත්‍රපටයකට සහභාගිවෙන්න තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. ඒකේ නම “Alone*.
මතභේදාත්මක දේවල්වලින් ඔබේ සිනමා ජිවිතයට යම් බලපෑමක් වුණේ එහෙම නැද්ද ?
නැහැ.එච්චරම නැහැ.විචාරකයෝ මට ප්‍රශ්න ඇති කරලා නැහැ.අනික මිනිස්සුමනේ අපි ගැන ඔය වගේ මතභේදාත්මක දේවල් ලියන්නේ.ඒවාට මට එච්චර සමීප නැහැ.ඉතින් මම මොකටද ඒවා ගැන වද වෙන්නේ?
ජීවිතයේ කණගාටුවට පත්වුණූ අවස්ථා එහෙම තියෙනවද ?
නැහැ.මොකද හැම වැරුද්දකින්ම මම ජිවිතය ගැන පාඩමක් ඉගෙන ගත්තා.හැම මිනිත්තුවකදිම එහෙමයි.ඉතින් මොකටද කණගාටුවෙන්නේ.අනික හැමෝම වැරදි කරනවා.මොකද මේ ලෝකේ දෙවිවරැ නැහැනේ.ඉගෙනගන්නයි වැරැදි වෙන්නේ.ඒ වැරැදිවලින් තමයි අපි ඉස්සරහට යන්නේ.
ඔයා රොමෑන්ටික්ද කියලා ඇහුවොත්?
අපොයි ඔව්.හුඟක් රොමෑන්ටික්
ආදරයක් ලැබුණොත් ඒකට ස්වාමිත්වය දක්වනවද ?
කොහෙත්ම නැහැ.
ඒත් අනික් කෙනා එහෙම නම්?
ඒක හොඳ වෙයි.සමහරවිට එහෙම හොඳ නැති වෙයි.ඒත් මම කියන්නේ එහෙනම් දෙන්නම දෙන්නට කීකරැ වෙන්න ඕනේ.සමබරවෙන්න ඕනේ.එතකොටයි දෙන්නගේම හිත්වල ආදරය ජීවත්වෙන්නේ.
ඔබව ප්‍රතික්ෂේපවුණු නරකම අවස්ථාව මොකක්ද කියලා ඇහුවොත්?
එහෙම දෙයක් මට වෙලා නැහැ.
තාමත් සැබෑ නොවුණු හීන තියෙනවද ?
මට අප්‍රිකාවේ සංචාරය කරන්න ඕනේ.සත්තු බලන්න ආසයි.මට ඊළඟ අගෝස්තුවේදිවත් යන්න ලැබෙයි කියලා හිතනවා.හැබැයි මට හැම අවුරැද්දකම අගෝස්තු මාසේ එහේ යන්න ඕනේ.ඒත් එහෙම හිතුවට හැම අගෝස්තුවේම වැඩක් වැටෙනවා.ලබන අගෝස්තුවේ නම් යනවමයි.
ගෑණු ළමයින්ගෙන් ගුටිකෑවාද ?
(සිනාසෙමින්) අපොයි නැහැ.අනික ඒක හරිම නරක දෙයක්.හැබැයි ජාත්‍යන්තර වේෂ නිරෑපණ ශිල්පිනියක වන කේරි හියු මට හුඟක් ආදරෙයි.මං එක්ක ආදරයෙන් බැඳිලා.නිව්යෝර්ක්වලදි තමයි ඒක සිද්ධවුණේ. ඒ මම නිරෑපිකාවක් විදිහට වැඩ කරපු කාලේ.ඒ කාලේ එයා මට ආදරවන්තයන්ගේ දවසේ දියමන්ති පෙන්ඩන්ට් එකකුත් තෑගි කළා.

Tuesday, August 26, 2014

එදා මල්ලි සහ දැන් මල්ලි 2014/08/24


එදා මල්ලි සහ දැන් මල්ලි

මේ අවුරුද්දෙන්(2015 A/L) පස්සේ අපේ මල්ලිත් තමන්ගේ පාසැල් ජීවිතයට සමුදෙනවා.හරියටම කිව්වොත් තව මාස දොළහකින් එයා උසස් පෙළට මුහුණදෙනවා.ඒත් අහිංසක,සුදු හුරතල් මූණ මට තාම මතකයි.ටිකක් ලැජ්ජාකාර චරිතයක් වෙච්ච අපේ මල්ලි එක වසරට එද්දී මම හිටියේ හත වසරේ.ඒත් මල්ලිත් අපේ ඉස්කෝලෙට එනවා කියලා මට දැනෙන්න පටන් ගත්තේ හය වසරේදි.දිලිප් රෝහණ සර් තමයි මාව ප්‍රින්සිපල් සර්ගේ කාමරයට එක්කන් ගියේ.මාත් එක්ක එදා හසිඳුත් ගියා.තවත් කීප දෙනෙක් ගියා.ඒගොල්ලන්ගේ මල්ලිලාත් ඒ අවුරුද්දේ අපේ මල්ලි එක්ක එන්න හිටපු අය. මට අනික් අයව නම් මතක නැහැ.

“
පුතාගේ නම මොකක්ද ?“ අපේ ප්‍රින්සිපල් සර් මගෙන් ආපු ගමන් ඇහුවා.

“
මාලන් විදානපතිරණ“ මම කිව්වා

ඒ කාලේ ප්‍රින්සිපල් එච්.යූ.ප්‍රේමතිලක මැතිතුමා.එතුමා දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශාල තනතුරක් දරනවා.මට මේ ළඟදී ටොරින්ටන්වලදිත් හම්බවුණා.සර් ජොගින් කරන්න ඇවිත්.

"
කව්ද තාත්තාගේ නම ? "ප්‍රින්සිපල් සර් ආයෙත් ඇහුවා.

“
රොඩ්නි විදානපතිරණ “ මම කිව්වා.

“
මොනවද තාත්තා කරන්නේ ? “ ආයෙත් සර් ඇහුවා.

“
මේ දවස්වල නම් සර් අලුත් ටෙලිනාට්‍යයක් හදනවා. “මොකද ඒ දවස්වල තාත්තා ගෙදර හිටියේ නෑ.

“
නෑ නෑ.තාත්තාගේ ජොබ් එක මොකක්ද “

“
තරුණයා පත්තරේ ප්‍රධාන කර්තෘ සර්“

“
මල්ලිත් ඔයාගේම ඉස්කෝලෙට ඇප්ලිකේෂන් දාලා කියලා දන්නවද ? “

“
මට තාත්තා එහෙම කියනවා ඇහුණා සර්“

“
ඒ කියන්නේ තාම ඔයාට තාත්තා මේ ගැන කිව්වේ නෑ ? “

“
නෑ සර්“

“
මල්ලි නාලන්දෙට එනවට ඔයා කැමැතිද “ සර් එහෙම ඇහුවේ හිනාවෙවී.එතකොට දිලිප් සර්ත් මං දිහා බැලුවා.

“
ඔව් සර්“ මම කිව්වා.

“
මොකක්ද මල්ලිගේ නම ?“

“
ආකාශ් විදානපතිරණ“

“
ලස්සන නමක්නේ ඔයාගේ මල්ලිට තියෙන්නේ. මල්ලිට ආදරෙයිද ?“ සර් ආයෙමත් හිනාවෙවී ඇහුවා.

“
ඔව් සර්.“ මම හුඟක් ආඩම්බරකාර අයියා කෙනෙක් වගේ කිව්වා.

“
හරි පුතා යන්න.මං මල්ලි ගැන අහන්නයි කතා කළේ“ සර්ත් අන්තිමට කිව්වේ ඇස් දෙකෙන් හිනාවෙවී.

ඒත් මොකට එහෙම ඇහුවද කියලා මට නම් තේරුමක් තිබ්බේ නෑ ඒ කාලේ.අනික මල්ලිව ඉස්කෝලෙට තෝර ගත්ත කිව්වා නම්, මට මේ වගේ ප්‍රශ්න ඇහුවේ මොකටද කියලා හිතාගන්න තිබ්බා. ඒ හින්දා ආපහු මං 6 – D පන්තියට ගියේ කිසිම දෙයක් තේරුම්ගන්න බැරුව.

“
මචං මොකක්ද අවුල ?“ පුටුවෙන් වාඩිවුණාට පස්සේ ප්‍රමෝද් ඇහුවා.

“
අනේ මන්දා බං.“

“
ඒ කිව්වේ ? “

“
තාත්තගේ විස්තරයි, මල්ලිගේ විස්තරයි ඇහුවා.ඒත් මොකටද කියලා කිව්වේ නැහැ.

“
උඹට මල්ලි කෙනෙක් ඉන්නවද ?“ ඒක අහගෙන හිටපු තනුජ ඇහුවා.

“
ඔව් බං. ලබන අවුරුද්දේ අපේ මල්ලිත් නාලන්දෙට එනවා.“

“
ෂා... නියමයිනේ.උඹ අපිට නිකමටවත් කිව්වේ නෑනේ මල්ලි කෙනෙක් ඉන්නවා කියලා.ආවාම අපිට පෙන්නපං හොඳේ“

“
කව්ද දන්නේ බං එයිද කියලා. තාම තෝරගත්තද කිව්වෙත් නෑනේ.“

“
තෝර ගනියි තෝර ගනියි බං. උඹ බයවෙන්න එපා.“

“
හරි හරි.ආපුවම බැරියැ බලන්න“

තනුජටයි, ප්‍රමෝද්ටයි මල්ලි බලන්න පුදුම උනන්දුවක් තිබුණේ. මම හිතන්නේ ඒ දෙන්නටම මල්ලි කෙනෙක් හිටියේ නැති නිසා වෙන්න ඇති.අනික එක වසරේ ඉඳන්ම අපි තුන් දෙනා පුදුම විදිහට බැඳිලා හිටියේ, යාළුවෝ විදිහට.ප්‍රමෝද් මට මතක විදිහට එකේ ඉඳන් හය වසරට වෙනකම් එක දිගටම මම හිටපු පන්තියේ තමයි හිටියේ.තනුජට නම් එහෙම එක දිගටම එන්න බැරිවුණා. ඒත් එකටම ඉන්ටර්වෙල් එකේ සෙල්ලම් කරපු නිසා ඒ යාළුකම දිගටම තිබුණා. ඉන්ටර්වෙල් එකේ තමයි අපි අපේ යාළුවෝ හොයාගෙන කොරිඩෝව දිගේ යන්නේ.ලොකු පැන්සල් පෙට්ටියක් අරගෙන, කලිසම් සාක්කුවේ ප්ලාස්ටික් බෝලයක් හංගගෙන අපි හැමදාම ට්‍රයි කළේ හොස්ටල් එකේ කන්ද උඩට යන්න.මොකද කන්ද උඩ සෙල්ලම් කරද්දි පුදුම නිදහසක් දැනුණේ.ඒත් කළුවර කාමරේට දානවා කියලා හැමදාම බය කරන වයසක මනුස්සයා නිසා කවදාවත් අපිට මැච් එකක් සම්පූර්ණයෙන් ගහලා ඉවර කරන්න බැරිවුණා. කොහොම වුණත් මොන්ටිසෝරියෙන් මල්ලිව අරගෙන ඇවිත් මාව ගෙදර එක්කන් යන්න අම්මා බලන් ඉද්දි ප්‍රමෝදුයි, තනුජයි දෙන්නම මල්ලිගේ හුරතලේ දැක්කා ඒ කාලේම.

“
ආනේ... ෂෝයි මල්ලියෙක්. හරි හුරතල්“ දවසක් ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න හදනකොට කුරුවිටආරච්චිත් මල්ලි ගැන කිව්වේ ඔය කාලේදිමයි. ඒ ඩෙන්ටල් එක ළඟදී.

මල්ලි ඒ කාලේ.හරියට සුද්දෙක් වගේ.කොණ්ඩෙත් වැවීගෙන එන කාලෙනේ.හැබැයි කුරුවිටආරච්චි දැනගෙන හිටියෙත් නැහැ, එයා මගේ මල්ලි කියලා.මල්ලි අපේ ඉස්කෝලෙටම එයි කියලත් එයා දැනගෙන හිටියේ නැහැ.

කොහෙමෙන් කොහොමෙන් හරි මල්ලිත් අර තඩි බෑග් එක උස්සගෙන ඉස්කෝලේ එක වසරට ඇතුල් වුණා. මමත් ළඟ හිටියා එදා ගේට්ටුව ළඟ.හැබැයි මං වගේ නම් ඇඬුවේ නෑ එයා එදා.මම ළඟ හිටියෙත් අඬයි කියලා බයට.

එතකොට උදේ පාන්දර ආපු මල්ලිව බලන්න තනුජටයි,ප්‍රමෝද්ටයි ලොකු උවමනාවක් තිබුණා. මොකද ඒක ඉවෙන් වගේ ඒ දෙන්නට දැනිලා තිබුණා. මටත් ඒක කල්පනාවට ආවා. ඒ හින්දා ඉන්ටර්වෙල් එකට කලින් පීරියඩ් එකේදී මම ඒ ගැන ඒ දෙන්නට කිව්වා.

“
යං යං ඉක්මනට අපි. කවද්ද මල්ලි ආවේ? “ ඒ ගැන කිව්වම තනුජ කිව්වා.

“
අද ආවේ “ මම කිව්වා

“
මොකක්ද මල්ලිගේ පන්තිය ? “ ඒක ඇහිලා ප්‍රමෝද් ඇහුවා.

“ 1 – E “

“
එල එල. ඉන්ටර්වෙල් එකේ බෙල් එක ගහපු ගමන් යං.“

“
එතකොටම තමයි ඉස්කෝලේ ඉන්ටර්වෙල් බෙල් එකත් ගැහුවේ.

අපි ටීචර්ටත් කලින් පන්තියෙන් පැන ගත්තා.

“
කෝ කෝ මල්ලි ? “ පන්තියෙන් එළියට පැන්න ගමන් තනුජ අහන්න පටන් ගත්තා.

“
කොහෙද පන්තිය තියෙන්නේ ?“ ප්‍රමෝදුත් අහන්න පටන් ගත්තා.

“
අර පැත්තේ“ මම පෙන්නුවා.

“
ඒත් බං ඒ පැත්තට යන්න දෙන එකක් නැහැ.උඹ දන්නවනේ ඒ පැත්තේ කව්ද ඉන්නේ කියලා.“ මම ආයෙත් කිව්වා.

මට පොඩි බයක් දැනුණා ගුටිකන්න වෙයි කියලා.

“
වරෙන් බං පිස්සු නැතුව. උඹට පිස්සුද ? අපි ඇහුවොත් ඩාන්සින් රූම් එකට යනවා කියමු.“

ඉතින් අපි ගියා.ඒත් පන්තිය ළඟට ගියේ නැහැ.මොකද අපි යන වෙලාවෙත් මල්ලිගේ ටීචර් වේවැල අතේ තියන් උගන්න උගන්න හිටියේ.

ඒ නිසා පන්තිය වටේ මං තුන් හතර වතාවක් කැරකුණා.මල්ලිගේ සුදු මූණ හෙව්වා. හතරවැනි වතාවේ මම දැක්කා මල්ලිව.මල්ලි ටීචර් කියන දේ දිහා කෙලින්ම බලන් ඉන්නවා.මල්ලි වේවැලට හුඟක් බයවෙලා වගෙයි මම දැක්කේ.

මම යාළුවන්ට සිග්නල් එකක් දුන්නා මල්ලි ඉන්නවා කියලා.ඉන්පස්සේ අපි තුන්දෙනාම හෙමින් සැරේ මල්ලිව පේන කෝණයට ඇස් දෙක හදාගත්තා.හරියට කැමරාවක සූම් ලෙන්ස් එක වගේ.ඉන්පස්සේ මම ඇඟිල්ල දික් කරලා මල්ලිව පෙන්නුවා.දෙන්නටම හරිම සතුටුයි.ඉන්පස්සේ දෙන්නම තරගෙට වගේ මල්ලි ගැන කියවන්න පටන් ගත්තා.

ඉන්පස්සේ මමත් මල්ලිව උදේට ඉස්කෝලේට අතින් අල්ලන් දවස් කීපයක්ම ආවා.එතකොට ඉස්කෝලේ පටන් ගන්න කලින් මල්ලිව බලන්න අපි තුන්දෙනාම ආවා. එයාගෙ පන්තියටම.සමහර දවස්වලට ඉන්ටර්වෙල් එකෙත් යනවා.

කාලයක් ගෙවුණා.තනුජ ඒ ලෙවල්වලට බයෝ පන්තියට මාරු වෙද්දි මට ආයෙමත් ප්‍රමෝද්ව හම්බවුණා. ඒ මම ගණිත අංශයෙන් ඒ ලෙවල් කරපු හින්දා.ඒ වෙනකොට මල්ලි හිටියේ හතර වසරේ.අර පොඩි කාලේ තිබුණු ලැජ්ජා බයත් හුඟක් මගහැරිලා. ගෙදරදි පට පට ගාලා කතා කරනවා. ඒ නිසා මට හිතුණා මල්ලිව ජන සන්නිවේදන ඒකකයට යොමු කරන්න ඕනැ කියලා.ඒත් එතැනදි මට අපේම පන්තියේ එවුන්ගෙන් කැපිල්ලක් ආවා.මොකද අපේ අය තමයි ඒ වෙනකොට එතැන ලොක්කෝ වෙලා හිටියේ.මට මල්ලි වෙනුවෙන් රණ්ඩු කරන්නත් සිද්ධවුණා.ඒ නිසා එදා මල්ලිට කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ.හුඟක් හිත හොඳයි කියලා හිතපු සමහරු පවා මේක අවස්ථාවක් කරගෙන මාව බයිට් කරන්න පටන් ගත්තා.

ඒත් මල්ලි ඒකෙන් දුක්වුණේ නැහැ.දුක් වුණු ඒ බවක් මට පෙන්නුවේත් නැහැ.මොකද මල්ලි දැනන් හිටියා කවදාහරි තිත්තයටත් වාරයක් එනවා කියලා.ඒ නිසා අපි ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු දෙක තුනක් යනකම් එයා සද්ද නැතුව බලන් හිටියා.ඉන්පස්සේ ආයෙමත් ජනසන්නිවේදන ඒකකයට ගියා.හොඳට හඬ හසුරුවන්න ඉගෙනගත්තා.දැන් වෙනකොට මල්ලි අලුතින් එන මල්ලිලාටත් උගන්වනවා.මල්ලි නාලන්දා විද්‍යාලයීය ජන සන්නිවේදන ඒකකයේ තමන්ට හිමි ස්ථානය ලබාගත්තේ එහෙමයි.

-
මාලන් විදානපතිරණ