Tuesday, August 26, 2014

දෙක වසරේදි කාපු මුල්ම වේවැල් පාර මතක් වුණා 2014/08/23



දෙක වසරේදි කාපු මුල්ම වේවැල් පාර මතක් වුණා

ඉස්කෝලේ එක වසරට බායි කියලා දෙක වසරට මං ගියේ හුඟක් ආඩම්බරයෙන්.මොකද ගුටි නොකා අවුරැද්ද ඉවර කරපු ළමයින්ගෙන් කෙනෙක් මම.ලොකූ පොත් බෑග් එකත් උස්සගෙන,තව පොත් වගයක් කළු බෑග් එකක එල්ලගෙන ගිය ඒ ගමන මට තාම මතකයි. 1-C පන්තියට බායි කියලා පන්තියෙන් එළියට එද්දී කට්ටිය අලුත් පන්තියට යන්න පෝලිම් ගැහිලා.තමන්ගේ අලුත් පන්තිය මොකක්ද කියලා දැනගන්නකම් හැමෝටම ඉවසිල්ලක් නෑ.ඒත් පුංචි දුකක් නැත්තෙම නැහැ.

“
කෝ ඔයාගේ පොත් දෙකකට ඉටි කවර දාලා නැහැනේ.පිටකවරත් නැහැ* එතකොටම නඳුන් මට කිව්වා.

“
ලබන සතියේ දාගෙන එනවා“ මම කිව්වා.

“
ඒ කතා හරියන්නේ නැහැ.පළවෙනි දවසෙම ගුටිකන්න තමා වෙන්නේ“ ආයෙත් නඳුන් මට කිව්වා.

මාව ගැහෙන්න ගත්තා.ඒත් අම්මා කිව්වේ ඇහුවොත් ලබන සතියේ අනික් පොත්වලට පිටකවරයි ඉටිකවරයි දාලා බාරදෙන්නම් කියලා කියන්න කියලයි.

කොහොම වුණත් එක වසරේදි උජිතයි,තනුජයි එක්ක සෙල්ලම් කරන්න ගිහින් ඉන්ටර්වෙල් එකේ බෙල් එක ගහද්දි පන්තියට යන්න බැරි වෙච්ච සිද්ධිය මට එවෙලේ මැවිලා පෙනුණා. අපි පංති භාර විජේරත්න ටීචර්ගෙන් බැණුම් අහලා ගුටිකන්න වෙන නිසා ඉන්ටර්වෙල් එකෙන් පස්සේ ටොයිලට් එකට ගියා කියන්න ටොයිලට් එකට රිංගුවා එදා.ඒත් එදා බයට ගුටිකන පෝලිමේ අන්තිමට ගිය මට ටීචර් ගැහුවේ නැහැ.සමහරවිට බයවෙලා අඬන්න වගේ හිටපු මූණ දැකලා වෙන්න ඇති.මොකද එක වසර ගිය මුල් දවස් දෙකේම මම පන්තියට ගියේ අඬාගෙන.මුල් දවසේ අම්මා මාව දාල ගිය එකට ඇඬුවා.දෙවැනි දවසේ පන්තිය හොයාගන්න බැරුව පරක්කු වුණු නිසා මං ඇඬුවා.(පන්තියට පරක්කු වෙලා නිසා මම දිව්වා.ඒ නිසා පන්තිය ඉස්සරහ කාණුවට රුපියල් දෙකේ කාසියක් වැටුණා.ඒක හොයන්න ගිහින් පැය බාගයක්ම පරක්කු වුණා.බැලින්නම් ඒක මුළු පන්තියම එදා හිනාවෙවී බලන් ඉඳලා )

කොහොමහරි මගේ අලුත් පන්තිය වුණේ 2-B.පන්තියේ හිටියේ කවදාවත් දැක්කේ නැති ළමයි.කලින් පන්තියේ අයගෙන් හිටියේ දෙතුන් දෙනෙක් විතරයි.ඒ හින්දා ටිකක් බයෙන් පොත් බෑග් එක පුටුවේ එල්ලලා මගේ පුටුවේ මං වාඩිවුණා.

“
අංක 32- එම්.ජී.විදානපතිරණ“ එතකොටම ටීචර් කියනවා ඇහුණා.මට මතක විදිහට මට පස්සේ හිටියේ ඩිලන්ජන් අතුකෝරළ.

මම බයෙන් බයෙන් ටීචර් ගාවට ගියා.මම හිතුවා නඳුන් අහපු අර ප්‍රශ්නේ මේ දැන් අහයි,මේ දැන් අහයි කියලා.

“
විදානපතිරණ ?“ එතකොටම ටීචර් සැරෙන් කතා කළා.
“
ඇයි ටීචර්?* මම වෙව්ල වෙව්ල ඇහුවා

“
ඔයාගේ පොත් ටික තියන්න ඕනේ අර රාක්කෙන්.වැඩ ඉවර වුණාම ඒ හැම පොතක්ම එතන තියෙන්න ඕනේ.* ටීචර් කිව්වේ එච්චරයි.

දැන් පැන්ෂන් ගිහින් තියෙන ඒ මූණ මට තාම මතකයි.මට හම්බවුණු මහතම පන්ති භාර ටීචර්(රණශීලි ටීචර්) තමයි ඒ.කණ්ණාඩිත් දානවා.ඉතින් මම ගුටි කෑවේ නෑ නේද කිය කිය හිනාවෙවී ආයේ ඉඳගත්තා.ඉන්ටර්වෙල් එකේදී මට මේ ගැන නඳුන්ට කියන්න උවමනා වුණත් සති කීපයක් යනකම් නඳුන්ව හම්බවුණේ.මට ඕනේ වුණේ ගුටි කෑවේ නෑ කියලා පොඩි හින්ට් එකක් ගහන්න.

ඒත් ඉන්පස්සේ දවසක මම ඉන්ටර්වෙල් එකේ සෙල්ලම් කරන්න කවුරුත් නැති දවසක නයි ගහට නැග්ගා.අපි ඒකට ඒ දවස්වල කිව්වේ නයි ගහලා.මම හිතුවේ ඒකේ කොහේහරි නයෙක් ඉන්නවා කියලා.නිල් කොට කලිසම සවුත්තු වුණත් කමක් නැහැ කියලා දෙබලක් වගේ තිබුණූ ඒ ගහට මට නගින්නම උවමනා වුණේ ඒ හින්දයි.ඉතින් මම හිතුවක්කාරකමට ඒකට නැග්ගා.නැගලා වැඩි වෙලාවක් යන්න වුණේ නැහැ. ඉන්ටර්වෙල් එක ඉවර වුණා.

“
ටීචර් කියලා තියෙනවා නේද ඔය ගහට නගින්න එපා කියලා.“ එතකොටම ළමයෙක් ඇවිත් මට කිව්වා.

“
නැහැ. මට නම් එහෙම දෙයක් මතක නැහැ.මොන ටීචර් ගැනද ඔයා කියන්නේ ? ඔයා අපේ පන්තියේයැ ?“

“
ඔව්. මම ඔයාගේ පන්තියේ තමයි. ඔය ගහෙන් දැන්ම බහින්න.ඉන්ටර්වෙල් එකත් ඉවරයි.යං පන්තියට. නැත්නම් මම ටීචර්ට කියනවා නයි ගහට නැග්ගා කියලා.“ ඒ ළමයා කිව්වා.

“
හා ගිහින් කියන්න“ මම වීරයා වගේ කිව්වා. මොකද මම හිතුවේ නැහැ, එයා කියයි කියලා.

“
ඉන්න කියන්නම් මං. කියන එක කියනවා ටීචර්ට අද.*මෙහෙම එදා කිව්වේ ගයාන්.
කොහොමහරි ඉන්ටර්වෙල් එක ඉවරවෙලා වීරයා වගේ මම ඉතින් ආයෙත් පන්තියට ගියා.යනකොට රණශීලි ටීචර් ඉන්නවා වේවැල අතේ තියන්.හැබැයි මම හිතුවේ නැහැ ඒ මට ගහන්න කියලා.

“
විදානපතිරණ ?* ටීචර්ගේ ඇස්වලින් කේන්තිය පිටවෙනවා මම දැක්කා.

“
ඇයි ටීචර් ?*මම සැකෙන් වගේ ඇහුවා.

“
මම කියලා තියෙනවා නේද අර නයි ගහට නගින්න එපා කියලා.හ්ම් හ්ම්* එහෙම කියලා ටීචර් නයි ගහ පෙන්නුවා.මොකද ඒක අපේ පන්තියේ ඉඳන් හොඳට පේනවා.

“
අල්ලනවා අත * මමත් නයි ගහ දිහා බලලා ආපහු හැරෙනකොටම ටීචර් කිව්වා.

මම අත ඉස්සරහට ඇල්ලුවා.අනික් පැත්ත බලා ගත්තා. ඇස් දෙක පියා ගත්තා.එතකොට ටීචත් අල්ලට වේවැලට තට්ටුවක් දානවා මට දැනුණා. මට හිතුණා මේ දැන් ගහයි, මේ දැන් ගහයි කියලා.

“
චටාස්* මට ඇහුණේ එච්චරයි

මට ආව් ගෑවුණා.අත පල්ලෙහාට දැම්මා. ළමයි ඔක්කෝම හිනාවෙන්න පටන් ගත්තා.කමක් නෑ කියලා මම ආයෙත් අත ඇල්ලුවා.මොකද එක පාරක් ගහලා මාව පන්තිය ඇතුළට දාන්නේ නැති බව මම දැනන් හිටියා.

“
හ්ම් හ්ම් අනික් අත. අත හොඳට අල්ලනවා.“ ටීචර් කිව්වා.

“
මොකද ඔච්චර ගුටි කන්න බය නම් ගහට නැග්ගේ ?* කියලා ටීචර් හිනාවෙන්නත් පටන් ගත්තා.

මම හිත තද කර ගත්තා. වෙන පැත්තක් බලාගත්තා.තව කීයක් කෑවත් අනික් අයට හිනාවෙන්න දෙන්නේ නැහැ කියලා දෙවැනි වේවැල් පාරට ලෑස්ති වුණා. හැබැයි ඒ වේවැල් පාර නම් අරකට වඩා ටිකක් සැර අඩුයි.කොහොම වුණත් ඒකත් ටිකක් රිදුණා.ඒත් ආයෙත් නම් අර ගහට නගින්නේ නැහැ කියලා හිතාගෙන මම පන්තියට ගියේ පුදුම කේන්තියකින්.අර කේළමා කව්ද කියලා හොයාගන්නයි මට ඕනේ වුණේ

එතකොට මම දැක්කා ගයාන් මම දිහා බලලා හිනාවෙනවා.මට එවෙලේ පුදුම කේන්තියක් ආවා.ආයේ නම් ජීවිතේට කතා කරන්නේවත් නැහැ කියලා හිතාගත්තා.මං ළඟින් යන්නේත් මගේ වැරැද්දක් අල්ලගෙන ටීචර්ට කියන්න කියලයි මම හිතුවේ.

ඒත් කාලයත් එක්ක ටික ටික ඒ තරහ මරහ අඩුවුණා.දෙක වසරින් අපි සමුගත්තේ හොඳම යාළුවෝ විදිහට.තාත්තා බයික් එකේ මාව උදේ ඉස්කෝලෙට ගිහින් බස්සද්දී,ගයානුත් එනවා ඒ එක්කම වගේ ත්‍රීවිල් එකෙන් බැහැලා.එහෙම දවස්වලට අපි දෙන්නාම පන්තියට ගියේ එකට.

සමහර දවස්වලට ඉස්කෝලේ ඇරිලා තාත්තා මාව ඔෆිස් එකට එක්කන් යන්න බයික් එකෙන් එනකම් ප්‍රභාත් කඩේ ළඟ ඉන්නකොට, ගයාන් යනවා මට අත වනාගෙන.ඒ අතීතය ඒ තරම් සුන්දරයි.එහෙම තමයි මේ කතාව අවසන් කරන්න වෙන්නේ.

-
මාලන් විදානපතිරණ

Wednesday, August 20, 2014

“Students Of The Year* නළු වරුන් ධවාන්-2014/07/21





සමහරැන්ට මම රඟපාද්දි ගෝවින්දව මතක් වෙනවලු

-          “Students Of The Year* නළු වරැන් ධවාන්


-         “Students Of The Year* නළු වරැන් ධවාන්
       
     මදාරා ගුණතිලක
     
    පසුගිය කාලයේ බොලිවුඩය පුරා පුවත් මැවූ යුවළ බවට පත්වූයේ වරැන් ධවාන් සහ ආලියා භත්ය.නැගී එන නළු- නිළි දෙපළක් වන මොවුන් ආදරවන්තයන් බවත්,ආලියා භත් විසින් වරැන් ධවාන්ගෙන් ප්‍රසිද්ධියේම ආදරය අයැද සිටි බවත් ඇතැම් මාධ්‍ය සඳහන් කරයි.එසේම කරන් ජොහාර් නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටය වූ“හම්ප්ටි ෂර්මා කි දුල්හානියා* හි ප්‍රධාන චරිත රෑපණය කරන්නේද මේ දෙපළ(ආලියා - වරැන්) බැවින් මෙම සැකය වඩාත් තීව්‍ර වී තිබේ."Student of the Year" චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි වරැන්,මේ වෙනුවෙන් ගිය වසරේදී සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට සමත් වූ අතර එම සම්මාන ද්විත්වයම හිමිවූයේ හොඳම නැගී එන නළුවා  වශයෙනි.කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය වෙනුවෙන් තවත් සම්මාන උලෙළ අටකදී හොඳම නැගී එන නළුවා සම්මානයට නිර්දිෂ්ටිත ඔහු, සිනමා තරැවකගේ ලක්ෂණ දැනටමත් පහළ කළ නළුවෙකි.මේ ඒ පිළිබඳව සහ ඔහුගේ සිනමා ජිවිතය ගැන ෆිල්ම්ෆෙයාර් සඟරාව කළ විමසීමකි.
    
     දැන් ලොකු නළුවෙක් නේද ?
  
     තාම පටන් ගත්තා විතරයි.තව යන්න හුඟාක් දුර තියෙනවා.ජීවිතයට ලබා ගත යුතු දේවල් බොහොමයි.ඒ නිසා “හම්ප්ටි ෂර්මා කි දුල්හානියා* චිත්‍රපටය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි.මගේම ප්‍රේක්ෂකයන් පිරිසක් නිර්මාණය කර ගන්න ඒ චිත්‍රපටය හුඟක් උදව් වේවි.
    
    ආලියා භත් සමග තියෙන සම්බන්ධේ මොකක්ද ?
    
     ඒක තේරැම්ගන්න ටිකක් අමාරැ වෙයි.ආදරය වගේම අපි දෙන්නා තරහවත් බෙදාහදා ගන්නවා.තම තමන්ගේ දේවල් වෙනුවෙන් හැමවෙලාවෙම සටන් කරනවා.ඒ නිසා ආදරය ගැන අපි දෙන්නාගේ හිතේ තියෙන්නේ එකම ස්ථාවරයක්.හැබැයි මම හැම වෙලාවකම අවධානය යොමු කරන්නේ ආලියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන.මොකද එයා ඒ ගැන සැළකිළිමත් වෙන්නේ නැහැ.හැබැයි එයත් මම ගැන හොයනවා.ඒත් ඒක වෙනස්.ඒත් මම කැමැතියි එයා මං ගැන හොයන විදිහට. 

    බොලිවුඩයේ හොඳම යාළුවෝ කව්ද ?
    
    ආලියා භාත්. ඊට අමතරව අධ්‍යක්ෂ වාර්මන් මගේ සමීපතම යාළුවෝ.
   
    සමහර ගති ගුණ හරිම අමුතුයි නේද ?
   
    ඔව්.සමහර වෙලාවට.මම කොහොමත් ලැජ්ජාකාරයෙක්.
   

   මීට කලින් නිෂ්පාදනය වුණු දුල්හානියා (දිල්වාලේ දුල්හානියා ලේ ජායේන්ගේ) 
    චිත්‍රපටය  ගැන මොකද හිතන්නේ?
    
    ඒකට දැන් සෑහෙන කාලයක් වෙනවා. මම ඒ කාලේ හුඟක් පොඩියි.
   
    කැමැතිම නිළිය ?
   
    ප්‍රීති සින්ටා.
    
    සති අන්තයේ මොකද කරන්නේ ?
    
    පහුගිය ටිකේ නම් ලෝක කුසලානය බැලුවා.නැත්නම් නිදාගන්න එක තමයි ඉතින්.මට හුඟක් මහන්සියි මේ දවස්වල.අනික මට තියෙන්නේ හරිම අවිවේකි කාල සටහනක්.ඒත් චිත්‍රපටය තිරගත කළාට පස්සේ නම් හිත සැහැල්ලුයි.
    
    අන්තිමට කොහේද නිවාඩුවට ගියේ ?
    
    සිංගප්පූරැවේ ගියා.මාස හතක් විතර හැම තැනම ඇවිද්දා.
    
   ජිවිතේදි මුලින්ම හාද්දක් දුන්නු දවස මතකද ?
    
    ඒක නම් හරියටම මතක නැහැ.මං හිතන්නේ ඉස්කෝලේදි තමයි.
    
    ජිවිතය සාර්ථක කර ගන්න නම් ?
    
සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ.ඒක ශාරිරිකව වගේම මානසිකවත් වැදගත්.
    
    සරාගී නිළිය ?
    
   එහෙම එක් කෙනෙක් ගැන කියන්න බැහැ.ඒත් කැත්‍රිනා,දීපිකා,ශ්‍රද්ධා,ආලියා සහ 
    සෝනම් හුඟක් ලස්සනයි
   
   ආසම ගීතය මොකක්ද ?
   
   November rain (Guns n Roses චිත්‍රපටය) 
   
   රංගනයට පැමිණෙද්දි අවධානයට යොමු කළේ මොනවටද ?
    
    මම අවධානය යොමු කරන්නේ මගේ රංගනය ගැන.චිත්‍රපටය හොඳට කරන්නයි මට ඕනේ.ඒක බොක්ස් ඔෆිස් වාර්තා තියලා,ජනතාව අතරට ගියා නම්, ඒකයි වෙන්න ඕනේ.ඒ වගේම මට ප්‍රේක්ෂකයන්ගේ ඇගයීම් හුඟක් වටිනවා.ඒකෙන් තමයි මම සතුටු වෙන්නේ.ඒ නිසා යන ගමන ගැන සතුටුයි
    
    ආඩම්බරවෙන්න කාරණයක් තියෙනවද ?
    
    සිනමා පවුලකින් පැවත ඒම ගැන සතුටු වෙනවා.ඒත් වෙනස් යමක් කරන්නයි මට ඕනේ. අම්මටයි තාත්තටයි ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් වෙන්න ඕනේ.
    
     ලැබුණු වටිනාම අවවාදය?
     
    මට කලාතුරකින් තමයි සමාජයෙන් අවවාද ලැබුණේ.ඒත් මගේ තාත්තා(චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ධවාන්) දුන්නු අවවාදයක් තියෙනවා.ඒක නම් අමතක වෙන්නේ කවදාවත්. ඒ තමයි සෑම රෑපයක්ම අන්තිම රෑපය කියලා හිතාගෙන නිර්මාණයට තමන්ගේ උපරිමය දෙන්න කියන අවවාදය.
    
    ලැබුණු හොඳම ප්‍රශංසාව ‍මොකක්ද ?
    
    සමහරැන්ට මම රඟපාද්දි ගෝවින්දව මතක් වෙනවලු.

මහේල අයියා වෙතටයි 2014/08/19

මහේල අයියා වෙතටයි,

හැමෝම මහේල අයියා ගැන කතා කරන මොහොතක මට ඔහු ක්‍රීඩා කරන මුල් අවධියේ ඔහු පිළිබඳ තිබෙන එකම අත්දැකීම ගැන වචනයක් නොකිව්වොත් ඒක හොඳ මදි.

මම ඒ දවස්වල හිටියේ හිඹුටානේ.ඉස්කෝලේ තුනේ නැත්නම් හතරේ පන්තියේ විතර ඇති.තාත්තත් එක්ක හවස වැඩ ඉවර වෙලා අපි ගෙදර ආවේ වෙනදා වගේම එකසිය හැට හතර බස් කට්ටේ.බේකරිය හන්දියෙන් බැහැලා උණු උණුවෙම පාන් අරන් යන්න වෙලාව බල බල හිටපු මට, එකපාරම දැකලා පුරුදු මූණක් බස් එකේ සෙනඟ අස්සෙන් පෙනුණා.මං හිතන්නේ ඒ අංගොඩ පොලිසිය පහුකරද්දි වෙන්න ඕනේ.මම පොඩ්ඩක් එබිලා බැලුවා.ඒත් හරියට බලාගන්න බැරිවුණා.මම ඒ පැත්තට යන්නත් හැදුවා.කොහොමත් හිතුවක්කාරයා නිසා තාත්තා මාව හයියෙන් අල්ලන් හිටියේ ඒත්.කොහොමහරි මොරගහ හන්දිය කිට්ටුවෙද්දි සෙනඟ අඩුවුණූ හින්දා යාන්තමට මහේල අයියාගේ මූණද මේ කියලා බලාගන්න මට පුළුවන් වුණා. දාඩිය පිරුණු,ඒ ඇස් දෙක හුඟක් මහන්සි පාටයි.ඔව් ඒ මහේල අයියාම තමයි.හැබැයි මම හුඟක් ඕනැකමින් බලද්දි මහේල අයියාට ටිකක් ලැජ්ජා හිතුණද මන්දා. මට එහෙම හිතුණා.කොහොම වුණත් බැට් එකත් උස්සගෙන,අනෙක් අතේ ක්‍රිකට් බෑග් එක උස්සන් තමයි මහේල අයියා එදා හිටියේ.අපේ ඉස්කෝලේට ආඩම්බරයක් ගේන මේ ක්‍රිකට් ක්‍රීඩකයාම තමයි මම මුලින්ම ඇත්තටම දැක්කේත්.අනූහයේ ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පස්සේ ක්‍රිකට් පිස්සෙක් වුණු මට ඔබේ සමුගැනීම හුඟක් ආඩම්බර දවසක් වෙන්නේ ඒ හින්දයි.අම්මාට එදා මහේලව දැක්කා කියලා කියනකම් ඉවසිල්ලක් නැතිවුණු මට,අද ඔබ වීරයෙක් වෙන්නේ ඒ හින්දයි.එදා වචනයක්වත් කතාකරන්න බැරුව ඊළඟ හෝල්ට් එකෙන් බහින්න සිද්ධ වුණත්,අද ඔබේ සමුගැනීම මට සංවේදී වෙන්නේ ඒ හින්දයි.ඔබට ජය. 


මාලන් විදානපතිරණ

Friday, August 1, 2014

පුංචි බොරැල්ලේ බස් ස්ටෑන්ඩ් එකයි, එයාර්ටෙල් සිම් එකයි මතක් වුණා 2014.07.31

පුංචි බොරැල්ලේ බස් ස්ටෑන්ඩ් එකයි, එයාර්ටෙල් සිම් එකයි මතක් වුණා


ඉස්කෝලේ යන කාලේ අපිට තිබුණු ලොකුම පිස්සුවක් තමයි ෆෝන් සිම් පිස්සුව.වැඩියෙන්ම වාසි මොන සිම් එකද අපි එතැන.පුංචි බොරැල්ලේ තිබුණු ඔරලෝසු කඩේ ළඟ ඉඳන් අපි සෙට් එක වැඩියෙන්ම කතා කළේ ෆෝන් සිම්,ෆෝන්,සොෆ්ට්වෙයාර් වගේ දේවල්.සීඩී මාරු කරන්නෙත් ඔතැන තමයි.පෙන් ඩ්‍රයිව් මාරු කරන්නෙත් ඔතැන තමයි. මොකද කොච්චර බස් ආවත් කතාව ඉවරයක් කරගෙන තමයි අපි එතැනින් බස් එකට නැග්ගේ.ඒ හින්දා මොකෙක් හරි ඉස්සර වුණොත් එදාට උෟ බයිට් වෙනවා.

ඔය කාලේ තමයි එයාර්ටෙල් සිම් එක ලංකාවට ආවේ.ෂාරුක් ඛාන්ගේ ඇඩ් එකයි, එයාර්ටෙල්ගේ ප්‍රමෝෂන් එකටයි ඒ දවස්වල අපි ඇදිලා ගියා.විශේෂයෙන්ම රුපියල් සීයක් දීලා සිම් එක ගත්තම රුපියල් සීයක් නිකම් කතා කරන්න හම්බවෙන්න ට්‍රෙන්ඩ් එක ගෙනාවේ එයාර්ටෙල්.ඒ නිසා එයාර්ටෙල් බ්‍රාන්චස්වල මාර පෝලිමක් තිබුණේ.අපේ එවුනුත් ඒ පෝලිමේ හිටියා.ඉතින් ඉස්කෝලේ ඇරුණට පස්සේ ගෙදර ගියා කියලා හිතපු එවුන් බලනකොට බොරැල්ලේ, සිම් ගන්න හෙන පොරේ.

ඒ අස්සේ ඇඩ් එකට වශී වෙලා හිටපු මට එයාර්ටෙල් සිම් එක අරන් මිසක් ගෙදර යන්න බැරිවුණා.ඉතින් පෝලිම්වල ඉන්න බැරිව කට්ටිය ගෙවල්වල යද්දි මම ගියා නාරාහේන්පිට තිබුණු හෙඩ් ඔෆිස් එක.ඒ හින්දා මුදිතත් එක්ක එදා බස් එකේ ගිහින් රාජගිරියෙන් බහින්න හිටපු මං,බොරැල්ලෙන් බැහැලා නාරාහේන්පිට ගියා.ඒත් ඉස්කෝලේ කිට ගහගෙන නාරාහේන්පිටටට යනකොට එතැනත් පෝලිම්.හැබැයි ආපහු හැරිලා යන්නත් බැහැ දැන් ඉතින්.හැබැයි ඉස්කෝලේ කොල්ලෙක්ට හිටියෙත් මං විතරයි.කොහොම හරි සිම් එක දෙන්න සල්ලි ඉල්ලද්දි තමයි කරපු ගොන්කම තේරුණේ.අතේ තිබ්බෙත් එකසිය පණහක්ද කොහෙද.ඉතින් දුන්නා සල්ලි. සල්ලි මදිවෙයි කියලා බයට ගියා බොරැල්ලටම පයින්. එතකොට තමයි මුදිත කෝල් කළේ. ඒ කාලේ ඒ ලෙවල් අන්තිම අවුරුද්දේ හිටපු නිසා අපි ෆෝන් ගෙනිච්චා.(ගෙනිච්ච විදිහ අහන්න එපා)

“ඒ මචං උඹ සිම් එක ගත්තද බං “ ඌ ඇහුවා.

“ ගත්තා බං.ඒත් රුපියල් සීයක් ගෙවන්න ඕනේ. රීලෝඩ් එකට.මම හිතුවේ නිකම් කියලා.හැබැයි කැමැති නොම්මරයක් ඉල්ලන්න පුළුවන්“ මං කිව්වා.

“එහෙමද“

“ මම තාම මග බං.“

“ඒක තමයි ගෙදරින් මට කතා කළා. ඒකයි මම මේ කෝල් කළේ. උඹ ගෙදර නෙමෙයිද තාම?“

“නෑ බං“

එතකොටත් හවස තුන පහුවෙලා. අපේ ගෙදරින් මුදිතට කතා කරලා.මොකද මම එයාර්ටෙල් සිම් එක දාන්න ඕන නිසා පරණ සිම් එක අයින් කරලා තිබ්බේ.පස්සේ තමයි ආයෙත් පරණ සිම් එක දැම්මේ.ඒ වෙලාවේ තමයි ඌ කතා කළේ.අනික බොරැල්ලටම පයින් යද්දි මටත් පොඩි අවුලක් තේරුණා. එක එක එවුන් මං දිහා අමුතු අමුතු විදිහට බැලුවා. හැබැයි කාටවත් බය නොවී මගේ පුරුදු පාරේ ගෙදර යන්න මට එදා පුළුවන්කම ලැබුණා.හැබැයි ඇපලෝ හොස්පිට්ල් එක පහුකරගෙන, ආසිරි හොස්පිට්ල් පහුකරගෙන, බොරුල්ල කනත්තත් පහුකරගෙන බලු බල්ලෙක්වත් නැති ඒ වෙලාවේ තනියෙන් ගිය ඒ ගමනේ අවදානම දැන් තමයි තේරෙන්නේ.

ඒත් එදා කරපු වැඩ ගැන මට දැන් මතක් වෙනකොට පුදුමත් හිතෙනවා.මුදිත,දේවින්ද,හරේන්ද්‍ර අපි සෙට් එක බස් හෝල්ට් එකේ කරපු විකාර මතක් වෙද්දී හිනාත් යනවා.ලංකාත් එනවා සමහර දවස්වලට ග්‍රිෆන් එක්ක.එදාට මම උන් එක්ක යන්නේ රාජගිරියෙන් බැහැලා.

හැබැයි මගේ කැප් එක තමයි අපේ සෙට් එකට අල්ලන්නෙම නැති භාණ්ඩේඩේ.විශේෂයෙන්ම දේවින්ද උඹ තමයි මගේ අහිංසක කැප් එකට ඉන්න දුන්නේ නැත්තේ.ඉතින් උඹ දැක්කම මම කරන්නේ කැප් එක බෑග් එකේ දාගන්න එක.නැත්නම් ඒක හම්බවෙන්නේ රාජගිරියෙන් බහිද්දි.

හැබැයි උඹලා බෑග් එක රාක්කේ දැම්මම ඒකට හොඳ ගැටයක් ගහන්න නම් අමතක කෙළේ නැහැ කවදාවත්.ඒක ලිහන්න විනාඩි පහක් දහයක් යනවා.කලබල වුණාම වැඩේ අල වෙනවා.ආයුර්වේදේ කිට්ටු වෙද්දි මම බෑග් එක අතට ගන්නේ ඒකමයි. මොකද නැත්නම් මට හැමදාම බහින්න වෙන්නේ රාජගිරියට පස්සේ හෝල්ට් එකේ.කොහොම වුණත් අපි දැන් හැමෝම තැන් තැන්වල.දේවින්දයා නම් බැඳලා පිළිවෙළක් වෙලා.ඒත් අපි කෙළපු පිස්සු පුංචි බොරැල්ලේ බස්හෝල්ට් එකේ හැමදාම තියෙයි. (එහෙම තමයි මේ කතාව ඉවර කරන්න වෙන්නේ)