Wednesday, August 20, 2014

මහේල අයියා වෙතටයි 2014/08/19

මහේල අයියා වෙතටයි,

හැමෝම මහේල අයියා ගැන කතා කරන මොහොතක මට ඔහු ක්‍රීඩා කරන මුල් අවධියේ ඔහු පිළිබඳ තිබෙන එකම අත්දැකීම ගැන වචනයක් නොකිව්වොත් ඒක හොඳ මදි.

මම ඒ දවස්වල හිටියේ හිඹුටානේ.ඉස්කෝලේ තුනේ නැත්නම් හතරේ පන්තියේ විතර ඇති.තාත්තත් එක්ක හවස වැඩ ඉවර වෙලා අපි ගෙදර ආවේ වෙනදා වගේම එකසිය හැට හතර බස් කට්ටේ.බේකරිය හන්දියෙන් බැහැලා උණු උණුවෙම පාන් අරන් යන්න වෙලාව බල බල හිටපු මට, එකපාරම දැකලා පුරුදු මූණක් බස් එකේ සෙනඟ අස්සෙන් පෙනුණා.මං හිතන්නේ ඒ අංගොඩ පොලිසිය පහුකරද්දි වෙන්න ඕනේ.මම පොඩ්ඩක් එබිලා බැලුවා.ඒත් හරියට බලාගන්න බැරිවුණා.මම ඒ පැත්තට යන්නත් හැදුවා.කොහොමත් හිතුවක්කාරයා නිසා තාත්තා මාව හයියෙන් අල්ලන් හිටියේ ඒත්.කොහොමහරි මොරගහ හන්දිය කිට්ටුවෙද්දි සෙනඟ අඩුවුණූ හින්දා යාන්තමට මහේල අයියාගේ මූණද මේ කියලා බලාගන්න මට පුළුවන් වුණා. දාඩිය පිරුණු,ඒ ඇස් දෙක හුඟක් මහන්සි පාටයි.ඔව් ඒ මහේල අයියාම තමයි.හැබැයි මම හුඟක් ඕනැකමින් බලද්දි මහේල අයියාට ටිකක් ලැජ්ජා හිතුණද මන්දා. මට එහෙම හිතුණා.කොහොම වුණත් බැට් එකත් උස්සගෙන,අනෙක් අතේ ක්‍රිකට් බෑග් එක උස්සන් තමයි මහේල අයියා එදා හිටියේ.අපේ ඉස්කෝලේට ආඩම්බරයක් ගේන මේ ක්‍රිකට් ක්‍රීඩකයාම තමයි මම මුලින්ම ඇත්තටම දැක්කේත්.අනූහයේ ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පස්සේ ක්‍රිකට් පිස්සෙක් වුණු මට ඔබේ සමුගැනීම හුඟක් ආඩම්බර දවසක් වෙන්නේ ඒ හින්දයි.අම්මාට එදා මහේලව දැක්කා කියලා කියනකම් ඉවසිල්ලක් නැතිවුණු මට,අද ඔබ වීරයෙක් වෙන්නේ ඒ හින්දයි.එදා වචනයක්වත් කතාකරන්න බැරුව ඊළඟ හෝල්ට් එකෙන් බහින්න සිද්ධ වුණත්,අද ඔබේ සමුගැනීම මට සංවේදී වෙන්නේ ඒ හින්දයි.ඔබට ජය. 


මාලන් විදානපතිරණ

No comments:

Post a Comment