පුංචි බොරැල්ලේ බස් ස්ටෑන්ඩ් එකයි, එයාර්ටෙල් සිම් එකයි මතක් වුණා
ඉස්කෝලේ යන කාලේ අපිට තිබුණු ලොකුම පිස්සුවක් තමයි ෆෝන් සිම් පිස්සුව.වැඩියෙන්ම වාසි මොන සිම් එකද අපි එතැන.පුංචි බොරැල්ලේ තිබුණු ඔරලෝසු කඩේ ළඟ ඉඳන් අපි සෙට් එක වැඩියෙන්ම කතා කළේ ෆෝන් සිම්,ෆෝන්,සොෆ්ට්වෙයාර් වගේ දේවල්.සීඩී මාරු කරන්නෙත් ඔතැන තමයි.පෙන් ඩ්‍රයිව් මාරු කරන්නෙත් ඔතැන තමයි. මොකද කොච්චර බස් ආවත් කතාව ඉවරයක් කරගෙන තමයි අපි එතැනින් බස් එකට නැග්ගේ.ඒ හින්දා මොකෙක් හරි ඉස්සර වුණොත් එදාට උෟ බයිට් වෙනවා.
ඔය කාලේ තමයි එයාර්ටෙල් සිම් එක ලංකාවට ආවේ.ෂාරුක් ඛාන්ගේ ඇඩ් එකයි, එයාර්ටෙල්ගේ ප්‍රමෝෂන් එකටයි ඒ දවස්වල අපි ඇදිලා ගියා.විශේෂයෙන්ම රුපියල් සීයක් දීලා සිම් එක ගත්තම රුපියල් සීයක් නිකම් කතා කරන්න හම්බවෙන්න ට්‍රෙන්ඩ් එක ගෙනාවේ එයාර්ටෙල්.ඒ නිසා එයාර්ටෙල් බ්‍රාන්චස්වල මාර පෝලිමක් තිබුණේ.අපේ එවුනුත් ඒ පෝලිමේ හිටියා.ඉතින් ඉස්කෝලේ ඇරුණට පස්සේ ගෙදර ගියා කියලා හිතපු එවුන් බලනකොට බොරැල්ලේ, සිම් ගන්න හෙන පොරේ.
ඒ අස්සේ ඇඩ් එකට වශී වෙලා හිටපු මට එයාර්ටෙල් සිම් එක අරන් මිසක් ගෙදර යන්න බැරිවුණා.ඉතින් පෝලිම්වල ඉන්න බැරිව කට්ටිය ගෙවල්වල යද්දි මම ගියා නාරාහේන්පිට තිබුණු හෙඩ් ඔෆිස් එක.ඒ හින්දා මුදිතත් එක්ක එදා බස් එකේ ගිහින් රාජගිරියෙන් බහින්න හිටපු මං,බොරැල්ලෙන් බැහැලා නාරාහේන්පිට ගියා.ඒත් ඉස්කෝලේ කිට ගහගෙන නාරාහේන්පිටටට යනකොට එතැනත් පෝලිම්.හැබැයි ආපහු හැරිලා යන්නත් බැහැ දැන් ඉතින්.හැබැයි ඉස්කෝලේ කොල්ලෙක්ට හිටියෙත් මං විතරයි.කොහොම හරි සිම් එක දෙන්න සල්ලි ඉල්ලද්දි තමයි කරපු ගොන්කම තේරුණේ.අතේ තිබ්බෙත් එකසිය පණහක්ද කොහෙද.ඉතින් දුන්නා සල්ලි. සල්ලි මදිවෙයි කියලා බයට ගියා බොරැල්ලටම පයින්. එතකොට තමයි මුදිත කෝල් කළේ. ඒ කාලේ ඒ ලෙවල් අන්තිම අවුරුද්දේ හිටපු නිසා අපි ෆෝන් ගෙනිච්චා.(ගෙනිච්ච විදිහ අහන්න එපා)
“ඒ මචං උඹ සිම් එක ගත්තද බං “ ඌ ඇහුවා.
“ ගත්තා බං.ඒත් රුපියල් සීයක් ගෙවන්න ඕනේ. රීලෝඩ් එකට.මම හිතුවේ නිකම් කියලා.හැබැයි කැමැති නොම්මරයක් ඉල්ලන්න පුළුවන්“ මං කිව්වා.
“එහෙමද“
“ මම තාම මග බං.“
“ඒක තමයි ගෙදරින් මට කතා කළා. ඒකයි මම මේ කෝල් කළේ. උඹ ගෙදර නෙමෙයිද තාම?“
“නෑ බං“
එතකොටත් හවස තුන පහුවෙලා. අපේ ගෙදරින් මුදිතට කතා කරලා.මොකද මම එයාර්ටෙල් සිම් එක දාන්න ඕන නිසා පරණ සිම් එක අයින් කරලා තිබ්බේ.පස්සේ තමයි ආයෙත් පරණ සිම් එක දැම්මේ.ඒ වෙලාවේ තමයි ඌ කතා කළේ.අනික බොරැල්ලටම පයින් යද්දි මටත් පොඩි අවුලක් තේරුණා. එක එක එවුන් මං දිහා අමුතු අමුතු විදිහට බැලුවා. හැබැයි කාටවත් බය නොවී මගේ පුරුදු පාරේ ගෙදර යන්න මට එදා පුළුවන්කම ලැබුණා.හැබැයි ඇපලෝ හොස්පිට්ල් එක පහුකරගෙන, ආසිරි හොස්පිට්ල් පහුකරගෙන, බොරුල්ල කනත්තත් පහුකරගෙන බලු බල්ලෙක්වත් නැති ඒ වෙලාවේ තනියෙන් ගිය ඒ ගමනේ අවදානම දැන් තමයි තේරෙන්නේ.
ඒත් එදා කරපු වැඩ ගැන මට දැන් මතක් වෙනකොට පුදුමත් හිතෙනවා.මුදිත,දේවින්ද,හරේන්ද්‍ර අපි සෙට් එක බස් හෝල්ට් එකේ කරපු විකාර මතක් වෙද්දී හිනාත් යනවා.ලංකාත් එනවා සමහර දවස්වලට ග්‍රිෆන් එක්ක.එදාට මම උන් එක්ක යන්නේ රාජගිරියෙන් බැහැලා.
හැබැයි මගේ කැප් එක තමයි අපේ සෙට් එකට අල්ලන්නෙම නැති භාණ්ඩේඩේ.විශේෂයෙන්ම දේවින්ද උඹ තමයි මගේ අහිංසක කැප් එකට ඉන්න දුන්නේ නැත්තේ.ඉතින් උඹ දැක්කම මම කරන්නේ කැප් එක බෑග් එකේ දාගන්න එක.නැත්නම් ඒක හම්බවෙන්නේ රාජගිරියෙන් බහිද්දි.
හැබැයි උඹලා බෑග් එක රාක්කේ දැම්මම ඒකට හොඳ ගැටයක් ගහන්න නම් අමතක කෙළේ නැහැ කවදාවත්.ඒක ලිහන්න විනාඩි පහක් දහයක් යනවා.කලබල වුණාම වැඩේ අල වෙනවා.ආයුර්වේදේ කිට්ටු වෙද්දි මම බෑග් එක අතට ගන්නේ ඒකමයි. මොකද නැත්නම් මට හැමදාම බහින්න වෙන්නේ රාජගිරියට පස්සේ හෝල්ට් එකේ.කොහොම වුණත් අපි දැන් හැමෝම තැන් තැන්වල.දේවින්දයා නම් බැඳලා පිළිවෙළක් වෙලා.ඒත් අපි කෙළපු පිස්සු පුංචි බොරැල්ලේ බස්හෝල්ට් එකේ හැමදාම තියෙයි. (එහෙම තමයි මේ කතාව ඉවර කරන්න වෙන්නේ)
No comments:
Post a Comment