Wednesday, June 25, 2014

කැමරාවෙන් ඉන්දියාව විස්මයට පත් කළ ශ්‍රී ලාංකිකයා බාලු මහේන්ද්‍ර -2014.02.19



කැමරාවෙන් ඉන්දියාව විස්මයට පත් කළ ශ්‍රී ලාංකිකයා

බාලු මහේන්ද්‍ර


මාලන් විදානපතිරණ


දමිළ සිනමාවට සිනමා කැමරාකරැවකු ලෙස පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බාලු මහේන්ද්‍ර පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට 74 වැනි වියේ පසු මහේන්ද්‍ර, සිය කැමරාකරණයේදී ස්වභාවික ආලෝකය  භාවිතා කළ නිර්මාණකරැවෙකි.සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙසද යථාර්ථවාදී සිනමා රීතියක් සිය තේමාව තිරයට ගැනීමේදී භාවිතා කළ ඔහු සියලු ආකාරයේ දකුණූ ඉන්දීය භාෂාමය චිත්‍රපට සමග කටයුතු කළ ශිල්පියෙකි.ඊට අමතරව ඔහු හින්දි සිනමාව සමගද කටයුතු කර ඇත.


මහේන්ද්‍රයන් කළ නිර්මාණ අතරින් ජනප්‍රිය නිර්මාණ ලෙස මූනරම් පිරායි,වීදු,සන්ධ්‍යා රාගම් යන චිත්‍රපට දෙමළ නිර්මාණ දැක්විය හැකි අතර ඔලන්ගල්,ඕමාකුයිල් සහ යාත්‍රා යන චිත්‍රපට මලයාලම් චිත්‍රපට ලෙසද, නිරීක්ෂණ (තෙළිඟු) සහ සද්ම (හින්දි ) දැක්විය හැකිය.


ශ්‍රී ලාංකේය දෙමළ පවුලක බලනාදන් මහේන්ද්‍රන් නමින් උපන් ඔහුගේ සිනමා ආගමනයට බලපෑවේ එකල ශ්‍රී ලංකාවේ රෑගත කෙරැණූ ඩේවිඩ් ලීන්ගේ “The Bridge On The River Kwai*චිත්‍රපටයයි. ඒ ඔවුන් පාසැල් අධ්‍යාපන චාරිකාවක් යමින් සිටියදී මෙම රෑගතකිරීම දුටු නිසාය.


මෙයින් ලද පන්නරය හේතුවෙන් පසුව චිත්‍රපටකරණ විධිමත්ව හදාරනු වස් ඉන්දියාවේ පැවැති චිත්‍රපට සහ රෑපවාහිනි පාඨමාලාවක් සඳහා ඉන්දියාව බලා ගිය මහේන්ද්‍ර,1969දී පූනේහිදී එම පාඨමාලාවේ හොඳම සිනමා කැමරාකරණයට හිමි රන් පදක්කම දිනා ගත්තේ සිය සිනමා ආගමනයේ සංඥා එළි දල්වමිනි.


එසේ සිනමා කැමරාකරැවකු ලෙස සිනමාවට ප්‍රවිෂ්ට වූ මහේන්ද්‍ර පැමිණි සැණින් යම් අපහසුතාවයකට පත් වූ අතර එකල කලක් පුරා පැවැති චිත්‍රාගාර ප්‍රතික්ෂේප වී ගොස් ප්‍රධාන ධාරාවේ සිනමාව නැවත ප්‍රතිසංවිධානය වීම මීට හේතු විය.


කෙසේ වෙතත් ඉන් නොසැලුණු ඔහු විශිෂ්ට ගණයේ සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙස සළකන රාමු කරියට්ගේ නෙල්ලු(1974) චිත්‍රපටයේ සිනමා කැමරාකරැවා බවට පත්වීමට සමත් වූ අතර මහේන්ද්‍රගේ සිනමාව පිළිබඳ ඩිප්ලෝමාව ඔහුව ඊට තෝරා ගැනීමට හේතු වූ බව කියැවේ. කෙසේ වෙතත් ක්‍රියාවෙන්ම තමන්ගේ හැකියාව පෙන්නුම් කළ ඔහු, මෙහි සිනමා කැමරාකරණය නිම කළේ කේරළ චිත්‍රපට උලෙළේදී හොඳම සිනමා කැමරාකරැවා වෙමිනි.


“ ඔහුගේ විශේෂත්වය තමයි ඔහු රංගන ශිල්පියාගේ භාව උද්දීපනය කිරීමට උත්සාහ දරනවා. රෑප මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයාට කතා කරන්න උත්සාහ කරනවා.ඔහුගේ රෑප තුළ වාච්‍යාර්ථයන්ට වඩා යමක් ගැබ්ව තිබෙන්නේ මේ නිසයි.*සංඛාරාභරනම් චිත්‍රපටයේ අධ්‍යක්ෂ කේ. විශ්වනාත් ඔහු ගැන පැවසුවේ එසේයි.ඒ සංඛාරාභරනම් චිත්‍රපටයේ කැමරාකරැවා ඔහු වීම නිසයි.


සිනමාවට පැමිණීමට ප්‍රථම අධ්‍යක්ෂණ කාර්යය පිළිබඳව උපාධියක් හිමිකරගත් මහේන්ද්‍ර, එහිදී සිය උප විෂයන් ලෙස තෝරාගෙන තිබුණේ මනෝ විද්‍යාව සහ චරිත ස්වභාවයයි.කෙසේ වෙතත් ඔහුගේ අධ්‍යක්ෂණ කාර්යය කෝකිල (කන්නාඩා, 1977), චිත්‍රපටයෙන් ඇරඹුණූ අතර එම චිත්‍රපටය හොඳම සිනමා කැමරාකරණයට හිමි රාජ්‍ය සම්මානය දිනා ගැනීමට මෙන්ම කර්නාටක චිත්‍රපට උලෙළේදී හොඳම තිර රචනයට හිමි සම්මානය දිනා ගැනීමටද සමත් විය.


ආසියාධ කෝලන්ගල්  (දමිළ, 1979), චිත්‍රපටයෙන් ඉන් අනතුරැව වැඩ ඇරඹි මහේන්ද්‍රගේ එම කතාවට පාදක වූයේ කුඩා පිරිමි ළමුන් තිදෙනෙකුගේ කතාවකි. එය පිළිබඳ එකල ඔහු පැවසුවේ එයින් සිය ජීවිත කතාව නිර්මාණශීලිව ඉදිරිපත් කිරීමට තමන් උත්සාහ කළ බවත්ය.ඉන්පසුව කළ මූදුපානි (1980) චිත්‍රපටයට චිත්‍රපට ලෝකයට අවිනිශ්චිතතාවය ගෙන ආ පියා(Father of Suspense)ලෙසින් සැළකෙන ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ සයිකෝ චිත්‍රපටය දැඩිව බලපෑ ඇති නමුත් එය බොක්ස් ඔෆිස් ආදායම් දක්වා ගෙන ඒමට සමත් වීම ඔහු ලැබූ ජයග්‍රහණයකි.


කෙසේ වෙතත් “මූන්රම් පිරාම්* (1982) චිත්‍රපටය වෙනුවෙන් කමල් හසන් හොඳම නළුවා සම්මානය දිනා ගනිද්දී හොඳම සිනමා කැමරාකරණයට හිමි රාජ්‍ය සම්මානය නැවතත් දිනා ගැනීමට මහේන්ද්‍ර සමත් වූ අතර ඉන් නොනැවතුණූ ඔහු “සද්ම* චිත්‍රපටය හින්දි භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කළ නමුත් එය සාර්ථක කර ගැනීමට ඔහු අපොහොසත් විය.    


“හරිම කණගාටුයි ඔහුගේ අභාවය ගැන. ඒත් ඔහු ඉන්දීය සිනමාව විවිධ කැමරා ශෛලින් හඳුන්වා දුන්නා.ඒවා භාවිතා කරන අන්දම ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට ඔහු පුරෝගාමී වුණා.විශේෂයෙන්ම ස්වාභාවික ආලෝකය පදනම් කර ගනිමින් ඔහු කළ කැමරාකරණය අතිවිශිෂ්ටයි.* සද්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මහේන්ද්‍රයන් පිළිබඳ පැවසුවේ එසේයි.


“වීදු* (1988) දමිළ චිත්‍රපටය වෙනුවෙන් හොඳම චිත්‍රපටයට හිමි රාජ්‍ය සම්මාන දිනා ගත්, එසේම “සන්ධ්‍යා රාගම් “ (1989) දමිළ චිත්‍රපටය වෙනුවෙන්ද හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්,“වන්නා වන්නා පෝක්කල් “ චිත්‍රපටය වෙනුවෙන්ද හොඳම වෘත්තාන්ත චිත්‍රපටයට හිමි රාජ්‍ය සම්මානය දිනා ගත් මහේන්ද්‍ර කළ තවත් නිර්මාණ අතර මහේෂ් බට්ගේ “ආර්ත් “ගේ චිත්‍රපටයේ දෙමළ පරිවර්තන චිත්‍රපටය ලෙස නිපැදවූ “මරැපාදියුම් (1993)“, “සති ලීලාවතී “ (1995) ඉතා වැදගත් වේ.


ගුරැ වෘත්තියට ප්‍රවිෂ්ට වීම නිසා ඉන් අනතුරැව කළ “රාමන් අබ්දුල්ලා“ (1997),“ජූලියා ගණපති“ (2003) සහ ආදු ඕරැ කන කාලම් (2005 ) තරමක් අසාර්ථක වූ අතර 2007 වසරේදී ඔහු බාලු මහේන්ද්‍ර පදනම පිහිටවූ මේ අතරවාරයේදියි. එතුළින් සිනමා කැමරාකරණය, අධ්‍යක්ෂණය සහ රංගනය පිළිබඳ පාඨමාලාවන් ඇරඹු මහේන්ද්‍රගේ මෙම පාඨමාලා හරහා සිනමාවට දායාද වූ සම්පත් ලෙස බාලා,අමීර්, සසිකුමාර්,වෙට්රිමාරන් සහ සීනු රාමසාමි යන අධ්‍යක්ෂවරැන් කැපී පෙනේ. ඔවුන්ගෙන් ඇතැමක් සිය නිර්මාණ වෙනුවෙන් රාජ්‍ය සම්මාන දිනා ගත් ශිල්පියෝ වෙති.


කෙසේ වුවද 2013 වසරේදී ඔහු “තලයිමුරයිගල්“ නමින් කළ සිනමා නිර්මාණය විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ දැඩි විවේචනයට බඳුන් වූ අතර ඊට පාදක වූයේ එහි කතා තේමාව ඉන්දීය සංස්කෘතියට පටහැනි වීමයි. එනම් මිණිබිරියක සහ සීයා කෙනෙකු අතර ඇති වන සබඳතාවයක් එහි ප්‍රධාන කතා තේමාවට බඳුන් විය.


එහෙත් බාලු මහේන්ද්‍ර පිළිබඳ තිබෙන අවාසනාවන්තම සිදුවීම ඔහුගේ මරණය නොවේ.ඔහු විසින් නිර්මාණය කළ විශිෂ්ට ගණයේ දමිළ චිත්‍රපට වන වීදු,සන්ධ්‍යා රාගම් සහ මුරැපාදියම් සහ සති ලීලාවතී ආදී චිත්‍රපට මේ මොහොත වන විටත් විනාශ වී තිබීමයි. එබැවින් ඒවා දැන් බාලු මහේන්ද්‍ර මෙන්ම අපේ මතකයේ පමණක් රුඳෙනු ඇත.

No comments:

Post a Comment