Friday, July 5, 2013

Thissa Liyanasooriya Interview 2013/06/06



අපේ රටට ගැලපෙන්නේ මැද මාවතේ සිනමා ආකෘතියක්
-
-          ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය

සටහන - මාලන් විදානපතිරණ

ඡායාරෑප - ගයාන් සුබසිංහ

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපයේ ප‍්‍රසංග කලා අධ්‍යයන අංශයෙහි "University film Makers” සංවිධානය කරන ‘‘ශ‍්‍රීපාලි ප‍්‍රණාම - 2013’’ ජුනි මස 13 දා සවස 3.00 ට හොරණ ශ‍්‍රීපාලි මණ්ඩපයේ අරැන්දතී ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව පළමු වරට සංවිධානය කරනු ලබන මෙම උපහාර උලෙළේදී සම්මානයට පාත්‍ර වන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරියයි.  මෙහිදී තිස්ස ලියනසූරියන්ට විශේෂ සම්මානයක් පිරිනමමින් පුද කිරීමටද නියමිතය. ගැටවරයෝ, ,සාරවිට, පුංචි බබා ආදී විශිෂ්ට ගණයේ චිත්‍රපට කිහිපයක් ලාංකීය සිනමාවට දායාද කළ ලියනසූරියන් අප හා කතාබහකට එක්වන්නේ මෙවන් වටපිටාවකයි.

“කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයෙන් මෙවන් ඇගයීමක් ලැබීම ගැන මම සතුටු වෙනවා.අපට අවසානයේදී ඉතිරිවෙන්නේත් අපගේ කෘතිවලට ලැබෙන ඇගයීමයි විතරයි. ඒ නිසා ශ්‍රීපාලි මණ්ඩපය මේ වසරේ සිට මෙවැනි සම්මාන උලෙළක් ආරම්භ කිරීම ගැන අපි සතුටු විය යුතුයි.* තිස්ස ලියනසූරිය ශ්‍රීපාලි මණ්ඩපයේ විද්‍යාර්ථයින්, තමාට සම්මානයක් ලබාදීමට තීරණය කිරීම ගැන පැවසුවේ එසේයි.

ඔබ ශ්‍රී ලාංකීය සිනමාවට ප්‍රවේශ වෙන්නේ ඊට දකුණු ඉන්දීය සිනමා ආකෘතියක් අරක්ගෙන සිටි මොහොතකයි. ඒත් ඔබ ඇතුළු සිනමා අධ්‍යක්ෂවරැන් අතළොස්සක් එහි ගමන් මාවත වෙනස් කිරීමට සමත් වුණා. එහෙම නේද ?

ඔව්.අපි චිත්‍රපට කලාවට පැමිණි කාලේ අපිට ඒක ප්‍රබල අභියෝගයක් වුණා. හැබැයි ඒ මොහොතේ තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “සංදේශය“ චිත්‍රපටය නිර්මාණය වුණේ. ඒ නිසා අලුත් සිනමා සංස්කෘතියක් ගොඩනැගීමේදී එහි ආකෘතිය අපට විශාල පිටුවහලක් වුණා. මං හිතන්නේ එතැන සිංහල සිනමාවේ සුවිශේෂී කඩයිමක්. මොකද එතැන් පටන් සිංහල චිත්‍රපට බලන නව ප්‍රේක්ෂකයන් පිරිසක් බිහිවුණා.විශේෂයෙන්ම හැටේ දශකයේදී සෙරන්ඩිබ් චිත්‍රපට සමාගම ආරම්භ කිරීමටත් මෙම චිත්‍රපටය ප්‍රබල ලෙස බලපෑවා. මොකද අපේ අරමුණ වුණේ සම්පූර්ණයෙන්ම කලාත්මක ලක්ෂණවලට වහල් නොවී ප්‍රේක්ෂකයා ගැනත් සිතා චිත්‍රපට නිර්මාණ කිරීමයි. එයයි අපේ ස්ථාවරය. අනික අදටත් අපේ ප්‍රේක්ෂකයා චිත්‍රපටයකින් කතාවක් බලාපොරොත්තු වෙනවා.ඒ ගැනයි අපි වැඩි අවධානයක් යොමු කළේ. හැබැයි එතැනදි අපි කිසිවිටෙකත් ප්‍රේක්ෂකයාගේ බුද්ධිය මොට කළේ නැහැ.     

එසේ නම් වත්මන් සිනමාව ගමන් කළ යුතු සිනමා ආකෘතිය පිළිබඳවත් ඔබට යම් අදහසක් ඇති ?

අපි කුඩා රටක්. අනික සිංහල චිත්‍රපටවලට සිටින්නේත් ඉතා සුළු ප්‍රේක්ෂක පිරිසක්. අපට තිබෙන්නේත් සිනමාශාලා 150ක් වැනි කුඩා සංඛ්‍යාවක්. ඒ වගේම අපිට ජාත්‍යන්තර වෙළඳපොළ තරණය කළ හැකි චිත්‍රපටත් නැහැ. ඒත් අපිට එවැනි චිත්‍රපට නිර්මාණ කරන්න බැරි නැහැ. හැබැයි අපේ වපසරිය මොකක්ද කියන එක ගැන අපිට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා අපේ රටට ගැලපෙන්නේ මැද මාවතේ සිනමා ආකෘතියක්. ඒකයි මගේ ආකෘතිය. මොකද අපිට එක පැත්තකට බරවෙලා නිර්මාණ කරන්න බැහැ. ඒත් වත්මන් සිනමාව අඩපණ වෙලා තියෙන්නේත් මේ හේතුව හින්දායි. ඒ නිසා චිත්‍රපට කලාව තුළ චිත්‍රපට කර්මාන්තයක් බිහිවීමට නම් චිත්‍රපටවල කලාත්මක ලක්ෂණ වගේම මුදල් ඉපයිය හැකි ලක්ෂණත් තිබිය යුතුයි. එතකොටයි මේ සඳහා නිෂ්පාදකයන් ගලා එන්නේ. ඒත් මෙතැනදී මුදලට ප්‍රමුඛතාවය ලබාදී චිත්‍රපට කළ යුතුම නැහැ. මොකද වඩා වැදගත් වෙන්නේ ප්‍රේක්ෂකයාටත් යම් රසයක් ලැබිය හැකි කලා කෘතියක් වීමයි.

කෙසේ වෙතත් රෑපවාහිනී මාධ්‍යය, ලාංකීය සිනමාවට දැඩි ලෙස බලපා තිබෙනවා. ඒත් ඔබේ යුගයේදී මෙවන් අභියෝගයක් තිබුණේ නැහැ. එහෙම නේද ?

කලාකරැවන් විදිහට අපිට නොයෙකුත් අභියෝග එනවා. ඒත් ඒවාට නොබියව මුහුණ දීමට නිර්මාණකරැවා දැන ගත යුතුයි. ඒකටයි නියම දක්ෂතාවය කියන්නේ. අනික මේ ප්‍රශ්නය අපට පමණක් බලපෑ ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්දියාවටත් බලපෑවා. ඒත් ඔවුන් මේ වෙනකොට ඒ අභියෝගය ජයගෙන තිබෙනවා. ඒ නිසා හොඳ චිත්‍රපට නිර්මාණය කිරිමයි වඩා වැදගත් වෙන්නේ. එතකොට කොහොමත් ප්‍රේක්ෂකයා සිනමාශාලාවට පැමිණෙනවා. අනික අපිට හොඳ සිනමා කර්මාන්තයක් ගොඩනැගීමට නම් පවතින සිනමා ශාලාවල්වත් රුක ගැනීමට හැකි විය යුතුයි. ඒවා හොඳින් නඩත්තු කළ යුතුයි. නවීන තාක්ෂණය ඊට ඇතුළත් කළ යුතුයි. අනික අද බිහිවන බොහෝ චිත්‍රපට පාඩු ලබනවා.ඒ හින්දා හොඳ චිත්‍රපට නිෂ්පාදකයන් අපෙන් ගිලිහෙනවා.ඒ නිසා ඔවුන් රුකගැනීමත් හුඟක් වැදගත්.

වත්මන් සිනමාව තුළ බෞද්ධ කතා, ඉතිහාස කතා චිත්‍රපටයට නැගීමට මුල් තැනක් හිමිවෙලා. මෙවන් පසුබිමක තිර පිටපත් රචකයකුට ස්වතන්ත්‍ර නිර්මාණයක් කරා යාමේ ඉඩකඩ ඇහිරී ගිහින්. එහෙම නේද ?

ඔව්. එවැනි අඩුවක් මටත් පේනවා. හැබැයි මට හිතෙන්නේ මෙතැන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ නිර්මාණ ශක්තියේ දුර්වලතාවයක් නෙමෙයි. ඔවුන්ට හොඳ අවස්ථාවක් නොලැබීමයි.අනික අද බොහෝ දෙනෙක් මුදලට ප්‍රමුඛතාවය ලබා දෙනවා.ඒක ලොකු හානියක්. ඒත් චිත්‍රපට කර්මාන්තයට මුදල් අවශ්‍යයි තමයි.ඒත් වත්මන් චිත්‍රපට නිෂ්පාදකයා මුදලට හුඟක් බරයි. ඒකයි ප්‍රශ්නේ.ඒත් චිත්‍රපට නිෂ්පාදකයාගේ අරමුණ විය යුත්තේ ලාභ ඉපයීමම නෙමෙයි. සිනමාවට යම් හරවත් දෙයක් කිරීමයි. ඒත් මෙවැනි නිෂ්පාදකවරැන් අද හොයාගන්නත් නැහැ. ඒත් අපේ කාලේ චිත්‍රපට නිෂ්පාදනය කළේ චිත්‍රපට පිළිබඳ හොඳ රසවින්දනයක් පැවති පුද්ගලයන්. උදාහරණයක් විදිහට ගැටවරයෝ සහ සාරවිට යන චිත්‍රපට දෙකම නිෂ්පාදනය කළේ ශේෂා පලිහක්කාර. ඔහු කාලයක් තිස්සේ චිත්‍රපට සමග වැඩ කළ කෙනෙක්. චිත්‍රපට කර්මාන්තය ගැන අත්දැකීම් තිබුණූ කෙනෙක්. මේ නිසා චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වෙන සියලුම ශිල්පීන්ට හොඳ සිනමාවබෝධයක් තිබීම අනිවාර්ය කාරණයක්. කොහොම වුණත් ඔබ කියූ මෙවැනි සිනමා රුලි මීට පෙරත් පැවතුණා. ඒ නිසා 
පසුගිය කාලේ දිගින් දිගටම ලිංගික තේමා මුල්කර ගත්  චිත්‍රපට බිහිවුණේ. ඒත් අද මේ රුල්ල අඩපණ වෙලා. මොකද රුල්ලේ චිත්‍රපට කරමින් සිනමාවේ රුඳී සිටින්න බැහැ. ඒ නිසා හැම චිත්‍රපටයකම අලුත් බවක් තිබිය යුතුයි.

ඔබ පවසන පරිදි සිනමා අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඇයි අපට රාජ්‍ය මට්ටමේ චිත්‍රපට පාසැලක් ආරම්භ කරන්න බැරි ?

අපි ඔය ප්‍රශ්නේ වෙනුවෙන් ඉස්සර ඉඳන් සටන් කළා.මොකද ඒක සමාජ අවශ්‍යතාවයක්. අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්. එතකොටයි අපිට දක්ෂයන් හඳුනාගන්න පුළුවන් වෙන්නේ. දක්ෂයන් හොඳින් පුහුණු කරන්න පුළුවන් වෙන්නේත් එතකොටයි. අනික ඉස්සර වගේ අලුත් ශිල්පීන්ට චිත්‍රපටයකට සම්බන්ධ වෙලා පුහුණුවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. අනික මම හඳුනන ඉන්දියාවේ ඉතා හොඳ චිත්‍රපට පාසැලක් තිබෙනවා. ඔවුන් එමගින් වසර දෙකක් පුරා චිත්‍රපට කලාව ගැන හොඳ පුහුණුවක් ලබාදෙනවා. ඉතින් අපිට ඒ හරහා දක්ෂ චිත්‍රපට ශිල්පීන් හත් අට දෙනෙක් හෝ ඉන්දියාවේ යවන්න පුළුවන්. හොඳ පුහුණුවක් ලබාදෙන්න පුළුවන්. ඔවුන් සමග නිරන්තරයෙන් ගනුදෙනු කරන්න පුළුවන්. ඒත් ඒවා කෙරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. අනික තවමත් අපට නිසි චිත්‍රපට සංරක්ෂණාගාරයක්වත් නැහැ. මේක ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයත් උනන්දු වුණූ දෙයක්.ඒ නිසා චිත්‍රපට කලාවේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය මට්ටමේ චිත්‍රපට පාසැලක් සහ සංරක්ෂණාගාරයක් අවශ්‍ය බව මම නැවත නැවතත් කියා සිටිනවා. 
 

   

No comments:

Post a Comment