Friday, July 5, 2013

ප්‍රවීණ නිළි මැණිකේ අත්තනායක සමග කතාබහක් (අද) - 2012/11/19


වේදිකාව කියන්නේ විහිළු කරන තැනක් නෙමෙයි

-        මැණිකේ අත්තනායක

කතාබහ - මාලන් විදානපතිරණ
ඡායාරෑප - ක්‍රිෂාන් රණසිංහ

ශ්‍රී ලාංකීය වේදිකාවේ සිටින අතිදක්ෂ රංගන ශිල්පිනියන් අතළොස්සෙන් ඉහළින්ම කියැවෙන නාමයක් ලෙස මැණිකේ අත්තනායක හඳුන්වා දිය හැකිය. මහනුවර ඉපදුණද කලාව කෙරේ වූ ඇල්ම නිසාම කොළඹට සේන්දු වූ පොඩිමැණීකේ, රංගනය පිළිබඳ මූලික අඩිතාලම සකසා ගත්තේ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙනි. එහෙත් ධම්ම ජාගොඩයන්ගේ ගුරැසෙවණේ වඩ වඩාත් සුපෝෂණය වූ ඇය, ප්‍රසිද්ධ වේදිකාවට පැමිණෙන්නේ මැණිකේ අත්තනායක ලෙසිනි. (පොඩි මැණිකේ යැයි ව්‍යවහාරයට නොගන්නා ලෙස ඇයට ධම්ම ජාගොඩයන් විසින් උපදෙස් දී ඇත.) මේ වන විට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ලෝමහංස, මහාසාර,වෙස්සන්තර ආර් ආර් සමරකෝන්ගේ කැළණි පාලම, දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා මෙන්ම දික්තල කාලගෝල,මෝදර මෝල ආදී වේදිකා නාට්‍ය රාශියකට දායක වී ඇති ඇය 1987 වර්ෂයේ කලාශූරී සම්මානය දිනා ගැනීමට පවා සමත් වූවාය ඒ  එකල කලා ක්ෂේත්‍රයේ මෙවන් සම්මානයක් හිමිකරගත් ලාබාලතම රංගන ශිල්පිනිය බවට පත්වෙමිනි.එසේම රෑපවාහිනි ටෙලිනාට්‍ය ක්ෂෙත්‍රයේද  මුල් අවධියේ සාමාජිකාවක් බවට පත් මැණිකේ අත්තනායක, අතිශයින් ජනප්‍රියත්වයට පත් ටෙලිනාට්‍ය අතර පළිඟු මැණීකේ, ඇල්ල ළඟ වලව්ව, යශෝරාවය කැපී පෙනේ. කෙසේ වෙතත් පසුගියදා නිමාව දුටු පරණ ටවුම ටෙලිනාට්‍යයත්, මේ දිනවල විකාශය වන අනූ නවයෙන් නවය, ඉඳුවරි ආදී ටෙලිනාට්‍ය හරහාත් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගෙන සිටින ඇය හා කතාබහක යෙදීමට අපට සිත්විය.

ඔබ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නාට්‍ය කලාවේ උච්චතම අවධියක. වර්තමානයේ ඇති වි තිබෙන නාට්‍ය ප්‍රබෝධය ගැන මොකද හිතන්නේ ?

නැහැ. මම නම් එහෙම ප්‍රබෝධයක් දකින්නේ නැහැ. ඒත් සංඛ්‍යාත්මක ගත්තොත් නම් කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. මොකද අද වෙනකොට විශාල නාට්‍ය ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. ඒත් එයින් අපට කියන්නේ බැහැ, නාට්‍ය කලාව දියුණූ වෙලාය කියලා. මොකද  ගුණාත්මක වශයෙන් ගත්තොත් නාට්‍ය කලවෙ අදත් පවතින්නේ පහළ මට්ටමක. ඒ නිසා අද ඇගයීමකට ලක් කළ හැකි නාට්‍ය හුඟාක් අඩුයි. අනික අද සමහරැ හිතන් ඉන්නේ වේදිකාව කියන්නේ විහිළු කරන තැනක් කියලයි.ඒත් ඒක වැරදියි.වේදිකාව කියන්නේ සමාජය දැනුම්වත් කරන ඉතා වැදගත් තැනක්. ඒ වගේම ප්‍රේක්ෂකයාගේ බුද්ධිය අවදිකරන තැනක්. ඒ නිසා නාට්‍ය බලලා එළියට යන ප්‍රේක්ෂකයාට නාට්‍යයයෙන් රුගෙන යන්න යමක් තිබිය යුතුයි. එහෙමයි අපිට සමරකෝන් මහත්තයා(ආර්.ආර්.සමරකෝන්) කියලා දුන්නේ. ඒත් අද බාල වේදිකා නාට්‍යවලට පවා විශාල ප්‍රචාරණයක් ලැබෙනවා. ඒත් වගේම ඇතැම් ප්‍රවීණ නාට්‍යකරැවන් පවා මෙම ප්‍රචාරණයට අද හසුවෙලා. ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේත් ජනප්‍රිය ගණයේ නාට්‍ය නිර්මාණ කිරීමටයි. මේ හින්දා අද දක්ෂ නාට්‍යකරැවෝ බොහොමයක් නිහඬ වෙලා. මේක බරපතල තත්ත්වයක්. ඒ නිසා හොඳ නිර්මාණයක් නරඹන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රේක්ෂකයාටත් අද ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ හින්දා කලාකරැවන් මීට වඩා වගකීමක් ඇතුව වැඩ කළ යුතුයි.


ඒත් මෙයින් අපට තේරෙන්නේ ඔබ තරැණ නාට්‍යකරැවන් දෙස වපරුසින් බලන බවයි.  ?

නැහැ. කොහෙත්ම නැහැ.ඒත් ඉස්සර අපි නාට්‍යක් කරනකොට මාස ගණන් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වුණා. පුහුණුවීම් කළා.නැවත නැවත සංශෝධන කළා.නැතුව වචන ටිකක් අනික් පැත්ත ගැහුවේ නැහැ ඒ නිසයි අදත් ඒ වේදිකා නාට්‍ය ගැන කතා කරන්නේ.ඒත් අද ඕනෑම කෙනෙකුට කෙටි කාලයකින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න පුළුවන්.ඒ නිසා අද ඒවාට නිසි ප්‍රමිතියක් නැහැ. ප්‍රමිති  සකස් වෙලත් නැහැ. ඒත් අපිට නාට්‍ය නිෂ්පාදනය සම්බන්ධ මිණුම් දඬු ගේන්න පුළුවන් නම් මේ තත්ත්වය සමනය වේවි.මොකද කලාවට සම්බන්ධ වෙන්න ඕනේ නම්  පළමුව ඔවුන් කලාව පිළිබඳ යම් අධ්‍යාපනයක් ලැබු අය විය යුතුයි. එහෙම නැතුව කලාකරැවා දොස්තර වෙන්න හෝ දොස්තර කලාකරැවා වෙන්න ගියොත් හැමදේම අවුල් වෙනවා. අනික අද සමහරැන්ට ඕන කරන්නේ එක රුයින් තරැවක් වෙන්නේ. නැතුව කැපවෙලා කටයුතු කරලා, ක්‍රම ක්‍රමයෙන් ප්‍රවීණත්වයට පැමිණීමට ඔවුන්ට උවමනා නැහැ. ඒ නිසා තමයි අද සියලුම දේට අද යම් ප්‍රමිතියක් සකස්  විය යුතු තත්ත්වයක් උදාවෙලා තිබෙන්නේ..

මේ දිනවල වේදිකාගත වන කැළණි පාලම නව නිෂ්පාදනය, මුල් නිෂ්පාදනයට සාපේක්ෂව තරමක් අසාර්ථක යැයි ඇතැමුන් චෝදනා කරනවා ?

ඒ ගැන නම් මට මුකුත්ම කියන්න බැහැ. මොකද දැන් මම කැළණි පාලම වේදිකා නාට්‍යයට කිසිසේත්ම සම්බන්ධ නැහැ. ඒ නිසා කැළණි පාලම වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය අසාර්ථක වීම, මගේ වැරුද්දක් නෙමෙයි. ඒත් ආර්.ආර් සමරකෝන් මහත්මයා පවා මිය යන්නට පෙර මෙහි නව නිෂ්පාදනය පිළිබඳ කළකිරිමෙන් ලිපියක් රචනා කර තිබෙනවා.

අද වෙනකොට නව නාට්‍යකරැවන් බිහිකිරීමේදී රාජ්‍ය නාට්‍ය උළෙල විශාල මෙහෙයක් ඉටු කෙරෙනවා.ඒත් මෙයින් වේදිකාව ජයගන්නා තරැණයාට අද නිසි ඇගයීමක් ලැබෙන්නේ නැහැලු ?

තරැණ නාට්‍යකරැවන් එහෙම හිතන එක වැරුදියි. අනික නාට්‍යයක් කළ යුත්තේ ජනතාව අතරට යන්න මිසක් නාට්‍ය උත්සවවලට පෙන්නන්න නෙමෙයි. ඒත් අද සිදුවෙන්නේ නාට්‍ය උත්සවවලට පමණක් නාට්‍ය නිර්මාණ කිරීමයි. මේක වැරුදියි. ඒ නිසා තරැණ නාට්‍යකරැවා කළ යුත්තේ පක්ෂ නියෝජිතයන් හෝ විනිශ්චයකරැවන් සමග ප්‍රශ්න ඇතිකර ගනිමින් සම්මාන දිනා ගැනීම නෙමෙයි.ජනහිතකාමී නාට්‍යයක් නිර්මාණය කිරීමයි.සම්මාන කියන්නේ බාහිර දෙයක්. ඒ හින්දා නාට්‍යයක සාර්ථකත්වය මනින්නේ ප්‍රේක්ෂකයා විසින්. නාට්‍යයක ගුණාත්මකභාවය රඳා පවතින්නේත් ඔවුන්ගෙන්. ඒ වගේම නාට්‍යයේ ජීය කාලය රඳවා තබා ගන්නේත් ‍ඔවුන් විසින්ම තමයි.

‍ඒත් නාට්‍යයක් පවත්වාගෙන යාමේදී ඔවුන් අනුග්‍රහයක් නොලැබීමේ ගැටලුවටත් මුහුණ පා තිබෙනවා ?

ඔව්. ඒත් අපි නම් මේ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දුන්නේ නැහැ. අපට ඕනෑ කළේ හොඳ නාට්‍යයක් නිර්මාණය කිරීමටයි. අනික අපි කිව්වේ නැහැ, අපිව විවිධ පළාත්වලට ගෙනියලා දෙන්න කියලා. සංවිධායකයන්ම තමයි ඇවිත් අපට උදව් ‍කළේ. අනික ඒ කාලේ ‍දියුණු ප්‍රචාරණ මාධ්‍යයක් අපිට තිබ්බෙත් නැහැ.කටින් කට තමයි ප්‍රචාරණය සිදුවුණේ.ඒත් අද අපට මාධ්‍ය රුසක් තිබෙනවා. ඒ හින්දා නාට්‍ය හොඳ නම්, එය ඉතා ඉක්මනින් සමාජගත වෙනවා. නැතුව නාට්‍ය කාටවත් දුවවන්න බැහැ.

ඒත් ශ්‍රී ලංකාවේ තවමත් තිබෙන්නේ කොළඹ කේන්‍ද්‍රිය කර ගත් නාට්‍ය සංස්කෘතියක් ?

ඔව්. ඒත් ඒක අදක ඊයෙක ඇතිවුණූ ප්‍රශ්නයක් නෙමෙයි.අනික එහෙමෙයි කියලා අපි නාට්‍යය කොළඹ පමණක් පෙන්නලා හරියන්නේ නැහැ. නගරෙන් නගරයට යා යුතුයි.ගමින් ගමට යා යුතුයි කටුක අත්දැකීම්වලට මුහුණ දිය යුතුයි. නොයෙකුත් සමාජ තලවල ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කළ යුතුයි.නැතුව ශාලාවල දුර්වලතා හැදීම නාට්‍යකරැවාගේ වගකීමක් නෙමෙයි. අපි ඒ කාලේ වවුල්ලු ජරා කරපු වේදිකාවල පවා රඟපෑවා. සිනමාශාලාවල වේදිකා නාට්‍ය පෙන්නුවා. ඒ නිසා නාට්‍යකරැවාගේ වගකීම වෙන්නේ ලැබෙන වේදිකාවේ නාට්‍ය වේදිකාගත කිරීමයි. ඒත් මං එයින් කියන්නේ නැහැ, මෙවැනි ප්‍රශ්න මග හැරිය යුතුයි කියලා. ඒත් මෙවැනි ප්‍රශ්න කතා කළ හැකි සීමාව ගැන නාට්‍යකරැවා දැන සිටිය යුතුයි. අනික අද නාට්‍යයට වඩා ප්‍රමුඛතාවය ලැබී තිබෙන්නේ මුදලටයි. ඒත් නාට්‍යයකදී විකිණීමට වඩා වැදගත් වෙන්නේ ජනතාව අතරට යාමයි.අනික නාට්‍යයක ටිකට්පත් අලෙවි විය යුත්තේ ප්‍රේක්ෂකයාට දරන්න පුළුවන් මට්ටමකින්.නැතුව දාහක ටිකට්පතක් ගැහුවට ප්‍රේක්ෂකයා එන්නේ නැහැ.

මෙගා ටෙලිනාට්‍ය සම්බන්ධ අවලාද තවමත් අවසන් වී නැහැ. වර්තමාන ටෙලිනාට්‍ය කලා‍ව ගැන මොකද හිතන්නේ ?

අද බොහෝ මෙගා ටෙලිනාට්‍යවල තිබෙන්නේ එකම කට්ටියකගේ එකම කතාවක්. රෑගතකිරීම් තිබෙන්නේත් එකම තැනක. ඉතින් මෙහෙම ගියොත් මිනිස්සුන්ට රෑපවාහිනිය එපාම වෙලා වෙයි. මොන නාට්‍ය වුණත් ගුණාත්මක ටෙලිනාට්‍යයක් වීමයි වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා අපි ටෙලි විකාර නවත්වලා, ටෙලිනාට්‍ය සඳහා වහාම යොමුවිය යුතුයි.මොකද කොතරම් නාගරීකරණය වුණත් ගමට ආදරේ ‍කරන ප්‍රේක්ෂකයන් පිරිසක් තවමත් අපට සිටිනවා. ඒ වගේම නාට්‍යමය ගුණයක් තිබෙන ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් පිරිසකුත් අපිට තවම සිටිනවා.   

කෙසේ වෙතත්  අද මෙවැනි ‍මෙගා ටෙලිනාට්‍ය නිසා දක්ෂයන්ට වේදිකාවට පැමිණීමට නොහැකි වී තිබෙනවාලු. මේ ගැන මොකද හිතන්නේ ?

නැහැ. ඔවුන් මෙගා ටෙලිනාට්‍ය නිසා වේදිකාව අත හැරිය යුතු නැහැ. ඒත් මෙතැන වෙලා තියෙන්නේ හැමෝම වේදිකාව සැහැල්ලුවට අරන් තිබෙන එකයි. සුරංගනා ලෝකවල සිටීමයි.ඔවුන් හිතන්නේ නැහැ,මේක සජීවි මාධ්‍යයක් කියලා.ඒ නිසා ඔවුන්ම තමයි, ‍ තමන්ව මෙවැනි පත්කරගෙන තිබෙන්නේ. ඒත් රංගනය ආරම්භ කළ යුත්තේ වේදිකාවෙන්.මොකද වේදිකාවෙන් තමයි නාට්‍ය කලාව හඳුනාගන්න පුළුවන්‍ වෙන්නේ. එතකොටයි අනික් මාධ්‍යයත් ලේසියෙන්ම ජයගන්න පුළුවන් වෙන්නේ. 

ඔබ ඩබ්ලිව්.ඩී.මකුලොලවගේ "දෙපානෝ " ජන නාට්‍යයටත් (ඔපෙරා ගණයේ නාට්‍යයකි) සම්බන්ධ වූ ශිල්පිනියක්. ඒ ගැන මතක් කළොත් ?

ඔව් ඒක මගේ කලා ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. මොකද මම ඊට සම්බන්ධ වුණේ ආධුනිකයෙක් හැටියටයි. ඒ වගේම මට එහිදී මගේම කටහඬින් ගීත ගායනා කිරීම ඉඩ ලැබුණා.ඒත් සමහරැ නම් මීට දායක වුණේ රංගන ශිල්පීන් හැටියට පමණයි.කොහොම වුණත් ‍දෙපානෝ නාට්‍යය පිළිබඳ අදත් ගුරැවරැ කතා කරනවා. සමහරැ ඉගැන්වීම සඳහා පවා එය ඉල්ලා සිටිනවා. මොකද එහි ඇතුළත් වන ජන ගී,ජන ගායනා ගැන අද කතාබහ කෙරෙන්නේ නැහැ. අනික අද මෙවැනි නිර්මාණ බිහිවෙන්නේ නැහැයි කියලායි ඔවුන් හිතන් ඉන්නේ. ඒ නිසා අද අපි දැනුම්වත් කිරිමේ වැඩසටහන්වලට ගියාම, ඔවුන් අපිට දේව‍ත්වයෙන් සළකනවා. ඒ ව‍‍ගේම අපෙන් පස්සේ දක්ෂ පරම්පරාවක් ඉඳියිද කියලා අපෙන්ම  ප්‍රශ්න කරනවා.    
  


No comments:

Post a Comment