Friday, July 5, 2013

ලින්කන් (තරුණයා) 2012/10/11


ස්ටීවන් ස්පීල්බර්ග්ගේ නවතම අත්හදා බැලීම

Lincoln

E.T. (The Extra-Terrestrial), Schindler's List, Jurassic Park, Saving Private Ryan, Artificial Intelligence, War Horse ආදී අති සාර්ථක චිත්‍රපට රුසක් අධ්‍යක්ෂණය කළ සුපිරි අධ්‍යක්ෂවරයකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ද වන ස්ටීවන් ස්පීල්බර්ග්ගේ නවතම චිත්‍රපටය වන්නේ Lincoln ය.තම සෑම චිත්‍රපටයක්ම නැවුම් මුහුණුවරකින් ඉදිරිපත්  කරන ස්පීල්බර්ග්ගේ මෙම චිත්‍රපටය චරිතාපදානයකි. එහෙත් ඔහු මෙතෙක් මෙවන් ආකාර‍යේ චිත්‍රපටයක් නිර්මාණය කර නොමැත.කෙසේ වෙතත් ස්පීල්බර්ග්ගේ මෙම නවතම පර්යේෂණය වන Lincoln චිත්‍රපටය ද අතිසාර්ථක වනු ඇතැයි යන්න ‍බොහෝ විචාරකයන්ගේ මතයයි.

චිත්‍රපටයට ප්‍රධාන වශයෙන් ගොනුවන්නේ ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්,ඉතා අසීරැ කාල පරිච්ඡේදයක් වූ ඇමෙරිකානු සිවිල් යුද්ධය පැවැති සමයේදී තම පාලන තන්ත්‍රය පාලනය කළේ කෙසේද යන්න මතයි. එමෙන්ම ලින්කන්ගේ ජීවිතයේ අවසන් මාස කිහිපය ගෙවී ගියේ කෙසේද යන්න ද මේ චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව හරහා ගලා යයි.

2005 වසරේදී නිකුත් වූ ඩොරික් කර්න්ස් ගුඩ්වින්ගේ Team of Rivals: The Political Genius of Abraham Lincoln නම් ඒබ්‍රහම් ලින්ක්ගේ චරිතාපදානය ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා පිඹුරැපත් සැකසුණේ 1999 වසරේදියි. හරියටම කියතොත් ගුඩ්වින් මෙම චරිතාපදානය ලියන අවධියේම, මෙහි චිත්‍රපට අයිතිය තමන් සතුකම ගැනීමට තරම් ස්පීල්බර්ග් වාසනාවන්ත විය.කෙසේ වෙතත් ඩ්‍රීම් වර්ක්ස් චිත්‍රපට සමාගම හා මෙම චිත්‍රපට ගිවිසුම් අත්සන් තැබීමට ඔහුට 2001 වසර තෙක් බලා සිටීමට සිදු වූ අතර ජෝන් ලෝගාන් විසින් එම වසර අගදී මෙහි තිර පිටපත ලිවීම භාර ගත්තේය.  

එහෙත් ස්පීල්බර්ග් මේ පිළිබඳ එතරම් සතුටකට පත් වි නොමැති අතර ඔහු කැමැත්තෙන් සිට ඇත්තේ ෆ්‍රෙඩ්රික් ඩග්ලස්ට මෙහි තිර පිටපත ලබා දීමටයි. ඒ ඩග්ලස්, ස්පීල්බර්ග්ගේ ළඟම හිතවතෙකු බැවිනි. එහෙත් 2006 වසරේදී ඩ්‍රීම් වර්ක් චිත්‍රපට සමාගම මෙහි රෑගතකිරීම් ආරම්භ කිරීමට සූදානම් වූ අතර තිර පිටපත රචනා කිරීමේ වගකීම පෝල් වෙබ්ට භාර දුන්නේය.එහෙත් ස්පීල්බර්ග් ඊට ද අකමැති ‍වූයෙන් චිත්‍රපටයේ රෑගත කිරිමේ කාල වකවානු තව තවත් කල් ගියේය. මේ හේතුවෙන් අවසන චිත්‍රපටයේ තිර පිටපත ලිවීම භාර වූයේ ටෝනි කුෂ්නර්ටයි.

“ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ලොව බිහි වූ විශිෂ්ට ගණයේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්.ඒත් මට මෙම තිර පිටපත පිළිබඳ මුලින්ම කියනකොට නම්, මේ ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ.ඒ නිසා මට පොඩි චකිතයකුත් හිතට ආවා.මොකද මේක හරියට විලියම් ශේක්ස්පියර්ගේ හැම්ලට් හෝ එහෙම නැත්නම් මොසාර්ට්ගේ කෝසි ෆැන් ටුටි හෝ වෙන යම් වේදිකා නාට්‍යයක් චිත්‍රපටයට නගනවා වගේ වැඩක්. “ කුෂ්නර් චිත්‍රපටයේ තිර පිටපත භාර වු වෙලේ පැවසුවේ එසේයි.

ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ 200 වැනි ඡන්ම දින සංවත්සරය දා තිරගත කිරීමට සැලසුම් කර තිබූ Lincoln චිත්‍රපටයේ රෑගත කිරීම් ඇරඹුණේ 2009 වසරේ ජනවාරී මසදියි. ඒ ඇමෙරිකාවේ වර්ජිනියාවේ පීටර්ස්බර්ග්, ටොන්ටන්,ඩිග්ටන්,මස්කට්ස් යන ප්‍රදේශවලදියි.මෙහිදී ඒබ්‍රහම් ලින්කන් හා සබැඳි ඇතැම් ස්ථාන ද රෑගත කිරීම් සඳහා යොදා ගැනීම කැපී පෙනේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ඇස්තමේන්තුගත කරමින් කැත්ලින් කෙනඩි,ෂරේන් වෝල්කර් සහ වෝල්කර් ෆිෂර් සමගින් ස්පීල්බර්ග් විසින්ම නිෂ්පාදනය කළ Lincoln චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වූයේ පසුගිය සැප්තැම්බර් මස 04 වැනිදාය. එය එදින ගූගල් ජාලයට මෙන්ම ෆේස්බුක් ‍සමාජ සේවා ජාලයට ද එක් කළේය.


2005 වසරේදී ලියාම් නීසන් මෙහි ප්‍රධාන චරිතය වූ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ චරිතයට පළමුව තෝරාගෙන සිටි අතර ඔහු ඒ සඳහා කාලාන්තරයක් පුරා පුළුල්ව හැදෑරීමක් ද කර සිටියේය. එහෙත් 2010 වසරේ නිෂ්පාදනයේදී ඩැනියෙල් ඩේ ලුවිස් විසින් මෙහි ප්‍රධාන චරිතය වන ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ චරිතයට තෝරා ගත් ස්පීල්බර්ග්, ඒ බව ඒ වසරේ නොවැම්බර් මස සනාථ කළේය. ඔහුට මෙම චරිතය සඳහා ලුවිස් සුදුසු බවට ඒත්තු ගැන්වූයේ සම නිෂ්පාදක කැත්ලින් කෙනඩි විසිනි.

“ ඔහු සිටගන්නා විට ඔබට දැනෙයි,මේ ඔබ ඉදිරියේ සිටින්නේ ඒබ්‍රහම් ලින්කන් බව. ඒ වගේම ඔහු කතා කරන විදිහ, ඇවිදින ආකාරයත් ඔබට එය දනවාවි.ඒ වගේම ඔහුගේ මුහුණේ ඉරියව් ද එය තහවුරැ කරවාවි.මොකද ලුවිස් මේ චරිතය ඒ තරම් හොඳින් නිරෑපණය කරනවා.” ලුවිස්ගේ චරිත නිරෑපණය පිළිබඳ කෙනඩි මහතා පැවසුවේ එසේයි.

මෙහි මේරි ටොඩ් ලින්කන්ගේ චරිතයට සැලී ෆිල්ඩ් පණ පොවන අතර Lincoln චිත්‍රපටයට එක් වූ ප්‍රථම නිළිය වන්නේද ඇයයි. ඇය ‍මීට සම්බන්ධ වූයේ 2007 වසරේ සැප්තැම්බර් මාසයේදියි.එහෙත් ඇය නිල වශයෙන් චරිත නිරෑපණයට සම්බන්ධ වුයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදියි.මෙහි ඒබ්‍රහම් ලින්කන්ගේ වැඩිමහල් පුතු වන රොබට් ටොඩ් ලින්කන්ගේ චරිතයට ජෝශප් ගෝර්ඩන් ලෙවිට් දායක වෙයි. හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන රොබට්, යුධ හමුදාවේ නායකයා ද වෙයි. එනිසා ඔහු තම පියා දකින්නට පැමිණෙන්නේ ඔහුගේ ඝාතනයත් සමගිනි. එනම් 1865 අප්‍රේල් මස 14 වැනිදා රාත්‍රියේදියි.

ජනුන්ස් කමන්ස්කි විසින් සිනමා කැමරාකරණය කළ මෙම සුපිරි චරිතාපදාන චිත්‍රපටයේ නාද රටා සිත්තම් වූයේ ජෝන් විලියම්ස් අතිනි. Reliance Entertainment, Participant Media, Amblin Entertainment සහ The Kennedy/Marshall Company යන චිත්‍රාගාරවල සෙසු නිර්මාණ කටයුතු සිදුවූ Lincoln චිත්‍රපටය ලබන නොවැම්බර් මස 09 වැනිදා නිකුත් වීමට නියමිතය.

මාලන් විදානපතිරණ

mgovindaw@gmail.com






No comments:

Post a Comment