Friday, July 12, 2013

රෂෝමාන් චිත්‍රපටය හරහා ශ්‍රී ලංකාවට නෑකම් කියන ජපන් චිත්‍රපට අධ්‍යක්ෂවරයා අකිරා කුරසාවා

- විජය (2011)


සටහන - මාලන් විදානපතිරණ


          රෂෝමාන් නම් ජපන් චිත‍්‍රපටිය පිළිබඳ ඔබ අසා ඇතිවා නිසැකය. වේදිකා නාට්‍ය කලාවේ අලූත් ම පරිච්ජේදයක් ආරම්භ කිරීමට ඉවහල් වූ මනමේ නාට්‍ය නිෂ්පාදනය කිරිමෙහිලා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට බලපෑ එක් කරුණක් ලෙස මෙම චිත‍්‍රපටිය හඳුන්වාලීම වටී. එහි සාඩම්බර නිර්මාතෘවරයා අකිරා කුරසාවාය. ඔහු ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ට ගණයේ සිනමාකරුවන් අතරින් ඉදිරියෙන්ම සිටින්නෙකි. චිත‍්‍රපටි නිෂ්පාදකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, තිර පිටපත් රචකයෙකු මෙන්ම වරෙක සංස්කරණ ශිල්පියෙකු ලෙස ද කටයුතු කළ ඔහු පිළිබඳ තබනා කෙටි සටහනකි මේ.

          1910 වසරේ මාර්තු මස 23 වැනිදා ටෝකියෝහි නියම් ගමක උපත ලද අකිරා කුඩා දරුවාගේ පියා වන ඉසමු කුරසාවා අකිටා ප‍්‍රාන්තයේ පුරාණ සමුරායි පවුලේ සාමාජිකයෙකි. ඔහුගේ මව වන ෂිමා කුරසාවා ඔසාකා හි වෙළෙඳ පැළැන්තියෙන් පැවත එන්නියකි. තරමක් ඉසුරැමත් පවුලක උපත ලද අකිරා පවුලේ අටවැන්නා මෙන්ම බඩපිස්සා ද වේ. බටහිර සංස්කෘතියට බරව ජීවත් වූ අකිරාගේ පියා නාට්‍ය, චිත‍්‍රපටි කෙරේ දැඩි උනන්දුවක් දැක්වූවෙකි. සිය දරැවන් නිරන්තරයෙන් ම චිත‍්‍රපටි නැරඹීමට රැුගෙන ගිය පියකු වූ ඔහු, චිත‍්‍රපටි යනු ධනාත්මක අධ්‍යාපනික අත්දැකීම් ලබාදෙන මිල කළ නොහැක්කක් සේ සැලකුවේය. කුඩා කල සිටම කලාව අතපත ගෑ අකිරා සිය ප‍්‍රථම චිත‍්‍රපටිය නරඹන විට යන්තම් වයස අවුරැදු හය සම්පූර්ණ කළෘ පමණි. එහෙත් පාසල් කාලයේදී චිත‍්‍ර අංශයෙන් දස්කම් පෑ ඔහුගේ ලෝකයට යළිත් චිත‍්‍රපටි පැමිණියේ පාසලෙන් ඉවත් වූ පසුවය.

          වතුරට බැසිය යුත්තේ එහි ගැඹුර දැන බව හොඳින් උගත් අකිරා චිත‍්‍රපටි කර්මාන්තයට පිවිසීමට පෙර ඒ පිළිබඳ ජපානයේ පවත්නා අධ්‍යක්ෂවරැන් සඳහා වූ ආධුනික පාඨමාලාවක් හැදෑරිමට තීරණය කළේය. ඉනික්බිති අඩියෙන් අඩිය ඉදිරියට පා තැබූ අකිරා සහාය අධ්‍යක්ෂවරයෙකු, පිටපත් රචකයෙකු ආදී නොයෙකුත් අන්දමින් සිනමාවට දායක වූයේ කිසිදු පැකිළීමකින් තොරවය. මේ අතර අකිරා කුරසාවා චිත‍්‍රපටි 24 කටම සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස දායක වී ඇත්තේ කජිරෝ යමාමොටෝ නම් අධ්‍යක්ෂවරයා යටතේ වීම සුවිශේෂත්වයකි.

          කුරසාවාගේ අතින් නිර්මාණය වූ ප‍්‍රථම චිත‍්‍රපටිය ලෙසින් සටහන් වන්නේ 1943 වසරේදී ජාතිකත්වය තේමා කර ගනිමින් නිර්මාණය කළ සන්හිරෝ සුගාටා නම් චිත‍්‍රපටියයි. එම අධ්‍යක්ෂණයෙන් ම සිය අනන්‍යතාවය ගොඩනගා ගත් ඔහු දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසු නිර්මාණ කළ චිත‍්‍රපටිය ලෙස වාර්තා වන්නේ No Regrets for Our Youth චිත‍්‍රපටියයි. සන්හිරෝ සුගාටා නම් චිත‍්‍රපටිය ජපානයේ නවකතාකරැවෙකු වන ට්සුනියෝ ටොමිටාගේ, මුසාශි මියාමොටෝ නම් කතාවක් ඇසුරින් කරන ලද නිර්මාණයකි.  ඔහුගේ දෙවැනි චිත‍්‍රපටිය The Most Beautiful නම් විය. මෙම චිත‍්‍රපටිය යුද සමයේ සේවය කළ කර්මාන්ත සේවිකාවන් විෂය කොට ගත් ප‍්‍රචාරක (^Propaganda Film) මාදිලියේ චිත‍්‍රපටියකි. ඉන්පසුව ද යුද සමයේදීම චිත‍්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ කුරසාවාගේ නිර්මාණ අතරින් The Men Who Tread on the Tiger's Tail නම් සිනමා නිර්මාණය කැපී පෙනේ. ඒ එය කන්ජින්චෝ නම් කබුකි නාට්‍යයක් ඇසුරින් කළ නිර්මාණයක් බැවිනි. 

          ඉකිරු, සෙවන් සමුරායි,යොජිම්බෝ,කගෙමුෂා,රාන්,ඩර්සු උසාලා, Drunken Angel, Stray Dog ආදී චිත‍්‍රපටි රුසක් ලොවට දායාද කළ අකිරා කුරසාවා පිළිබඳ කිව යුතුම දෙයක් වේ. ඒ ඔහු හොලිවුඞ් සිනමාව සමග ද කටයුතු කළ සිනමාකරුවකු බවයි. ටෝරා ටෝරා ටෝරා, Runway Train, Dreams යන චිත‍්‍රපටි ඒ අතරින් කැපී පෙනේ.

          කැමරා කාචය නළු නිළියන්ට බොහෝ ඈතින් තබා ගනිමින් හොඳ රංගනයක් නිර්මාණය කළ හැකි බව විශ්වාස කළ කුරසාවා, කැමරා රාශියකින් හා දිගු නාභි දුර ඇති කාච සහිත කැමරා කට්ටල සැමවිටම භාවිතා කළේය. මෙම දුලබ කුසලතාවය හේතුවෙන්ම ඔහු ටෙනෝ (අධිරාජ්‍යයා) යන නාමයෙන් ද හඳුන්වන ලදී. එමෙන් ම නළුවන්ට ඒ චරිතයට සුදුසු අලූත් ඇඳුම් පැළඳුම් ලබාදීමෙන් චරිතවල අව්‍යාජත්වය රඳවා තබා ගතහැකි බව ද ඔහු තදින්ම විශ්වාස කළේය. මේ නිසා ම ඇතැම් විට කුරසාවා රූගත කිරීම්වලට දින ගණනාවකට පෙර අදාළ නළු නිළියන්ට චරිතවලට යොදාගන්නා ඇඳුම් පැළඳුම් ලබා දී ඒවා නිතරම අඳින ලෙසත්, එම ඇඳුම් සමග තදින් බැඳීමක් ඇතිකර ගන්නා ලෙසත් කීවේලූ. එමෙන්ම කුරසාවාගේ චිත‍්‍රපටිවල පවත්නා ඉතා සුවිශේෂ ලක්ෂණයක් ලෙස චිත‍්‍රපටිවල සංගීතය ලෙස ඔහු අවසානයක් නොමැති සංගීත ඛණ්ඩ යොදා ගැනීම ද දැකිය හැක.   

          වර්තමාන ජපානය නිරූපණය කරනා චිත‍්‍රපටි රාශියක් නිපදවූ කුරසාවා ලබාගත් සම්මාන ප‍්‍රමාණය සැලකුවහොත් එයින් ලැයිස්තුවක්ම සෑදිය හැක. එහෙත් මේ අතරින් 1951 වසරේදී රශෝමාන් චිත‍්‍රපටිය වෙනුවෙන් වැනිසීයානු චිත‍්‍රපට උළෙලේදී Golden Lion සම්මානය ද 1954 වසරේ දී එම චිත‍්‍රපටි උළෙලේදීම සෙවන් සමුරායි (Seven Samurai) චිත‍්‍රපටිය වෙනුවෙන් ලැබූ Silver Lion සම්මානය හා 1989 දී ඇමරිකාවේ අධ්‍යක්ෂවරුන්ගේ ශ්‍රේණිය විසින් සිනමාවට කරනා ලද අපමණ සේවය වෙනුවෙන් පිරිනැමූ සම්මානය කැපී පෙනේ.

          කුරසාවාගේ අතින් නිමැවුණු අවසන් චිත‍්‍රපටිය ලෙස සටහන් වන්නේ මාදදයෝ නම් චිත‍්‍රපටියයිග සෞඛ්‍ය තත්ත්වය අතින් පිරිහුණ ද සිය ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටිය ද චිත‍්‍රපටියෙන් අත්නොමිඳුණු මේ ශ්‍රේෂ්ඨ කලාකරැවා After the Rain, The Sea is watching යන චිත‍්‍රපටි පිටපත් රචනා කළේය. තමා අතින් ලියැවුණු එම චිත‍්‍රපටි පිටපත් අධ්‍යක්ෂණය කිරිමට තරම් වරම් නොලද අකිරා කුරසාවා 1998 වසරේ සැප්තැම්බර් මස 6 වැනිදා ටෝකියෝහි සෙටෙගයාහි දී සදහටම සමුගත්තේය.

No comments:

Post a Comment