Monday, April 13, 2015

හීන අතරින් ආ අමුතු තාලේ ගමනක් 2015/04/12


 හීන අතරින් ආ අමුතු තාලේ ගමනක්
(පම්පෝරියක් නෙමෙයි)



පුංචිම කාලේදි අපි අපේ ජීවිතේදී එක එක ජාතියේ හීන දකිනවා.මටත් ඒ වගේ හින තිබුණා.

ඉස්සර මම හිතුවේ රියදුරු සහායක රස්සාව හුඟක් වටිනා රස්සාවක් කියලා.මම ඒක පහතට දානවා නෙමෙයි.ඒත් සමාජය විසින් ඒක සළකන්නේ පහත් පෙළේ රස්සාවක් විදිහට.ඒත් මට ඒ කාලේදි ඒකට පුදුම පිස්සුවක් තිබුණා. මොකද එක එක වටිනාකමින් යුක්ත ටිකට් පොත් ටිකක් එකම ලී කොටයක හිරකර ගෙන අමුතුම ආකාරයකට කිහිල්ලේ රුවාගෙන අපි යන තැනට අදාළ ටිකට් එක දෙමින් බස් එක ඇතුළේ ඔහු කරනා වික්‍රමය, මට දැනුණේ හුඟක් ලොකු වැඩක් විදිහටයි.ඉතින් මමත් ඒ වගේ ටිකට් පොතක් හදාගන්න ඒ දවස්වල හුඟක් උත්සාහ කළා.බැරිම තැන හැමදාම හම්බවෙන ටිකට් කෑලි ටික එකතු කරලා ඒ විදිහටත් ටිකට් පොත හදන්න හැම විදිහකටම උත්සාහ කළා.අනික ගෙදර මිනිස්සුන්ටත් බේරුමක් නැහැ, මම හැමතැනම ටිකට් පොතක් තියාගෙන ටිකට් කඩ කඩ ඇවිදින හින්දා.මේ හින්දා දවසක් බැරිම තැන කව්දෝ මන්දා පාරේ තිබිලා අහුලපු,බස් එකෙන් වැටිච්ච ටිකට් පොතක් මට ගෙනල්ලා අම්මා දීලා තිබුණා.අම්මලා හිතුවේ ඒකෙන්වත් මගේ පිස්සුව ඉවරවෙයි කියලා.ඒත් ඒකෙන් වුණේ මගේ පිස්සුව ඩබල් වුණු එක.

ඔය අතරේදි තමයි රූපවාහිනියේ කාර් රේස් පෙන්නන්න පටන් ගත්තේ.ඒක දැක්කම මට බස් ටිකට් පිස්සුව කොහෙන් ගියාද නෑ.ඒත් දැන් අම්මාට උයාගන්න විදිහක් නැහැ.ඉස්සර ගෑස් කුකර් එකේ දෙපැත්තේම උයපු අම්මට,එක පැත්තකයි උයන්න වෙලා තියෙන්නේ.මොකද අනික් එක මම මගේ සුක්කානමට අරගෙන,ඩෙස් එකට හයි කරගෙන.ඩෙස් එකේ පියන ඇරලා පොත් දාන එකට තමයි සුක්කානම සෙට් කරලා තියෙන්නේ.ඩෙස් එකේ පියන තමයි වීදුරුව.දැන් ඉතින් මෙලෝ සිහියක් නැතුව මම එළවනවා.අම්මා දහ පාරක් කෑ ගහලා කෝටුව ගත්තම තමයි රේස් එක නතර වෙන්නේ.

යුද්ධෙත් දරුණුවටම ගිය ඒ කාලේ තුන වසරෙදි හමුදාවට යන්නත් හීනයක් තිබුණා.මම අම්මට කිව්වා,මම කවදාහරි ලොකුවෙලා හමුදාවට යනවා කියලා.ඒක කිව්වම අපේ අම්මා මට බැණ බැණගෙන ගියා.මොකද ඒ කාලේ අපේ සෙබළු හුඟක්,යුද්ධේ වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා තිබුණා.ඒ හින්දම මටත් ඕනේ වුණා හමුදාවට බැඳෙන්න.ඒ නිසා පොල්පිති කපාගෙන,තුවක්කු හදාගෙන යාළුවොත් එක්ක එක එක විදිහේ සෙල්ලම් එදා මම කරපු විදිහ, මට අද වගේ මතකයි.හැබැයි අපේ අම්මාගේ අඬෝවැඩියාව එක්ක පොඩි කාලෙදිම ඒ හීනෙත් අකුලගන්න මට සිද්ධවුණා.



අනූ හයේ ලෝක කුසලානයේ අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවයින් පස්සේ අපේ ගෙදරත් ටිකක් ක්‍රිකට් මැච් බලන්න පුරුදු වුණා.ඒත් ගෙදර කවුරුවත් හිතුවේ නැහැ,ඒක මගේ ජීවිතේ සන්ධිස්ථානයක් වෙයි කියලා.හැබැයි මට එදා ඒ ක්‍රිකට් පිස්සුව තදින්ම වැදුණා.කවදාහරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා කියලා හිතන් හිටපු මම පොල්පිති බැට් කපාගෙන, පොල්පිති බැට් හදාගෙන එදා ඉඳන් සෙල්ලම් කරන්න පටන් ගත්තා.සමහර දවස්වලට හවසට අල්ලපු වැටේ හිටපු ලෝචන අයියා එනවා මං එක්ක සෙල්ලම් කරන්න.එයා තමයි මගේ පුහුණුකාරයා.පොල්පිති බැට් හොඳට හදලා දෙන්නෙත් එයා.එයා නැති දවසට මම තනියම සෙල්ලම් කරනවා,බෝලෙකුත් නැතුව.මම චක්කරේ පාඩම් කළේත් ක්‍රිකට් වලින්.මට එවන හැම බෝලෙටම හයේ ඒවා ගහනවයි කියලා හිතාගෙන මම හවසට ලකුණු ගණන් කළා.මට එවන හැම බෝලෙටම හතරේ පාරවල් ගහනවා කියලා මම ලකුණු ගණන් කළා.මේ අතරේ සමහර දවස්වලට මම අල්ලපු ගෙදර තිලක් අයියලාගේ ගෙදර සෙට් එකත් එක්ක සෙට් එනවා.මොකද මම දන්නවා අපේ පාරෙන් ට්‍රේල් බයික් කීපයක් යද්දි,අද කට්ටිය සෙට් වෙන බව.හැබැයි මම තමයි එතැන හිටපු පොඩිම එකා.ඒත් මාව ඒගොල්ලෝ සවුත්තු කළේ නැහැ.මාවත් ගත්තා, ක්‍රිකට් ගහන්න හැම වෙලේම.

මේ හින්දා ඉස්කෝලේ හයේ පන්තියට යද්දි ක්‍රිකට් පිස්සුව තදටම වැදිලා තිබුණා.ඒ නිසා මම තීරණය කළා, ක්‍රිකට්වලට තෝරා ගැනීමේ නාලන්දා විද්‍යාලයීය පාසැල් කඳවුරට යන්න.ඒත් මම කවදාවත් ලෙදර් බෝලෙන් සෙල්ලම් කරලා තිබුණේ නැහැ.අනික එතැන හිටියේ ඒ වෙද්දි ක්‍රිකට් සමාජවල සෙල්ලම් කරන යාළුවෝ.අලුතින් ඇවිත් හිටියේ මම වගේ කීපදෙනෙක් තමයි.අපිට ඒත් ක්‍රිකට් බඩු ගන්න ඕනේ කියලා කල්පනාවක් තිබුණේ නැහැ.පස්සේ තමයි ඒක කල්පනාවට ආවේ.ඉතින් මම ඒ ගැන දවසක් පුහුණු කරන කෙනාගෙන් ඇහුවා.එතකොට කිව්වා, අනිවාර්යයෙන්ම ක්‍රිකට් බඩු ඕනේ කියලා.අපිට තේරුණේ ක්‍රිකට් බඩු සල්ලි දීලා අලුතින් ගන්න ඕනේ වගේ දෙයක්.මොකද අපි ඒවා කලින් අරන් තිබ්බේ නැහැනේ.දැන් මම අර කතාව කිව්වට පස්සේ,මගේ අනික් යාළුවොත් අප්සට්.ඒත් සමහරු මම වගේම අමාරුවෙන් හරි බඩු ටික අරගත්තා.ඒ කාලේ ගානේ හැටියට රුපියල් 5000ක් විතර ගියා.හැබැයි පස්සේ තමයි තේරුණේ, පුහුණුකරුවා කිව්වේ සෙල්ලම් කරන්න බඩු ඕනේ මිසක් සල්ලිවලට අලුතින් බඩුගන්න ඕනේය කියලා ඔහු අදහස් නොකරපු බවක්.ඒත් ඒ වෙද්දි අපි බඩු අරගෙන ඉවරයි.ඒ හින්දා පුහුණුවට තෝරාගන්න අන්තිම දවසේදි බඩුවලින්වත් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා අපි හිතුවා.අපි ඉස්කෝලේ වෙනම තැනක සෙට් වුණා.හරියටම කිව්වොත් පැවිලියන් එක පිටිපස්සේ,බාස්කට්බෝල් කෝට් එක හරියේ.එදා අපි සුපිරි මැච් එකක් ගැහුවා.ලොකු විනෝදයක් ලැබුවා.හැබැයි මගේ ජීවිතෙත් එතැනින්ම ඉවරවෙන්න තිබුණු අවස්ථා දෙකක්ම එදා යන්තම් මගහැරුණා.එක වතාවක් කැච් එකක් අල්ලන්න ගිහින් ලෙදර් බෝලේ නළලේ වැදුණා.අනික් වතාවේ වහලේ ඉඳලා රූටලා ආපු ලෙදර් බෝලේ පිට කොන්දේ වැදුණා.කොහොම වුණත් එදා අපි රෑ වෙනකම්ම සෙල්ලම් කළා.අම්මලා දැනන් හිටියා අපේ දුක.ඒ දුක නැතිවෙන්න එදා අපි සෙල්ලම් කරපු බවත් අම්මලා දැනන් හිටියා.එදා අපේ අම්මත් එක්ක මට මතක විදිහට බුවනෙකගේ අම්මත් හිටියා.
ඒ කොහොම වුණත් ගත්තු ක්‍රිකට් බඩු ටික ගැන ගෙදර ගියාට පස්සේ බැණුම් කෝටියයි.ඒ නිසා ඒකටත් සාධාරණයක් කරන්න හිතාගෙන මම හිතාගත්තා,කොහොමහරි ක්‍රිකට්වලින් ඉස්සරහට යනවා කියලා.ඒත් හත වසරේදි මම ගිය පුහුණු සැසියේදිත් මම අසමත් වුණා.අට වසරේදිත් ගියා.ඒ පාරත් අසමත් වුණා.අන්තිම උත්සාහය වශයෙන් නවය වසරේදිත් ගියා.ඒකත් අසාර්ථක වුණා.ඒත් ක්‍රිකට් සමාජයකට බැඳෙන්නත් මම එක පාරක් උත්සාහ කළා.ඒත් මුදල් ප්‍රශ්නයක් හින්දා සහ ඉගෙනීමට ප්‍රශ්නයක් වෙයි කියලා බයට තාත්තා හින්දම ආයෙත් ඒ තීරණේ පස්සට ගන්න වුණා.ඒත් ක්‍රිකට් උණ හැමදාම හිතේ රජ කරන්න වුණා.අනික් ක්‍රිඩා ගැන උණත් දවසින් දවස වැඩිවෙන්න වුණා.



හත වසරේදි තිබුණු මලල ක්‍රීඩාවට තෝරා ගැනීමේ පුහුණු සැසියේදී මාවත් මීටර් 100,200 ඉසව්වලට තේරෙන්නේ ඔය අතරේදි.උදේ පාන්දර පහට හෝ හයට අපිට එන්න කියලා තිබුණා.මංජුල සර් තමයි ඒ කාලේ හිටියේ.ආවේ නැත්නම් එදාම පන්තියට ඇවිත් ආපු නැති එකට හේතු අහනවා.අනික සර් ගහන පාරවල් රිදෙන හින්දා සර්ට හුඟක් දෙනෙක් බයවෙලා හිටියේ.කියන දේ අනිවාර්යයෙන්ම අපි කරනවා කියලා තමයි අපි හිතන් හිටියේ.මමත් ගියා මුල්ම දවසේ.උදේට වැඩිය කන්නෙත් නැති මට,උදේ පාන්දරම වට 10ක් දුවන්න වුණා.ඉන්පස්සේ මීටර් 100,200 ඉසව්වලට පුහුණු කරනවා.මට ඒ වෙද්දි හති.මට පේනවා ඒත් බුවනෙක යනවා විදගෙන.කොහොම වුණත් ඉන්පස්සේ හොඳට නාලා තමයි අපි පන්තියට ගියේ.ඒ හින්දා පන්තියේ ළමයිත් අපි දිහා අමුතු විදිහකට තමයි බැලුවේ.හැබැයි එනපොට හොඳ නැති බව තාත්තට තේරුණා.වහාම ක්‍රියාත්මක වන පරිදි මා තාත්තා,මලල ක්‍රීඩාවෙන් අයින් කළා.මලල ක්‍රීඩකයෙක් වීමේ අවසන් වුණේ අන්න එහෙමයි.

ටයිටැනික්,ජුරාසික් පාක් බලපු මට,ඔය කාලේදි තමයි චිත්‍රපට පිස්සුව ඔළුවට ගහන්නේ.ටයිටැනික් චිත්‍රපටය බලලා මම හුඟක් ඇඬුවා,පොඩි කාලේ.විශේෂයෙන්ම රෝස් බලන් ඉද්දිම ජැක්,සීතලට ගල්වෙලා මුහුදුබත් වෙන දර්ශනය මාව හුඟක් ඇඬෙව්වා.ඇත්තම කිව්වොත් ඒක කාලයක් පුරා හිතට දුකක් ගෙන ආවා. ජුරාසික් පාක් බැලුවට පස්සේ මට, ගෙයින් එළියට බහින්නත් බය හිතුණා.හැබැයි ඒ ඔක්කොම සංවේදී හැඟීම් දරදඬුවෙලා,හිතුවක්කාර චරිතයක් වෙන්න පටන් ගන්නේ අට වසරේ ඉඳන්.ඒත් ඒ මොහොතේත් මගේ හිතේ දෝංකාර දුන්නේ,ඒ වගේ හැඟීම්බර චිත්‍රපටයක් කවදාහරි හදන්න ඕනේ කියන එකයි.චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්න ඕනේ කියන හීනය එළියට එන්නේ එතකොටයි.

හැබැයි දහය,එකොළහ වසර වෙද්දි අපේ ඒ හීනය සිරස සුපර් ස්ටාර් විසින් අමතක කළා.මටත් ඕනේ වුණා ගායකයෙක් වෙන්න.අපි හැමදාම ඒකට පන්තියේදි පුහුණු වුණා.වැඩ නැති පීරියඩ්වලදි කළේ සින්දු කියන එක තමයි.මොකද මාත් එක්ක හර්ෂ සහ ජයසංඛ සුපර් ස්ටාර් යන්න හීන දැක දැක හිටියා.අපි කියන්න ඉන්න ගීත අහන්නත් කට්ටිය උනන්දුවෙන් බලන් හිටියා.ඒත් ඔය අතරේදි මම ප්‍රවීණ සංගීතඥ සරත් වික්‍රම ළඟට ගිහින් කටහඬ හදාගන්න උත්සාහ දැරුවාට පස්සේ ගායකයකු වීමේ හීනයත් එතැනින්ම වලපල්ලට ගියා.මොකද ඒ තරමටම මම ඒ ගැන කළකිරුණා.

උසස් පෙළට මම තෝරාගත්තේ ගණිත අංශය.මේ හින්දා මගේ ජීවිතේ වෙනත් පිටුවක් පෙරලුණා.අන්තිම වෙද්දි මට රසායන විද්‍යාව පැත්තෙන් ව්‍යාපාරිකයෙක් වෙන්න හීන මවමින් හිටියා.ඒත් ඒ හීනයටත් තාවකාලිකව සමුදෙන්න මට සිද්ධවුණා.

අනික උසස්පෙළත් අසමත් වෙලා ආයෙත් කලා අංශයෙන් උසස් පෙළ හදාරලා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම ලබද්දි මම හිතන් හිටියේ නාට්‍යකරුවෙක් වෙනවා කියලයි.ඒත් ඒ හීනයත් තාවකාලිකව හිතින් අයින් කරන්න මට සිද්ධවුණා.ඒකට හේතුවුණේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙනතුරු කල් මැරූ මට, ආයෙත් චිත්‍රපට උණ බෝවුණු හින්දයි.මොකද ඒ වෙද්දි මම ජනමාධ්‍යවේදියෙක් වශයෙන් වගේම,තරුණයා පුවත්පතේ හොලිවුඩ් සිනමා අතිරේකයේත් සංස්කාරකවරයා විදිහට වැඩ කටයුතු කළ හින්දා. මේ නිසාම මම අවසානයේදී කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රිපාලි මණ්ඩපයේ සිනමා විශේෂවේදී උපාධියට සුදුසුකම් ලැබුවේ නිතරම විෂය පථය සමග යාවත්කාලීන වුණු හින්දා ඇසූ ප්‍රශ්න මට ඒ හැටි අමාරුවක් නැතිවුණු හින්දා.

මේ අනුව ආයෙත් මගේ ජිවිතයට සිනමාකරුවෙක් වීමේ හීනය ඇවිත් තියෙනවා.ඒත් ජනමාධ්‍ය අත්නොහරින්නේ සිනමාව මගේ හීනය වුණත් ජනමාධ්‍ය මගේ ජිවිතය හින්දයි.පවුල් පසුබිමින්ම මට ඒක උරුම හින්දයි.අනික ජනමාධ්‍ය තුළින් තරම් සමාජයට වැඩක් කළ හැකි වෙනත් මාධ්‍යයක් මට තවමත් හමුවෙලා නැහැ.(නවමාධ්‍ය තුළින් වුණත් තවමත් විශාල බලපෑමක් කරන්නට බැහැ.).සිනමාව මගේ රූපමය අවකාශය වෙද්දි, පුවත්පත මගේ මුද්‍රිත අවකාශය වෙන්නේ ඒ හින්දයි.

මාලන් විදානපතිරණ

Monday, March 2, 2015

“පිට නෑ මහත්තයා පිට නෑ“ 2014/09/14

“පිට නෑ මහත්තයා පිට නෑ“


හත වසරේ 7 - A පන්තිය කියන්නේ අපේ සෙක්ෂන් එකේ තිබුණූ හොඳම පන්තිය.මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.මොකද මනෝජා රත්නායක තමයි අපේ පන්තිභාර ටීචර්.ඒ තරම් විනය හදපු,ඒ තරම් නීති දාපු, ඒ තරම් නායකත්ව පුහුණුවක් දුන්නු කිසිම ගුරුවරියක් මම දැක්කේ නැහැ. ටිකක් සැර වුණාට පුදුම කාරුණික හිතක් තියෙන්නේ.හැමෝටම තමන්ගේ දක්ෂතාවලට තැනක් ලැබුණා.අදටත් ගජ යාළුවෝ විදිහට ඉන්න අපේ අම්මයි, සිදත්ගේ (සිදත් ගුණසේන) අම්මයි ආයෙත් යාළුකම අලුත් කර ගත්තෙත් මේ පන්තියේදි.කොහොම වුණත් මම මේ කියන්න යන්නේ ඊට වඩා වෙනස් කතාවක්.මට මතක විදිහට මේක සිද්ධවුණෙත් හත වසරේදි.ඒ පන්තියේම තමයි මධුක හිටියෙත්.අපිට ඒ කාලේ තිබුණා ජීවණ නිපුණතා කියලා විෂයක්. ඒක ඉගැන්නුවේ හරිම ජොලි සර් කෙනෙක් පණ්ඩිතරත්න සර් කියලා. ඉතින් ඒ පීරියඩ් එකේ තමයි අපි මිස් වෙච්ච වැඩ ඔක්කොම කරන්නේ.සර්ත් ඒකට මුකුත් කියන්නේ නැහැ. මොකද සර්ගේ විෂයත් ජීවන නිපුණා නෙමෙයි කිය කිය සර්ත් හැමදාම අපිත් එක්ක චැට් එක දාගෙන හිටියා.ඒ මිසක වැඩි වැඩක් කෙරුණේ නැහැ.

මොකද ඇත්තටමත් සර්ගේ විෂය තර්ක ශාස්ත්‍රය.කොහොම වුණත් නිකම්ම ඉඳලා බැරි නිසා සර් කිව්වා දවසක් කණ්ඩායම්වලට බෙදිලා නාට්‍යයක් කරන්න කියලා. ඒක ක්ෂණික නාට්‍යයක්. එවෙලේ හැදුවා එවෙලේ පෙන්නුවා.ඉතින් මගේ කණ්ඩායමේ හිටියා මධුකයි,තනුජයි,ප්‍රමෝදුයි තවත් සෙට් එකක්. අපේ උන් දැනන් හිටියා මට ඉතින් ඔය වගේ එව්වා පුළුවන් කියලා.

“ඒ මචං මොකක්හරි කියපං දැන් ටක් ගාලා කරන්න“ ප්‍රමෝද් කිව්වා.

“මාලන්, උඹට මොකක් හරි අයිඩියා එකක් තියෙනවාද “ මම ඒ වෙනකොටත් හිනාවෙවී ඉන්නවා දැකපු මධුකත් ඇහුවා

මොකද තොප්පිය අන්තිමට මට වැටෙන බව මම දැනන් හිටියා. ඒ හින්දා සර් මේ ගැන කියනකොටම ‍මම ටක් ගාලා ඒ වෙලාවෙම ලෑස්ති වුණා.

හැබැයි ඒක මගේම කතාවක් නෙමෙයි.ඒත් ‍ඒ වෙලාවේ හැටියට මසුරන් වටින කතාවක් නිසා අපේ එවුන් ඒක තෝරා ගත්තා.ඒ තමයි පිටකොටුවේ පේමන්ට් එකේ ඇඳුම් විකුණන වෙළෙන්ඳෙක්ගේ කතාව.

“ආ. එන්න මහත්තයා. ලාබයි ලාබයි. පිට නෑ පිට නෑ මෙහෙ විතරයි. ගන්න මහත්තයා. ගන්න නෝනා“ මධුක තමයි මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය කළේ.
මධුක හරිම ලස්සනට එදා ඒ චරිතය කළා.ක්ෂණික නිරූපණයක් වුණාට අතිනුත් දෙබස් දාලා ළමයි ඔක්කොම හිනා ගැස්සුවා.මට ඉතින් හරි සතුටුයි.

“ඇයි මහත්තයා මොකක්ද ප්‍රශ්නේ “

“මේ ඕයි.මොකක්ද අයිසේ මට ඊයේ තමුසේ විකුණපු ෂර්ට් එක.ඒකේ පිට නෑනේ “

“ඉතින් මහත්තයා මම බොරුවක් කිව්වැයැ.“

“මොකක්ද ඕයි ඒ කතාවේ තේරුම“

“මම කෑ ගගහ කිව්වේ ඒක තමයි පිට නෑ කියලා. මහත්තයාමනේ සල්ලි දීලා මේක ගත්තේ.“

ළමයි එදා තමයි මධුකගේ නියම රංගන හැකියාව දැක්කේ.හැබැයි ලංකාවේ අවාසනාව කියන්නේ දිගටම ඉගෙන ගනිද්දි ඔය වගේ කලා හැකියා තියෙන ළමයින්ට ඉස්කෝලවලින් නිසි අවස්ථාවක් ලැබුණේ නැහැ.එහෙම අවස්ථාවක් තිබුණත් ඒ ගැන ගුරුවරු පවා වැඩි සැළකිල්ලක් දැක්වුවේ නැහැ.මොකද ඒගොල්ලන්ට ඕනැ කළේ මුරුච්චි ඇණ ටිකක් විතරයි.එහෙම නැතුව සංවේදී පුරවැසියෝ ටිකක් නෙමෙයි.ඒත් එදා මධුක වගේ කොල්ලොන්ට ඉස්සරහට එන්න චාන්ස් එකක් තිබ්බා නම් ගණිත අංශයෙන් ඉගෙන ගත්තත් වැඩක් ගන්න තිබ්බා උන්ගෙන්.ඒත් වැඩක් ගත්තේ නැහැ.එදායින් පස්සේ මම ඌගේ එහෙම රඟපෑමක් දැක්කෙත් නැහැ.ඕකයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඛේදවාචකය.

මාලන් විදානපතිරණ

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා -1 2015/03/02

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා -1


ඉස්සර ඉස්කෝලේ යන කාලේ ගෑණු ළමයෙක් හිනා වුණත් ඒක අපිට ඇති,මාස ගාණකට.ඉතින් අපේ ට්‍රයි එක කොහොම හරි එහෙම දෙයකට පොළඹවගන්න.ඉතින් මටත් ඒ විසේ තදේටම ඒ කාලේ තිබ්බා.ඒත් මම ඒක පෙන්නන්න ටිකක් බය වුණා.බයකට වඩා චකිතයක් තිබ්බා.මොකද ඉන්පස්සේ ඒකට ලැබෙන බයිට් එක ඉවසන්න ඒ කාලේ මට ශක්තියක් තිබ්බේ නෑ.ඒ නිසා මගේ හොඳමම යාළුවන්ට විතරයි,කෙල්ලෝ සම්බන්ධ දේවල් කිව්වේ.ඒ වගේ රසවත් මතකයක් මට දැන් මතක් වුණා.

මේක සිද්ධවෙන්නේ මම ඕලෙවල් කරන කාලේ.මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්න නම් අටේ කණුව බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා කිලෝමීටර් එක හමාරක් විතර එන්න ඕනේ.ඉතින් යාළුවෝ එක්ක කදේ දාගෙන ඉඳලා,හුඟක් දවසට මම අටේ කණුවෙන් බහින්නේ දෙක හමාරට විතර.

අනික ඒ කාලේ අපි කොච්චර ගේට්ටුව ළඟ තිබ්බත්,ගොඩක් වෙලාවට ගියේ ලොකු ගේට්ටුවෙන්.උදේට වුණත් එහෙමයි.මොකද ලොකු ගේට්ටුවෙන් යද්දි තමයි,ගෝතමි බාලිකා විද්‍යාලය අහුවෙන්නේ.(මේක ගොඩක් මගේ ඉස්කෝලේ යාළුවෝ නොදන්න මම ඒ කාලේ නිතරම ඕනෙකමින්ම කරපු දෙයක්)

කොහොම හරි මම ගෙදරට යන බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ටික දුරක් යද්දි හරිම හුරුබුහුටි ගෑණු ළමයෙක් හැමදාම වගේ මට හම්බවෙනවා.ටිකක් පොඩියි එයා.හැබැයි හැඩයි. අහිංසකයි.ඒත් ගොඩක් දවසට එයාගේ අයියා ඇවිත් මගදී එයාව බයික් එකේ දාගෙන යනවා. ඒත් මට එයාව හිතට අල්ලලා ගියා.

ඉතින් දවසක් මම බැහැලා ටික දුරක් යද්දී මට පේනවා ඒ ගෑණු ළමයා ඈත යනවා. එදා එයයි මමයි විතරයි හිටියේ පාරේ පේන තෙක් මානෙක.මමත් අඩිය ඉක්මන් කළා.මට ඕනේ වුණේ එයාගේ අවධානය දිනාගන්න.

වැඩි වෙලාවක් ගියේ නෑ.මම එයාගේ ගාණටම ආවා.දැන් අපි දෙන්නා පාරේ දෙපැත්තේ එක ළඟ එක ගාණට යනවා.ඒත් එයා දන්නේ නෑ මාව.ඒත් එයාගේ මූණේ ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා මට තාම මතකයි. මම එයාගේ අවධානය ගන්න හිතාගෙන කඩාගෙන බිඳගෙන ආපු බවක් එයා දන්නෙ නැති නිසා එයා,එයාගේ පාඩුවේ ආවා.

මේ අස්සේ මටත් අමතක වුණා,මම එයාට කලින් ඉස්සරහින් හැරෙනවා කියලා.ඒත් මම උත්සාහය අතඇරියේ නෑ.හැරෙන ගමන්ම හෙමින් සැරේ එයා දිහා හැරිලා බැලුවා.එයත් මගේ දිහා හැරිලා බැලුවා.අපි හිතුවේ අපි හැරිලා බලද්දි කෙල්ලත් හැරිලා බැලුවොත් ඒ කියන්නේ කෙල්ල අපිට කැමැතියි කියලයි.හරියට හින්දි චිත්‍රපටි වගේ.

හැබැයි එයා නම් බැලුවේ හරියට හැමදාම දකින හුරුපුරුදු කෙනෙක් දිහා බලනවා වගෙයි.එයා බැලුවා විතරක් නෙමෙයි. බලලා හිනාත් වුණා.කොච්චර සතුටුද කිව්වොත් මමත් හැරෙද්දී ලාවට බායි කියලා කිව්වා. ඒත් එයා බය නැතිව කටපුරා මට බායි කිව්වේ හරියට ආයේ හම්බවෙමු වගේ.

මට දැන් මේක අදහාගන්න බැහැ.සතුට දෝරේ ගලා යනවා. මම මගේ යාළුවෝ එක්ක මේ ගැන ඉස්කෝලෙදි දැන් කියවනවා

“මචං අර කෙල්ලව ඉන්පස්සේ හම්බවුණේ නැද්ද ? “ මට මතකයි ඉන්පස්සේ දවසක සිදත් මගෙන් ඇහුවා.

“හම්බවුණා.හම්බවුණා“ මමත් ඉතින් ඉන්පස්සේ රස කර කර කිව්වා.

“දැන් උඹ ඒ කෙල්ලට ට්‍රයිද ?“

“හ්ම්ම්“

“ඒත් උඹ දන්නේ කොහොමද ඒ කෙල්ල උඹට කැමැතියි කියලා“

“යකෝ කෙල්ල හැරිලා බැලුවා නම්, හිනාවුණා නම්,බායි කිව්වා නම් තව මොනාද ?“

“ආව් ආව් මාලන්.කෝ බලන්න මූණ ?“ සිදත් මාව යාළුවෝ එක්ක බයිට් කරන්න පටන් ගත්තා.

මේ අතර දවසක තමයි,වාසනාවන්ත වැස්සක් වහින්න පටන් ගත්තේ.
හැබැයි එදා ගංවතුර වගේ තදේටම වැස්ස වහින්න පටන් ගත්තා.මම කුඩයක් අරන් ඇවිත් තිබුණට මම දැක්කා කෙල්ල කුඩයක් නැතිව අමාරුවෙන් ඉන්නවා.එවෙලේ මම දිග කලිසම උඩටම නවාගෙන හිටියේ.මම කිව්වා යං කියලා.ඒත් මම හිතුවේ නැහැ එයා එයි කියලා.ඒත් එයා මම යමු කියපු හැටියෙම දුවගෙන මගේ ළඟට ආවා.

මට දැන් ඒ හැඟීම හිතාගන්න බෑ.මම ට්‍රයි කරන කෙල්ල මම ළඟ.හරියට හීනයක් වගේ.අනේ ඒත් එයාට ඒක ගාණක්වත් නෑ.එයා වැස්ස ගැන කතා කරනවා.ඒත් මම කතා කළේ එයාගේ ඉස්කෝලේ ගැන.එයා කීයෙද ඉන්නේ,මොනවද කරන්නේ,කොහේද ගෙවල් ඔව්වා තමයි මගේ ප්‍රශ්න.

ඒත් එයත් කිසි බයක් සැකක් නැතිව ඒවාට උත්තර දුන්නා.මට ඒක තාම මතකයි.හැබැයි අපිට වැඩිවෙලා කතා කරන්න ලැබුණේ නැහැ.

“යන්නම් අයියේ.මට මේ ටික දුවලා යන්න පුළුවන්“ එයා කිව්වා

“ඉන්න මම ගේ ගාවට ඇරලවන්නම්.“ මම අප්සට් එකෙන් කිව්වා

“කමක් නෑ අයියේ.තෑන්ක් යූ“එයා හැරිලාවත් බැලුවේ නෑ.දුවගෙනම ගෙදරට ගියා.

ඒත් මම එදා සතුටු වුණා.

“යන්තම් ගේ හොයාගත්තා“ මම මටම කියාගත්තා.

හැබැයි එදා කුඩේ යටින් ගිය සිද්ධිය මම යාළුවන්ට කිව්වේ නෑ.මම ඒකට බය වුණා.චකිතයක් තිබ්බා ඒක කියන්න මට.ඒ නිසා මම යාළුවන්ට කිව්වේ කෙල්ලගේ ගේ හොයාගත්තා කියලා විතරයි.

ඒත් මම එදායින් පස්සේ කෙටි පාරෙන් හැරෙන්නේ නැතුව දිගටම යන්න තීරණය කළා.මොකද මම හිතුවා,එතකොට තව ටිකක් එයාට ළංවෙන්න පුළුවන්න කියලා.

“මොකද පුතේ පරක්කු.වෙනදට කලින් එනවනේ ?“ අම්මා දවසක් ඇහුවා.

“ට්‍රැෆික් අම්මේ.අනික දන්නවනේ කොල්ලො සෙට් එකත් එක්ක එන්න ගියාම.“ මම කිව්වා.

මොකද අම්මලා දන්නේ නැහැ,මම කෙල්ලෙක් පස්සේ යනවා කියලා.

අනික එයා වැස්ස දවසේ ගියේ වෙන ගෙදරකට නිසා, මට ඕනේ වුණා ඇත්තම ගෙදර හොයාගන්න.ඒ වගේම වැඩි දවසක් නොගිහින් මම ඒක හොයාගත්තා.මම හිතන්නේ එයා එදා වැස්ස දවසේ ගියේ නෑදෑ ගෙදරකට.

එයාට ඉන්නවා ලස්සන අහිංසක මල්ලියෙක්.එයා හරි ආදරෙයි, ඒ මල්ලිට.සමහර දවස්වලට ගේට්ටුව ළගම ඒ මල්ලි ඉන්නවා මට පේනවා.ඒ වගේ දවස්වලට එයා දුවගෙන යනවා මල්ලි ළඟට.

කොහොම වුණත් හැමදාම වෙලාව අල්ලලා එයත් එක්කම එන එක ප්‍රශ්නයක් කියලා ටික ටික මට තේරුණා.අනික හැමදාම දකින කුකුළාගේ කරමලෙත් සුදුයි කියනවලු.ඒ නිසා මමත් එයාව හම්බවෙන දවස් අඩු කළා.

ඒත් ඒකෙන් අන්තිමට වුණේ අපි දෙන්නම ඈත් වුණ එක. පස්සේ පස්සේ එයා ඉස්කෝලේ යන දවස්වත් මට හොයාගන්න බැරිවුණා.කලාතුරකින් තමයි හම්බවුණේ.අනික මම ආදරේ කළෙත් ඉස්කෝලේ ඇඳුම ඇඳන් හිටපු ගෑණු ළමයට.

ලස්සන හිනාවකින් මූණ සරසගෙන හිටියත් එයා ටික ටික වෙනස් වුණා.සමහර දවස්වලට එයා කව්දෝ කොල්ලෙක් එක්ක යනවා මම දැක්කා.සමහර දවස්වලට ගේ ළඟ මල්ලිත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා මම දැක්කා.ඒ වගේ දවස්වලට එයා මාත් එක්ක හිනා වුණා.වෙනදා වගේම.මට මතක විදිහට එතකොට මම ඒලෙවල් ක්ලාස් යනවා.ඒ නිසා මට හැමදාම වගේ එයාගේ පාස් කරන්න වෙනවා.

ඒ නිසාමද කොහෙද පුරුද්දට ව‍ගේ මම අදත් එතැනින් යද්දි එයාලගේ ගේට්ටුව දිහා බලනවා. එයා මල්ලිත් එක්ක සෙල්ලම් කරනවද කියලා බලනවා.ඒත් ආයෙත් එයාව එහෙම දකින්න ලැබෙන එකක් නැහැ.මම හිතන්නේ එයාව කවුරුහරි අරන් ගිහින්.වෙන කාටහරි අයිතිවෙලා වෙන්න ඇති. දැන් එයා අලුත් ජිවිතයක් තෝරාගෙන ඇති.

ඒත් ඒ සුන්දර ආදර කතාව මට කවදාවත් අමතක වෙන එකක් නැතිවෙයි.කෙනෙක්ට මේක ආදර කතාවක් කියලා නොපෙනෙන්න පුළුවන්.ඒත් මට නම් ඒක හිතේ උපන් වෙනස්ම ආදරයක්

මාලන් විදානපතිරණ