“පිට නෑ මහත්තයා පිට නෑ“
හත වසරේ 7 - A පන්තිය කියන්නේ අපේ සෙක්ෂන් එකේ තිබුණූ හොඳම පන්තිය.මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.මොකද මනෝජා රත්නායක තමයි අපේ පන්තිභාර ටීචර්.ඒ තරම් විනය හදපු,ඒ තරම් නීති දාපු, ඒ තරම් නායකත්ව පුහුණුවක් දුන්නු කිසිම ගුරුවරියක් මම දැක්කේ නැහැ. ටිකක් සැර වුණාට පුදුම කාරුණික හිතක් තියෙන්නේ.හැමෝටම තමන්ගේ දක්ෂතාවලට තැනක් ලැබුණා.අදටත් ගජ යාළුවෝ විදිහට ඉන්න අපේ අම්මයි, සිදත්ගේ (සිදත් ගුණසේන) අම්මයි ආයෙත් යාළුකම අලුත් කර ගත්තෙත් මේ පන්තියේදි.කොහොම වුණත් මම මේ කියන්න යන්නේ ඊට වඩා වෙනස් කතාවක්.මට මතක විදිහට මේක සිද්ධවුණෙත් හත වසරේදි.ඒ පන්තියේම තමයි මධුක හිටියෙත්.අපිට ඒ කාලේ තිබුණා ජීවණ නිපුණතා කියලා විෂයක්. ඒක ඉගැන්නුවේ හරිම ජොලි සර් කෙනෙක් පණ්ඩිතරත්න සර් කියලා. ඉතින් ඒ පීරියඩ් එකේ තමයි අපි මිස් වෙච්ච වැඩ ඔක්කොම කරන්නේ.සර්ත් ඒකට මුකුත් කියන්නේ නැහැ. මොකද සර්ගේ විෂයත් ජීවන නිපුණා නෙමෙයි කිය කිය සර්ත් හැමදාම අපිත් එක්ක චැට් එක දාගෙන හිටියා.ඒ මිසක වැඩි වැඩක් කෙරුණේ නැහැ.
මොකද ඇත්තටමත් සර්ගේ විෂය තර්ක ශාස්ත්‍රය.කොහොම වුණත් නිකම්ම ඉඳලා බැරි නිසා සර් කිව්වා දවසක් කණ්ඩායම්වලට බෙදිලා නාට්‍යයක් කරන්න කියලා. ඒක ක්ෂණික නාට්‍යයක්. එවෙලේ හැදුවා එවෙලේ පෙන්නුවා.ඉතින් මගේ කණ්ඩායමේ හිටියා මධුකයි,තනුජයි,ප්‍රමෝදුයි තවත් සෙට් එකක්. අපේ උන් දැනන් හිටියා මට ඉතින් ඔය වගේ එව්වා පුළුවන් කියලා.
“ඒ මචං මොකක්හරි කියපං දැන් ටක් ගාලා කරන්න“ ප්‍රමෝද් කිව්වා.
“මාලන්, උඹට මොකක් හරි අයිඩියා එකක් තියෙනවාද “ මම ඒ වෙනකොටත් හිනාවෙවී ඉන්නවා දැකපු මධුකත් ඇහුවා
මොකද තොප්පිය අන්තිමට මට වැටෙන බව මම දැනන් හිටියා. ඒ හින්දා සර් මේ ගැන කියනකොටම මම ටක් ගාලා ඒ වෙලාවෙම ලෑස්ති වුණා.
හැබැයි ඒක මගේම කතාවක් නෙමෙයි.ඒත් ඒ වෙලාවේ හැටියට මසුරන් වටින කතාවක් නිසා අපේ එවුන් ඒක තෝරා ගත්තා.ඒ තමයි පිටකොටුවේ පේමන්ට් එකේ ඇඳුම් විකුණන වෙළෙන්ඳෙක්ගේ කතාව.
“ආ. එන්න මහත්තයා. ලාබයි ලාබයි. පිට නෑ පිට නෑ මෙහෙ විතරයි. ගන්න මහත්තයා. ගන්න නෝනා“ මධුක තමයි මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය කළේ.
මධුක හරිම ලස්සනට එදා ඒ චරිතය කළා.ක්ෂණික නිරූපණයක් වුණාට අතිනුත් දෙබස් දාලා ළමයි ඔක්කොම හිනා ගැස්සුවා.මට ඉතින් හරි සතුටුයි.
“ඇයි මහත්තයා මොකක්ද ප්‍රශ්නේ “
“මේ ඕයි.මොකක්ද අයිසේ මට ඊයේ තමුසේ විකුණපු ෂර්ට් එක.ඒකේ පිට නෑනේ “
“ඉතින් මහත්තයා මම බොරුවක් කිව්වැයැ.“
“මොකක්ද ඕයි ඒ කතාවේ තේරුම“
“මම කෑ ගගහ කිව්වේ ඒක තමයි පිට නෑ කියලා. මහත්තයාමනේ සල්ලි දීලා මේක ගත්තේ.“
ළමයි එදා තමයි මධුකගේ නියම රංගන හැකියාව දැක්කේ.හැබැයි ලංකාවේ අවාසනාව කියන්නේ දිගටම ඉගෙන ගනිද්දි ඔය වගේ කලා හැකියා තියෙන ළමයින්ට ඉස්කෝලවලින් නිසි අවස්ථාවක් ලැබුණේ නැහැ.එහෙම අවස්ථාවක් තිබුණත් ඒ ගැන ගුරුවරු පවා වැඩි සැළකිල්ලක් දැක්වුවේ නැහැ.මොකද ඒගොල්ලන්ට ඕනැ කළේ මුරුච්චි ඇණ ටිකක් විතරයි.එහෙම නැතුව සංවේදී පුරවැසියෝ ටිකක් නෙමෙයි.ඒත් එදා මධුක වගේ කොල්ලොන්ට ඉස්සරහට එන්න චාන්ස් එකක් තිබ්බා නම් ගණිත අංශයෙන් ඉගෙන ගත්තත් වැඩක් ගන්න තිබ්බා උන්ගෙන්.ඒත් වැඩක් ගත්තේ නැහැ.එදායින් පස්සේ මම ඌගේ එහෙම රඟපෑමක් දැක්කෙත් නැහැ.ඕකයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඛේදවාචකය.
මාලන් විදානපතිරණ
No comments:
Post a Comment