Friday, February 27, 2015

ස්තුතියි මචං 2014/08/31

ස්තුතියි මචං


උසස් පෙළට ඉගෙන ගන්න කාලේ ගණන් හදනවා ඇරෙන්න කලාව ගැන හදාරන්න වෙලාවක් අපිට තිබුණේ නැහැ.ඒ ගැන කතා කරන්න පුළුවන් ගොඩක් එවුන් හිටියෙත් නැහැ.හැමෝම පිස්සු බල්ලෝ වගේ උදේ පාන්දර ඉඳන් ගණන් හදනවා.
ඒත් අලුත් ෆිල්ම් එකක් ආවාම,අලුත් සින්දුවක් ආවාම සී.ඩී රයිට් කරවගෙන,පෙන්ඩ්‍රයිව් මාරු කරගෙන ඒවා අහන්න බලන්න අපේ පුරුද්දක් තිබුණා.
ඔය කාලේදි අනික් ළමයි පුස්තකාලයෙන් තමන්ගේ විෂයට අදාළ පොත් මාරුකර ගනිද්දී මම ඒකෙන් ගත්තේ නවකතා පොත්.එක්කෝ සෝවියට් රුසියානු පොත්.අපේ පන්තියේ එවුන් මට හිනා වුණා.ඒත් මගේ මොකක්දෝ කරුමයකට මට ඒකෙන් විද්‍යාවට අදාළ පොතක් ගන්න ඉස්කෝලෙන් අස්වෙනකම්ම බැරිවුණා.අඩුම ගාණේ විද්‍යා ප්‍රබන්ධ කතා පොතක්වත් ගන්න බැරිවුණා.ඒ නිසා මම පුස්තකාලයෙන් ඇතුල් වුණාමයි,පොත ගෙදර ගෙනියන්නයි හදද්දි පුස්තකාලාධිපතිනිය පවා මගේ දිහා බැලුවේ අමුතු විදිහකට.අමුතු විදිහකට හිනාවෙලා.පොත බාරදෙන්න ආවමත් එහෙමයි.
හැබැයි ඒ කොහොම වුණත් මම පන්තියට පොතක් අරගෙන ආවාම උනන්දු වෙන කීපදෙනෙක් අපේ පන්තියෙත් හිටියා.උන් තමයි මාත් එක්ක අලුතින් එන චිත්‍රපටි,සින්දු ගැන කතා කරන්නේ.ඒත් චිත්‍රපටි ගැන කතා කරද්දි හැමදාම මාත් එක්ක ඇමිණෙන්න එන කොල්ලෙක් හිටියා.ඌ තමයි පසන්.හරියටම කිව්වොත් Pasan Munasinghe.ඒකට ලොකු හේතුවකුත් තිබුණා.ඒ තමයි ඒ දවස්වලට මට තිබුණු හින්දි චිත්‍රපට පිස්සුව.ඒක කොච්චර වැඩිද කියනවා නම් බදාදා මම ඉස්කෝලේ ඇරිච්ච ගමන් ගෙදර දුවන්නේ දෙක හමාරට අයි.ටී.එන්.එකේ දාන හින්දි චිත්‍රපට ගීත වැඩසටහන බලන්න ඕනේ හින්දයි.ඉන්පස්සේ ඉතින් අනික් දවසේ ඒකේ ගිය සින්දු ගැනයි,අලුතින් එන චිත්‍රපට ගැනයි කයිවාරුව තමයි.
“යකෝ හින්දි ෆිල්ම්ස් විතරක් නෙමෙයි.හැම ෆිල්ම් එකක්ම බලන්න පුරුදු වෙයන්.එතකොටයි මිනිහෙක් සම්පූර්ණ වෙන්නේ.මම නම් එහෙමයි.හැම ෆිල්ම් එකක්ම බලනවා.“ දවසක් කෙමිස්ට්‍රි ලැබ් එකේදි මට පසන් එහෙම කිව්වේ මගේ ආකල්පය වැරැදි බව කියලා.
මමත් ඒ වෙලාවේ සද්ද නැතුව හිටියා.මොකද එවෙලේ ඒ ගැන තව තර්ක කරනවාට වඩා ඒ ගැන හිතලා බලලා උත්තරයක් දෙන්නයි මට ඕනේ වුණේ.
උදේ පාන්දරම එන අපේ පන්තියේ(13 -E) පසන්, අපි පන්තියට එන කොට පන්තියේ පිටිපස්සේ පේළියේ පැද්දි පැද්දි ඉන්න චරිතයක්.මොකක් හරි පොතක් කියව කියව තමයි ඉන්නේ.මට මතක හැටියට හුඟක් වෙලාවට ඒක නවකතාවක්.
ඒ හින්දා මූ මොකක්ද මේ කිව්වේ කියලා මම ආයෙත් කල්පනා කළා. කියපු දේ ගැන තර්ක කරනවාට වඩා කියපු දේ කරලා බලන එක හොඳයි කියලා හිතුවේ ඒ හින්දයි.
එදායින් පස්සේ මම අහුවෙන හැම ෆිල්ම් එකක්ම බලන්න පටන් ගත්තා.හැම රටකම, හැම භාෂාවකම, හැම ආකාරයකම චිත්‍රපට මට බලන්න ලැබුණා. අහුවෙන හැම චිත්‍රපට උලෙළකට යන්න පටන් ගත්තා.විශේෂයෙන්ම සිංහල චිත්‍රපටවත් බලන්න එච්චර කැමැත්තක් දක්වපු නැති මම ඒවාත් දිගටම බලන්න පටන් ගත්තා.
හින්දි චිත්‍රපටවලට වඩා සිනමාත්මක කොච්චර චිත්‍රපට තියෙනවද කියලා තේරෙන්න පටන් ගත්තේ ඉන්පස්සෙයි. දැන් ඒක මට තහවුරු වෙලා.
මේ වෙනකොට කොළඹ අන්තර්ජාතික සිනමා උලෙළට යන්න තරම් උණක් මට බෝ වෙලා තියෙන්නේ ඒ හින්දයි.ඒ නිසා ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වීමට නියමිත මහා සිනමා සැණකෙළිය,ආරම්භ වන්නට දින කීපයක් තිබියදී ඒ දයාබර සොහොයුරාට ස්තුතිවන්ත වෙන්න හිතුවේ ඒ හන්දයි.
මාලන් විදානපතිරණ

No comments:

Post a Comment