තාමත් මුණගැහුණේ නෑ.......
ඉස්සර එක වසරේදි අපි ඉන්ටර්වෙල් එක එනකම් බලන් ඉන්නේ ග්‍රවුන්ඩ් එකට යන්න. අපි දැනං හිටියා අපිට ලොකු ග්‍රවුන්ඩ් එකට යන්න දෙන්නේ නැහැ කියලයි. ඒ හින්දා නයි ගහ ළඟ තිබුණු පොඩි ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න බලන් තමයි අපි හිටියේ.ඔන්චිල්ලා පදින්න,ලිස්සන බෝට්ටු පදින්න,අල්ලන් සෙල්ලම් කරන්න, හැංගි මුත්තන් කරන්න ඔය මොන සෙල්ලම කරන්න හරි දහය, දහය හමාර වෙනකම් ඉවසුමක් තිබ්බේ නැහැ.ඉතින් අපි බෙල් එක ගහපු ගමන් ග්‍රවුන්ඩ් එකට දුවනවා. සමහර දවස්වලට අපි එද්දි ඉඩ නැහැ.සමහර දවස්වලට ඉඩ තියෙනවා.ඉඩ තිබ්බ දවස්වලට අපි නගිනවා ඔන්චිල්ලාවට. නැගලා පදිනවා. ඒත් කවුරුවත් එන්නේ සමහර වෙලාවට ඔන්චිල්ලාවට පොඩි තල්ලුවක් දෙන්න.එතකොට ඉතින් ඔන්චිල්ලාවත් එක්ක ඉස්සරහට ගිහින් තනියෙන් තල්ලු තමයි.මොකද සමහර වෙලාවට බලන් ඉඳලා බලන් ඉඳලා අන්තිමට ඔන්චිල්ලාව ලැබෙන්නේ බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියෙද්දි.ඒ නිසා ඔන්චිල්ලාව ගැන තිබ්බ ආසාව ටික ටික අඩුවුණා.කලිසමේ ජරාව ගෑවිලා අම්මගෙන් බැණුම් ඇහුවත් ලිස්සන බෝට්ටුවේ නගින්න ආසා කළේ මේ එක්කමයි.ඒ නිසා අම්මා එපා කීවත්,තියෙන හිතුවක්කාරකමට දෙක වසර වෙනකම්ම මෙහෙම සෙල්ලම් කර කර හිටියා.
ඒත් දෙක වසරෙදි මම ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කර ඉන්ඳැද්දී ළමයි,ටීචර්ස්ලා ඔක්කොම ලිස්සන බෝට්ටුව ළඟට වට වෙනවා මම දැක්කා.මමත් ටිකක් එබිකම් කරලා බැලුවා.ඒ්ත් කිසිම දෙයක් හරියට බලාගන්න බැරිවුණා.
“හැමෝම තම තමන්ගේ පන්තිවලට යන්න“ ටීචර් කෙනෙක් සැරෙන් කිව්වා.
ළමයි ඔක්කෝම ආපහු පන්තිවලට ගියා.එදා අපිට විනාඩි පහකට වඩා සෙල්ලම් කරන්න බැරිවුණා.මගේ පාසැල් ජිවිත කාලේ අඩුම වෙලාවක් සෙල්ලම් කළේත් එදා.
“ඒ මල්ලිගේ කකුල කැඩිලාලු“ මට දවසක් මගේ යාළුවෙක් කියනවා ඇහුණා.
“නෑ??????“ මම පුදුමෙන් ඇහුවා.
මොකද මට ඒක විශ්වාස කරන්න බැරිවුණා.
“බොරු නෙමෙයි.ඇත්ත“ මගේ යාළුවා කේන්තියෙන් කිව්වා.
ඒත් මම පිළිගත්තේ නැහැ. මම හිතුවා මාව රවට්ටන්න කියපු බොරුවක් කියලා.
ටික දවසක් ගත වුණා. මම හිතන්නේ මම දෙක වසරේ නැත්නම් තුන වසරේ. මම දැක්කා උදේ පාන්දර ළමයෙක් කිහිලිකරුවලින් එනවා.මම බැලුවා කවුද මේ කියලා.
“අර අලුතින් එන ළමයෙක්ද ?“ මම මං ළඟ හිටපු ළමයාගෙන් ඇහුවා
“නෑ.නෑ. අර ඔයාට මතකද අපි පොඩි කාලේ ලිස්සන බෝට්ටුවෙන් මල්ලි කෙනෙක් වැටුණා ? “
“අප්පටසිරි !!! ඔව්. ඔව්. මතකයි. මේ ඒ ළමයද ? “
“ඔව්.ඔව්.මේ එයා තමයි “
“අනේ පව් ඒ මල්ලි“ මට කියවුණා.
ඒත් අද වෙනකම් ඒ මල්ලි කව්ද, මොකක්ද නම,දැන් මොකද කරන්නේ කියලා මට හොයාගන්න බැරිවුණා.දැන් කකුල හොඳයිද, නැත්නම් තාමත් එහෙම අත්වාරුවලින් යනවද කියලා මට හොයන්නවත්,දැනගන්නවත් ලැබුණේ නැහැ.අනික එදායින් පස්සේ අපිට ඒ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න ලැබුණේ නැහැ.වැලි දාලා,ටයර් දාලා ඒක වැහුවා.මම අන්තිමට ඒ පැත්තට ගිය වතාවේ වෙනකම් තිබුණේ එහෙමයි. ඒත් මෙතැන පුදුමේ දෙක වසරේදි, තුන වසරේදි දැක්කට පස්සේ එහෙම කිහිලිකරුවලින් යන කිසිම මල්ලි කෙනෙක් මට ඇහැටවත් දකින්න ලැබුණේ නැති එකයි.
මාලන් විදානපතිරණ
No comments:
Post a Comment