මාධ්‍යවේදී ගම්මානයක සොඳුරු මතක අතරින් -1
(මේක පම්පෝරියක් නම් නෙමෙයි.සොඳුරු සොඳුරු මතක සටහනක් ලියා තැබීමක්.)
1999 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදී මංගල සමරවීර ඇමැතිවරයාගේ යෝජනාවක් අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම මාධ්‍යවේදී නිවාස සංකීර්ණය ඉදිකෙරුණා.වෙනත් විදිහකින් කිව්වොත් රිචඩ් ද සොයිසා මාධ්‍යවේදී ගම්මානය නිර්මාණය වුණා.පුංචි පුංචි වයස් පරතර තිබුණත් ඒ ගෙවල්වල පදිංචියට ආපු අපි ජීවත්වුණේ එක වයසේ ළමයි වගේ. සිදත්, සුදාරක, අරවින්ද, ධනුජය,දුලන,සඳා තමයි මුලින් එතැන නිර්මාණය වුණු මුල්ම කණ්ඩායම.හරිම විනෝදයි.අපි එක එක දවසට එක එක සෙල්ලම් කළා.හුඟක් දවසට කළේ ඉතින් ක්‍රිකට් ගහපු එක තමයි.හැබැයි දුලන නම් ක්‍රිකට් ගහපු විදිහට අපිට හිනා ගියා.අනික් අය දුවගෙන ඇවිත් බෝලේ දාද්දි,දුලන දුවගෙන ඇවිත් කළේ බෝලේ දමලා ගහපු.අනික බැට් කරද්දි බෝලේ ලෙග් සයිඩ් එකෙන් වයිඩ් යයි කියලා හිතලා වයිඩ් එක ගන්න දුලනයා ලොකු ට්‍රයි එකක් ගත්තා.බෝලේ ලෙග් සයිඩ් එකෙන් ආවාම, දුලනයා බෝලේට ලෙග් සයිඩ් එකෙන් යන්න ඉඩ දීලා කොන්ද මැදින් නවනවා.හැබැයි සමහර දවස්වලට අපි කරන්නේ ඒ වෙලාවට බෝලේ ටර්න් කරන එක.හොඳට ටර්න් වුණොත් ඒ දවසට දුලනයා අවුට් වෙනවා
මට මතකයි දවසක් මම එක ගෙදරක මිදුලකට විතරක් හැම වතාවෙම ගහලා ලකුණු ගනිද්දි බැරිම තැන මගේ ළඟටම හැමෝම ඇවිත් වට කරලා මාව අවුට් කළා.මම අවුට් වුණේ හරියටම ලකුණු 49ට.
අපි පිට්ටනියට පුරුදු වුණාට පස්සේ මට මතකයි, දවසක් සිදත් ගැහුවා අපිට අමතක නොවෙන ඉනිමක්.එදා සිදත් ලකුණු 389ක් ගැහුවා.ඒ වාර්තාව අදත් අපේ ග්‍රවුන්ඩ් එකේදි කාටවත් කඩන්න බැරි වුණා.
තවත් දවසක මට මතකයි මම විකට් එකේ ඉඳන් මීටර් 100ක් විතර ඈත ඉඳන් බෝලේ විකට් එකට ගහලා සිදත්ව හරි සුදාරකව හරි අවුට් කළා.මම හිතන්නේ ඒක තමයි වැඩිම දුරක ඉඳන් අවුට් කරපු විකට් එක.තවත් කාලෙක මට මතකයි,මමයි, සිදතුයි තරගටෙ ලකුණු ගැහුවා.අපි වෙනම පොතකුත් තියා ගත්තා. හැන්දෑවේ ඇවිත් ගහපු ලකුණු එකතු කළා.
පිට්ටනියේ අපිට සෙල්ලම් කරන්න බැරි වුණු දවස්වලට අපි පාරේ සෙල්ලම් කළා.සමහර දවස්වලට ක්‍රිකට් ගැහුවා.සමහර දවස්වලට කැච් පාස් කළා.ඒක නම් කළේ බැට් එකක් නැති දවසට.
හය වසරේදි මම බැට් එකක් ගත්තා.ඒක තමයි මට ගෙදරින් අරන් දුන්නු මුල්ම බැට් එක.ඒත් මම ඒ බැට් එක, එකම එක දවසයි අරන් ගියේ.මම ට්‍රයි කළේ ලොකු පාරක් ගහන්න.බැට් එකේ කෑලි වීසි වුණා.මම ගෙදරින් බැණුම් අහන්න වෙයි කියලා බයට බැට් එක ඒ විදිහටම අතින් සෙට් කරගෙන,අතින් බැට් එකේ කෑලි දෙක එකතු කරන්,ඒක අතින් වහගෙන ගෙදරට අරන් ගියා.ඉන්පස්සේ ඒ කෑලි දෙක මගේ ඇඳ යටින් දැම්මා.මොකද මම බැට් එක කැඩුණා කියලා කියන්න. හුඟක් බයෙන් හිටියේ.
අපි සමහර දවස්වලට තාච්චි පිච්චුවා.හැංගි මුත්තන් කරනවට වඩා ඒකේ ලොකු ජොලියක් තිබ්බා. අපි සේරම එක එක තැන්වල හැංගුණා.සමහරු ඒ අස්සේ තමන්ගේම ගෙදරට ගිහින් තේ එකකුත් බීලා එනවා.මමත් දවසක් එහෙම තේ බීලා ආවා.
සමහර දවස්වලට අපි රේස් දුවනවා.මීටර් 100 තමයි දුවන්නේ.ඒක දුවන්නේත් පාරේ.හැබැයි කොල්ලො විතරයි දිව්වේ.සඳා නංගි ආවේ නැහැ.එයා හුඟක් දවසට කොඩියක් වගේ එකක් අරගෙන අපිට ඉස්සරහින් දිව්වා.එයා තමයි අපිට කමාන්ඩ් එක දෙන්නේ හැමදාම.මට මතකයි තාම එයා කමාන්ඩ් දීපු හැටි.ඒ දවස්වල මම තමයි හුඟක් වෙලාවට පළවැනියා වුණේ.දවසක් සඳා නංගි කමාන්ඩ් එක දීලා අපි ඉස්සරහින් ගියා.එයා හැමදාම කමාන්ඩ් එක දුන්නේ අපිට වඩා මීටර් කීපයක් ඉස්සරහ ඉඳන්.එයා තමයි අපේ මග පෙන්වන්නිය.හැබැයි දවසක් එයා “බුදු අම්මෝ“ ගාගෙන අපි දුවන පැත්තෙන් අයින් වුණා.ඒ අපේ වේගෙට බය වෙලා.
අපිට අදටත් උදේටයි හවසටයි යන්න එන්න විශේෂ බස් තියෙනවා. ඒකේ ඩ්‍රයිවර් මහත්තයයි,කොන්දොස්තර මහත්තයයි අපිත් එක්ක හරි යාළුයි.හවසට අන්තිම ටර්න් එක යන්න කලින් අපෙන් අහනවා අද මොකක්ද කරන සෙල්ලම කියලත්. මොකද අපි රේස් දුවපු දවසට රේස් එක ඉවර කරන්නේ බස් එක නවත්තලා තියෙන තැනින්
No comments:
Post a Comment