පාසැල් මතක පොතේ තවත් සොඳුරු මතකයක් -2017/02/02
මේ තරගය පැවැත්වුණේ 2006 වසරේ පෙබරවාරි මාසේ 10 වැනිදා.ඒ දවස්වල තිලකරත්න ඩිල්ෂාන් සහ චාමර කපුගෙදර තමයි ලංකාවේ මැදපෙළ ගොඩගත්‍තේ.මේක වීබී කුසලාන තුන්‍කොන් එක්දින තරගාවලියේ පළමු අවසන් තරගය.ඕස්‍ට්‍රේලියාවට එරෙහිවයි තරග වැදුණේ. මාවන් අතපත්තු තමයි නායකත්වයේ හිටියේ. කොහොම වුණත් හොඳින් ලකුණු අතරේ හිටපු සංගක්කාරත් හතළිස් හතළිස් පස්වැනි පන්දුවාරයේදී දැවී යාමත් එක්ක තරගයක් දිය හැකි ලකුණු ගාණක් ගැන බලාපොරොත්තු අපි අත්ඇරලයි හිටියේ.
හැමදාම පරක්කුවෙලා ඇහැරෙන මම එදා උදේ පාන්දර ඇහැරැණු එක ගැනත් අම්මට පුදුමයි. මම නැගිට්ට ගමන් දුවන් ගියේ ටීවී එක ළඟට.හය හමාර වෙනකම්ම ඉතින් මැච් එකේ මුල් ටික බල බල තමයි කෑවේ බිව්‍වේ ඇන්‍දෙත්.ඉන්පස්‍සේ දුවන් ගියා බස් එකේ ඉස්‍කෝලෙට.මොකද අපේ එවුන් ටික හොරෙන් ෆෝන් ගේන නිසා මැච් එක ගැන දිගටම අප්‍ඩේට්ස් ලැබෙනවා කියල මම දැනන් හිටියා.ඉතින් අපේ එවුන් ෆෝන් එක ඩෙස් එක යට තියාගෙන, මේසේ උඩ පොත් තියාගෙන මැච් එකේ ලකුණු ගාණයි,සමගාමී සමීකරණයි විසඳනවා.
කපුගෙදරයි,ඩිල්ෂානුයි ගහද්දි ඉගැන්නුවේ කොටියා සර්.එහෙම තමයි අපේ අය සර්ව දන්‍නේ.ඒත් සර්ගේ නම “අබේවික්‍රම“. මට එච්චරයි මතක.ඒත් සෙක්ෂන් හෙඩ් වෙච්ච ඒ සර්ට සර්ගේ නමින් කවුරුත් කතා කළේ නෑ.කතා කළෙත් වෙන සර් කෙනෙක් ඇවිත් “කවුද ගණන් උගන්නන්‍නේ“ කියලා ඇහුවොත් විතරයි.
ඉතින් සමගාමී සමීකරණවලට උත්තර හොයද්දි අපේ එවුන් එක එකාට කියාගත්‍තේ මැච් එකේ ඊළඟ බෝලෙට කීයක් ගැහුවද කියන එකයි.ඒ කාලේ ෆෝන් එකට ඉන්ටර්නෙට් තිබ්‍බේ නෑ.අපි ලකුණු ගාණ අහගත්‍තෙත් රේඩියෝ එකේ ක්‍රිකට් කමෙන්ට්‍රියෙන්.
“හයයි“ අපේ එකෙක් කොඳුරලා කිව්වා.
ඒත් ගණන් සර් ඇහුවේ සමගාමී සමීකරණයේ උත්තරය.
“මොකක් ? “ සර්ට අපේ එකාගේ කොඳුරිල්ල ඇහිලද කොහෙද තරහින් ඇහුවා.
“ඩිල්ෂාන් ගැහුවේ“ අපේ එකා හෙමින් කිව්වා.
“තව ඕවර් කීයක් තියෙනවද ?“ තව එකෙක් ඇහුවා.
“පහයි යකෝ.රේට් එක මදි ඒ වුණාට.“
“ඕක පරදිනවා“ ක්‍රිකට්වලට උනන්දු නැති සක්කිලි කටක් උත්තර දුන්නා.
“නොදකින් විතරක්. තෝ ඉස්සරහ හැරිලා ගාණ හදපං වද නොදී.“
“හරි හරි.“
ආයේ කට්ටිය වටවුණා.ගාණ හදනවා වගේ තමයි වට වුණේ.අනික මැච් එකේ අප්‍ඩේට් දෙන එකාව පීරියඩ් එකෙන් පස්‍සේ ගොඩදාන නිසා අප්‍ඩේට් දෙන එකා බයවුණේ නෑ.
“ඒ ඕවරයට එක හතරයි යකෝ ගැහුවේ“
“මොන මඟුලක්ද බං.කපුවා ෆෝම් එකේ කියලා නේද උඹල කිව්‍වේ?“ එතකොට එකෙක් ඇහුවා.
“හරි යකෝ ඔහොම හිටපං“ අප්‍ඩේට් දෙන එකාට මල පැන්නා.
“අයියෝ. ඒ ඕවරයටත් ලකුණු හයයි.“
“තව ඕවර්ස් තුනයි යකෝ තියෙන්‍නේ.මෙහෙම ගහල මදි“ අපි මරාගත්‍තේ සර්, සමීකරණේ දීලා පන්ති පැත්‍තේ රවුමක් යද්දි.
“ ඒ ගමන සයිමන්ඩ්ස් බං බෝල දාන්‍නේ.ඌ තැනට දානවා. “ ආයෙත් සක්කිලි කටහඬක් ඇහුණා.
“ තැනට.? ඔන්න දෙවැනි බෝලෙටම කපුවා හයක් ගැහුවා..“
“එල එල.ඔහොම යං.“
“පස්වැනි බෝලෙටත් හයක්.“
“අඩෝ.එලකිරි එලකිරි “ අපේ එවුන් ෆෝන් එකට බෙලි දික් කළා.
“ඒ වුණාට තාම 248යි බං.තව ලකුණු ඕනි මුන්ව පරද්දන්න. “
“හුටා.බ්‍රෙට් ලී දාන‍්‍නේ.? “
“අප්පටසිරි.“
“හ්ම්ම්..“
“මුල් බෝල හතරටම ලකුණු පහයි.“
“කව්ද බැට් කරන්‍නේ? “ එක පාරම ෆෝම් වෙච්ච බ්‍රයිට් කේස් එකක් අපේ පැත්තට හැරුණා.
“අම්මටසිරි මූ බලහංකෝ.“
“හරි හරි ඕනේ නෑ.තොපිම මැච් එක අහපල්ලා...“
“හයයි යකෝ හයයි.ඩිල්ෂාන් ගැහුවේ.“ එකපාරම අපේ එවුන් උඩ පැන පැන කෑ ගහන්න ගත්තා.
“ලීගේ ලකුණු කීයක් ගහලද? “
“13ක්“
“ෆුල් ස්‍කෝර් කාඩ් එක කීයද?“
“ 261යි විකට් පහයි“
“ඒ වුණාට ඔන්න බලපංකෝ අන්තිම ඕවරේ දාන්‍නේ“
“මං කිව්‍වේ. ඌ තමයි දාන්‍නේ.“
“ආපෝ...?“
“අම්මටසිරි?“
“ඇයි“
“ පළවෙනි බෝලෙටම හයයි.ඒක නෝ බෝලයක්ලු.“
“එල එල ඔහොම යං.අපේ එවුන් ගණන් පොත් පැත්තකට දාලා මේසේ අස්සට ළං වුණා.“
“මොනාද බං හොයන්‍නේ?“ අප්‍ඩේට් දෙන එකා හිනාවෙවී ඇහුවා.
“මැච් එක යකෝ මැච් එක“
“මොන මඟුලක්ද බං?“
“ඇයි?“
“අවුට්.“
“කව්ද?“
“කපුගෙදර“
“හුටා....කව්ද ආවේ?“
“වාස්“
“අප්පටසිරි....!“
“ඌත් අවුට්“
“කව්ද ඩිල්ෂාන් නෙමෙයි නේද ?“
“නෑ බං වාස්.“
“මොනව වෙලාද ? “
“රනවුට්“
“දැන් කව්ද එන්‍නේ ?“
“මොකා එන්නද? මුරලි තමයි“
“ලකුණු කීයද?“
“272යි විකට් හතයි“
“අවුට්“
“කව්ද ?“
“මුරලි“
“මොන මඟුලක්ද බං මේ“
“මොකක්ද බං මේ කෑ ගැහිල්ල“ ඈතින් ආයෙත් සක්කිලි කටක් ඇහෙන්න ගත්තා.
“උඹ කට වහන් වැඩක් බලා ගනින්“ අපේ එවුන් කිව්වා.
“කුලසේකර ආවේ.“
“හරි.ඒ වුණාට කව්ද බැට් කරන්‍නේ? ඩිල්ෂාන් නෙමෙයිද?“
“පොඩ්ඩක් හිටපං හරියට අහනකම්.“
“ඩිල්ෂාන් තමයි“
“එලකිරි එලකිරි.ඔහොම යං ඩිලා“ අපේ එවුන් කෑ ගහන්න ගත්තා.
“අන්තිම බෝලෙට ලකුණු දෙකක් දිව්වා යන්තම්. “
“හම්‍මෝ...“
“කීයද ෆුල් ස්‍කෝර් එක?“
“274යි“
“විකට්?“
“තොට ඉතින් විකට් තමයි ඕනි කරන්‍නේ.කාලකණ්ණියා.“
“විකට් අටයි ඩෝ.“
“කපුවයි,ඩිල්ෂානුයි හින්ද හොඳයි. උන් දෙන්න අන්තිම ඕවර්ස් පහට හැටකට කිට්ටුවෙන්න ගහලා.‘ තව එකෙක් කිව්වා.
“තමුසෙල ඕයි.......“ කියලා කටහඬක් අපිට එතකොටම ඇහුණා.
ඒ අපේ ගණන් සර් එහා පැත්‍තේ පන්තියට බණින කටහඬ.
එතකොට තමයි අපිට සර් ගාණක් හදන්න දුන්නු බව මතක් වුණේ.
වහපු පොත් ටික පෙරළගෙන සුවච කීකරු ළමයි වගේ ඔක්‍කොමල්ලම ගාණ හදන්න පටන් ගත්‍තේ එතකොට.
කොහොමහරි එදා තරගයෙන් ලකුණු 22ක විශිෂ්ට ජයක් ලබන්න ලංකාව සමත් වුණා.
කපුගෙදර බෝල 21ට ලකුණු 38ක් ගැහුවා.ඒකට හතරේ පාරවල් දෙකකුයි,හයේ පාරවල් තුනකුයි ඇතුළත්‍වෙලා තිබුණා.
ඩිල්ෂාන් අන්තිම වෙනකම් සෙල්ලම් කර කර ලකුණු 26ක් ගැහුවා. හයේ පාරවල් දෙකකට විතරයි ඩිල්ෂාන් ගිහින් තිබුණේ
සටහන- මාලන් විදානපතිරණ
No comments:
Post a Comment