මධුක සමග මම
(අතීතයෙන් කතාවක්)
මේ කතාව පටන් ගන්නේ හය වසරෙන්.හරියටම කිව්වොත් 6- ඩී පන්තියෙන්.එදා තමයි ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගත්ත ළමයින් අලුත් පාසැලට එන දවස.අපිත් බලන් ඉන්නවා,ටික මොහොතකින් අපිට පේනවා,අපේ පන්තිභාර ටීචර් වෙච්ච ආරියප්පෙරුම ටීචර් පිටිපස්සෙන් පෙරහැරක් එනවා. අපිත් ලෑස්ති වුණා, අලුත් ළමයින්ව පිළිගන්න.මං ළඟ වාඩිවුණේ සුදු ලස්සන ළමයෙක්.හරිම අහිංසක ළමයෙක්.තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන යන,හැමෝ එක්කම හොඳින් කතා කරන සුපිරි මොළයක්.ඒ හින්දා මටත් ඒ යාළුවාව හිතට ඇල්ලුවා.ඔහු නමින් රේෂාන් මධුක අබේසිංහ.පදිංචිය හොරණ.
හැබැයි හය වසරේදි එදා ඇතිවුණු ඒ මිත්‍රත්වය තව දුරටත් ගෙනියන්න අපිට පුළුවන් වුණා.මොකද හත වසරේදිත් මධුක හිටියේ මගේ පන්තියේ.හැබැයි තරමක් දරදඬු පන්තිභාර ටීචර් කෙනෙක් අපිට හම්බවුණු නිසා අපි ඒ කාලය ගත කළේ හරිම විනීතව.ටීචර්ට හුඟක් බයෙන්.අපි පොඩ්ඩක් හරි හිතුවක්කාර වුණේ සිංහල පීරියඩ් එකේදි තමයි.රෝහිණි ටීචර්ගේ සිංහල පාඩම අපිට හොඳට අල්ලලා ගියා.මොකද රෝහිණී ටීචර් දැනන් හිටියා අපේ වයසේ හැටි.ඒත් මනෝජා ටීචර්ගේ නීතියට අනුව අපිට බං,ඕයි,කුණුහරුප කියන්න තහනම්.මොකද ඒ කාලේ හොඳම හැසිරීම වගේම නරක හැසිරීම බලන්නත් ක්‍රමයක් යොදලයි තිබුණේ.අනික පන්ති නායකයා අංක පිළිවෙළට දවසින් දවස මාරුවෙනවා.වැරැදි වැඩවලට ලකුණු කැපෙනවා වගේම,හොඳ වැඩවලට ලකුණු එකතු කිරීම තමයි පන්ති නායකයාගේ රාජකාරිය.ඒ නිසා අපේ පන්තිය තමයි හත වසරේදි ගුණගරුකම පන්තිය වුණේ.
කොයිහැටි වෙතත් ඉස්කෝලේ ඇරුණට පස්සේත් අපේ මිත්‍රතත්වය දුරදිග ගියා.මොකද අපි දෙගොල්ලොම අපේ පාසැල් වෑන් එනකම් හිටියේ එකම තැනක.හැබැයි මධුක හිටියේ පාරෙන් එහා පැත්තේ.මධුකත් එක්ක ඒ දවස්වල ඒ පාසැල් බස් එකේ මට මතක විදිහට අමිත්,කසුන් දන්ත එහෙමත් ගියා.ඒ හින්දා එතැන වෙනම සෙට් එකක් හැදිලා හිටියා.ඒත් අපේ වෑන් එකට කලින් මධුකගේ බස් එක එනවා.ඒක කොළ පාට ලස්සන හුරුබුහුටි බස් එකක්.ඒ නිසා සමහර දවස්වලට බස් එක ඈත තියා දැක්කම මම මධුකට කෑගහලා සිග්නල් එක දෙනවා, බස් එක එනවා කියලා.
ඒත් හත වසරෙන් පස්සේ මමයි,මධුකයි කාලෙකට එක පන්තියකට වැටුණේ නැහැ.අපි ඉන්පස්සේ හම්බවුණේ වෑන් එනකම් ඉන්න තැනදි විතරයි.ඉතින් දවසින් දවස මමත් දැක්කා මධුක වෙනස්වෙන විදිහ.මට නවය වසරේ වෙද්දි මධුකගේ අහිංසක ගතිය ගිහින් ටිකක් දඟකාර ගතිය ඉස්මතුවුණු සිදුවීම් පවා අහන්නත් ලැබුණා.කොහොම වුණත් මධුකයි,මායි ආයෙමත් එක පන්තියේදි හම්බවෙනවා.ඒ ගණිත අංශයෙන් මම ඒ ලෙවල් කරන්න තීරණය කරපු හන්දා.
අපේ පන්ති භාර සර්ගේ නම සුනිල් පෙරේරා.අපි කිව්වේ චොක්කා කියලා.මොකද මොකක් කිව්වත් ඒ සර් “චුක්“ ගානවා හූනෙක් වගේ.සර්ගේ හොඳම ගෝලයා තමයි මධුක.ඉතින් මධුකම තමයි ඒ කාලේ සර්ව අවුස්සලා ගන්නේත්.
ඒ කාලේ ජනප්‍රියම ඉංග්‍රීසි උගන්වන හාස්‍ය වැඩසටහනක් තමයි, “රජ කඩුව“ කියන්නේ.ඒකේ ජනප්‍රියම දෙබසක් තමයි “අන්න එතැනදි ඇදුරාණනි“ කියලා කියන්නේ.ඕක මධුක ඒ කාලේ අපේ සර්ලව බයිට් කරන්න ඕනේ වුණාම දවසට එක පාරක් හරි කියනවා.හරියටම ටයිමින් බලලා අපි හිතන්නේ නැති වෙලාවක තමයි සමහර දවස්වලට මධුක ඒක කියන්නේ.ඒ නිසා හරිම කටෝර විෂයන් එක්ක පන්තියම රසවත් කරපු චරිතයක් තමයි මධුක කියන්නේ.
මේ අතරේ අපේ සර්ගේ(චොක්කාගේ) උපන් දිනය තියෙන දවස අපේ එකෙක් කොහොමහරි හොයාගෙන.දැන් දවසේ මාතෘකාව තමයි සර්ගේ උපන්දිනය.
සර් පන්තියට ආවා.මධුක කිව්වා,කට්ටියටම කෑ නොගහ ඉන්න මම ලස්සනට වැඩේ කරන්නම් කියලා.ඉතින් සර් පාඩම පටන් ගන්න හදද්දිම මධුක නැගිටලා මෙහෙම කිව්වා.
“සර්,අපිට සර්ගේ බර්ත්ඩේ එක මතක්වුණා.ඉතින් අපි ඔක්කොමල්ලාම කේක් ගෙනාවා“
මොකද අපි කලින් ප්ලෑන් කරලා තිබුණු විදිහට හැම එක්කෙනෙක්ම පොඩි “ඕකේ“ කේක් එකක් අරන් ආවා.මොකද ඒ කාලේ ඔය විදිහෙම වෙළඳ දැන්වීමක් හුඟක් ජනප්‍රිය වෙලා තිබුණා. අනික මධුක මොනවා කිව්වත්,සර් ඒකට මුකුත් කියන්නේ නැති බව මධුකත් දැනන් හිටිය නිසා මධුක තමයි ඒ විදිහේ ජොලි වැඩ කළේත්.
ඔය අතරේදි දවසක් පොඩි කාලේ වගේ පාසැල් බස් එකේ යන්න මධු, කට්ටිය එක්ක බලන් හිටියා.මම හිතුවා, පාසැලේ අන්තිම කාලේ ආයෙමත් මධුක පාසැල් බස් එකේ යන්න තීරණය කළා කියලා. ඒ නිසා මම මධුකගේ බස් එක එද්දි ටිකක් කලබල වුණා.මොකද බස් එක ආවත් යන්න කල්පනාවක් නැහැ.බස් එක අනික් ළමයින් නග්ගගෙන යන්න ගියා. මම මධුකට කෑ ගැහුවා, අන්න බස් එක යනවා කියලා.
“මාලන්ට තාම අපේ බස් එක මතකයි නේද ?“ එතකොට මධුක මට කිව්වා.
කොහොම වුණත් මධුක කැම්පස් තේරුණාට පස්සේ,මමත් ලංකාදීප පුවත්පතේ වැඩ කරන්න පටන් ගත්තාට පස්සේ මධුක සහ මම අතරේ තිබුණු මිත්‍රත්වය ටිකක් ඈත්වුණා.
නමුත් මොරටුව විශ්වවිද්‍යාලයේ පැවැති ප්‍රදර්ශනයකට මටත් යන්න තිබුණු විශාල ඕනැකමක් තිබුණු හින්දා,ආයෙත් දවසක් අපි දෙන්නට මුණගැහෙන්න අවස්ථාවක් ලැබුණා.
හැබැයි ඒ වෙද්දි නම් මධුක තවත් දියුණුවෙලා තමයි හිටියේ.ගෑණු ළමයෙකුත් හිටියා,ඒ වුණාට මධුක මාව දැකලා කිව්වේ වෙන කතාවක්.
“අම්මටසිරි මාලන්,උඹ මොඩ්වෙලානේ බං.සන්ග්ලාස් එහෙම දාලා.“
මම ඒකෙන් පුදුම වුණා.සමහර විට ඉස්කෝලේ දැකපු විදිහට මාව දකින්න මධුකත් හිතන් ඉන්න ඇති.
දැන් මධුක අපේ පැත්තට සේන්දුවෙද්දි,මම මධුකලාගේ ගෙවල් පැත්තට සේන්දු වෙලා.මොකද මම කොළඹ විශ්වවිද්‍යාලයේ වුණත් අපේ පීඨය පිහිටලා තියෙන්නේ හොරණ.ඒත් දෛවෝපගත විදිහට මම කොළඹ විශ්වවිද්‍යාලයට යන මුල්ම දවසේ මධුකව අතරමගදි හම්බවුණා.මම සැකේට තාත්තාට වාහනේ නතර කරන්න කිව්වාම,මගේ සැකේ තහවුරු වුණා.මධුක ගෙදර යන ගමන්.හැබැයි හරියටම අපි අපේ වාහනේ නතර කරලා තියෙන්නෙත් මධුකගේ ගෙවල් ළඟ.
ඒත් එදා ඉඳන් දැන් අවුරුදු දෙකක් ගත වෙලා.හැමදාම මධුකගේ ගෙදර මට පාස්වෙනවා.තාමත් බැරිවුණා මට මධුකගේ ගෙදර යන්න.දනිපනියේ එහාට මෙහාට යන අපි දෙන්නා අවුරුදු දෙකකින් මුහුණට මුහුණ හම්බවුණේ නැහැ.මතකය විතරක් ඉතුරුවෙලා.ඒ නිසයි වෙලාවක් ආපු හැටියේම ඒ මතකය මම ලියලා තිබ්බේ.
නමුත් මධුකගෙන් යම්කිසි ඉල්ලීමක් ආවොත්,එයින් යම් හානියක් වෙනවා නම්, මේ සටහන ඉවත් කරන්නත් මම මැලිවෙන්නේ නැහැ.
(මාලන් විදානපතිරණ)
No comments:
Post a Comment