Thursday, February 2, 2017

‍සොඳුරු මතකයක් -2017/02/02

‍සොඳුරු මතකයක් -2017/02/02

VCD,DVD නැති කා‍ලෙක,කුලියට VHS චිත්‍රපට කැසට් ‍දෙන තැනකින් ‍‍ප්‍රථම වතාවට ‍කොටස් ‍දෙකක් විදිහට චිත්‍රපටයක් බැලූ ආකාරය මට තාම මතකයි. ඒ චිත්‍රපටය ‍කොතරම් දිගද කියනවා නම් ජාතික රූපවාහිනි‍යේ පවා එය විකාශනය වු‍ණේ ‍‍‍සෙනසුරාදාවල් ‍දෙකක් විදිහට.‍දෙවැනි ‍කොටස බලද්දී පළමු ‍කොටස නරඹපු නැති අය ‍වෙනු‍වෙන් නැවත කතාව මතක් කිරීමට කමල් ‍දේශප්‍රිය නි‍වේදක මහත්මයා ‍යොදවන්න පවා එදා ජාතික රූපවාහිනියට සිදුවුණා.‍මේක අපි කවුරුත් දන්න හින්දි චිත්‍රපටයක්. මම ‍පොඩි කා‍ලේ කඳුළු වැක්‍‍කෙරි වැක්‍‍කෙරි බලපු චිත්‍රපටයක්.මිනිත්තු 210ක කාලයකින් යුතු ‍මේ චිත්‍රපටය නමින් “කබි කුෂි කබි ගාම්“.
කාලය මැවු ‍වෙනසක අරු‍මේ!

-මාලන් විදානපතිරණ

Saturday, January 28, 2017

පාසැල් මතකයේ තවත් සොඳුරු පිටුවක් -2016

පාසැල් මතකයේ තවත් සොඳුරු පිටුවක් -


ප්‍රායෝගික තාක්ෂණික කුසලතා විෂය යටතේ පාසැලේදි ඒ කාලේදි අපිට අපේ දක්ෂතා පෙන්වන්න ඉඩකඩ ලැබුණා. ඒ කාලේ අට වසරේදී හිටියා හොඳ විද්‍යා දැනුමක් තියෙන ප්‍රමුක් කියලා යාළුවෙක්.ඔහු දවසක් ඒ කාල පර්ච්ඡේදයේදී ඇගයිය යුතු අපූරු උත්සාහයක් ගත්තා.ඒ තමයි රේඩියෝවක් නිර්මාණය කිරීම.ඒ සඳහා ඔහු තමන් සතු විද්‍යා දැනුම වගේම අහුලා ගත් තාක්ෂණික දැනුමත් භාවිතා කළා.දවසින් දවස ගත වුණා.මම ඔහු යම් ප්‍රමාණයකට තමන්ගේ ප්‍රමාණයෙන් ඒ උත්සාහය ජය ගත්තා මට හිතෙන හැටියට.මොකද මම ඒ රේඩියෝව අහන්න එදා හුඟක් ආසාවෙන් හිටපු කෙනෙක්.

ඒත් උත්සාහයට මොකද වුණේ ? ඔහුගේ මේ උත්සාහය ගැන එදා සිටි ඔහුගේ ඇතැම් යාළුවෝ බැලුවේ සමච්චල් සහගත ඇසකින්. .

ඒත් මම හිතන්නේ ඒක ඔවුන්ගේ වරදක් නෙමෙයි.මොකද සමස්ත අධ්‍යාපන ක්‍රමයෙන්ම සෑම විටම උත්සාහ කළේ තමන්ට අවශ්‍ය ආකෘතික ජීවියෙක් බිහිකර ගන්නයි.නොඑසේ නම් දේශපාලකයන්ට තමන්ට අවශ්‍ය දේශපාලනය කරගෙන යන්න අසීරුයි.

ප්‍රමුක්, උඹ එදා පාසැල් සිසුවකු ලෙස ගත් උත්සාහයට අපේ ආචාරය!


සටහන - මාලන් විදානපතිරණ

Wednesday, October 12, 2016

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ- පාසැල් මතක පොතේ තවත් සොඳුරු පිටුවක් -2016/10/09

පාසැල් මතක පොතේ තවත් සොඳුරු පිටුවක් -2016/10/09
පාසැල් කාලයේ උදෑසන පන්සිල් සමාදන් වීමෙන් අනතුරුව අපේ ‍ශ්‍රේණියෙන් කෙනෙක් ඇවිත් කතාවක් හෝ ගීතයක් ඉදිරිපත් කළ යුතුයි.ඒ වගේ දවසක තමයි සුනෙත් ප්‍රියංකර ගැයූ "වස්තුව ඉල්ලන" ගීතය මගේ හිතේ හොඳින්ම සටහන් වුණේ. (මං හිතන්නේ හයේදි තමයි ඔහු මේ ගීතය ගායනා කළේ) ඒ කාලේදි මම ඒ ගීතය අහලා තිබුණේ නැහැ. ඒත් සුනෙත් ඒ ගීතය තමන්ගේම කරගෙන එදා මේ ගීතය ගායනා කළා. එම ගීතයේ පද මාලාවේ තිබුණු අපූර්වත්වය තුළින්ම මාව කම්පනයට පත් කළා. අනික ඔහුට ගීතයක් ගායනා කරන්න ආරාධනා කළාම ඔහු මේ ගීතය කිහිප වතාවක්ම ගායනා කරපු බවකුත් මට මගේ පාසැල් කාලේදි මතකයි. 
මේ තමයි ඒ ගීතය.
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පිය රජු සෙවණේ උන්නේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුබ පියරජු සෙවනේ උන්නේ
බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේ
බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේ
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳ වන්නේ
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳ වන්නේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පියරජු සෙවනේ උන්නේ
හිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිත බින්දේ
හිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිත බින්දේ
මා මළ පසු පුත මිහිදන් කල මැන කලා වැවේ වැව් කන්දේ
මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිළිම සමින්දේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පියරජු සෙවණේ උන්නේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පියරජු සෙවණේ උන්නේ
සටහන - මාලන් විදානපතිරණ

Sunday, July 17, 2016

පාසැල් මතක පොතේ තවත් සොඳුරු පිටුවක් -2016.07.17

පාසැල් මතක පොතේ තවත් සොඳුරු පිටුවක් -2016/07/17

ඉස්කෝලේ උසස් පෙළ කරන කාලේ විභාගේ කිට්ටුවෙනකොට අපි ඉස්කෝලේ ගියේ ඕනැකමකින් නෙමෙයි.කවුරුහරි ආවේ නැහැ කියලා වුණත් යාළුවන්ට ඒ තරම් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ.අවශ්‍ය වුණොත් යාළුවාව බේරන්න ක්ෂණිකව බොරු කියන්නත් අපට හැකියාවක් තිබුණා.අනික ගුරුවරුන්ට වුණත් ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ.මොකද එයාලා දන්නවා අපි එන්නෙත් නැත්තේ ‍සමහරවිට ගෙදරට වෙලා පාඩම් කරන නිසා කියලා.එහෙම නැත්නම් අමතර පංතියක් නිසා කියලා.මොකද ඒගොල්ලන්ගෙනුත් සමහරු ටියුෂන් ගුරුවරු.

ඔය කාලේදි ඉතින් අපිත් හැසිරුණේ හරියට ඉස්කෝලේ අයිතිකාරයෝ වගේ.උදේ අටෙන් පස්සෙත් අපි ඉස්කෝලෙට ආපු වෙලාවල් තිබුණා .ජංගම දුරකතන සාක්කුවේ දාගෙන අරන් ආපු වෙලාවල් තිබුණා.ඉඳලා හිටලා උදේ පොඩි රවුමක් ගහන්නත් සෙට් වුණ වෙලාවල් තිබුණා.

ඒත් සමහරු නම් උදේ හතට තිබුණු විෂය මූලික වැඩමුළුවටත් අන්තිම කාලේ සහභාගි වුණා.හැබැයි මට නම් ඒ තරම් ඒකට උනන්දුවක් තිබුණේ නැහැ. එච්චර උදෙන් නැගිට්ටෙත් නැහැ. ඒ නිසා ඒ වෙලාවට නැගිටින්න අමාරු නිසා හැමදාම ඒකට යන්න වුණෙත් නැහැ.අනික සමහරු මම ඒකට එනවා දැකපුවාම මං දිහා පුදුමවෙලත් බැලුවා. මොකද මම ඒ කාලේ පංතියේ අන්තිම හරියේ (ඉගෙනගත්තු ළමයින්ගෙන් අන්තිම හරියේ) හිටපු ළමයෙක්. ඒ නිසා පොඩි ලැජ්ජාවකුත් හිතට ආවා.මොකද මම ඒ වෙද්දි දැනගෙන හිටියා මට ඉංජිනේරුවරයෙක් වෙන්න බැහැ කියලා.

ඔය අතරෙදි තමයි මට උදේට කන්නේ නැහැ කියලා ගෙදරින් කන්දොස්කිරියාවක් එන්න පටන් ගත්තේ.ඒ නිසා මම උදේට කන්න කියලා හිතාගෙන ගෙදරින් සල්ලි ඉල්ලා ගත්තා.මොකද මම ඒ කාලේ පරණ ගුරුවරයෙකුගේ දුවෙකුට හිත ගිහින් හිටියේ.එයා ගැන පොඩි හැඟීමක් තිබුණා මට.ඒ නිසා එයා බස් හෝල්ට් එකට එන වෙලාව අල්ලලා බස් හෝල්ට් එකට එන්න තමයි මම ඒ කාලේ උදේට වෙලාව හදාගත්තේ.මම ඕනැකමින්ම ගෙදරින් පරක්කුවෙලා යන්න පටන්ගත්තේ මේ නිසා.මොකද උදේ හය හමාරින් පස්සේ කොහොම වාහනේක යන්න හැදුවත් කෝට්ටේ හරිය වෙද්දි ලොකු වාහන තදබදයකට අහුවෙනවා කියලා අපි දැනගෙන හිටියා. හොඳට කාලා බීලා උදේ අට හමාරට විතර පංතියට යන්න හිතුවේ මේ හින්දයි.කොහොමත් ඒ කාලේ පළමු කාල පරිච්ඡේදය හරියට කෙරුණේ නැහැ. මේ හින්දා සර් එක්ක කතා කරන මුවාවෙන් සර්ගේ දුව දිනාගන්නයි මට ඕනැ කළේ.එයාලා ගියාට පස්සේ තමයි මම බස් එකට නැග්ගේ.සමහර වෙලාවට එයාලා මට කලින් ගිය අවස්ථාත් තිබුණා.අපි දෙගොල්ලෝම එකට ගිය අවස්ථාත් තිබුණා.ඇත්තම කිව්වොත් ඒ කාලේදි මගේ පාසැල් රඟපෑම උපරිම මට්ටමක තිබුණා නේද කියලත් දැන් මට හිතෙනවා.

කොහොම වුණත් ඔය කාලේදිම තමයි මම පුංචි බොරැල්ලේ තියෙන අපූරු අවන්හලකින් උදේ කෑම ගන්න පුරුදුවුණේ. කෙටි කෑම වේලක් වුණත් ඒ අවන්හලේදි මේසේ වාඩිවෙලා හෙමින් සීරුවේ කෑම එක කන එකේ මට පොඩි විශේෂත්වයක් ඒ කාලේ දැනුණා .ඔය අතරේදි තමයි මට දවසක් ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු වන විජය නන්දසිරි හම්බවෙන්නේ.එදා සුපිරි වාහනයක් එළවගෙන ඇවිත් මම හිටපු අවන්හලේම නවත්තපු එක ගැන මට ඒ දවස්වල පුදුම හිතුණා.මොකද මම ඒ කාලේදි මාධ්‍ය ක්ෂේත්‍රයට තියා කලා ක්ෂේත්‍රයට එන්නවත් හීනෙකින්වත් හිතලා තිබුණේ නැහැ. අනික මම ඒ කාලේ අපේ තාත්තා සහ ඔහු සම්බන්ධ අත්දැකීම් හුඟක් මං එක්ක කියලා තිබුණා.ඒත් ඇත්තටම ඔහුව දැකලා තිබුණේ නැහැ.පුංචි කොලු ගැටයෙක් හැටියට මට ඒ කාලේ ඒ දැනුණු සතුට උහුලගන්න බැරිවුණා.ළඟටම ගිහිල්ලා කතා කරන්න ඕනි කියලා මට හිතුණේ මේ හින්දයි.

“විජය නන්දසිරි අන්කල්“
මට ඔහුගේ අවධානය ගන්න ඕනැවුණා.

“ඔව් පුතා කියන්න.“
විජය නන්දසිරි අන්කල් සිනාසෙමින් මගේ දිහා බැලුවා.

“අන්කල් ගැන අපේ තාත්තා හුඟක් දේවල් කියලා තියෙනවා.“
මම ඔහුට කෙලින්ම කිව්වා.

“කව්ද පුතේ තාත්තා ?“ එකපාරම පුදුමයෙන් වගේ හිනාවුණ විජය නන්දසිරි අන්කල් මං ගැන විස්තර ඇහුවා.

ඒත් මට තේරුණා විජය නන්දසිරි අන්කල් ඒ වෙලාවේ ලොකු හදිස්සියකින් ඉන්න බව. ඒ නිසා මම කරදරයක් වෙන්න ගියේ නැහැ.ඒක මගේ ඇස්වලිනුත් ඔහුට තේරුණා මං හිතන්නේ. ඒ නිසා ඔහු මගෙන් අන්තිමට මෙහෙම ඇහුවා.

“කොහෙද පුතා පුතාගේ ඉස්කෝලේ. එන්න මං ඇරලන්නම්“
“නාලන්දේ.කමක් නැහැ අන්කල්. මහ දුරක් නැහැනේ. තෑන්ක් යූ“
“එහෙනම් මම යනවා පුතා.තාත්තව මතක් කළා කියන්න. “
“ අනිවාර්යයෙන්ම“

හිත සනසන්න වගේ විජය නන්දසිරි අන්කල් එහෙම මට කිව්වට තවදුරටත් ඔහුගේ වාහනයේ ගිහින් වදයක් වෙන්න මට උවමනා වුණේ නැහැ.

හැබැයි එදා මම ඔහු තමන්ගේ වාහනයට නැගලා නොපෙනී යනකම්ම ඒ දිහා බලාගෙන හිටියා.මොකද මට ඕනැ කළේ මේක ගෙදර අයට කියන්නයි.

ඒත් තාත්තට ඒ ගැන කිව්වම මට අහන්න ලැබුණේ හොඳ බැණුම් ටිකක්.මොකද තාත්තට විශ්වාස නැතිවෙලා තිබුණේ මම ඒ අවන්හලේදී ඔහු එක්ක තාත්තා ගැන මොනවා කියෙව්වද දන්නේ නැති එක ගැනයි.අනික තාත්තට නම් නිතර කලා ක්ෂේත්‍රයේදී ඔවුන්ව හමුවෙන නිසා මගේ ඒ අනපේක්ෂිත අත්දැකීම ඒ තරම් තාත්තට ලොකු දෙයක් වුණේ නැහැ.

- මාලන් විදානපතිරණ

Saturday, July 9, 2016

පාසැල් මතක පොතේ තවත් සොඳුරු සටහනක් -2016/07/09

පාසැල් මතක පොතේ තවත් සොඳුරු සටහනක් -2016/07/09

උදේ පන්සිල් සමාදන් වූවායින් පසුව මට මතක විදිහට අපි පහ වසරේදී ඉංග්‍රීසි දිනය වෙනුවෙන් "Oh My Darling" ගීතයේ පුහුණුවීම්වල යෙදුණා.අකමැත්තෙන් වුණත් අපි ඒ දවස්වල මෙහි පුහුණුවල යෙදුණාට සමහර වචන අපේ අය වරද්දද්දී,සමහර අය බොරු වචන කියද්දි,සමහරු කට විතරක් හොලවද්දී ඒ දිහා බලන් අපි විඳපු ආස්වාදය කියලා නිම කරන්න බෑ.මොකද අපි මේ ගීතයේ පුහුණුවීමෙන් පස්සේත් පෝලිමේ පංතිවලට යද්දි සර්ලාට,මිස්ලාට දැනෙන්න පුංචි විහිළුවක් කරන්න හිතාගෙන මිස්ලා ළඟින් යද්දි පුහුණුවෙච්ච ගීතයේ අඩංගු “Oh My Darling‘ "I Kissed Her" ආදී වචන සෑම දිනකම කවුරුන් හෝ ටිකක් හයියෙන් කියූ අවස්ථා මට අද වගේ මතකයි.

Near a cavern, across from a canyon,
Excavating for a mine,
Lived a miner, forty-niner
And his daughter Clementine

Oh my Darling, Oh my Darling,
Oh my Darling Clementine.
You are lost and gone forever,
Dreadful sorry, Clementine.

Light she was and like a fairy,
And her shoes were number nine
Herring boxes without topses
Sandals were for Clementine.

CHORUS:

Drove she ducklings to the water
Every morning just at nine,
Hit her foot against a splinter
Fell into the foaming brine.

CHORUS:

Ruby lips above the water,
Blowing bubbles soft and fine,
But alas, I was no swimmer,
So I lost my Clementine.

CHORUS:

Then the miner, forty-niner,
Soon began to peak and pine,
Thought he oughter join his daughter,
Now he's with his Clementine.

CHORUS:
In the church yard in the canyon
Where the myrtle doth entwine
There grows roses and other posies
Fertilized by Clementine.

CHORUS:
How i missed her, how i missed her, how i missed my Clementine!
Til' i kissed her little sister, and forgot my Clementine.

සටහන - මාලන් විදානපතිරණ

Sunday, July 3, 2016

පාසැල් මතක පොතේ තවත් සොඳුරු සටහනක් - 2016/07/03

පාසැල් මතක පොතේ තවත් සොඳුරු සටහනක් -

පහ වසරේදි ඉස්කෝලේ ඇරුණු ගමන් අපි ගේට්ටුව කඩාගෙන දුවගෙන යන්නේ ප්‍රභාත් එක ළගට.අම්මගෙන් කොහොමත් ඉතින් රුපියල් දහයකට වඩා කඩා ගන්න බැහැනේ.එහෙම කියන්න නම් ඉතින් බොරු දාහක් විතර කියන්න ඕනි.ඒ නිසා අපි නිල් පාට කලිසම් සාක්කුවේ තිබුණු රුපියල් පහට අත දාගෙන යාළුවෝ එක්ක රේස් එකට ප්‍රභාත් එකේ බයිට් පැකට් පෝලිමට දුවගෙන ඒකෙන් බයිට් පැකට් උස්සන් යන්නේ ස්කූල් වෑන් එක එනකම් උදේ ඉස්කෝලේ වෙච්ච දේවල් ගැන ගුණ කථනයක් කරන්න.

කොහොමත් අපි ඒ වෙලාවට අපේ පංති භාර ගුරුතුමිය,අංශ ප්‍රධාන ගුරුතුමි රාමනායක මහත්මිය,එතුමියගේ වේවැල වගේම විදුහල්පතිතුමාවත් හොඳට මතක් කරනවා.මං හිතන්නේ ඒ කාලේ වෙද්දි ප්‍රභාත් එකයි, හෝටලෙයි අතරේ දැන් තියෙන මයිමික් පොත්හල තිබුණේ නැහැ.

ඒ කොහොම වුණත් අපි ඒ කාලේ ඒ හෝටලේ දැක දැක ප්‍රාර්ථනා කළේ කවදා හෝ දවසක අපේ අම්මලා අපට ඒ හෝටලෙන් යාළුවෝ එක්ක දවසම කන්න කියලා සල්ලි දේවි කියලයි.ඒත් කවදාවත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ටවුණේ නැහැ.

ඒ කොහොම වුණත් බයිට් පැකට් එක ගත්තු ගමන් අපට තිබුණු ලොකුම අභියෝගය තමයි ඒක ඉක්මනට කාලා ඉවර කරන එක.නැත්නම් යාළුවෝ එක්ක කතා කරන්නත් වෙලාව මදි.මොකද කාගේහරි ස්කූල් වෑන් එකක් ඉක්මන් වුණොත් අපි එච්චරවෙලා ගොඩනගාගෙන ආපු කතාව වතුරේ යනවා.අනික බයිට් එක කකා කතා කරන්නත් බැහැනේ.අනිත් ප්‍රශ්නේ තමයි කාගෙන්හරි වෙලාව දැනගන්න එක.මොකද අපට නවය වසර වෙනකම් ඔරලෝසු බඳින්නත් තහනම්. මම අයියා කෙනෙක්ගෙන් වෙලාව අහන්නත් බයයි ඒ කාලේ.ලොකු මිනිස්සුත් ඒ හරියේ එච්චර ගැවසෙන්නේ නැහැ.වෙලාව අහන්නවත් දන්නේ නැති මිනිස්සුන් එක්ක කතා කරන්න එපායැ කියලයි ගෙදරින් කියලා තිබුණේ.දෙක පහුවුණාට පස්සේ අම්මලා තාත්තලත් හොයාගන්න අමාරුයි. ඒ නිසා අපේ හිතේ මිම්මට තමයි අපි ස්කූල් වෑන් එක එන වෙලාව හදාගන්නේ.

බුවනෙකගේ වෑන් එක තමයි කලින්ම එන්නේ.ප්‍රභාත් එක ළඟ පහ වසරේදි මාත් එක්ක හිටපු හොඳම යාළුවා තමයි බුවනෙක.අනික් අය එක්ක මගේ එච්චර සමීප සම්බන්ධයක් තිබුණේ නැහැ.කතා කරන්න දෙයක් තිබ්බෙත් නැහැ.ඒ නිසා බුවනෙකගේ වෑන් එක පරක්කුවෙලා ඇවිත් අපි දෙන්නට කතා කරන්න තියෙන වෙලාව වැඩිවෙනවා දකින්නයි හැමදාම මම ආසා කළේ.එ්ත් බුවනෙකට මාත් එක්ක කේන්ති යන එකම හේතුවත් ඒක.මොකද බුවනෙක කඩවත නිසා වෑන් එක පරක්කුවෙන්න වෙන්න වෙන්න ගෙදර යද්දි එයාට හවස් වෙනවා.ඒත් මට කොච්චර පරක්කු වුණත් ගෙදර යන්න ගතවෙන්නේ මිනිත්තු 20ක් වගේ විතරයි.

ඒ නිසා ඉස්කෝලේ ඇරුණම මම පුළුවන් ඉක්මනට බයිට් පැකට් එක කාලා ඉවර කරන්නේ අපි පන්තියේදි සෙල්ලම් කරපු ක්ලිප් ගේම් සහ ගේම් එකේදි ගත්තු ලකුණුවල වංචා, දූෂණ ගැන විමර්ශනයක් කරන්න හිතාගෙන.

දවසක් මට මතකයි අපි දෙන්නා සෙල්ලම් කරපු ක්ලිප් ගේමක් නිසා බුවනෙක එදා හවස කතා නොකරත් හිටියා.මොකද මම එදා ලොකු ලකුණු ගාණක් අරන් හිටියේ.මට මතක විදිහට ලකුණු 200- 300ක් වගේ ලකුණු ගාණක්.හැබැයි අතරමගදි මම හොර කළා කියලා බුවනෙක කරපු චෝදනාව මම ප්‍රතික්ෂේප කළා.ඒ නිසා අවුට් වුණාට පස්සේ බුවනෙක කිව්වේ,

“හොරුන්ට වැඩි ආයුෂ නැහැ“ කියලයි.

ඒ නිසා මම හොර නොකෙරුවට මම දැවුණේ නැහැ කියලා බුවනෙකට කිව්වට නොදැනුවත්කමින් එහෙම දෙයක් වුණාද කියලා ඉන්පස්සේ මගේ හිතත් ඉන්පස්සේ සැලෙන්න පටන් ගත්තා.ඒක නිසා ඉන්පස්සේ බුවනෙක මම මග ඉන්පස්සේ වැඩි වෙලාවක් සෙල්ලම් කරන්න බැරි වුණා.අනික මම දැවී ගියාට පස්සේත් කලින් කියාපු දේම කිව්වා.ඒකෙන් මගේ හිතටත් ඒ කාලේ දුකක් දැනුණා.

ඒ කාලේ අපි ස්කූල් බෑග්වල හොරෙන් ප්ලාස්ටික් බෝල දාගෙන එනවා. ගේන ප්ලාස්ටික් බෝල විවේක කාලයේදි අපේ කාගේහරි කලිසම් සාක්කුවකින් එළියට එනවා.අපි ඒ කාලේ මාරුවෙන් මාරුවට තමයි ප්ලාස්ටික් බෝල හොරෙන් හොරෙන් අරන් එන්නේ.ටෙනිස් බෝල ගේන එක තහනම්.ගෙනාවොත් ශිෂ්‍ය නායකයෝ ඒවා දෙකට පළනවා.අනික ප්ලාස්ටික් බෝලෙකුත් රුපියල් පහක් දහයක් වෙන නිසා එදාට කලින් දවසේ අම්මට කියන්න බොරු සීයක් විතර ලෑස්ති කරන් තමයි මම යන්නේ.එදාට හැබැයි බයිට් කන්න වෙන්නේ නැහැ.(අපි අපේ ක්‍රීඩාව වෙනුවෙන් ජාතික ආහාරයත් කැප කළා)

කොහොම වුණත් පන්තිය ඉස්සරහ ක්‍රිකට් සෙල්ලම් කරද්දි වෙච්චි දේවලුයි,ක්ලිප් ගේම් ගහද්දි වෙච්චි දේවලුයි,ශිෂ්‍යත්ව විභාගේ ගැන කරද්දියි,ශිෂ්‍යත්වේ පාස්වෙලා අලුතින් එන ළමයි ගැන කතා කරද්දියි අපේ වෙලාව ගිහින්.

හුඟක් වෙලාවට අපට මේ මාතෘකා ගැන කතා කරන්න වෙන්නේ කොටස් වශයෙන් විකාශය වෙන ටෙලිනාට්‍යයක් වගේ. මොකද බුවනෙක මේ හැම කතාබහක් අතරතුරදි එක පාරම,
“මම යනෝ....“ කියලා වෑන් එක දැකලා කඟවේනා වගේ වෑන් එක පස්සේ දුවගෙන යන්නේ ජීවිතේ අහිමිවෙන්න යන මුවෙක් වගේ.වෑන් එකේ හොඳටම හිර වුණාට පස්සේ තමයි බුවනෙකගේ අතක් එළියට එන්නේ.ඒකත් ටික දුරක් යද්දි තමයි එළියට එන්නේ.සමහර වෙලාවට එහෙම එන්නෙත් නැහැ.සමහර වෙලාවට හුඟක් ඈතට ගියාමත් අත එළියට එනවා.මොකද බුවනෙකට මාව පෙනුණට මට බුවනෙකගේ මූණ ස්කූල් වෑන් එකට නැග්ගට පස්සේ හොයාගන්න බැහැ.ඒත් මම ඒ හැමවෙලාවෙම ඒ වෑන් එක නොපෙනී යනකම්ම ආසාවෙන් බලන් හිටියා.එහෙම බලන් හිටපු සමහර දවස්වලට අපේ වෑන් එකත් හෝන් ගහපු වෙලාවල් තිබුණා හැබැයි.වෑන් අන්කල්ගෙන් බැණුම් අහපු අවස්ථාත් තිබුණා.

බුවනෙක සහ මගේ මිත්‍රත්වයේ තව සිදුවීමක් මම මේ වෙලාවේ මෙතැන මතක් කරන්න කැමැතියි.මම ඒ වෙද්දි හත වසරේ.මලල ක්‍රීඩා භාර ආචාර්ය මංජුල සර් තමයි අපිව පරීක්ෂණයක් තියලා මීටර් සීයය සහ දෙසීය ඉසව්වට මාව තෝරගෙන තිබුණේ.පහුවෙනිදා උදේ පාන්දර පහ වෙද්දි ඉස්කෝලෙට වාර්තා කරන්න කියලයි මංජුල සර් අණ කරලා තිබ්බේ(මට සර් අපට එන්න කියපු වෙලාව නම් හරියට මතක නැහැ).

අපේ ගෙදර මිනිස්සු බය වුණා.මොකක්ද මේ වෙන්න යන්නේ කියලා හිතාගන්න බැරිවුණා.විශේෂයෙන් අපේ අම්මට. මේ අතරේ මගේ කන්දොස්කිරියාව හින්දම කොහේදෝ තිබුණු බූට් සපත්තු දෙකක් තාත්තා මට ගෙදර මුල්ලක තිබිලා මට ගෙනැල්ලා දුන්නේ මේක දාගෙන හෙට උදේ පුහුණුවීම් යන්න කියලයි.මට ටික වෙලාවක් යද්දියි තේරුණේ ඒ සපත්තු දෙකත් මගේ හිතුවක්කාර තීරණයක් නිසා හය වසරේදි පාසැල් ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීම සඳහා තිබුණු පරීක්ෂණයට යන්න මම ඉල්ලා සිටි සපත්තු දෙකම තමයි කියලා.කොහොම වුණත් මම උදේ පාන්දරම තාත්තා එක්ක පාන්දර බස් එකේ නැගලා ගියා.බස් එකේ මිනිස්සුන්ටත් පුදුමයි මම හවසට හතරට විතර ඉස්කෝලේ යනවා දැකපු නිසා.හැමෝම පුදුමෙන් බැලුවා.සමහරු මම ඉගෙනීමට හරිම උනන්දු හොඳ ළමයෙක් වගේ මං දිහා බැලුවා.

ඒ කොහොම වුණත් බාස්කට්බෝල් ක්‍රීඩා පිටිය අසලට වාර්තා කරන්න සිදුවුණු අපට මුලින්ම හොඳට නාගන්න කිව්වා.උදේ පාන්දරම හරියට කන්නෙත් නැතුව පිට්ටනියට ආපු මට සර් නාන්න කිව්වාම පුදුමත් හිතුණා.බය හිතුණා.අනික මම එච්චර උදෙන් කවදාවත් නාලා තිබුණෙත් නැහැ. ඒත් එහෙම නොකර යනවා කියන්නේ සර්ගෙන් ගුටිකන්න වෙන වැඩක්.ඒ නිසා මම හොඳට නාගෙන ඇඳුමත් මාරුකරගෙන පිට්ටනියට ආවා.

පුහුණුවීම්වලට කලින් වට දහයක් දුවන්න කිව්වා.ඉන්පස්සේ යාළුවෝ එක්ක ව්‍යායාම කළා.ඉන්පස්සේ තමයි මීටර් දෙසීය දුවන්න අවස්ථාවක් ලැබුණේ.ඒ වෙද්දි මගේ හොඳ පණ ගිහින්.දුවාගන්නත් බැහැ.දුවන්න බැහැ කියලා අයින් වෙන්නත් බැහැ.යාළුවෝ ඉස්සරහ සවුත්තු වෙන්නත් බැහැ.මොකද ඒ අතරේ බුවනෙකත් හිටියා.අනික් මංතීරුවේ හිටියේ බුවනෙක.

මං සංඥාව ලැබුණු ගමන් දුවන්න පටන් ගත්තා.පුළුවන් තරම් හයියෙන් දිව්වා. ඒත් බුවනෙක මුල් මීටර් එකසිය පණහම ආවේ සාමාන්‍ය වේගයෙන්.ඒත් මම ඒ ඇයි කියලා දැනන් හිටියේ නැහැ.මොකද මම මීටර් දෙසීයට අලුත්.ඒත් බුවනෙක ඒ වෙද්දි මලල ක්‍රීඩා සංගමයේ හිටියා. ඒත් අන්තිම වෙද්දි බුවනෙක දුවන්න පටන් ගත්තේ මගෙන් ටික ටික දුරස්වෙමින්.මොකද ඒ වෙද්දි මම හති හළනවා.

ඒත් කට්ටිය එක්ක උදේ අට විතර(ඒ කියන්නේ ඉස්කෝලේ පටන් අරන් පැය බාගයකට පස්සේ ) පන්තියට ආවා.

“මාලන් කොහෙද ගියේ? “ මනෝ මිස් ඇහුවා.

අපේ පන්ති භාර ගුරුතුමිය වුණේ මනෝජා රත්නායක ගුරුතුමිය. මට හම්බවුණූ හොඳම,සැරම,නීතිගරුකම පංතිභාර ගුරුතුමියක්. ඒත් එදා අනික් අය ඔක්කොම කලින් දවසේ මිස්ට කියලා තමයි පුහුණුවීම්වලට ගිහින් තියෙන්නේ.ඒත් මම දැනන් හිටියේ නැහැ මේ පුහුණුවීම් ගැන මිස්ට කියන්න ඕනි කියලා.ඒ නිසා මම කිව්වේ නැහැ.කියන්න ඕනි කියලා මට කවුරුවත් කිව්වෙත් නැහැ.ඒත් මම ගුටි නොකා එදා පන්තියට ආවා.ඒ වගේම ආයේ නම් මලල ක්‍රීඩා පුහුණුවීම්වලට යන්නේ නැහැ කියලා තීරණයට ආවා.

සටහන - මාලන් විදානපතිරණ

Saturday, June 4, 2016

ලොකුකමකට කියනවා තමයි -2016/06/04

පොඩි කාලේ ඉඳන් බැලුවත් මාව හැමදාම ඉස්සහටම තල්ලු කළේ පිටිපස්සේ ඉඳන් මට විහිළු කරපු එවුන්.හිනාවෙච්ච එවුන්. ඒ ගැන හිතලා බලද්දි බළලුන් ලවා කොස් ඇට බාවපු එවුන් වගේම කොස් ඇට බෑවාට පස්සේ මාව අමතක කරලා කොස් ඇට කාපු එවුන්වත් මට හොඳට මතකයි.උන් එදා කොස් ඇට බාගන්න කලින් මට කිව්වේ “මාලන් උඹට ඕක කරන්න පුළුවන් “ කියලයි.මොකද කොස් ඇට බාන්න හැමදාම ගියේ මම.ඒත් අත පුච්චගන්නේ නැතුව යහතින් ආයෙත් ආවාට පස්සෙත් උන් ආයෙත් කිව්වේත් “අපි දන්නවා උඹට පුළුවන් කියලා.ඒකයි අපි උඹව යැව්වේ“ කියලයි.හැබැයි උන් අද ඉන්න තැන දිහා බලද්දි මට දැන් පුංචි ආඩම්බරයක් දැනෙනවා.මං හිතන්නේ හැමෝටම වඩා උඩින් ඉන්නේ ස්වභාවධර්මය.ඒක තමයි මගේ සිද්ධාන්තය.

(ලොකුකමක් පෙන්නනවා කියලා හිතුවට කමක් නැහැ.ඒත් මේක මං අත්විඳපු දෙයක්)

- මාලන් විදානපතිරණ

Saturday, April 23, 2016

එකල ලංකාවේ දිගම වෙළඳ දැන්වීමට දායකත්වය දුන් විමුක්ති -2016/04/24






එකල ලංකාවේ දිගම වෙළඳ දැන්වීමට දායකත්වය දුන් විමුක්ති -

කාටවත් අමතක නොවන පාසැලේ පුංචි පුංචි රස මුසු තැන්,මගේ මතක සටහන් කවදා හෝ කොහේ හෝ ලියා තැබීම මගේ පුංචි කාලේ ඉඳලම තිබුණු ආසාවක්.විමුක්ති ඒ දවස්වල හිටපු “සෙල්ලම් ගෙදර“ ටෙලිනාට්‍ය මාලාව,කාගිල්ස් වෙළඳ දැන්වීම් ගැනත් විමුක්ති ගැනත් මොනවාහරි ලියලා තියන්න මට හිතුණේ ඒ දවස්වලමයි.ඒ මගේ හැටියක් වෙන්න ඇති.ඒත් ඒ කාලේ මේ තරම් තාක්ෂණේ දියුණු නැහැනේ.ඒත් අවුරුදු 13කට පස්සේ ඔන්න මම මගේ හිතටම දුන්නු ඒ පොරොන්දුවත් ඉෂ්ට කළා

-මාලන් විදානපතිරණ

Monday, April 11, 2016

අප ඉදිරියෙන් කොඩියක් උස්සාගෙන දිවූ සඳා මිහිරි නංගිගේ මතක සටහනක් -2016/04/10

ඉස්සර අපි ධනුජය මල්ලිලාගේ ගෙදර ළඟ ඉඳන් මුල්ගල ගාවට හවසට රේස් දුවද්දි මග පෙන්වන්නිය විදිහට කටයුතු කළ එකම කාන්තා නියෝජනය තමයි සඳා නංගී.එයා කොහේන්දෝ මන්දා හැමදාම ලොකු කොඩියකුත් උස්සගෙන අපිට ඉස්සරහින් හිටගෙන අපිට සිග්නල් එක දෙනවා.මග පෙන්වනවා. එතකොටම අපි ඔක්කොමල්ලාම වෙනුසරලාගේ ගෙදර ළඟදිම සඳා නංගිවත් පාස් කරගෙනම මුල්ගල ළඟට දුවනවා.සමහර දවස්වලට ඒ වෙලාවට අපේ මාධ්‍යවේදී නිවාස සංකීර්ණයට අයත් හවස බස් එකත් ඇවිත් ගාල් කරලා තියෙනවා.ඒකේ සහායක රියදුරු මාමා තමයි ඒ වෙලාවට අපේ රේස් එකේ විනිසුරුවරයා වෙන්නේ. ඒ අතීතය අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ

Sunday, January 31, 2016

ජීවිතේ මුල්ම හැරවුම් සලකුණ 2016.02.01

ජීවිතේ මුල්ම හැරවුම් සලකුණ-

ගණිත අංශයේ එවුන් පුස්තකාලයට ගිහින් ත්‍රිකෝණ මිතිය,කර්මාන්ත රසායනය වගේ විෂයට අදාළ පොත් අරන් එද්දී,මං ගිහින් “හරි පුදුම ඉස්කෝලේ“ පොත අරන් එද්දී අපේ එවුන් පුදුම වුණා. ඒත් එදා මං විෂයන් තුනම ෆේල් වෙද්දි තමයි මගේ ගමන හරියටම දැක්කේ.මොකද මං පිස්සු කෙළලා ෆේල් වුණු එකෙක් නෙමෙයි.ඒ නිසා මං අන්තිම දෙමාපිය රැස්වීමේදී කට්ටියක් ඉදිරියේ කතා කරන්න ශක්තිය ලැබුවා.අපිව ෆේල්වෙන්න හේතුව අපිම විතරක් නෙමෙයි කියලා දැනෙන්න පටන් ගත්තා. ප්‍රින්සිපල් ඇවිත් මුකුත් ප්‍රශ්නයක් තියෙනවද කියලා ඇහුවාම මම විතරයි නැගිටලා කතා කළේ.එදා අපේ තාත්තා මුල්ම වතාවට මට හොඳට කතා කරන්න පුළුවන් කියලා දැන ගත්තා.පන්තිභාර සර්ගේ මූණ ඇඹුල් වුණා. ප්‍රින්සිපල් සර්ගේ මුණත් ඇඹුල් වුණා.සර් හිතුවේ නැතුව ඇති කවදාවත් සර්ට එරෙහිව ළමයෙක් මෙහෙම කතා කරයි කියලා. ඒත් මං හිතන්නේ එදා තමයි මගේ ජිවිතේ මුල්ම වතාවට වෙනස්වුණු තැන.

-මාලන් විදානපතිරණ
(කාගේ හිත රිදුණත් කවදා හෝ මං මේ කතාව කියන්නයි හිටියේ)

Saturday, January 23, 2016

පහන් පූජාව(පාසැල් මතක පොත අතරින්)

පාසැල් මතක පොත අතරින් -

පහන් පූජාව -

මම එක වසරේ ඉගෙන ගනිද්දී අපේ පන්තිභාර ගුරුතුමිය හුඟක් සැර කෙනෙක්.ඒ සැරටම මං බය වුණා.ඒ නිසා කොළඹ නාලන්දා විද්‍යාලයේ තිබුණු පහන් පූජාවකට පන්තියේ සියලුදෙනාම එන්න ඕනේ කියලා ඇය අණ කරලයි තිබ්බේ.ගුටිකන්න තිබුණු බය නිසා මමත් අපේ දෙමාපියන්ට චණ්ඩි පාට් දැම්මා ඒ හින්දම.ඒත් අපේ අම්මට මල්ලි හින්දා මාත්එක්ක කොහෙවත් යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.ඒ නිසා අපේ තාත්තව ඇදන් යන්න මට ලොකු මෙහෙයුමක් දියත් කරන්න වුණා.මොකද අපේ තාත්තා කියන්නේ ඒ කාලේදි උදේ ගියාම මහ රෑට ගෙදර එන,රැයක් දවාලක් නොතිබුණු චරිතයක්.කොහොම නමුත් මගේ මෙහෙයුම සාර්ථක වුණා.බස් එකේ කොට කොට අපි දෙන්නා පෝය දවසේත් නාලන්දා විද්‍යාල භූමියට ඇතුළත් වුණා.මං හිතුවේ මේ වෙද්දිත් මුළු ඉස්කෝලේම ළමයි එතැන පිරිලා හිටියා කියලයි.ඒත් මගේ පන්තියේ ළමයෙක් හොයාගන්න මට ලොකු උත්සාහයක් දරන්න වුණා. අඩුම ගාණේ පන්තිභාර ගුරුතුමියවත් ඇවිත් හිටියේ නැහැ.
අවසානයේදී මට කොහෙන්දෝ කටහඬක් ඇහුණා.
“ආහ් මාලන් ඔයත් ආවද ?“එහෙම කිව්වේ උජිත.උජිතත් එයාගේ තාත්තා එක්ක ඇවිත් හිටියේ.
“පෝය දවසේ බසුත් අඩුයි උජිත.මමත් හරි අමාරුවෙන් ආවේ.ඔයා දැන් කොහොමද යන්නේ“ මං කදේට වැටුණා.
“මං මේ ළඟ ඉන්නේ ?“
“ළඟ ?“ මං මවුට් මේරිය පැත්තට අත දික් කරා.
“නැහැ.නාරාහේන්පිට.“
කොහොම වුණත් මට එදා නිදාගන්නකම්ම තාත්තගේ බැණුම්වලින් නම් අඩුවක් තිබුණේ නැහැ.
හැබැයි පහුවෙනිදා ඉස්කෝලේ ගියාම පන්තිභාර ගුරුතුමී අපෙන් මෙහෙම ඇහුවා.
“ඊයේ කව්ද පහන් පූජාවට ආවේ ?“
“අපි ආවා ටීචර්.“ මං පැනලා උත්තර දුන්නා.
ඒත් මට පස්සෙයි තේරුණේ.මම කරලා තියෙන්නේ අපේ මුළු පන්තියම ආවරණය කිරීමක් කියලා.ඒක දැක්කේ අපේ යාළුවන්ගේ මූණුවල තිබුණු සතුටෙන්.ඒත් සමහරු එදා පහන් පූජාවට ඇවිත් තිබුණලු.ඉක්මනටම ගියාලු.මට ඒගොල්ලෝ පස්සේ කිව්වා.මං ඒක පිළිගත්තා.මොකද ඒකේ හරි වැරැද්ද හොයනවට වඩා මිත්‍රත්වය වැදගත් හින්දා.
(පළමු ශ්‍රේණියේදී අපේ පන්තිභාර ගුරුතුමිය වුණේ විජේරත්න මහත්මියයි.ඇය මේ වන විට කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පමණක් නොව දිවි ගමනින්ද සමුගත් ගුරුවරුන්ගේ ලැයිස්තුවට එක් වී හමාරය.)
සටහන -මාලන් විදානපතිරණ

Sunday, January 3, 2016

විනෝද සවාරිවලදී මතුවන සිදත් සහෝදරයාගේ හඬ හැසිරවීමේ දක්ෂතාවය මතක් කරමුද -2016/01/03

විනෝද සවාරිවලදී මතුවන සිදත් සහෝදරයාගේ හඬ හැසිරවීමේ දක්ෂතාවය මතක් කරමුද


සිදත් -කමෝන් බේබි කමෝන්
කෝ සින්දුව
සංගීතේ විතරද
කැලේ මැද ගමක් තියෙනවා
එහි පප්පල රෑනක් ඉන්නවා
ගමට පප්ප ගමක් කියනවා
ඒ පප්පල ජොලි වැඩ කරනවා
මොකද බලන් ඉන්නේ
කට්ටිය එකතුවෙලා මාත් එක්ක කියමු
පප් පප් පප පපප්
පප් පප් පප පපප්
වෙද පප්ප අරිෂ්ටේ හදනවා
එහි ලොකු බලයක් හෙම තියෙනවා
ගමේ හැමෝටම පොවනවා
පව් ජිම් පප්පව මග හරිනවා
සිදත් - හරේ දෙන්න දෙන්න අරිෂ්ටෙ කවලා දෙන්න
අරිෂ්ටෙ ඉල්ලල ජරමරේ
ජිම් පප්පගෙනුත් හරි බරබරේ
ගෑණු ළමයින්ට කරදරේ
අර චූටි කූකූටයි ආදරේ
සිදත් - අයියෝ මොකද මෙයා සින්දුව ඉවරද
අනේ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ
තව තියෙනවා
සිදත් - ඉතින් කෝ නෑනේ
ඔය තියෙන්නේ ඔය තියෙන්නේ
සිදත් -පප් පප් පප පපප්
පප් පප් පප පපප්
දැක්කම මේ වැඩ කාරයෝ
පව් දුවනවා රෝමන් වීරයෝ
කෑමට බීමට දක්ෂයෝ වගෙම
ගහගන්නත් හරි සූරයෝ
සූර පප් පප් පප් පප් පප පපා
පපප සූර පප් පප් පප පපපා
සිදත් - මොකද පප් පප් ගාන්නේ
වචන ඉවරද
ඕක මටත් පුළුවන්නේ
පප් පප් පප පපප්
පප් පප් පප පපප්//

Saturday, November 28, 2015

අමතක නොවන හමුවීමක් සහ අමතක නොවන කතාවක්

අමතක නොවන හමුවීමක් සහ අමතක නොවන කතාවක්

මං මෙලොව එළිය දුටු මුල් දවසක,අම්මයි තාත්තයි මට අසනීප වෙලා බොහෙත් අරගෙන ආයෙමත් කාසල් එකෙන් එළියට එද්දී බස් ස්ටෑන්ඩ් ළඟින් දැකලා පුරුදු චරිතයක් ගියා.ඒ වෙන කවුරුවත් නෙමෙයි.අතිශයින් ජනප්‍රිය කමල් අද්දරආරච්චි.ඔහු අපිව දැකලා ලොරිය නැවැත්වුවා.කොහාටද යන්නේ ඇහුවා.ඉන්පස්සේ ලොරියේ ඉස්සරහ සීට් එක අපට දීලා,පිටිපස්සේ තනියෙන් එල්ලීගෙන ගියා.ඒ කතාව මට තාත්තා කිව්වේ කමල්ව ඈත ති
යා දකිද්දියි.මොකද මම දැනන් හිටියේ කමල් දක්ෂ නළුවෙක් විදිහට විතරයි. ඒත් එදායින් පස්සේ මට අවුරුදු 25ක් යනකම්ම ඔහුව හම්බවුණේ නැහැ. අද හම්බවුණෙත් අහම්බෙන් වගේ. ඒ තාත්තත් එක්ක කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ නිමවෙලා ගෙදර එද්දී, තලංගම - කොස්වත්ත පිහිටි ෆුඩ් සිටියට ගිය මොහොතේදී(2015/11/4).
“කමල්ට මතකද ඔයා කාසල් එක ළඟදී අපිට ලොරියේ ඉස්සරහ සීට් එක දීලා පිටිපස්සේ ගියා හිටගෙන,හුඟ කාලෙකට කලින්.“ තාත්තා ෆුඩ් සිටියේදි කමල් අන්කල්ගෙන් ඇහුවා.
ඔහු සිනාසුණා.සමහරවිට මතක නැතිව ඇති.
“මේ ඉන්නේ එදා ඔයා දැකපු දවස් කීපයේ පුංචි ළමයා තමයි“ තාත්තා ආයෙමත් කිව්වා.

නමුත් අද(2015/11/27) මම, ඔහුගේ නිවසට ආවේ අද පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස ඔහු සමග සිනමාව පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක යෙදෙන්නයි.මේ ඒ සොඳුරු මොහොත.
- මාලන් විදානපතිරණ

Wednesday, September 23, 2015

පසිඳු බටගොඩ පිළිබඳ පුංචි සිදුවීමක්

පාසැල් කාලේ තවත් පුංචි සිදුවීමක්

පසිඳු(පසිඳු බටගොඩ), මේ පුංචි සිද්ධිය මතක් කළා කියලා මං එක්ක අමනාප වෙන්න එපා.
ඒත් මට මතකයි දවසක් උඹ දෙක වසරේදී ඉක්කාවක් ගියාම,

“ඉක්කයි මායි ගාලු ගියා.ඉක්කව දාලා මං ආවා“ කියලා තුන් පාරක් කිව්වා.
ඒක ඇහුවම හැබැයි අපේ යාළුවෝ උඹට එදා හිනාවුණා.මොකද ඒ කාලේ ඉක්කාවක් හැදුණාම, උඹ කිව්ව විදිහට කිව්වම ඒක හරියනවා කියලා සමහරු පුංචි මතයක් හදන් හිටියා.ඒත් මට ඒක අලුත් දෙයක් වුණු නිසාම උඹ කරපු දේ දැක්කට පස්සේ අම්මගෙනුත් මේ ගැන ඇත්ත නැත්ත එදා හොයන්න මම ඉදිරිපත් වුණා.
ඒ කාලේ කොයිතරම් සුන්දරද ?


- මාලන් විදානපතිරණ

Tuesday, September 22, 2015

ළමා කාලයේ කියවපු කවියක් මතක් වුණා

ළමා කාලයේ කියවපු කවියක් මතක් වුණා

නැණ ගුණ දම්
රුව පැහැතුම්
ඇති අය නම් 
රෝස කුසුම්